Update :
මාලනී ෆොන්සේකා මහත්මිය මිය ගිය බවට අද(13) උදෑසන සිට ද, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූ අතර නැවතත් ඇයගේ ඥාතී දියණියක් වන සමනලී ෆොන්සේකා මහත්මිය විසින් ද, ඇය සුවෙන් බවට ෆේස්බුක් සටහනක් අද උදෑසන පළ කර තිබුණේ මෙලෙසින්.
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය දා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කළ බවට පුවත් වාර්තා වීමෙන් අනතුරුව මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙමින් පවතින බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“රෝගී තත්වයක් නිසා රෝහල්ගත කර සිටි ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා මහත්මියට නිවන් සුව ලැබේවා” යනුවෙන් සඳහන් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.
අප මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් පළ වී ඇති නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්,
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මාලනී ෆොන්සේකා යනු මෙරට රංගන ක්ශේත්‍රයේ ප්‍රවීණත ම සහ හෙළ සිනමාවේ නිලි රැජිණ ලෙස විරුදාවලිය ලත් අතිශය ප්‍රේක්ෂක ආකාර්ශණයක් දිනාගත් රංගන ශිල්පිණියකි. එබැවින් ඇය රෝගාතුර වී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වුව ද ඇය මිය ගිය බවට කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් තොරතුරු වාර්තා කර තිබුණේ නෑ.
කෙසේවෙතත් මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් පළවන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් , ඇයගේ පවුලේ ඥාතීන් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. ඒ අනුව අද (12) උදෑසන වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇතැයි පවුලේ ඥාතීහූ පැවසූ බවට ප්රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්.
මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යමින් පවතින අතර, ඒ සියල්ල අසත්‍ය බවත් මේ මොහොතේ මානසික පීඩාවන් ඇති නොකරන ලෙසත් මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටින බවක් එම වාර්තාවල දැක්වෙනවා.
එමෙන්ම ජනතාව එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීහු වැඩිදුරටත් පැවසූ බවටයි එම පුවතේ සඳහන් වන්නේ.
කෙසේ වෙතත් අප ද මාලනී ෆොන්සේකා මහත්මියගේ ඥාතියෙක්ගෙන් ඇයගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ අතර ඇය සුව අතට හැරෙමින් පවතින බවට එම ඥාතියා විසින් තහවුරු කරනු ලැබුවා.
මීට අමතරව දයාන් විතාරණ කලාකරුවා ද මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී වී රෝහල් ගත කළ මොහොතේ සහ ඉන් පසුවත් ඇයගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහන් තබා තිබුණා.
මේ වන විට ඇය සම්බන්ධයෙන් පළ වන අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් සහ තොරතුරු සම්බන්ධයෙන් දයාන් විතාරණ කලාකරුවා දීර්ඝ සමාජ මාධ්‍ය සටහනක් තබමිනි පවසන්නේ, මාලිනී ෆොන්සේකා මහත්මිය, අසනීප තත්වයෙන් පසුවන හෙයින් රෝහල්ගතව ප්රතිකාර ලබන බව සත්යයක් වන නමුත් ඇයට ඉතා අසාධ්‍ය බවත්, දැඩි සත්කාර ඒකකයන්හි ප්රතිකාර ලබමින් බොහෝ අවදානම්සහගත තත්වයක පසුවන බවටත් පැතිරෙන කටකතා හා සමාජ මාධ්‍ය සටහන් සියල්ල අසත්‍ය බවයි.
ඇය මේ වන විටත් වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ සුවය ලබමින්, විවේක සුවයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්රතිකාර ලබන බව ඔහු සඳහන් කර තිබෙනවා.
එසේම අද (පෙබරවාරි 12) දින ද ඔහු ෆේස්බුක් සටහනක් මෙලෙසින් තබමින් කියා තිබුනේ “මාලිනි අක්කා සුවෙන්.. වගකීමෙන් කියන්නේ.. නිලි රැජිනව බිල්ලට දීලා.. සල්ලි හොයන්න එපා.. ඒවා යා දෙන්නෙ නැහැ..”
එසේම මීට දිනකට පෙර, දයාන් විතාරණ කලාකරුවා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ මාලනී ෆොන්සේකා මහත්මියගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තබා තිබූ සටහනක් මෙසේ ය.
“නිලි රැජින සුව වෙමින් සිටින හෙයින් අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන්න ………………….
අප ආදරණීය මාලිනී අක්කා, නැතහොත් හෙළ සිනමාවේ නිලි රැජිනිය අසනීප තත්වයෙන් පසුවන හෙයින් රෝහල්ගතව ප්රතිකාර ලබන බව සත්යයක් වන නමුත් ඇයට ඉතා අසාධ්‍ය බවත්, දැඩි සත්කාර ඒකකයන්හි ප්රතිකාර ලබමින් බොහෝ අවදානම්සහගත තත්වයක පසුවන බවටත් පැතිරෙන කටකතා හා සමාජ මාධ්‍ය සටහන් සියල්ල අමූලික බොරු බව පවසනු කැමැත්තෙමි.
