දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අද(05) දිනයේ සිදු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබූ අතර එම වර්ජනය අත්හිටුවීමට ඔවුන් පියවර ගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කතා පළ වෙද්දී එම සංගමය විසින් වර්ජනය අත්හිටුවීමට හේතු දක්වමින් නිකුත් කළ නිවේදනයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් හේතුවෙන් බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණා. මෙහි සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (5) දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් එම සංගමය විසින් යොමු කළ නිවේදනයේ ඡායාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වී තිබුණා.
යම්කිසි කඩාකප්පල්කාරී කණ්ඩායමක මැදිහත්වීම හා නිසි අවබෝධයකින් තොරව සූදානම් කරන ලද මෙම වැඩ වර්ජනය නිසා රට තුළ විශාල මහජන කැළඹීමක් හා අප්‍රසාදයක් වෛද්‍යවරුන් වෙත එල්ලවීම තුළිත් අපගේ අභිමානයට හානි වන බව වැටහී ගියායින් පසු පවතින තත්ත්වය තුල මෙම වර්ජනය අත්හිටුවා අඛණ්ඩව සේවය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තීරණය කර ඇති බවට එම ලිපියේ සඳහන් වේ.
වැටුප් පිළිබඳ කතිකාවතක් ඇති වූ වහාම විවිධ දේශපාලන කණ්ඩායම් හා දේශපාලන බලවේග අප තුළ වෛරී සහගත සිතුවිලි උපද්දවා අනියත බියක් ජනිත කිරීම නිසා නිසි සොයා බැලීමකින් තොරව පවතින රජයට විරුද්ධව කටයුතු කිරීමට අප සූදානම් වූ බැවින් එයට සමස්ත වෛද්‍ය නිළධාරීන් වෙනුවෙන් මේ අවස්ථාවේ රජයට හා මේ රටේ මහජනතාවට කනගාටුව ප්‍රකාශ කර ඇති බව එහි වැඩි දුරටත් සඳහන් වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම නිවේදනයේ ඡායාරූපයක් පහතින්.
මෙහි නිරවද්‍යතාව සෙවීමට අප කටයුතු කළේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පසුගිය පෙබරවාරි 17 වන දා ඉදිරිපත් කරනු ලැබූ 2025 අයවැය ලේඛනය මගින් යෝජිත අසාධාරණ දීමනා කප්පාදුව හේතුවෙන් වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සේවාවට අසාධාරණයක් වී ඇති බව දක්වමින් රජයේ නිලධාරීන්ගේ සංගමය විසින් අද(5) දිනයේ පැවත්වීමට සංවිධානය කර තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවීම ට හේතුව වශයෙන් ඉහත සඳහන් ආකාරයේ ලිපියක් එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සියලු මාධ්‍ය ආයතන සියලු රෝහල් වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා.
නමුත් අප මාධ්‍ය ආයතනය ඇතුළුව අනෙකුත් මාධ්‍ය ආයතන වලට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ මාධ්‍ය නිවේදනයක් එම සංගමය විසින් යොමු කර නොතිබුණි.
එමෙන් ම එම ලිපියේ පෙන්වා දෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට ඉහත සඳහන් ලිපියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් එවා ඇත්ද යන්න පිළිබඳ අප විමසා සිටි අතර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, එවැනි ලිපියක් පැමිණ නොමැති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
මේ හේතුවෙන් අප මේ පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් මේ පිළිබඳ විමසීමක් කළා. එම වෛද්‍ය නිලධාරීන් සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත නිවේදනය අසත්‍ය බව ත්, එවැනි ලිපියක් එම සංගමය විසින් නිකුත් නොකළ බවයි.
එමෙන් ම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට හේතුව වන්නේ, අයවැයෙන් වෛද්‍යවරුන්‍ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර සාකච්ඡාවක් පැවැත් වූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් වලට අනුකූලව, වෛද්‍යවරුන්ට සහ දුෂ්කරතා ගණනාවක් මධ්‍යයේ ඔවුන් සපයන සේවාවට නිසි වටිනාකම ලැබෙන සාධාරණ විසඳුම, අයවැය තුන්වෙනි වර කියවීමේ විවාදය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව අමාත්‍යවරයා තහවුරු කළ බව ත්, ඒ අනුව ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම ගැටළුව විසඳීමට සාධාරණ කාලයක් ලබා දෙමින්, වැඩ වර්ජනය ලබන මාර්තු 21 වන දා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි සඳහන් කළේ.
එමනේම වරජ්නය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව පහතින්.
එමෙන් මේ ලිපිය ව්‍යාජ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වී තිබුණේ මෙලෙසින්.
2025 අයවැය හා වෛද්‍යවරුන්ගේ යෝජිත වැටුප් සංශෝධනය
වෛද්‍යවරුන් ලෙස මෙවර අයවැය ලේඛනයේ වැඩිම අවධානයක් යොමු වී ඇත්තේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ක්‍රියාවලිය කෙරෙහිය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීර්ඝකාලීන ස්ථාවරය වූයේ විද්‍යාත්මක නොවන අයුරින් විටින් විට වැටුපට දීමනා එකතු කිරීම වෙනුවට, ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුළ අදාල වැටුප් අනුපාත ආරක්ෂා වන පරිදි රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප සංශෝධනය විය යුතු බවයි. ඒ අනුව, පවතින මූල්‍ය සීමාවන් තුල වුවද ජනාධිපති ප්‍රමුඛ රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප, ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුකූලව ඉහළ දැමීම, එහිදී සියලුම ශ්‍රේණි වල වෛද්‍යවරුන්ගේ මූලික වැටුප සැලකිය යුතු අගයකින් ඉහළ නැංවීම පිළිබඳ ඔවුන් ස්තූතිය පළ කර සිටිනවා.
අයවැය 2025 හරහා වැටුප් වැඩිවීමක් සිදුවුව ද, වෛද්‍ය සේවාවටම ආවේණික සහ සුවිශේෂි වූ අමතර රාජකාරි දීමනාව ගෙවීමේ අගය අත්තනෝමතික ලෙස අඩු කිරීමේ තීරණය වෛද්‍යවරුන් තුළ බරපතල නොසන්සුන්තාවයක් ඇතිකර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සමස්ත වැටුප් සංශෝධන යෝජනාවලිය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර එහිදී ඔවුන්ගේ අවධානයට ලක්ව ඇති කරුණු නම්,
01. රාජ්‍ය සේවයේ අනිකුත් කණ්ඩායම් වලට හිමි අතිකාල දීමනා සහ වෛද්‍යවරුන්ට පමණක් හිමි අමතර රාජකාරි දීමනා අතර සංකල්පීය සහ තාක්ෂණික වශයෙන් පැහැදිලි වෙනසක් පවතී.
02. අමතර රාජකාරී ක්‍රමය සහ අමතර රාජකාරි දීමනාව වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ ආවේණික වේ. මේ වන විට වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවේ පැයකට ගෙවනු ලබන අගය අදාල ශ්‍රේණියේ මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80 ක් වන අතර, එම අගය වෛද්‍යවරුන්ටම පමණක් ආවේණිකය. එය මෙවර අයවැය හරහා එක් වරම මූලික වැටුපෙන් 1/120 දක්වා 50% කින් අඩු කර ඇත.
03. වෛද්‍යවරුන් තම සායනික රාජකාරීන්ට අමතරව රාජකාරී ගණනාවක් ඉටුකරන අතර, සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුවද අඛණ්ඩව දින 07ම පැය 24 පුරා රෝගී සත්කාර සේවාවන් රට පුරා සපයනු ලබයි. ඒ වෙනුවෙන් ලැබෙන අමතර රාජකාරී දීමනාව දැනටත් ගෙවනුයේ මාසික සහ දෛනික සීමාවක් සහිතව වන බැවින්, ඉටු කරන සේවාවට සාපේක්ෂව සියලුම කාණ්ඩවල වෛද්‍යවරුන්ට ලැබෙන අමතර රාජකාරි දීමනාවේ ප්‍රමාණාත්මක අඩුවක් දැනටත් පවතී.
