
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවීම සම්බන්ධයෙන් ලංකාව තුළ ද යම් කතිකාවතක් පවතිනවා. එවැනි පසුබිමක පාසල් දරුවන් අතර ව්‍යාප්ත කරමින් තිබෙන මත්ද්‍රව්‍යක් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වීමේදී තම දරුවන් පාසල් වෙත යැවීමට පවා බියක් දෙමව්පියන් තුළ ඇති වීම සාමාන්‍ය දෙයකි. මෙවැනි අනවශ්‍ය බියක් සමාජගත කරමින් මේ දිනවල හුවමාරුවන සටහනක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින නිසාම අප මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කරනු ලැබුවා.සමාජ මාධ්‍ය සටහන් (Social Media)
“පාසල්වල අලුත් ඖෂධයක්…
පාසැල්වල ළමයි නැති වුණත් මේක හැමෝටම කියන්න. මේ ඖෂධය ගැන දෙමාපියන් දැනගත යුතුයි. මේක ‘ස්ට්‍රෝබෙරි ක්වික්’ කියලා හඳුන්වන අලුත් ඖෂධයක්. දැන් පාසල්වල හරිම භයානක දෙයක් සිද්ධ වෙනවා, අපි හැමෝම දැනුවත් වෙන්න ඕනේ. ස්ට්‍රෝබෙරි පොප් රොක් වගේ පෙනෙන ස්ඵටික මෙත් වර්ගයක් තියෙනවා (කටේ හැපෙන කැන්ඩි). ඒකත් ස්ට්‍රෝබෙරි වගේ සුවඳයි, ඒක පාසල් මිදුල්වල ළමයින්ට දෙනවා. ඒක ස්ට්‍රෝබෙරි මෙත් හෝ ස්ට්‍රෝබෙරි ක්වික් කියලා කියනවා. ළමයි මේක කැන්ඩි කියලා හිතලා ගිලිනවා, ඒ නිසා දරුණු තත්ත්වයෙන් රෝහලට යවනවා. එය චොකලට්, රටකජු බටර්, කෝලා, චෙරි, මිදි සහ තැඹිලි වලින් ද පැමිණේ. කරුණාකර ඔබේ දරුවන්ට ආගන්තුකයන්ගෙන් කැන්ඩි පිළිගන්න එපා, මිතුරෙකුගෙන් (එය ලබා දී ඇති අතර එය කැන්ඩි යැයි විශ්වාස කළ හැකිය) මේ වගේ පෙනෙන කැන්ඩි පිළිගන්න එපා, ඔවුන්ට ඇති ඕනෑම දෙයක් වහාම ගුරුවරයෙකුට, විදුහල්පතිවරයෙකුට යනාදියට ගෙන යන්න. මෙම විද්‍යුත් තැපෑල හැකි තරම් පුද්ගලයින්ට (ඔවුන්ට දරුවන් නොමැති වුවද) යවන්න, එවිට අපට දැනුවත්භාවය ඇති කිරීමට සහ ඕනෑම ඛේදවාචකයක් සිදුවීම වළක්වා ගැනීමට බලාපොරොත්තු විය හැකිය..!!
එය සැබවින්ම ප්‍රයෝජනවත් බැවින් දැනුවත්භාවය ඇති කිරීමට share කරන්න..”
යනුවෙන් සඳහන් කරමින් දරුවන් අතර බෙදා හරින යම් අහිතකර ඖෂධයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.
තවත් එවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.
මේ අයුරින් සමාජ මාධ්‍යයේ හුවමාරුවන පණිවිඩයේ සඳහන් ඖෂධය කුමක් ද? සහ එය ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර ව්‍යාප්තවනවා ද යන්න පිළිබඳව අප සොයා බැලීමක් සිදුකරනු ලැබුවේ මෙ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප මේ පිළීබඳව කළ සොයා බැලීමේදී පැහැදිලි වුණේ, දශක ගණනාවකට පෙර ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ද මෙම ප්‍රකාශය ම ප්‍රචාරය වී ඇති අතර ස්නෝප්ස් වැනි ජාත්‍යන්තර කරුණු පරීක්ෂා කිරීමේ සංවිධාන එම අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීම් සිදුකර තිබෙන බවයි.
