ගෑස් උදුන් නඩත්තුව පරීක්ෂා කරන ලෙස නිවෙස්වලට පැමිණෙන මංකොල්ල කණ්ඩායමක් ගැන පළ වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව! 

Misleading Social

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නිවෙස් වලට පැමිණ මංකොල්ල කෑම් සිදු කරන කණ්ඩායම් හෝ පුද්ගලයන් පිළිබඳ සිදුවීම් වරින් වර අසන්නට ලැබේ. නමුත් මෙවැනි කණ්ඩායම් හෝ පුද්ගලයන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් වල නිරවද්‍යතාවයක් තිබෙනවා ද යන්න පිළිබඳ බොහෝ දෙනා සැලකිල්ලක් නොදක්වමින් මේවා බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගනු ලබනවා. 

ඇතැම් අවස්ථාව වල සමාජය දැනුවත් කිරීම මේවා හුවමාරු කර ගන්නා සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ අරමුණු වූවත් මේ ඔස්සේ බොහෝ නොමග යවන සුළු තොරතුරු ජනගත වී අනිසි බියක් ඇති විය හැක. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

LPG GAS සමාගමක නම සඳහන් කරමින්, සමාගමේ ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් ගෑස් උදුන් නඩත්තුව පරීක්ෂා කිරීමට පැමිණි බව පවසමින් මංකොල්ල කණ්ඩායමක් සම්බන්ධයෙන් ප්‍රවේශම් වන ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් WhatsApp ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

 

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ ද, පළ වී තිබුණේ මේ අයුරින්.

 

Facebook | Archived Link

මෙහි සත්‍යද යන්න අපගේ පාඨකයින් බොහෝ දෙනෙකු අපගෙන් විමසීම් කළ අතර මේ පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

මීට පෙර, වසර ගණනාවක සිටම සංවිධානාත්මක ලෙස ලංකාවේ සිදුවන අපරාධ ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අපගේ කරුණු විමර්ෂණ කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉහත මංකොල්ල කෑම් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා නොමැත

ඉහත සටහනේ පෙන්වා දෙන ආකාරයේ මංකොල්ලකෑම් රැල්ලක් සිදුවීම් ඇත්නම් ඒ පිළිබඳ මාධ්‍ය ධාරා වාර්තා කර තිබිය යුතු බැවින් අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් මෙවැනි පුවතක් වාර්තා කර ඇත්දැයි යන්න පරීක්ෂා කළ අතර ඒ ආකාරයෙන් පුවතක් පළ වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

ඉන්පසුව අප එවැනි සිදුවීම් වලට මෑතක දී මුහුණ පා ඇති පිරිස් ඇත්නම් ඔවුන් එ් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම් සිදු කර ඇත්දැයි යන්න පිළිබඳව ද, “Key words” හරහා පරීක්ෂා කළත්, එලෙසින් මුහුණ පෑ තම අත්දැකීම් සමාජ මාධ්‍ය සටහනක හෝ පළ කරපු කිසිවෙකු හෝ සොයා ගැනීමට නොහැකි විය.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය

මේ හේතුවෙන් අප මෙවැනි මංකොල්ල කණ්ඩායමක ක්‍රියාකාරකමක් වී ඇති බවට පොලීසිය වෙත පැමිණිලි ලැබී ඇත්දැයි යන්න පිළිබඳ  පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් ද, විමසීමක් සිදු කළා.

ඔවුන් පවසා සිටියේ ඉහත සඳහන් ලෙස සංවිධානාත්මක අපරාධයක් වී ඇත්නම් ඒ බව පොලීසිය වෙත වාර්තා විය යුතු බව ත්, නැතහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වාර්තා විය යුතු බව ත්, මෙතෙක් එවැනි තොරතුරක් ඔවුන් වෙත වාර්තා කර නොමැති බව ත් ය.

ලිට්රෝ ගෑස් ලංකා

ඉහත සටහන සඳහා LPG ගෑස් සමාගමක් බවට පවසමින් ව්‍යාජ කණ්ඩායමක් විසින් සිදු කරන බවට දක්වා තිබීම හේතුවෙන් අප මේ පිළබඳව ශ්‍රී ලංකාවේ ගෘහස්ත ගෑස් වෙළඳපොලේ වැඩි කොටසකට හිමිකාරිත්වයක් ඇති, මෙරට විශාලතම LPG ආනයනකරු සහ බෙදාහරින්නා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ ඉහළ කළමණාකාරීත්වයෙන් ද, මෙම සටහන සම්බන්ධයෙන් විමසා සිටියා.

ඔවුන් පවසා සිටියේ, ඉහත සටහනේ දැක්වෙන පරිදි නිවෙස් වලට පැමිණ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් සඳහා එම සමාගම සෘජුව හෝ වක්‍රව සිදු නොකරනු බවයි. එය එසේ සිදුවනවා නම් කිසි සේත්ම එය මෙම නිල සමාගම විසින් සිදු නොකරන කටයුත්තක් බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ, ⁠අනවසර පුද්ගලයින් හෝ කණ්ඩායම් හෝ ආයතන විසින් ලිට්‍රෝ ගෑස් නාමය, වෙළඳ නාමය, ලාංඡනය, අලෙවිකරණ ද්‍රව්‍ය,LPG ආරක්ෂාව සම්බන්ධ කටයුතු කරන බවට පවසමින් පෙනි සීටීම සම්පූරණයෙන් තහනම් බවයි.