04. තත්ත්වය එසේ තිබියදී, අයවැය යෝජනාවක් ලෙස වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාවේ පැයකට ගෙවන අගය අසාධාරණ සහ අත්තනෝමතික ලෙස 50% කින් පහත හෙලීම තුළ මෙරට වෛද්‍යවරුන් අවම පහසුකම් මධ්‍යයේ රට පුරා අඛණ්ඩව සපයන රෝගී සත්කාර සේවාවන්, තවත් අවතක්සේරු වීමක් සිදුවී ඇත.
05. අමතර රාජකාරී දීමනාව ලබා ගැනීමේදී වෛද්‍යවරුන්ට සීමාවන් පනවා තිබුණ ද, අතිකාල දීමනා ලබා ගන්නා අනෙකුත් සේවක කාණ්ඩ ගණනාවකට, එය අසීමිත පැය ගණනක් ලබා ගැනීමේ වරප්‍රසාදය හිමි වී ඇත. එබැවින් ඔවුන්ගේ අතිකාල දීමනා ගෙවීමේ අනුපාතය අඩු වූ තත්ත්වයකදී වුවද, අවසන් ප්‍රතිඵලයේදී වෛද්‍යවරුන්ට සාපේක්ෂව ඔවුන්ට සිදුවන හානිය අවමය.
06. මේ හරහා අවසානයේදී සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර නව වැටුප් විෂමතාවයක් නිර්මාණය වීමේ තත්ත්වයක් ද උද්ගත වී ඇත.
07. සේවාවේ සුවිශේෂී බව නොසලකා හරිමින්, කිසිඳු පාර්ශවයක් සමඟ එකඟතාවයකින් තොරව මෙම දීමනාව අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයකි.
08. මූලික වැටුපෙන් 1/20 අනුපාතයකට ගෙවනු ලබන නිවාඩු දින දීමනාව ද, 1/30 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. මාසයක් පුරා වෛද්‍යවරුන් ඉරිදා සහ නිවාඩු දින කොතරම් ප්‍රමාණයක් තම සේවාවන් ඉටු කල ද, ගෙවීම සිදු කරනුයේ මසකට දින තනක් සඳහා පමණි.
09. මෙතෙක් ලැබුනු සහ ලැබිය යුතු දීමනාවන් මෙලෙස අඩු කිරීම තුල, අයවැය ඔස්සේ යෝජිත වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව වුව ද වෛද්‍යවරුන්ගේ වැටුපට අවසානයේදී සැලකිය යුතු මුල්‍යමය අහිමි වීමක් සිදු වේ.
10. සේවයට සරිලන වැටුපක් රහිතව විවිධ දුෂ්කරතා මධ්‍යයේ සුවිශේෂී සේවාවක් සපයන වෛද්‍යවරුන්ගේ භූමිකාව අවතක්සේරුවට ලක් කර ඇති බවත් නිරීක්ෂණය වන අතර, අනෙකුත් සියලු වෘත්තිය කාණ්ඩ වලට සාපේක්ෂව මෙවර අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීමේ සැබෑ ප්‍රතිලාභය ද වෛද්‍යවරුන්ට අහිමි වී ඇත. මෙය මීට පෙර කිසිදු අයවැය ලේඛනයකදී නිර්මාණය නොවුණු තත්ත්වයකි.
රජය වැටුප් වැඩිවීමක් ලබාදීමේ සාධනීය අරමුණින් මෙම වැටුප් සංශෝධනය ක්‍රියාත්මක කලද, කිසියම් පාර්ශවයක මැදිහත් වීමෙන් අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීමට ගත් තීරණය හේතුවෙන් අවසානයේදී සිදු වී ඇත්තේ වෛද්‍යවරුන් තවත් ඉච්චජානංගත්වයට පත්වී සෞඛ්‍ය ක්ෂේත්‍රය අනවශ්‍ය අර්බුදයක් කරා ගමන් කිරීම බවට ඔවුන් පෙන්වා දෙනවා.
අයවැයට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානතම ඉල්ලීම බවට පත්වූයේ වෛද්‍යවරුන්ට රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා කාල රාමුවක් සහිත වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති මාලාවක් අයවැය ලේඛනය හරහා ප්‍රකාශයට පත්විය යුතු බවයි. එවන් කිසිදු නිශ්චිත යෝජනාවක් මෙවර අයවැය ලේඛනය තුල අන්තර්ගතව නොතිබීම කනස්සල්ලට කරුණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වෛද්‍යවරුන්ගේ බාධා කිරීමේ, රැදී සිටීමේ සහ ප්‍රවාහන (DAT) දීමනාව යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛනයට අන්තර් ග්‍රහණය කිරීම ඇතුළු ප්‍රවාහන ගැටළු විසඳීම සීමාවාසික වෛද්‍යවරුන්ගේ සහ විදෙස් පුහුණුව ලබන පශ්චාත් උපාධි අධ්‍යයන වෛද්‍යවරුන්ගේ මාසික දීමනා ඉහල නැංවීම, නිල නිවාස පහසුකම් වැඩි දියුණු කිරීම ආදි යෝජනා ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති අතර, ඒ මත පදනම් වූ නිශ්චිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය ඔවුන් පැහැදිලි කරනු ලබනවා. එහිදී ආර්ථික අර්බුදය හමුවේ වැඩියෙන්ම බලපෑමට ලක්වී ඇති නවක සහ කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ ගැටලු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු විය යුතු බව ද, ඔවුන් පෙන්වා දෙනවා.
අයවැයෙන් යෝජිත අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනා කප්පාදුව රට පුරා ගුණාත්මක රෝගී සත්කාරක සේවාවන් සමානාත්මතාවයෙන් යුතුව ලබා දීමටත් වෛද්‍ය සේවාවේ සුවිශේෂිතාවයටත් දැඩි අහිතකර බලපෑමක් ඇති කරන ලද ප්‍රතිපත්තිමය තීරණයක් බවත්, වෘත්තීය ගරුත්වය සහ වටිනාකම අවතක් සේරුවට ලක් වී ඇති බවත්, එම තීරණය වෙනස් කර නැවතත් අමතර රාජකාරි දීමනාවේ අගය මූලික වැටුපෙන් 1/80 ලෙසත්, නිවාඩු දින දීමනාවේ අගය මූලික වැටුපෙන් 1/20 ක් ලෙසත් කඩිනමින් සංශෝධනය විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවයි එම සංගමය පවසන්නේ.
එමෙන්ම වෛද්‍යවරුන් රට තුළ සහ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති මාලාවක් කාල රාමුවක් සහිතව ප්‍රකාශයට පත්විය යුතු බව ද මධ්‍යම කාරක සභාව තීරණය කර බව ත්, වෛද්‍ය සේවාවට මෙතෙක් ලැබුණු ප්‍රතිලාභ සහ වරප්‍රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීම හමුවේ ඇති වූ මෙම ගැටලුව විසඳීමට කඩිනමින් අවශ්‍ය සාධනීය පියවර ගැනීමට පාලකයින් අපොහොසත් වන්නේ නම්, අවසානයේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට වුවද යොමු වීමට සිදුවන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ මෙලෙසින්.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දී තිබියදීත් වෛද්‍යවරු වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කිරීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ(4) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.