ඇය මේ වන විටත් වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ සුවය ලබමින්, විවේක සුවයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්රතිකාර ලබන අතර, මේ මොහොතේ අප සැමගේ යුතුකම වන්නේ ඇයට මානසික සුවය හා විවේකය ලබාගැනීම වෙනුවෙන් ඇය බැලීමට නොගොස්, ඇයට ඇමතුම් නොදී කඩිනම් සුව ලැබීම උදෙසා ඇය වෙනුවෙන් අප අදහන ආගම් විශ්වාසයන් අනුව සෙත් සුවයම නිති සැලසේවායි ප්රාර්ථනා කිරීම පමණක් යැයි මා විශ්වාස කරමි.
එමෙන්ම මාලිනී අක්කා පිළිබඳ පුවත සමාජ මාධ්යයේ පළ වූ මොහොතේ පටන් ඇය ගැන මෙන්ම රවින්ද්‍ර රන්දෙණිය, වික්ටර් රත්නායක, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ හා ලතා වල්පොල වැනි ශ්රේෂ්ඨ කලාවේදීන් පිළිබඳව ද, ඔවුන් දැඩි සේ ගිලන්ව දැඩි සත්කාර ඒකකවල පසුවන බවට අසත්‍ය ප්රවෘත්ති මවන පහත් සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන් අප දැඩිව හෙලා දැකිය යුතු අතර‘ම, කලබල වී සොයා නොබලා එම පුවත් සංසරණය කිරීමට ඉක්මන් නොවන ලෙස ද ඔබ සැමගෙන් ඉල්ලමි.
අප ඕනෑම කෙනෙකු වයස්ගත වන විට, නිතර නිතර ඇතැම් රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය සිදුවීමක් හෙයින් එවැනි දේ මුල්කොට ගෙන රසිකයන් හා හිතවතුන් බියවද්දා, සමාජ මාධ්‍ය අවධානය හා ආකර්ෂණය ලබාගැනීමට යමෙකු සිතන්නේ නම් ඔහු හෝ ඇය තරම් නින්දිත ක්රියා සිදුකරන්නෙකු තවත් නැතැයි මා සිතමි. එනිසා ඕනෑම පුවතක් දුටු විට, එහි කියැවෙන කීර්තිමත් චරිතයට සබැඳි පවුලේ ඥාතියෙක්ගෙන් විමසනවා හෝ වගකිවයුතු කෙනෙක් ඒ පිළිබඳ දැනුම් දෙනතුරු ඉවසීම මෙවැනි තත්වයන් පාලනය කරගැනීමට මහත් සේ රුකුලක් වනු ඇතැයි විශ්වාස කරන්නෙමි.
ආදරණීය මාලිනී අක්කා ඉක්මන් සුව ලැබ නැවතත් හැකි විගස අප හමුවට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් ඇයට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායු ප්රාර්ථනා කරන අතර, අනෙකුත් සියලුම ජේෂ්ඨ ප්රවීණ ශිල්ප ශිල්පිණියන් හට ද දීර්ඝායු වේවායි ප්රාර්ථනා කරන්නෙමි !!!”
එමෙන් ම දැනට 77 වන වියෙහි සිටින මාලනී ෆොන්සේකා මහත්මියගේ සුවය වෙනුවෙන් විවිධ ආගමික සහ සමාජ ක්‍රියාකාරකම් ද සංවිධානය කර තිබුණා. ඒ අනුව “සිල්වර් ස්ක්‍රීන්” සංවිධානය විසින් මාලිනී ෆොන්සේකා මහත්මිය, ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා, සතිස් චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු සියලුම කලාකරුවන් වෙනුවෙන් මහා බෝධි පූජා සෙත් පින්කමක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වා ඇති අතර ඒ සඳහා කලාකරුවන් ද සහභාගී වී තිබුණේ මේ අයුරින්.
සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනා ද ඇය වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරමින් සිටිති. ශ්‍රී ලාංකේය සිනමාවේ වර්ධනයට විශාල දායකත්වයක් සපයා ඇති ආදරණීය නිළි රැජිණ, මාලනී ෆොන්සේකා මහත්මියට Fact Crescendo Sri Lanka කණ්ඩායම ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු ලබනවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය අසනීප තත්වයක් හේතුවෙන් රෝගාතුර වී රෝහල්ගත කර ඇතත් ඇය මියගිය බවට පළවන වාර්තා අසත්‍ය බවයි. ඇයගේ ඥාතීන් සඳහන් කරන ලෙස ඇය මේ වන විට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සුව අතට හැරෙමින් තිබෙන බවයි.

Title:මාලනී ෆොන්සේකා මහත්මිය මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් !
Fact Check By: Piumika LakshaniResult: False