2007 මුල් භාගයේදී, “ස්ට්‍රෝබෙරි ක්වික්” ලෙස හැඳින්වෙන Methamphetamine වල පැණි රස සහ රසකාරක ආකාර පිළිබඳ අනතුරු ඇඟවීම් පැතිර ගොස් තිබෙනවා. ස්ට්‍රෝබෙරි ක්වික් පිළිබඳ විවිධ තොරතුරු මුලින්ම වාර්තා වී ඇත්තේ, 2007 ජනවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රාන්තවලයි.
එහිදී පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මේවා සාදන ලද බැවින්, එය පැණිරස කෑමක් ලෙස වරදවා වටහාගෙන, ළමයින් එය මිලදී ගෙන අනුභව කරන බවට මහජනතාව අතර බියක් ඇති කර තිබෙනවා.
ඒ අනුව මහජනතාව තුළ මේ සම්බන්ධයෙන් බියක් වර්ධනය වෙමින් පවතින විට, සමහර ඇමරිකානු මාධ්‍ය ආයතන නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා.
එහිදී මහජන භීතියට හේතු වන තොරතුරු පදනම් විරහිත බව අදාළ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. එනම්, මෙතම්ෆෙටමින් වර්ග කැන්ඩි වලට තරමක් සමාන බව සොයා ගත හැකි වුවද, මෙතම්ෆෙටමින් වර්ග කිහිපයක් ළමුන් විසින් පරිභෝජනය කරන රසකැවිලි වලට සමාන ආකාරවලින් දක්නට ලැබෙන බවට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් දරුවන් ඉලක්ක කර රසකැවිලි ආකාරයෙන් ඖෂධ නිෂ්පාදනය කර පාසල් දරුවන්ට අලෙවි කරන බවටත් ඇති තොරතුරු පදනම් විරහිත බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.
2010 දී එක්සත් ජනපද ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනයේ (DEA) ප්‍රකාශකයෙක් වන වන මයිකල් සැන්ඩර්ස් පෙන්වාදී ඇත්තේ, මෙවැනි ඖෂධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඇතත් හුවමාරුවන තොරතුවල සඳහන් ආකාරයේ පැණිරස ආහාරයක් ලෙස සකස් කර පාසල් ළමුන් අතර බෙදා හැරීමේ ඖෂධයක් නොමැති බවයි. ස්ට්‍රෝබෙරි රසැති මෙතම්ෆෙටමින් හෝ එය පානය කළ දරුවන් රෝහල්ගත කිරීම පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
සමහර අවස්ථාවල වර්ණවත් මෙතම්ෆෙටමින් සොයාගෙන ඇතත්, ඒවා ළමයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නිෂ්පාදනය කර නොමැති බවත්, නීතිමය පරීක්ෂාවන් මග හැරීම සඳහා එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වර්ණවත් ලෙස නිෂ්පාදනය කරන ලද බවත් ඔහු පෙන්වා දී ඇත.
මෙම ගැටලුව සම්බන්ධයෙන් වෙනත් කණ්ඩායමක් විසින් කරන ලද ලිපියක් මෙතැනින් කියවිය හැකිය.
එමෙන් ම මෙම වසරේ එනම්, 2025 ජනවාරි 31 වන දින , ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්ත පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සමාජ මාධ්‍ය පළ කිරීම් අසත්‍ය බවයි. ඔවුන් එය අන්තර්ජාල වංචාවක් ලෙස පෙන්වා දෙනවා. වැඩි විස්තර මෙතැනින් කියවිය හැකිය.
අප Reverse Image Search ඔස්සේ සිදුකළ සෙවීමේදී පෙනී ගියේ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන රූපය මෙතම්ෆෙටමින් නොව “ටෙඩි බෙයාර් එක්ස්ටසි” නම් වූ එක්ස්ටසි ටැබ්ලට් එකකට සම්බන්ධ එකක් බවයි.