මූලික වැටුප, අමතර රාජකාරී දීමනාව, නිවාඩු දින දීමනා, වාර්ෂික වැටුප් වර්ධකය මෙන්ම උපයන විට බද්ද (Paye Tax) සඳහා ඔවුන්ට සහනයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
රාජ්‍ය සේවයට ඇතුළත්වන වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රු.54,290ක් බව ත්, එම වැටුප රු.94,150 දක්වා වැඩි කර ඇති බව ත් එනම්, වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රු.39,860කින් වර්ධනය වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එමෙන් ම අනෙකුත් දීමනා සියල්ල එකතු වීමෙන් පසු සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුගේ දළ වැටුප රු.240,000ක් පමණ වන අතරමෙහි පළවෙනි අදියර යටතේ අප්‍රේල් මාසයේදී පමණක්, වැටුප් වැඩිවීමෙන් රු.15,582ක් පමණ ලැබෙනු ඇති.
දෙවන ශ්‍රේණියට අයත්වන වෛද්‍යවරයෙකුට මූලික වැටුප පැවතියේ රු. 58,305ක් වන අතර ඒ වැටුප රරු. 101,370 දක්වා වැඩි වන අතර,ඒ අනුව රු.43,065කින් මූලික වැටුප වැඩි වී ඇති බව ත්, පළමු ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට මෙතෙක් ලැබූ මූලික වැටුප රු.71, 805ක් වන අතර එය රු.125,670 දක්වා වැඩි වී ඇති බව ත් එනම් මූලික වැටුප් වැඩිවීම රුපියල් 53,865ක් බව ත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මේ අතර කණිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට මේ වනවිට ලැබෙන මූලික වැටුප රු.88,000ක් වන අතර එය රු.156,000 දක්වා වැඩි වන බව ත්, ඒ අනුව මූලික වැටූප් වැඩි වීම රුපියල් 68,000ක් බව ත්, මෙම මූලික වැටුපෙන් දැනෙන කොටසක් මේ අප්‍රේල් මාසයේදී හිමිවන බවත් තවත් කොටසක් 2026 ජනවාරී මාසයේදීත්, 2027 ජනවාරි මාසයේදීත් එනම් මාස 20ක් ඇතුළත් රුපියල් 40,000 සිට 68,000 දක්වා වන වැටුප් වැඩිවීම් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
පරිපූරක වෛද්‍ය සේවාව යටතේ සිටින වෘත්තිකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් දැක්වූයේ මෙලෙසින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (5) දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් එම සංගමය විසින් යොමු කළ නිවේදනයේ ඡායාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහන ව්‍යාජ ලෙස සකසා ඇති බවයි. එම සංගමය විසින් තහවුරු කළේ එවැනි ලිපියක් ඔවුන් විසින් නිකුත් නොකළ බවයි. එමෙන් ම එම ලිපිය මාධ්‍ය ආයතන වලට ද, යොමු කර ඇති බව දක්වා තිබුණ ද, මාධ්‍ය ආයතන වලට එවැනි ලිපියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද, නොලැබුණි.
මෙම වර්ජනය අත්හිටුවීමට හේතුව ලෙස එම ව්‍යාජ නිවේදනයේ සඳහන් ලෙස යම්කිසි කඩාකප්පල්කාරී කණ්ඩායමක මැදිහත්වීම හා නිසි අවබෝධයකින් තොරව සූදානම් කරන ලද වැඩවර්ජනයක් බවට පෙන්වා දී තිබුණද, සත්‍ය වශයේ ම මෙම වැඩ වර්ජනය ලබන මාර්තු 21 වන දා දක්වා තාවකාලිකව අත්හිටුවීම පමණක් සිදු කළ අතර ඊට හේතුව වන්නේ, ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම ගැටළුව විසඳීමට සාධාරණ කාලයක් ලබා දීම නිසා බවයි එම සංගමය සඳහන් කරන්නේ.

Title:රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වැඩවර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ද?
Fact Check By: Pavithra SandamaliResult: False
