දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දුරකතන සම්බන්ධයෙන් යහපත් මෙන් ම අයහපත් තොරතුරුත් ඇතැම්විට අපට අහන්න ලැබෙනවා. මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දුරකතනයක් පුපුරා යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් වීඩියෝවක් සංසරණය වන බැවින් අප එම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media)
“ෆෝන් පාවිච්චි කරද්දි පරිස්සමට…. ෆෝන් එක පුපුරා ගිය හැටි – ෆෝන් ළඟ තියන් නිදාගන්න අය පරිස්සමෙන්” යනුවෙන් සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණේ මේ අයුරින්,
යම් පුද්ගලයෙක්ගේ කමිසයේ තිබෙන දුරකතනය එකවරම ගිනිගෙන පුපුරා යන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා.
මෙම වීඩියෝවේ මලයාලම් බසින් පසුබිම් කතනයක් සිදුවන බැවින් මෙය ශ්‍රී ලංකාවේ සිදුවීමක් නොවන බව පෙනී යනවා. කෙසේ වෙතත් අප මෙම දුරකතනය පුපුරා යාමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමක් සිදුකලේ මේ අයුරින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
මෙම වීඩියෝවේ පසුබිම් කතනයේ භාෂාව මලයාලම් වන බැවින් මෙය මෙරට සිදුවීමක් නොව ඉන්දියාවේ සිදු වූ සිදුවීමක් බව පෙනී යනවා. එබැවින් අප මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියානු මාධ්‍ය වාර්තා පරීක්ෂා කර බැලුවා.
ඒ අනුව 2023 මැයි 19 පළ කළ වාර්තාවක සඳහන්ව තිබුණේ, මොලයිල් එලියාස් නම් පුද්ගලයෙක් හෝටලයක සිටියදී ඔහුගේ කමිසයේ සාක්කුවේ තිබූ ජංගම දුරකතනය එකවර විශාල ශබ්ධයක් සමඟින් පුපුරා ගොස් ඇති බවයි. එහිදී ඔහුගේ කමිසය පවා ගිනි ගන්නා ආකාරය හෝටලයේ තිබූ CCTV දර්ශන වල පටිගත වී තිබෙනවා.
මෙම පුද්ගලයාගේ ජංගම දුරකතනය Smart ජංගම දුරකතනයක් නොවන සාමාන්‍ය එකකි. එම පුද්ගලයා පවසන ලෙස ටික කාලයක සිට එම දුරකතනයේ බැටරිය ආරෝපණය (Charge) කිරීම මන්දගාමී වී තිබෙනවා. එමෙන් ම දුරකතනයේ රත්වීමක් ද පැවතී ඇති අතර ඔහු සිය දුරකතනයේ බැටරිය මාරු කිරීමට සිතා සිටිය දී මෙලෙස දුරකතනය එකවර පුපුරාගොස් තිබෙනවා.
මලයාලම් Fact crescendo කණ්ඩායමෙන් ද අප මේ බව තහවුරු කරගත් අතර ඔවුන් ද පැවසුවේ මෙය සත්‍ය ලෙස සිදු වූ සිදුවීමක් බවයි.
තිරුවිල්වමලෙයි හි අට හැවිරිදි දැරියක් ඇය භාවිතා කළ දුරකථනය පුපුරා යාමෙන් මිය ගිය බවත් එම වාර්තාවෙහි සඳහන්ව තිබෙනවා. එම වාර්තා කිරීම මෙතනින්.
ස්මාර්ට් ෆෝන් පුපුරා යාමේ සිදුවීම් වාර්තා වී තිබෙනවා ද?
ස්මාර්ට්ෆෝන් ද පුපුරා යාමේ සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වී තිබෙනවා. පසුගිය වසරේ පමණක්, රාත්‍රියේ ආරෝපණය කරමින් සිටියදී iPhone 4 දුරකතනයක් ගිනිගෙන තිබෙන අතර, ඉන්දියාවේ Redmi Note 5 Pro දුරකතනයක් ඇගේ මුහුණේ පුපුරා යාමෙන් දරුවෙකු මියගොස් තිබෙනවා. තව ද එයාර් ඉන්දියා ගුවන් යානයකදී පුද්ගලයෙක්ගේ දුරකථනයක් පුපුරා ගොස් හදිසි ගොඩබෑමක් පවා කිරීමට සිදුව ඇති පුවතක් ද වාර්තා වී තිබෙනවා.
Galaxy Note 7 දුරකතනයක් පුපුරා යාමේ සිදුවීමක් ද වාර්තා වී තිබුණේ මේ අයුරින්.
ශ්‍රී ලංකාවේ ද මීට මාස 3කට පෙර හැටන් ප්‍රදේශයේ පුද්ගලයෙක් අතේ තිබියදී දුරකතනයක් ගිනිගෙන පුපුරා යන ආකාරයේ වීඩියෝවක් වාර්තා වී තිබුණේ මේ අයුරින්,
එම පුවතම තවත් මාධ්‍යයක වාර්තා කර තිබුණේ මේ අයුරින්.
දුරකතන පුපුරා යන්නේ ඇයි?
ජංගම දුරකථනයක් ගිනි ගැනීමට හෝ පුපුරා යාමට බොහෝ හේතු ඇති අතර, එය සෑම විටම පාහේ දුරකතනයේ බැටරිය සමඟ සම්බන්ධ වේ. නවීන ජංගම උපාංග ලිතියම්-අයන බැටරි මගින් බල ගැන්වෙන අතර, නැවත ආරෝපණය කිරීමට ඉඩ සලසන ධනාත්මක සහ සෘණ ඉලෙක්ට්‍රෝඩවල ප්‍රවේශමෙන් සමතුලිතතාවයක් අඩංගු වේ. යමක් වැරදුන විට, බැටරියේ අභ්‍යන්තර සංරචක බිඳ වැටී ගින්නකට තුඩු දිය හැකි වාෂ්පශීලී ප්‍රතික්‍රියාවක් ඇති කළ හැකිය.
මෙය විවිධ හේතු නිසා සිදුවිය හැකි නමුත්, වඩාත් පොදු ගැටළුව වන්නේ අධික තාපයයි. ආරෝපණය වන බැටරියක් හෝ අධික ලෙස ක්‍රියා කරන සකසනයක් ඉතා ඉක්මනින් අධික ලෙස රත් වුවහොත්, එමඟින් දුරකථනයේ සංරචකවල රසායනික සැකැස්ම විනාශ කළ හැකිය. තාප ධාවනය ලෙස හැඳින්වෙන දාම ප්‍රතික්‍රියාවක් නිසා බැටරිය ඊටත් වඩා තාපය ජනනය කිරීමට හේතු වන අතර එය අවසානයේ ගිනි ගැනීමට හෝ පුපුරා යාමට හේතු වේ.
ඔබගේ දුරකථනය අධික ලෙස රත් වීමට හේතුව වෙනස් විය හැකිය. වැටීමකින් හෝ අධික ලෙස නැමීමෙන් සිදුවන භෞතික හානි, දුරකථනය වැඩි වේලාවක් හිරු එළියේ තැබීම, අනිෂ්ට මෘදුකාංග CPU එක අධික ලෙස ක්‍රියා කිරීම හෝ ආරෝපණය කිරීමේදී ඇතිවන දෝෂයක් හේතුවෙන් උපාංගය තුළ අධික රත් වීමක් ඇති විය හැකිය.
එමඟින් කාලයත් සමඟ බැටරි දිරාපත් වේ. ඒ අනුව ඉදිමීම සහ අධික උනුසුම් වීම සිදුවිය හැකිය. මෙලෙස අධික රත් වීම ඔස්සේ බැටරියට සිදුවන හානිය ඔස්සේ දුරකතනයක් පුපුරා යාමක් සිදුවිය හැකි ය.
දුරකතන පුපුරා යාමෙන් වළක්වාගෙන දීර්ඝ කාලයක් දුරකතනයක් ආරක්ෂිතව භාවිතා කිරීමට කළ හැකි දේ මොනවා ද?
- දුරකථනය සඳහා කේස් එකක් භාවිතා කිරීම
වැටීමකින් පසු සෑම දුරකතනයක් ම ගිනි ගැනීමක් සිදුවන්නේ නෑ. නමුත් වැටීමකින් එහි අභ්‍යන්තරයට හානි විය හැකි අතර ඒ ඔස්සේ දුරකතනය ආරක්ෂා කර ගැනීමට එක් ක්‍රමයක් නම් දුරකථන ආවරණයක් භාවිතා කිරීමයි.
- අධික උෂ්ණත්වයන්ගෙන් වළකින්න.
ඔබේ දුරකතනය සෘජු හිරු එළියේ හෝ උණුසුම් රේඩියේටරයක ඉහළින් දිගු වේලාවක් තැබීමෙන් වැළකී සිටිය යුතුයි. අධික උශ්ණත්වය දුරකතනය හානි දායක වේ. නමුත් මිත්‍යා මතයක් වන දුරකතනය රත්වන විට ශීතකරණයේ තැබීම නොකළ යුතුය. ඉන් ඔබේ දුරකතනය ආරක්ෂා වීමක් නොව තිබෙන තත්වයටත් වඩා හානි දායක විය හැකි ය.
- දුරකතනයේ බැටරියේ සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් වීම.
බොහෝ දෙනෙක් තමන්ට හැකි සෑම අවස්ථාවකදීම බැටරිය උපරිම ධාරිතාවට ආරෝපණය කිරීමට උත්සාහ කළත්, මෙමඟින් බැටරියේ ආයුකාලය ඉක්මනින්ම අඩුවෙන්න පුලුවන්. එයට හේතුව සාමාන්‍යයෙන් ඕනෑම බැටරියක ආරෝපණය කළ හැකි නිශ්චිත වට ගණනක් තිබෙන නිසා ඔබ එය නිතර නිතර උපරිම ප්‍රමාණයට ආරෝපණය කිරීමෙන් එම වට ගණන ඉක්මණින් අවසන් වී යාමයි.
මේ නිසා සෑම අවස්ථාවකම බැටරිය 100% ආරෝපණය කිරීම අවශ්‍ය නැහැ. 100%ක් ආරෝපණය කිරීම මසකට වරක් පමණ සිදු කරමින්, සාමාන්‍යයෙන් බැටරි ධාරිතාව 20% – 80% අතර තබා ගැනීමට උත්සාහ කරන්න.
බොහෝ දෙනෙක් බැටරිය චාර්ජ් කිරීමට උත්සහ කරන්නේ එහි ධාරිතාවය බින්දුවටම බැස්සායින් පසුවයි. මෙය ඉතාම අහිතකරයි. අපි කලින් කියූ පරිදි වර්තමානයේ නිපදවෙන ලිතියම් මූලික කරගත් ජංගම දුරකථන බැටරි ක්‍රියාකරන්නේ නිශ්චිත වට ගණනකට අනුවයි. ඉතින් ඔබ එහි ධාරිතාවය බින්දුවටම බසින තෙක් තැබීමෙන් එහි සම්පූර්ණ වටය බැගින් අවසන් වන නිසා පියවරෙන් පියවර බැටරියේ ආයු කාලය අඩුවීම සිදුවෙනවා.
බොහෝ දෙනෙක් ජංගම දුරකථනයේ ධාරිතාවය 20%ක්, 50%ක් හෝ 70%ක් තිබුණත් එය චාර්ජ් කිරීමට උත්සාහ කරන අවස්ථා තිබෙනවා. නිතර නිතර අනවශ්‍ය ලෙස ජංගම දුරකතනය ආරෝපණය කිරීම බැටරියේ ආයු කාලය විශාල වශයෙන් අඩු කිරීමට හේතුවක්. මේ නිසා අවශ්‍යම වූ විට පමණක් එය ආරෝපණය කිරීමට වගබලාගන්න.
එයින් අදහස් වන්නේ බැටරි ධාරිතාව 5%ට වැඩියෙන් සහ 20%ට අඩුවෙන් තිබියදී පමණක් එය ආරෝපණය කරන්න.
ඔබ වැඩක යෙදෙන විට ජංගම දුරකතනය ආරෝපණය කිරීමට බොහෝ විට ලැප්ටොප් එක යොදාගන්නවා ඇති. නමුත් එමගින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වේලාවක් ජංගම දුරකතනය ආරෝපණය කිරීමට සිදුවෙන අතර බැටරියට එතරම් හිතකර වන්නෙත් නැහැ. මේ නිසා වඩාත් සුදුසු වන්නේ බිත්තියට සම්බන්ධ සොකට් එකක් හරහා ඔබගේ චාජරය භාවිතයෙන් දුරකතනය ආරෝපණය කිරීමයි
- මුළු රාත්‍රිය පුරාම ජංගම දුරකතනය ආරෝපණය කිරීමෙන් වැළකීම
බොහෝ දෙනෙක් පසුදින උදෑසන භාවිතා කළ හැකි වන පරිදි, රාත්‍රියේදී තමන්ගේ ජංගම දුරකතනය ආරෝපණය වීමට ඉඩහැර නින්දට යනවා.
මේ නිසා සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක් සම්පූර්ණයෙන් ආරෝපණය වීමට ගතවන පැය ගණනට වඩා, පැය 4, 5ක්ම වැඩිපුර ආරෝපණය වීම සිදුවෙනවා. මේ නිසා බැටරියේ ආරෝපණ වට ගණන මෙන්ම විදුලියත් අපතේ යනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වඩා ආරෝපණය වීම නිසා ජංගම දුරකථනය අධික ලෙස රත් වීමත් එයට ඉතා අහිතකර ලෙස බලපානු ඇත.
- . ජංගම දුරකතනය ආරෝපණය කරන විට එහි පිටුපස කවරය(Back cover) තිබියදීම ආරෝපණය කිරීම.
ජංගම දුරකථන බැටරියක ආයු කාලයට ඇති ලොකුම සතුරා වන්නේ අධික උෂ්ණත්වයයි. මේ නිසා එහි පිටුපස කවරය තිබියදී චාර්ජ් වීමට ඉඩ හැරීමෙන් එහි නිපදවන උෂ්ණත්වය ඒ තුළම සිරකර තබා ගැනෙනවා. එය බැටරියට පමණක් නොවෙයි ජංගම දුරකථනයේ ඇතුලත ඇති අනෙකුත් උපාංග වලට පවා අහිතකර ලෙස බලපානවා. මේ නිසා එය ආරෝපණය කරන විට අනිවාර්යෙන්ම පිටිපස කවරය ගලවා විදුලියට සම්බන්ධ කරන්න.
08. වෙනත් චාර්ජර් භාවිතා නොකරන්න
සෑම ජංගම දුරකථනයකටම ඒ හා සමඟ හිමිවන නිශ්චිත චාජරයක් තිබෙන අතර ඒ වෙනුවට වෙනත් වෙළඳ නාමයක චාජරයක් හෝ එකම වෙළඳ නාමයේ එහෙත් වෙනත් මොඩලයක් සඳහා නිපදවූ චාර්ජරයක් භාවිතා කිරීම මගින් බැටරියට උවමනා විද්‍යුත් ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් සැපයෙන අවස්ථා තිබෙනවා. මේ නිසා ජංගම දුරකථනය ඉතා සෙමෙන් ආරෝපණය වීම හෝ අධිකව රත් වීමට හැකියි. මේ නිසා ඔබගේ ජංගම දුරකථනයට වඩාත්ම සුදුසු චාජරය වන්නේ ඔබ එය මිලදී ගන්නා විට හිමිවු චාජරය පමණයි. ඔබ අතින් එය කැඩුණොත් හෝ නැති වුනොත්, ඒ මොඩලයටම අයත් චාජරයක් මිළදී ගැනීම සිදුකළ යුතුයි.
(මූලාශ්‍ර – මෙතනින්, මෙතනින් සහ මෙතනින්)
මේ අනුව ඔබේ ජංගම දුරකතනය අධික ලෙස රත් වීමක් සිදුවනවානම් හෝ දුරකතනයේ බැටරියේ ඉදිමීමක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වැදගත් බව මෙම කරුණු පරීක්ෂණය ඔස්සේ පෙන්වාදිය හැකි ය.
Also Read :
ලිෆ්ට් එකකදී සිදුවන, විද්‍යුත් බැටරියක් පිපිරීමේ කතාවේ සුළ මුල!
ජංගම දුරකතනය ගෑස් සිලින්ඩර ආසන්නයේ තැබීමෙන් සිදු වූ ගෑස් පිපිරීමක් නොවේ!
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:දුරකතනයක් ගිනිගෙන පුපුරායාමේ සිදුවීමේ ඇත්ත මෙන්න !
Written By: Piumika LakshaniResult: Insight
