දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී ඊයේ (19) වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වූ අතර එම ඝාතනය සිදුකළ බවට සැකකළ පුද්ගලයාගේ CCTV ඔස්සේ ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ ඔස්සේ සැකකරුගේ හැඩහුරුකමට සමාන බව සඳහන් කරමින් විවිධ පුද්ගලයින් අළලා සමාජ මාධ්‍ය සටහන් රැල්ලක් නිර්මාණය වී තිබුණා. එසේම අදාළ පුද්ගලයා ඊයේ සවස අත්අඩංගුවට පත්වීමෙන් පසුව ද ලබාගෙන තිබු ඡායාරුප යොදාගනිමින් ද විවිධ සටහන් නිර්මාණය වී තිබුණා. ඒ ගැන අපගේ කරුණු පැහැදලි කිරීමක් මෙලෙසින්.සමාජ මාධ්‍ය සටහන් (Social Media) :
කොළඹ අළුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළ දී ඝාතනයට ලක් වූ සංජීව කුමාර සමරරත්න ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ පොලිස් සහ STF නිලධාරීන් සමග සුහද සාකච්ඡාවක් සිදු වන අයුරු බවට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.
TikTok ඔස්සේ ද, මෙම වීඩියෝව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
මෙම වීඩියෝව සත්‍ය වීඩියෝවක් නොවන බවට පිරිසක් හඳුනාගෙන තිබුණ ද මේ සඳහා මාධ්‍ය වෙත මුදාහැර තිබු ඡායාරූපවල දැක්වෙන රුප රාමු යොදාගැනීම හේතුවෙන් ඇතැම් පිරිස් මෙය සත්‍ය සිදුවීමක් ලෙස ද අනුමාන කර තිබුණා.
එමෙන් ම ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කළ පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් බවට ඇඟවෙන අයුරින් සමාජ මාධ්‍ය සටහන් ද, උපහාසාත්මක කෝණයෙන් පළ වී තිබුණේ මේ අයුරින්.
තවත් එවැනි සටහන් රැසක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb
එමෙන් ම මෙම සැකකරු මන්ත්‍රීවරයා බවට උපකල්පනය කළ පිරිසක් ද සිටින බව එම සමාජ මාධ්‍ය සටහන්වල දක්වා ඇති අදහස් ඔස්සේ ද පෙනී යනවා.
එබැවින් අප මෙම සිදුවීම සම්බන්ධව සහ එහි ඝාතකයා සම්බන්ධයෙන් නිවැරදි කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය වීඩියෝව AI වීඩියෝවක්!
ගණේමුල්ල සංජීව ඝාතනය සිදුවීමෙන් පසු සැකකරු සොයා සිදු කර මෙහෙයුමේදී ඊයේ(19) සවස් යාමය වන විට ඔහු අත්අඩංගුවට පත් වන අවස්ථාවේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූවා.
ඒ පිළිබඳව ඉහත පරිදි මාධ්‍ය සටහන් රැසක් පළවූ අතර එම ඡායාරුප යොදාගනිමින් මේ ආකාරයේ සමාජ මාධ්‍ය සටහන් ද නිර්මාණය වී තිබුණා.
මෙම සටහන්වල දැක්වෙන ඡායාරූපයේ සැකකරු සිනාමුසු මුහුණින් සිටින අයුරු සමාජයේ අවධානයට පත් වූ අතර ඒ සම්බන්ධයෙන් නොයෙකුත් දෙනා නොයෙකුත් අදහස් පළ කළ අතර ඉන් පසුව ඊයේ(19) රාත්‍රියේ දී වයිරල් වූ වීඩියෝව සංසරණය වූයේ එම සැකකරු සමගින් අත්අඩංගුවට පත් වීමේ මෙහෙයුම සිදු කළ නිලධාරීන් සමග කුළුපගව කතා කරන අයුරුයි.
