Update 03/19/25 :
මහින්ද රාජපක්ෂ මහතා තම ඉවත් කළ ආරක්ෂකයින් නැවත අනුයුක්ත කරන ලෙස ශ්‍රේෂඨාධිකරණයේ ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයකින් තොරව නිෂ්ප්‍රභා කර තිබේ.
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සංජීව කුමාර සමරරත්න නැතහොත් ‘ගනේමුල්ල සංජීව’, අරුන විදානගමගේ නැතහොත් ‘කජ්ජා’ නමැති අන්වර්ත නාමයෙන් හැඳින් වූ පුද්ගලයන් ඝාතනය වීමෙන් පසු මන්ත්‍රීවරුන් ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් නැවතත් මේ දිනවල කතා බහට ලක් වන කරුණක්. මේ ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහන් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත් කළ ආරක්ෂකයින් නැවතත් රාජකාරියට කැඳවයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වූයේ මේ අයුරින්.
Facebook | Archived Link Facebook | Archived Link
මේ අතර පාර්ලිමේන්තුවේ 224ටම යළි පොලිස් ආරක්ෂාව ලබා දුන් බව ට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, පුවත් වාර්තා කර තිබුණේ මේ අයුරින්.
ඇතැම් වෙබ් අඩවි ද, මේ පිළිබඳ වාර්තා කර තිබුණේ මේ අයුරින්.
මෙම සටහන් වල නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් සංඛ්‍යාව 67ක් දක්වා අඩු කිරීමට වැඩබලන පොලිස්පතිවරයාගේ අණින් සිදු කිරීමට පසුගිය දෙසැම්බර් මස ආසන්නයේ දී පියවර ගෙන තිබුණා.
ඒ, හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව කළ තක්සේරුවකින් අනතුරුවයි. එමෙන් ම පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු විට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා ඉවත් කිරීම සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටියා.
වත්මන් රජය විසින් ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද, ගොනු කර තිබූ අතර එම පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය පෙබරවාරි 6 වන දා නියම කර තිබුණා.
ආරක්‍ෂක අමාත්‍යාංශය
මේ හේතුවෙන් මාර්තු මස 19 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම කැඳවීමට පෙර, නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත් කළ ආරක්ෂකයින් නැවත සේවයේ පිහිටුවා ඇත් ද, යන්න පිළිබඳ අප ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ, එය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බව ත්, මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බව ත් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
එමෙන් ම මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගෙන් ද, අප විමසීමක් කළ අතර, ඒ මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත් කළ ආරක්ෂකයින් රාජකාරියට කැඳවා ඇති බව ට පළ වන පුවත් අසත්‍ය බව යි.
මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතාගෙන් ද, මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බව ත්, මෙතෙක් එවැනි තීරණයක් සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර නොමැති බව ත්, පවසා සිටියා.
ජනාධිපති නීතිඥ අලි සබ්රි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගෙන් ද, රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ඉවත් කළ නිලධාරීන් ගණන සේවයේ පිහිටු වීමේ අධිකරණ තීරණය සම්බන්ධයෙන් අප විමසා සිටියා.
ඒ මහතා පැවසුවේ, නැවත පෙත්සම කැඳවනතුරු ඒ සම්බන්ධ තීරණයක් ගත් බව අධිකරණය විසින් ද, දැනුම් නොදුන් බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සඳහා ද ආරක්ෂාව සලසා දම සඳහා පොලිස් නිලධාරීන් ලබාදීමට කටයුතු කළ බව ට දක්වා තිබීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
මෙහිදී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ද, සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා සඳහා පොලිස් ආරක්ෂාවක් ලබා දීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව සැපයීමට ඉල්ලීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට වරින් වර ඉල්ලීම් සිදු කළ බව ත් මේ හේතුවෙන් ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කථානායක ජගත් වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා වෙත පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ට දෙරණ මාධ්‍ය ජාලය විසින් සිදු කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූ බවට ඔවුන් වාර්තා කර තිබෙනවා.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තියේ වෙනසක් සිදුව නොමැති බව සඳහන් කරමින්, ඒ මහතා පවසා ඇත්තේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ත්, ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් සිදුකර නොමැති බව ත්, අදාළ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජන පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදුකර ඇති බවයි.
එම වාර්තා සලකා බලා අවශ්‍ය නම් පමණක් අදාළ මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව ත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මන්ත්‍රීවරුන්ගේ නිවාස සහ ඔවුන් සහභාගී වන උත්සව සඳහා පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ බවට එම පුවත් ලිපියේ දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link
පසුගිය 19 වන දා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ සංජීව කුමාර සමරරත්න නැතහොත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනයට ලක් වීමෙන් පසු රටේ සිදුවූ ඝාතන රැල්ලෙන් පසු මෙලෙසින් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබුණා.
Also Read : ගණේමුල්ලේ සංජීව ඝාතනයේ සැකකරු ගැන වයිරල් වන පොස්ට්වල ඇත්ත කතාව!
ගණේමුල්ලේ සංජීව ඝාතනයට සම්බන්ධ වූ සැකකාරිය අත්අඩංගුවට ගත්තා ද?
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත් කළ ආරක්ෂකයින් නැවතත් රාජකාරියට කැඳවූ බවට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 224ටම පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් අසත්‍ය බවට ආරක්ෂක අමාත්‍යංශය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු අදාළ පාර්ශවයන් විසින් තහවුරු කර සිටින බවයි.

Title:මහින්ද රාජපක්ෂගේ ඉවත් කළ ආරක්ෂකයින් නැවතත් රාජකාරියට කැඳෙව්ව ද? මන්ත්‍රීවරුන් සියල්ලට ආරක්ෂාව සැපයීමේ තීරණයක් ?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