“ටෙඩි බෙයාර් එක්ස්ටසි” පානය කිරීමෙන් පසු පාසල් ළමුන් රෝහල් ගත කිරීම පිළිබඳව සමහර එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් මෙතැනින් සහ මෙතැනින් කියවිය හැකිය.
ජැමෙයිකාව වැනි කැරිබියානු රටවල ද මෙම සමාජ මාධ්‍ය සටහන් පැතිර යන අතර ඔවුන්ගේ අධ්‍යාපන අමාත්‍යාංශය ද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. එවැනි මාධ්‍ය වාර්තාවක් මෙතැනින් කියවිය හැකිය.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය
මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට එවැනි මත්ද්‍රව්‍ය අලෙවි කර ඇත්දැයි අපි පොලිස් මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා. නමුත් මේවන විට එවැනි පැමිණිලි හෝ වාර්තා කිසිවක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය අපාප වෙත පැවසුවා.
ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය
තවද, මේ සම්බන්ධයෙන් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප විමසූ විට, ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය අලෙවිය සිදු කරන නමුත්, ඉහත සඳහන් සමාජ මාධ්‍ය සටහන් වල ඇති මෙතම්ෆෙටමින් වර්ගයේ මත්ද්‍රව්‍ය මිල අධික බැවින්, එවැනි මත්ද්‍රව්‍ය පාසල් සිසුන්ට අලෙවි කිරීමේ සම්භාවිතාව අඩු බවයි.
පාසල් නොගොස් වීදිවල ජීවත් වන සමහර දරුවන් මෙතම්ෆෙටමින් භාවිතා කරන නමුත් පාසල් යන සිසුන්ට මෙතම්ෆෙටමින් අලෙවි කරන බවට වාර්තා නොමැති බව ද ඔහු සඳහන් කළා.
ස්ට්‍රෝබෙරි ක්වික් නමින් හෝ සමාජ මාධ්‍ය සටහන්වල ඇති පෙති වර්ගයට සමාන කිසිදු පෙති වර්ගයක් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගෙන නොමැති බව ද ඔහු පෙන්වා දුන්නා.
Also read : ළමුන් අඩපණ කරන මත්පෙති සමඟ ලංකාවේ වෙළඳපොළේ අලෙවිවෙන Luppo කේක් ? (Video)
මත්ද්‍රව්‍ය ඇතුළත් ලොසින්ජර පිළිබඳ පළ වූ WhatsApp පණිවිඩය පිළිබඳ ඔබ දැනුවත් ද?
ට්‍රැමඩෝල් Pencil Candy පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක අංශවලින් අනතුරු ඇඟවීමක්!
පාසල් අවට මත්ද්‍රව්‍ය ඇතුළත් ටොෆියක් ඇති බවට පළ වූ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශණයෙන් පෙනී යන්නේ, පාසල් සිසුන් අතර ස්ට්‍රෝබෙරි ක්වික් නම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමක් පිළිබඳව සමාජ මාධ්‍යවල බෙදා ගන්නා ලද තොරතුරු අසත්‍යයකි. මෙම ව්‍යාජ පුවත 2007 දී ඇමරිකානු කලාපවල බෙදා හරින ලද අතර දැනට දකුණු ආසියානු රටවල බෙදා හරිනු ලැබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිසිය සහ අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයට අනුව, ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට එවැනි පෙති අලෙවි කරන බවට මෙතෙක් වාර්තා නොමැති බව ද පැහැදිලිය.
එමෙන් ම සමාජ මාධ්‍ය සටහන් වල හුවමාරුවන ඡායාරූපයේ ඇති පෙති “ටෙඩි බෙයාර්” එක්ස්ටසි පෙති මිස මෙතම්ෆෙටමින් පෙති නොවන බව ද තහවුරුවනවා.

Title:පාසල් සිසුන්ට ලබා දෙන බව පැවසෙන ස්ට්‍රෝබෙරි ක්වික් නම් මත්ද්‍රව්‍යයේ සත්‍යය මෙන්න !
Fact Check By: Piumika LakshaniResult: False