ඉහත දැක්වෙන ආකාරයේ වීඩියෝවක් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කර නොතිබුණු බැවින් හා එම වීඩියෝව ඉහත ඡායාරූපය අනුසාරයෙන් AI තාක්ෂණය ඔස්සේ වීඩියෝවක් නිර්මාණය කර ඇති බව, මෙසේ නිර්මාණය කරන වීඩියෝ පිළිබඳ දැනීමක් තිබෙන ඕනෑම අයෙකුට පහසුවෙන්ම හඳුනා ගැනීමට පුළුවන්.
අදාළ වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවට හඳුනාගත හැකි ලක්ෂණ වන නිලධාරීන්ගේ අසාමාන්‍ය ලෙස අත් පිහිටීම් වැනි ලක්ෂණ, සැකකරු ඇඳ සිටින කමිසයේ අත මුල් අවස්ථාවේදී කොට වී පසු රූප රාමුවක කමිස අත දික් වී තිබීම, එමෙන්ම පසුබිමින් සැකකරු සිටින වාහනය ධාවනය වන අයුරුත්, STF නිලධාරින් වාහනයේ දොර ඇර බිම සිටින අයුරුත් එකම අවස්ථාවේ දැක ගන්නට ලැබේ.
එසේම මෙය වැඩිදුරටත් පරීක්ෂා කිරීමට AI හඳුනාගැනීමේ මෙවලමකට අප මෙම වීඩියෝව යොමු කළ අතර එහිදී ද, මෙය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවට තහවුරු වුණා.
අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, ඉහත වීඩියෝව සත්‍ය අවස්ථාවේ වීඩියෝවක් නොවන බවයි.
මන්ත්‍රී අර්චුනා ගැන හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන්
මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අදාළ සැකකරු බවට බොහෝ දෙනා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබූ නමුත් මෙවැනි බරපතල සිදුවීමක් සම්බන්ධයෙන් බොහෝ පුවත් හුවමාරුවන අවස්ථාවක අදාළ ඝාතනය සිදුකළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට සඳහන් කිරීම එක්තරා ආකාරයක පුද්ගල චරිතයකට හානියකි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර තමාගේ ඡායාරූපය අදාළ සැකකරු බවට හුවමාරු වන ඡායාරූප සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ද, උපහාසාත්මක කෝණයෙන් සිය ෆේස්බුක් පිටුවේ අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
එවැනි තව ත් සටහන් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
එමෙන් ම මෙම ඝාතනය සිදුවීමෙන් පසු ඊයේ(19) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අර්චුනා විසින් තමන් ට අවම වශයෙන් මහජන සැසිවාරවලදීවත් පොලිස් ආරක්ෂාව ලබා දෙන ඉල්ලා සිටියේ මෙලෙසින්.
මීට පෙර අවස්ථා කිහිපයකදී ත්, ඔහු තමන්ට ආරක්ෂාව සපයන ලෙස පාර්ලිමේන්තුවේදී ඉල්ලීම් සිදු කර තිබුණා.
කෙසේ වෙතත් අදාළ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියේ සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් නොවන බව තහවුරු වනවා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයක් භාවිත කරමින් සිද්ධියට අදාළ සැකකරුගේ ඡායාරූපයක් ද, සංස්කරණය කරමින් තවත් සටහනක් උපහාසාත්මක කෝණයෙන් පළ කර තිබුණේ මේ අයුරින්.

ගණේමුල්ල සංජීව ඝාතනය
සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට ඊයේ(19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණේ, රට තුළ පවතින ආරක්ෂාව පිළිබඳව සමාජ කතිකාවක් නිර්මාණය කරමින්.
කොළඹ නගරයේ දැඩි ආරක්ෂාව යොදවා ඇති ප්‍රදේශයක, පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂාවට යොදවා ඇති මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීමක් සිදුවීම තුළ මෙම ඝාතනය සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිවී තිබෙනවා.
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05දී රිමාන්ඩ් දීර්ඝ කිරීමට නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවත්, නීතිඥවරයකු ලෙස පැමිණි වෙඩික්කරු ගනේමුල්ල සංජීව නැමැත්තා විත්තිකූඩුවට ගොඩවූ පසු නීතිඥයෙක් ලෙස නැගී සිට සංජීව නැමැත්තා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර වෙඩික්කරු පළාගොස් තිබෙනවා.
විදෙස්ගතව සිටි ගණේමුල්ලේ සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නේපාලයේ කත්මන්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් , 2023 සැප්තැම්බර් 13 වන දා කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුවිය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්, මේ අයුරින් සහ මේ අයුරින්.
ගණේමුල්ල සංජීවගේ ඝාතකයා කවු ද?
ගණේමුල්ලේ සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න යන පුද්ගලයා ඝාතනය කිරීමෙන් පසු ඊයේ (19) දිනයේ දීම මෙම ඝාතනය සිදුකළ පුද්ගලයාගේ දර්ශණ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. එනම් එම පුද්ගලයා නීතීඥයෙක් ලෙස අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට ඇතුළු වන ආකාරය එම රූපරාමුවල දැකගත හැකිය.
අනතුරුව ඊයේ(19) සවස් වන විට මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු, එනම් මෙහි ඝාතනය සිදුකළ වෙඩික්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ප්‍රකාශ කරනු ලැබුවා.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, පුත්තලම පාලවිය ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහු වයස අවුරුදු 34ක් වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නම් පුද්ගලයෙක් බවයි.
පසුව මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් ඔහු සන්තකයේ හැඳුනුම්පත් කිහිපයක් සහ ව්‍යාජ නීතීඥ හැදුනුම්පතක්ද තිබී හමුවූ බවයි.
සැකකරු මොහොමඩ් අස්ලාන් ෂෙරිෆ්ඩීන් යන නාමයත්, සමිඳු දිල්ශාන් පියුමංග කඳනාරච්චි යන නමත්, ඔහු විසින් සකස්කරගෙන තිබූ නීතීඥ හැඳුනුම්පතේ කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නමත් භාවිත කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේ.
තවද, මෙම ඝාතනයට සහය ලබාදුන් බවට සැකකෙරෙන නීතීඥවරියක ලෙස ව්‍යාජව පෙනීසිටි කාන්තාව සම්බන්ධයෙන්ද මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගෙන ඇති බවත්, ඇයවද කඩිනමින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට සැකකරු රැගෙන ඒමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය සිදුකළ ආකාරය
මෙම ඝාතනය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් ඊයේ(19) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ, වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා නීතිඥවරයෙකු ලෙස වෙස්වලා ගෙන හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති අතර ඔහු කිසිදු පරීක්ෂාවකින් තොරව අධිකරණ භූමියට පැමිණ තිබෙන බවයි.
ඉන් අනතුරුව නීතිඥවරියක ලෙස වෙස්වලා ගෙන සිටින කාන්තාවකගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මෙම ගිනි අවිය අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය නමැති ග්‍රන්ථය තුළ සූක්ෂම ආකාරයෙන් රඳවා ගෙන ආ බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පවසනු ලැබුවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගණේමුල්ල සංජීව විත්ති කූඩුවේ සිට ඉන් බැසීමට ආසන්න අවස්ථාවේදී මෙම සැකකරු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ කණ්ඩායම් 5ක් මේ පිළිබඳව විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පවසනු ලැබුවා.
ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුවීම
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙරටේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් පවතින බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අවධාරණය කළේ, දිනපතා ම මිනී මැරුම් සිද්ධ වෙන බවත් මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරමින් ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, පාතාලය මර්දනය කිරීම සඳහා පියවර ගණනාවක් ගෙන ඇති බවත් ඒවා සියල්ල පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි බවත්ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“පාතාල කටයුතු ගැන ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරනවා. ඒ නිසා අරගනිමින් තිබෙන ක්‍රියාමාර්ග ගණනාවකුත් තිබෙනවා. බැහැයි පාතාලය, කළු සල්ලි, කුඩු ජාවාරම මේකට සම්බන්ධයි. මේකට සම්බන්ධ සමහර අය ලංකාවෙත් නෙමෙයි ඉන්නේ.”
“අපි මේක ඉතාම ගැඹුරින් සලකනවා කියන එක කියන්න කැමතියි.”
“පියවර ගණනාවක් ගෙන තිබෙනවා. සියලු පියවර පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න බැරි වෙයි. නමුත් රජය මේ පිළිබඳව දැඩිව මැදිහත් වෙනවා. පාතාලයට බුරුලක් දෙන්නේ නැහැ.”
ගණේමුල්ලේ සංජීව යනු කවු ද? ඔහුට ඇති චෝදනා මොනවා ද?
මනුෂ්‍ය ඝාතන 16 ක් ප්‍රධාන ගනයේ ආයුධ සන්නද්ධ කොල්ලකෑම් රාශියක් ( කෝටි 7 ක බැංකු කොල්ලයක්ද ඇතුලුව)සහ විශේෂයෙන් කප්පම් ලබා ගැනීම් සහ පුද්ගලයන් ත්‍රාසද්ග්‍රහණයට ලක්කිරීම් මෙන්ම ප්‍රධාන පෙලේ මත්ද්‍රවය ජාවාරම් කරැවෙකු ලෙසත් ඔහු ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදු කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීවගේ ඉතිහාසය පිළිබඳ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස් බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙන අතර එම සටහන මෙතනින් කියවිය හැකි ය. Archived Link
BBC සිංහල ලිපියක වාර්තා කර ඇති පරිදි ගණේමුල්ලේ සංජීවට ඇති චෝදනා මෙසේ ය.
- 2009.02.16 වන දා රුපියල් 75,000ක් කොල්ලකෑම සම්බන්ධ චෝදනා.
- 2016 මාර්තු මාසයේ බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට T56 ගිනිඅවියකින් වෙඩි තබා බන්ධනාගාර නිලධාරින් ඝාතනය කිරීමට තැත් කිරීම සහ එහි ගමන් කළ දෙමටගොඩ චමින්ද නමැති සැකකරුවෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
- 2017.04.08 වන දා ගම්පහ පොලිස් වසමේදී ස්වයංක්‍රීය ගිනිඅවියක් යොදා ගනිමින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම.
- 2010 සැප්තැම්බර් මාසයේදී රුපියල් හය කෝටි තිස් දෙලක්ෂ අසූ හතර දාස් පන්සියයක් කොල්ලකෑමට ආධාර අනුබල දීම.
- 2013 වසරේ හෙරොයින් මිලිග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට පත්වීම.
- 2016.12.24 වන දා වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම.
- 2017 ඔක්තෝබර් මාසයේදී T56 ගිනිඅවි තුනක් සහ පතුරම් ගැබ් 7ක් මෙන් ම උණ්ඩ 168ක් සන්තකයේ තබා ගත් බවට චෝදනා එල්ල වී තිබීම.
- 2018 වසරේදී අම්පේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම.
- 2018 සැප්තැම්බර් මාසයේ T56 ගිනිඅවියකින් වෙඩි තබා කාන්තාවක ඝාතනය කිරීම සහ ඇගේ වයස අවුරුදු 13ක් වූ දියණියට බරපතළ තුවාල සිදු කිරීම.
- 2019 ජූනි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ගණේමුල්ලේ සංජීවට චෝදනා එල්ල වී ඇත.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:ගණේමුල්ලේ සංජීව ඝාතනයේ සැකකරු ගැන වයිරල් වන පොස්ට්වල ඇත්ත කතාව!
Fact Check By: Piumika LakshaniResult: Misleading
