දඩ සංශෝධනයක් සම්බන්ධයෙන් ඇල්ල ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කළ නිවේදයක් ද?

Missing Context Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

යහපත් අරමුණකින් වුවද, සමාජය දැනුවත් කරමින් තොරතුරු ඉදිරිපත් කිරීමේදී තහවුරු වූ සත්‍ය තොරතුරු පමණක් ම ඉදිරිපත් කිරීම කළ යුතු වන්නේ, ඇතැම් අවස්ථාවල එම තොරතුරු වලද නොමග යන කරුණු ඇතුළත්ව තිබිය හැකි බැවින්. ඒ ආකාරයෙන් පළ වූ ඇල්ල ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් පළවූ සමාජ මාධ්‍ය සටහනක සත්‍ය කරුණු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඇල්ල ප්‍රාදේශීය සභාව විසින් මාර්ගය දෙපස නවත්වන බස් රථ සඳහා පැයක් සඳහා රුපියල් 500 ක ලඳු පතක් මෙන් ම, ඇල්ල අවට සියලුම සංචාරක ස්ථාන හා එ අවට මාර්ග දෙපස කැළිකසළ දමන අයවලුන්ට රුපියල් 1000 සිට 100,000 දක්වා වන දඩයක් නියම කිරීමට පියවර ගන්නා බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ මෙලෙසින්.

ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත් කුඹල්වෙල – හල්පේ පාර, ඇල්ල – නමුණුකුල පාර, මිල්ලගම හරහා ආරුක්කු නවය පාර, ඇල්ල බිංගෙය අසලින් ආරුක්කු නවය පාර හා අනෙකුත් පොදු රථ ගාල් හැර මාර්ග දෙපසින් නවත්තන සියලු ම බස් රථ වලින් පැයක් සඳහා රුපියල් 500 ක ලඳු පතක් කඩනු ලැබේ. එය වලංගු වන්නේ පැයක කාලයකට ආදාල ප්‍රාදේශයට පමණක් බව දන්වා සිටිමු. 

එමෙන්ම ඇල්ල අවට සියලුම සංචාරක ස්ථාන හා එ අවට මාර්ග දෙපස කැළිකසළ දමන අයවලුන්ට රුපියල් 1000 සිට 100,000 දක්වා වන දඩයක් නියම කිරීමට මේ වෙන විට ආරක්ෂක අංශ සමග සාකච්ඡා කරමින් සිටිමු. 

ඉහත කරුනු මාර්තු මස සිට ආරම්භ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

ඇල්ලට හා එ් අවට සංචාරය කරන ඔබ කුණු කසළ බැහැර කිරීමෙන් වැළකී සිටින මෙන් ඉල්ලා සිටිමු. මේ සංචාරක ස්ථාන රැක ගැනීම අප කාගෙත් යුතුකමක් වන්නේය

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන් වල නිරවද්‍යතාව විමසා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට අප තීරණය කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඇල්ල යනු වර්තමානයේ සංචාරක කර්මානතයත් සමග සීග්‍රයෙන් ප්‍රසිද්ධියට හා දියුණුවට පත් වෙමින් පවත්නා ප්‍රදේශයක්. පරිසරයේ ඇති ස්වභාවික පරිසර පද්ධතිය වගේ ම, එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් ඉදිකර ඇති එමෙන් ම ඉදි වෙමින් පවතින නොයෙකුත් ආකර්ශනීය ස්ථාන මෙන් ම, අතීතයේ ඉදිකර ඇති දේශීය හා විදේශීය සංචාරකයන්ගේ දැඩි ප්‍රසාදයට හා නැරැඹීමට උත්සුක වන ඇල්ල නගරයේ ප්‍රධානතම සංචාරක ඉසව්වක් වන දෙමෝදර ආරුක්කු නවයේ පාලම වැනි ස්ථාන කරා ද දිනපතා පැමිණෙන සංචාරකයින්ගේ අඩුවක් නොවේ.

කෙසේ වෙතත් මෙලෙසින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා නවාතැන් ගැනීමේ පහසුකම් සැලසීමට නොයෙකුත් ස්ථාන ඇතත්, වාහන ගාල් කිරීමේ පහසුකම් නොමැති ව මහ මාර්ගය පුරා වාහන ගාල් කිරීම සුලබව දක්නට ලැබෙන අතර මෙය එම ප්‍රදේශය හරහා ගමනා ගමනය යෙදෙන්නන්ට බාධා ඇති කර තිබෙනවා. 

එමෙන් ම නිසි ක්‍රමවේදයකින් පරිබාහිරව සංචාරකයින් විසින් පරිසර පද්ධතියට තැනින් තැන එකතු කරන කුණුකසල ද, එම ප්‍රදේශ වාසීන්ට ද, විශාල තර්ජනයක් වී ඇති බව ත්, නොරහසක්.

මේ සඳහා නිසි ක්‍රමවේදයක් සැලසීම අරමුණු කොට ගෙන ඇල්ල ප්‍රාදේශීය සභාව විසින් ලබන මාර්තු 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ව ඇති බවට පෙන්වා දී තිබූ ඉහත සටහනේ දැක්වෙන කරුණුවල සත්‍යතාව පිළිබඳ අප ඇල්ල ප්‍රාදේශීය සභාව විසින් විමසා බැලීමට කටයුතු සිදු කරනු ලැබුවා.

ඒ අනුව, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාලේකම්වරියගෙන් අප කළ විමසීමේදී ඇය සඳහන් කළේ, ඉහත සටහනින් යහපත් අරමුණකින් ඉදිරිපත් කර තිබුණ ද, එය ඇල්ල ප්‍රාදේශීය සභාව විසින් සිදු කළ දැනුම් දීමක් නොවන බව ත්, එය නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් බවයි. එමෙන් ම ඉහත සටහනේ දැක්වෙන පරිදි, වාහන මහ මාර්ගයේ තැනින් තැන ගාල් කිරීම මෙන් ම කැළිකසළ තැන් තැන්වල දැමීම වැනි ගැටලු එම ප්‍රදේශයේ ඇති බව ත්, ඒ ගැන සැලකිල්ලට දක්වමින් මේ වන විට සාකච්ඡා පවත්වමින් ඇති වූවත්, තවමත් ඒ සඳහා නියමිත දඩ මුදල් හෝ වාහන ගාල් කිරීමේ ලදු පත් වල මුදල් සම්බන්ධයෙන් හෝ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් වාහන ගාල් කිරීමේදී ඒ සඳහා නියමිත ඉඩකඩක් නොමැති වීම වැනි ප්‍රායෝගික ගැටලු වලට මුහුණ දී ඇති බව ත්, නමුත් ඒ සඳහා කඩිනමින් පිළිතුරු සොයා ඒ සඳහා ක්‍රම වේදයක් සැකසීමට නියමිත බව ත්, ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් ඉහත සටහනේ පෙන්වා දී ඇති දඩ මුදල් ප්‍රමාණය ද, අසත්‍ය බව ත්, නමුත් පළාත් පාලන ආයතනය සතු බලතල අනුව මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බව ත්, වෙනත් රථ ගාලවල් සඳහා අය කරන මුදල් ගැසට් කර ඇති අතර ඒවා ද සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් සමගින් නිසි දඩ මුදල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ඇල්ල ප්‍රාදේශීය සභාව විසින් කටයුතු කිරීමට පියවර ගන්නා බව ත්, ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඒ වගේ ම අප මේ පිළිබඳ ව එම ප්‍රදේශයේ සංචාරක මඟ පෙන්වන්නන් කිහිප දෙනෙකුගෙන් ද, විමසීමක් කරනු ලැබුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඉහත සඳහන් සටහනේ දැක්වෙන අයුරින් දැනුවත් කිරීමක් ඇල්ල ප්‍රාදේශීය සභාවෙන් ඔවුන් වෙත සිදු කර ඇත්ද යන්න පිළිබඳ අප විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ එවැනි දැනුවත් කිරීමක් මෙතෙක් ප්‍රාදේශීය සභාව විසින් සිදු කර නොමැති බවයි. 

කෙසේ වෙතත් මේ වන විට එම ප්‍රදේශයේ සංචාරයකින් රැගෙන එන බස් රථ ප්‍රමාණය ද, වැඩි වී ඇති අතර සංචාරකයින් විසින් නිසි පරිදි කැළිකසළ බැහැර නොකිරීම හේතුවෙන් මහ මාර්ග අවට බොහෝ සංචාරකයින් මෙන් ම, ප්‍රදේශ වාසින් මෙන් ම පාලන ආයතන ද, අපහසුතාවයට පත් වී ඇති බවයි. ඒ හේතුවෙන් දඩයක් නියම කරමින් හෝ මේවා පාලනය විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පෙන්වා දිය හැක්කේ ඉහත සටහන නොමග යවන සුළු බවයි.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :ඇල්ල ප්‍රාදේශීය සභාව විසින් මාර්ගය දෙපස නවත්වන බස් රථ සඳහා පැයක් සඳහා රුපියල් 500 ක ලඳු පතක් මෙන් ම, ඇල්ල අවට සියලුම සංචාරක ස්ථාන හා එ් අවට මාර්ග දෙපස කැළිකසළ දමන අයවලුන්ට රුපියල් 1000 සිට 100,000 දක්වා වන දඩයක් නියම කිරීමට පියවර ගන්නා බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යවන සුළු වේ. ඇල්ල ප්‍රාදේශීය සභාව විසින් එවැනි තීරණයක් ගෙන නොමැති බව ත්, එමෙන් ම එම සටහන එම සභාව විසින් ඉදිරිපත් කළ සටහනක් නොවන බව ඔවුන් පවසයි. නමුත් එම සටහනේ පෙන්වා දෙන පරිදි එම ක්‍රියාවන් සඳහා අදාළ දඩ මුදල් සම්බන්ධයෙන් ඉදිරියේදී පවත්නා දඩ මුදල් සංශෝධනය කරමින් ගැසට් කිරීමට බලාපොරොත්තු වන බව ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභා ලේකම්වරිය සඳහන් කළා.

Avatar

Title:දඩ සංශෝධනයක් සම්බන්ධයෙන් ඇල්ල ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කළ නිවේදයක් ද?

Fact Check By: Pavithra Sandamali 

Result: Missing context


Leave a Reply

Your email address will not be published. Required fields are marked *