ඉන්දියාවේ මේ ආකාරයෙන් ගෑස් කාර්මිකයන් ලෙස පෙනී සිටිමින් වංචාවන් 

මෙවැනි කතාවක් පැතිර යාමට හේතු විය හැකි කරණා සම්බන්ධයෙන් අප වැඩි දුරටත් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ 2019 වසරේ සැප්තැම්බර් මස දී මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි.

LPG සවිකිරීම් පරීක්ෂා කිරීම සඳහා ගෑස් ඒජන්සියේ කාර්මිකයන් බවට පෙනී සිටිමින්, ගෑස් කාන්දු ඇත්නම් ඒවා පරීක්ෂා කරන බවට දක්වමින් ඇතැම් පුද්ගලයන් එම ප්‍රදේශයේ සැරිසරා ඇති අතර එලෙසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පරීක්ෂා කිරීමේ ගාස්තු අය කර ගත් පුද්ගලයන් සම්බන්ධ වාර්තා වී ඇති බවට The Times of India මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

මෙලෙසින් මුදල් ගෙවූ ඇතැම් නිවැසියන්ට සැක සිතී මේ පිළිබඳ එම ගෑස් ඒජන්සි සමගින් පරීක්ෂා කිරීමේදී ඒ ආකාරයෙන් එම ඒජන්සි විසින් කිසිදු කාර්මිකයන් එවා නොමැති බව එම සමාගම් විසින් පවසා තිබේ.

කෙසේ වෙතත් මේ ආකාරයේ සිදුවීම් වාර්තා වූවත්, මේ හරහා නිර්වින්දිත භාවිත කර ගෙවල් මංකොල්ල කෑම් සිදුව ඇති බවට එහිදී හෝ වාර්තා වී නොමැත.

ගෑස් සිලින්ඩර ආරක්ෂාව

LPG රෙගියුලේටරය සෑම වසර 5කට වරක් මාරු කළ යුතු බව සාමාන්‍යයෙන් සැලකෙන අතර ගෑස් නලය වසර 2කට වරක් මාරු කළ යුතු බව  Litro Gas වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

 

litrogas

ගෑස් කාන්දුවක් සිදුවන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ලෙස ඔවුන් දක්වන්නේ පහත ක්‍රියාපිළිවෙළ වේ.

ගෑස් උදුන ක්‍රියා විරහිත කරන්න. සියලු ගිනිදැල් නිවා දමන්න. 

රෙගියුලේටරය අක්‍රිය (OFF) කර සිලින්ඩරය වෑල්වයෙන් ගලවා ඉවත් කරන්න. 

සිලින්ඩර වෑල්වයට ඒ සමග අමුණා ඇති ආරක්ෂිත වැස්ම සවිකොට ගොඩ නැගිල්ලෙන් පිටත මනා වාතාශ්‍රයක් ඇති එළිමහන් ස්ථානයකට ගෙන යන්න. 

සියලු දොරවල් සහ ජනේල විවෘතව කරන්න. 

කිසිදු විදුලි උපකරණයක් හෝ ස්වච්චයක් ක්‍රියාත්මක (ON/OFF) කිරීමෙන් වලකින්න.

ගෑස් කොන්දුව පවතින ස්ථාන හඳුනා ගැනීම සඳහා සිලින්ඩරය, රෙගියුලේටරය, හෝස් බටය, ගෑස් උදුන සහ ඒවායේ සවිකිරීමේ පරීක්ෂා කරන්න. 

රෙගියුලේටරය, හෝස් බටය, ගෑස් උදුනෙහි ගෑස් කාන්දුවක් ඇති බවට සැක කරන්නේ නම්, කරුණාකර ඔබගේ ලිට්‍රෝ ගැස් අලෙවිකරු හෝ පුහුණු කාර්මිකයෙකු අමතන්න. 

මේ සම්බන්ධයෙන් සහය ලබා ගැනීමට හෝ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර දුරකථන අංකය ඔස්සේ ලිට්‍රෝ ගෑස් පාරිභෝගික උපකාරක සේවාව 1311 අමතන්න. 

නැවතත් ගෑස් කාන්දුවීමක් ඇතිවීම වැලැක්වීම සඳහා අවශ්‍ය සියළු පියවර නොගෙන ගැස් සිලින්ඩරය නැවත සවි නොකළ යුතුය.

ගෑස් සිලින්ඩරය භාවිත කිරීම සහ එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ පත්‍රිකා මෙතනින්.

කෙසේ වෙතත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ මෙතෙක් මෙවැනි ක්‍රියාවක් සංවිධානාත්මක අපරාධයක් ලෙස මෙරටින් වාර්තා නොවුනත් පූර්වාරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් වී සිටීමෙන් මෙවැනි අවස්ථාවන් වලින් ගැලවී සිටීමට මං පාදයි.

Also read:

ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල කල් ඉකුත්වන දින සඳහන් කර නැත!

ජංගම දුරකතනය ගෑස් සිලින්ඩර ආසන්නයේ තැබීමෙන් සිදු ව‍ූ ගෑස් පිපිරීමක් නොවේ!

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, LPG GAS සමාගමක නම සඳහන් කරමින්, සමාගමේ ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් ගෑස් උදුන් නඩත්තුව පරීක්ෂා කිරීමට පැමිණි බව පවසමින් ලංකාවේ මේ දිනවල මංකොල්ලකෑම් සිදුකරන සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් සත්‍ය බවට දැක්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිලි පොලිසීය වෙත මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

 

 

 

Avatar

Title:ගෑස් උදුන් නඩත්තුව පරීක්ෂා කරන ලෙස නිවෙස්වලට පැමිණෙන මංකොල්ල කණ්ඩායමක් ගැන පළ වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *