ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන්නා ද?

False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ග වර්තමාන ඩිජිටල් ලෝකය තුළ ප්‍රචලිතව තිබෙනවා. ඒ අනුව ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීමක් සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts)

ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කරයි යනුවෙන් සඳහන් කරමින් ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමි වූ බවට අඟවමින් වීඩියෝවක් ටික් ටොක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

එසේම මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ Crypto Trading ගැන ඉගැන්වීම සිදුකරන බව සඳහන් කරන පුද්ගලයින් රැසක් ම හුවමාරු කරගෙන තිබුණා. 

FB | FB

මෙහි සඳහන්වන ආකාරයෙන් ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණේ ද යන්න අප විමසීමක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට නව ආන්ඩුව යටතේ කැබිනට් අනුමැතිය හිමි වූ බවට පුවතක් මෙරට ප්‍රධාන මාධ්‍ය තුළ වාර්තා කර තිබුණේ ද යන්න පිළිබඳව අප පරීක්ෂා කර බැලූ නමුත් එවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ නෑ.

එබැවින් පසුගිය 24 වන දින කැබිනට් තීරණ  25 වන දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කරන බැවින් අප එම මාධ්‍ය සාකච්ඡාව කෙරෙහි ද අවදානය යොමු කරනු ලැබුවා. නමුත් එවැනි තීරණයක් ගෙන නොමැති බව ද අප කළ විමර්ශණයේදී පෙනීගියා.

අප නව ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව එවැනි තීරණයක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වූයේ ද යන්න පිළිබඳව මීට පෙර කැබිනට් තීරණ පරීක්ෂා කර බැලූ නමුත් ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීමක් සිදුවී නොතිබුණි.

මෙරට විවිධ ක්ෂේත්‍ර ඩිජිටල්කරණය කිරීම කෙරෙහි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සඳහන් වූ බැවින් අප ඒ කෙරෙහි ද අවධානය යොමු කරනු ලැබුවා. නමුත් එහි ඩිජිටල්කරණය කෙරෙහි අවධානය යොමුකර තිබුණ ද ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා මෙරට විවෘත කිරීම සම්බන්ධයෙන් එහි සඳහන් වී නොතිබුණි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය

අප ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ උපදේශකගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ අතර ඔහු අප වෙත තහවුරු කළේ ක්‍රිප්ටොකරන්සි සහ බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට කිසිඳු කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යංශය හරහා ඉදිරිපත් කර හෝ කැබිනට් අමාත්‍ය මණ්ඩලය තුළ ක්‍රිප්ටො සම්බන්ධ කිසිඳු සාකච්ඡාවක් සිදු නොවූ බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා තහවුරු කළ බවයි.

එමෙන් ම ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් මේ වන විට කිසිඳු සාකච්ඡාවක් හෝ ඉදිරි සැලසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී නොමැති බවත්, Freelance සේවය සපයන අයගේ ද ඉල්ලීම මත Pay Pal සඳහා සහයෝගයක් ලබාදීමට මහ බැංකුව සමඟ සාකච්ඡා කර ඊට අදාළ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. 

එනමුත් ක්‍රිප්ටො සම්බන්ධයෙන් කිසිඳු නීතිමය හෝ විධිමත් සාකච්ඡාවක් සිදු නොවූ බව එම මහතා තහවුරු කරනු ලැබුවා.

බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් ක්ෂේත්‍රයන් ගැන මීට පෙර රජයන් ගත් තීරණ

එසේම අප කළ පරීක්ෂාවේදී පෙනී ගියේ 2021 වසරේ ඔක්තෝම්බර් 06 වන දා ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට, එවක සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ ඇමැති නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි. 

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව මෙම යෝජනාව ඉදිපත්ව තිබුණා.

මෙම කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වූයේ දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්‍රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත්, එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත්ය. 

අනතුරුව ඇමැති නාමල් රාජපක්ෂ විසින් 2021 වසරේ සැප්තැම්බර් 08වැනිදා අදාළ කමිටුව නම් කර තිබෙනවා. ඒ අනුව එම කමිටුවට සුජීව මුදලිගේ (සභාපති), විරාජ් දයාරත්න, රජීව බණ්ඩාරනායක, ධර්මශ්‍රී කුමාරතුංග, ජයන්ත ප්‍රනාන්දු, සඳුන් හපුගොඩ, ගුවන් කොමදෝරු (විශ්‍රාමික) ටීජීජේ අමරසේන සහ මිලින්ද රාජපක්ෂ යන සාමාජිකයන් ඇතුලත්ව තිබුණා.

අනතුරුව 2021.11.23 කැබිනට් තීරණ දැනුම්දීමේදී ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අදාළ කමිටු නිර්දේශය 2022 ජූනි මස 30 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට සහ කමිටුවට සහය වීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ කටයුතු කරනු ලබන තවත් තාක්ෂණික වෘතිකයන් දෙදෙනෙකු සාමාජිකයින් වශයෙන් පත්කිරීමටත්, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබාදීමටත්  තීරණය කර තිබෙනවා.

මෙලෙස එවක නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ක්‍රිප්ටොකරන්සි හෙවත් අතථ්‍ය මුදල් (Virtual Currencies) සම්බන්ධයෙන් මෙම යෝජනාව ගෙන එන්නේ ක්‍රිප්ටො පිළිබඳව ලොව පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් පවතිද්දීය.

ක්‍රිප්ටො සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දැනුම්දීම්

2021 සැප්තැම්බර් 24 දින චීන මහ බැංකුව විසින් ක්‍රිප්ටො සම්බන්ධ සියලු ආකාරයේ ගනුදෙනු නීතිවිරෝධී බව ප්‍රකාශයට පත් කිරීමත්, එසේම ක්‍රිප්ටොකරන්සි මයිනින් අධික බලශක්තිය වැය වන කාර්යයක් මෙන්ම අධි ඉලෙක්ට්‍රොනික අපතයක් ජනනයක් කරන්නක් බවත් චීනය එවක  පෙන්වා දී තිබුණා.

2021 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව ද හඳුන්වා ඇත්තේ, ක්‍රිප්ටොකරන්සි(අතථ්‍ය මුදල්) යනු ආරක්ෂාව සහතික කළ නොහැකි අවදානම්සහගත මුදල් ඒකකයක් බවයි. මේ සම්බන්ධයෙන් 2021 අප්‍රේල් 09 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක්ද නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් ආයෝජනය කිරීම හෝ භාවිතා කිරීම සැලකිය යුතු අවදානම් ඇති කරනු ලබන බවත්, ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් භාවිතය, ආයෝජනය හෝ ගනුදෙනු කිරීම සම්බන්ධ නියාමන ආරක්ෂාවක් නොමැති බව එම නිවේදනයෙන් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී ප්‍රධාන අවදානම් ලෙස කරුණු 4 ක් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර තිබෙනවා. 

ඉන් පළමුවැන්න වන්නේ කිසියම් පරිශීලකයෙකු හෝ ගනුදෙනුවක් සම්බන්ධ ගැටළු හෝ ආරවුල් ඇති වුවහොත් පරිශීලකයින්ට හෝ ආයෝජකයින්ට නියාමන හෝ නිශ්චිත නීතිමය මඟ පෙන්වීමක් නොමැති වීමයි. 

දෙවැන්න අතථ්‍ය මුදල් වල වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය වීම එහි සමපේක්ෂනය මත (Speculation) රඳා පවතින අතර එම නිසා අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරිමෙන් විශාල පාඩු ලැබීමේ අවදානමක් පැවතීමයි. 

තුන්වන කරුණ ලෙස මහ බැංකුව පෙන්වාදෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට මුල්‍ය පහසුකම් සැලසීම සදහා අතථ්‍ය මුදල් යොදා ගැනීමේ ඉහල සම්භාවිතාවක් ඇති අතර අපරාධකරුවන් විසින් අනිසි ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය සඳහාද අතථ්‍ය මුදල් භාවිතා කරනු ලැබිමට හැකි වීමයි. 

අවසන් කරුණ ලෙස අතථ්‍ය මුදල් විදේශයන්ගෙන් මිලදී ගැනීම විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය වීමට හේතු වනු ඇතැයි මහ බැංකුව පෙන්වාදෙයි.

එබැවින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය, මෙහෙයුම්, නෛතික, පාරිභෝගික ආරක්ෂාව සහ ආරක්ෂණය සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට අනතුරු අඟවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් එහිදී පවසා ඇත.

“ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළුව අතථ්‍ය මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිදු ආයතනයකට පරිගණක තුලින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට (mining) හෝ, මුලික කාසි නිකුතුවට හෝ අතථ්‍ය මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළෙඳපොළවල් සඳහා හෝ බලය පැවරීමක් කර නොමැති බවද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ“, යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

2021 වසරේ පමණක් නොව 2018, 2022, 2023 යන වසර වලදී ද ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රිප්ටෝ කරන්සිවල ඇති අවදානම අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් 2021 වසරේදී ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා නාමල් රාජපක්ෂ මහතා විසින් එවක පත් කළ කමිටුවේ අවසන් වාර්තාවක් සම්බන්ධ තොරතුරක් අප කළ පරීක්ෂණයේදී සොයාගත නොහැකි විය.

2022, 2023 සහ 2024 වසරේ සියලු කැබිනට් තීරණ දැනුම්දීම් ද අප පරීක්ෂා කළ නමුත් එම වසර තුන පුරා බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි සම්බන්දයෙන් කිසිඳු කැබිනට් තීරණයක් ගෙන නොමැති බව ද අපට පෙනීගියා.

කෙසේ වෙතත් 2021 වසරේදි ද එවක සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ ඇමැති ලෙස නාමල් රාජපක්ෂ ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූවා මිස ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීමක් එහිදී සිදුවී නොතිබුණි.

Cryptocurrency  යනු

Cryptocurrency යනු blockchain ලෙස හඳුන්වන පොදු ලෙජරය මත ක්‍රියාත්මක වන ඩිජිටල් මුදල් ඒකකයකි. එය අතථ්‍ය මුදල් ඒකකයක් ලෙසද හැඳින්වේ.

මෙම මුදල් ඒකක සම්පූර්ණයෙන්ම සංසරණය වන්නේ අන්තර්ජාලය තුළය. මෙය රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වැනි තවත් මුදල් ඒකකයක් වුව ද Cryptocurrency වල හැසිරීම පාලනය කිරීමට බැංකුවක්, පුද්ගලයෙක් හෝ ආයතනයක් නැත.

එය, දිනෙන් දින වැඩිවන මුදල් අවශ්‍යතා පාලනය කිරීම පිණිස නිර්මාණය කර ගන්නා ලද මුදල් ඒකකයකි. Cryptocurrency එයටම අනන්‍ය වූ ජාලයක් තුළ සැරිසරන අතර, මෙම මුදල් වර්ගය පරිහරණය කරනු ලබන්නේ එම ජාලයේ පරිශීලකයන් විසිනි.ලෝකයේ බහුලවම භාවිතා වන මුල් පෙළේ ඩිජිටල් මුදල් ඒකක 10ක් හඳුනාගෙන ඇත. එම මුදල් ඒකක නම්,

(1) Bitcoin (BTC)  

(2) Etheveum (ETH)  

(3) Binance Coin (BriB)  

(4) Tether (USDT)  

(5) Cardano (ADA)  

(6) Dogecoin (DOGE)  

(7) Ripple (XRP)  

(8) Polkadot (Dot)  

(9) Internet (ICT)  

(10) Bitcoin Cash (BCH)  

එදිනෙදා සිදු කෙරෙන මූල්‍යමය ගනුදෙනු පිණිස අවශ්‍ය මුදල් අප බොහෝ විට රඳවා තබා ගන්නේ පසුම්බියකය. එම සරළ අදහස ඩිජිටල්කරණය වී, මෘදුකාංගයකින් නිර්මාණය කළ පසුම්බියක මෙම Cryptocurrency  රඳවා තබා ගත හැකිය. එය ‘ඇප්’ (App) එකක් වන අතර එම සේවාවන් ලබා දෙන ආයතන සහ සංවිධාන මේ වන විට ලෝකය පුරා විශාල ප්‍රමාණයක් ආරම්භ කර තිබේ.ඒ අතරින් සිය ආයෝජන සඳහා විශ්වසනීය ආයතනයක් තෝරා ගැනීම පාරිභෝගිකයා සතු වගකීමකි.

ඉතා සංකීර්ණ ඩිජිටල් තාක්ෂණික ක්‍රියාවලියක් වන Cryptocurrency mining හරහා Cryptocurrency නිර්මාණය කරන ආයතන හෝ පුද්ගලයන් හඳුන්වන්නේ Cryptocurrency miners යන නමිනි. 

Cryptocurrency කිසිම පුද්ගලයෙකුට, බැංකුවකට, ආයතනයකට හෝ සංවිධානයකට අයත් නොමැති වීම මෙහි ඇති විශේෂත්වයය.

Cryptocurrency හි ප්‍රධාන ලෙජරය Block Chain නමින් හඳුන්වනු ලබන අතර එම ජාලය ඇතුළත සිදුවන සියලු ගනුදෙනු මෙම ලෙජරයේ ස්වයංක්‍රීයව සටහන් වේ. මේ හේතුවෙන් ලෝකයේ නන් දෙස සිදුවන Cryptocurrency ගනුදෙනු එහි සිටින සියලු ආයෝජකයන්ට 100% ක්ම විවෘතව දැක ගත හැකිය. නමුත් Block Chain ලෙජරයේ තිබෙන ගිණුම් හිමියන්ගේ විස්තර කිසිදු ආකාරයකින් හෙළිදරවු නොවේ. අන්වර්ථ නාමයක් යටතේ වුවද Cryptocurrency ගිණුමක් පවත්වාගෙන යා හැකිය. මෙම ජාලය Cryptocurrency ගිණුම් හිමියන් හඳුනාගන්නේ එම මෘදුකාංගයට අනන්‍ය වූ විශේෂ ක්‍රමවේදයක් හරහාය.

කිසිම මූල්‍ය ආයතනයක හෝ බැංකුවක සහාය නොමැතිව ලෝකයේ ඕනෑම රටකට ඕනෑම මුදල් ප්‍රමාණයක් සැණින් යැවීමේ හැකියාව Cryptocurrency වල තවත් සුවිශේෂි ලක්ෂණයකි. රටකින් රටකට මුදල් ගෙන්වා ගැනීමේදී හෝ මාරු කිරීමේදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රම සහ නීති රීති Cryptocurrency ගනුදෙනු වලට අදාළ නොවේ. මේ හේතුවෙන් Cryptocurrency වලින් ගනුදෙනු කිරීමේදී කිසිවෙකුට සේවා ගාස්තු හෝ අතිරේක ගෙවීමක් සිදු කළ යුතු නොවේ.

මේ ආකාරයෙන් Cryptocurrency වලින් සිදුවන ගනුදෙනුවක් ආපසු හැරවීමක් නැතහොත් නැවත ඉල්ලා ගැනීමක් කළ නොහැකිය. වැරදි Bitcoin ප්‍රමාණයක් යම් අයකුට ලබා දුන්නේ නම් එම පුද්ගලයා සිය කැමැත්තෙන් නැවත එය ලබා දීමක දී හැර, අන් අවස්ථාවක දී පාඩුව දරා ගැනීමට සිදු වේ.

“වේගයෙන් ආරෝපණය වෙමින් තිරිංග නොමැතිව ධාවනය වන දුම්රියකට” සමාන කර ඇති Cryptocurrency හි ඉහළ යන අගය පිළිබඳ ලෝකයේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා ඇත. මෙහි තිබෙන අවදානම නිසාම Cryptocurrency ආයෝජනය එක්තරා “සූදු කෙළියක්” ලෙසින් ද විග්‍රහ කෙරේ.

බ්ලොක්චේන් තාක්ෂණය යනු


ලොව මේ වනවිට බිහිවී ඇති ඉහලම තාක්ෂණයක් වන “බ්ලොක්චේන් තාක්ෂණය” (BLOCKCHAIN TECHNOLOGY) මේවන විට වඩා ප්‍රචලිතව තිබෙන්නේ අතරමැදියෙකු නොමැතිව රටවල් දෙකක් අතර වුවද මුදල් හුවමාරු කිරීමට ඇති හැකියාව නිසාවෙනි.

බ්ලොක්චේන් එකක් යනු දත්ත ගබඩා කිරීම දම්වැලක ආකාරයෙන් සකස් කොට පරිගණකයක් තුල තැන්පත් කරන ක්‍රමවේදයකි.

මුදල් හුවමාරු දත්ත  බ්ලොක්චේන් එකක ආකාරයෙන් සකස් කිරීම නිසා සැලසෙන විශේෂ වාසි රැසකි.

මින් ප්‍රධානම වාසිය වන්නේ එම දත්ත කිසිඳු ආකාරයෙන් වෙනස්කිරීමට නොහැකි නිසා ඇතිවන දැඩි ආරක්ෂාවයි. රටවල් දෙකක් අතර මුදල් හුවමාරුවේදී ස්විෆ්ට් ක්‍රමය හරහා දින හතක පමණ කාලයක් ගතවුවද මෙමගින් විනාඩි අටකට අඩු කාලයකින් මුදල් වෙනත් රටකට යැවීමේ හැකියාව තිබේ. මෙය ඉදිරි තරඟකාරී විදේශ වෙළඳාමේදී අතිශයින් වැදගත් කරුණකි. අතරමැදියෙකු නොමැතිව මුදල් හුවමාරු කිරීමට ඇති හැකියාව මෙහි ඇති තවත් විශේෂම හැකියාවකි. එමගින් මුදල් හුවමාරුවේදී ඇති වියදම අවම වීම නිසා රටක විදේශ මුදල් සන්චිත වලට ඇතිවන ප්‍රතිලාභය අසීමිත වනු ඇත. මීට අමතරව තවත් වාසි රැසකි.

 ඒවගේම වෙනත් ඕනෑම මුදල් හුවමාරුවකදී මෙන්ම අවාසිද මෙහි තිබේ. නමුත් එම අහිතකර බලපෑම් නැති කිරීම පිණිස අදාළ නීති රීති සම්පාදනය කිරීම වහා වහා සිදුකල කල යුතුව ඇත.    

බ්ලොක්චේන් එකක් යනු මුදල් සංචරණය සලකු විට  “ඩිසෙන්ට්‍රලයිස්ඩ් ඩිස්ට්‍රිබියුටඩ් ඩිජිටල් ලේජරයක්” හෙවත් විමධ්‍යගත බෙදාහරින ලද ඩිජිටල් ලේජරයක් ලෙස ද හැඳින්වේ.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය)

අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට වර්තමාන කැබිනට් අනුමැතියක් ලබාදීම සිදුවී නොමැති බවයි.  ක්‍රිප්ටොකරන්සි සහ බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට කිසිඳු කැබිනට් පත්‍රිකාවක් ඩිජිටල් අමාත්‍යංශය හරහා ඉදිරිපත් කර හෝ කැබිනට් අමාත්‍ය මණ්ඩලය තුළ ක්‍රිප්ටො සම්බන්ධ කිසිඳු සාකච්ඡාවක් සිදු නොවූ බව ද ඩිජිටල් අමාත්‍යංශය තහවුරු කර සිටියි.
ක්‍රිප්ටොකරන්සි හා සම්බන්ධිත ව්‍යාපෘති ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා 2021 දී කමිටුවක් පත්කිරීමට සිදුකරන ලද යෝජනාවට පමණක් අනුමැතිය හිමිව ඇති නමුත්, මීට පෙර රජයන් මඟින් හෝ ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීමක් සිදුවී නොමැත.

Avatar

Title:ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන්නා ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *