රැප් ගායක “ශාන් පුතා” පොලිස් රථය තුළ අසරණ වූ වීඩියෝවේ ඇත්ත කතාව!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.ප්‍රසිද්ධ රැප් ගායකයකු වන ‘ශාන් පුතා’ හෙවත් කෞශාන් ගුණරත්න යන අයව පසුගිය 14 වන දින හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර එම සිදුවීමෙන් අනතුරුව ඔහු තමාගෙන් සිදු වූ වරද පොලිසිය ඉදිරියේ පිළිගත් බවට සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙන බැවින් එම වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

‘ශාන් පුතා වරද පිළිගත්ත විදිය’ යනුවෙන් සඳහන් කරමින් ශාන් පුතා යනුවෙන් හැඳින්වෙන පුද්ගලයා සහ පොලිස් නිලධාරියෙක් අතර සිදුවන කතාබහක් ලෙස වීඩියෝවක් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්.

IG

එම වීඩියෝව ම “ඒකට නම් පව් කියලත් හිතුණා” යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ ද පළ කර තිබුණේ මේ අයුරින්. FB

මෙම වීඩියෝ සඳහා දක්වා තිබූ අදහස් ඔස්සේ ද පෙනී යන්නේ, ඇතමුන් මෙම සිදුවීම සත්‍ය එකක් බවට විශ්වාස කරන බවයි.

ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ රැප් ගායක ‘ශාන් පුතා’ හෙවත් කෞශාන් ගුණරත්න තමා අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙම වීඩියෝවල දැක්වෙන අයුරින් සිය වරද පිළිගෙන තිබේ ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

රැප් ගායක ‘ශාන් පුතා’ හෙවත් කෞශාන් ගුණරත්න යනු මෙරට තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය පුද්ගලයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ද මෙරට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝදෙනාගේ අවදානය දිනා ගන්නා අයුරින් වාර්තා කරනු ලැබුවා.

එබැවින් ඔහු තමාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙවැනි ආකාරයෙන් සිය වරද පිළිගත් බවට යම් වීඩියෝවක් පවතින්නේ නම්, එය මෙරට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද වාර්තා වන නමුත් එවැනි වීඩියෝවක් හෝ පුවතක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ නෑ. 

නමුත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාව භාවිතා කරමින් මෙම වීඩියෝව සකස් කරඇති බව පෙනී යනවා. එනම් ශාන් පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ වීඩියෝ සහ ඡායාරූප මෙරට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණේ මෙසේ ය.

තවත් ප්‍රධාන මාධ්‍යක් ඔස්සේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අදාළ සම්පූර්ණ වීඩියෝවක් පළ කර තිබුණේ මෙසේ ය.

නමුත් එම වාර්තා කිරීම්වල මෙම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ අවස්ථාවක් දැකගත නොහැකි ය.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී යම් ස්වාභාවික නොවන ආකරයේ චලන දැකගත හැකි ය. ශාන් පුතාගේ සහ වීඩියෝවේ කතාබහ කරන පොලිස් නිලධාරියාගේ චලන ද Slow Motion සහ අසාමාන්‍ය ආකාරයෙනුයි අපට දැගකගත හැකි වන්නේ, එහි කෘතිම බවක් පවතින බව එය නරඹන විට දැකගත හැකි ය.

එබැවින් මෙය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද එකක් ද යන්න සම්බන්ධයෙන් ද අප කරුණු සොයා බැලීමක් සිදුකරනු ලැබුවා. ඒ අනුව මෙම වීඩියෝව කෘතිම බුද්ධිය භාවිතයෙන් සකස් කළ එකක් බව පැහැදිලි විය.

සමාජ මාධ්‍ය ඔස්සේ ශාන් පුතා සිය වරද පිළිගත් බවට සඳහන් කරමින් සංසරණය වන වීඩියෝව ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ රූප රාමු භාවිතා කරමින් සකස් කර ඇති බව ඒ අනුව පැහැදිලිවනවා.

ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා හෙවත් කෞශාන් ගුණරත්න අත්අඩංගුවට ගැනීම

ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී පසුගිය 14 හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වී තිබෙන්නේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර, කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරාගෙනවිත් මොහුට ලබා දී තිබෙන බව ද වාර්තා වනවා. එමෙන් ම කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලැබීමෙන් ගිය පසුවයි මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත්තේ.

මෙම පුවත සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

Also Read – ගණේමුල්ලේ සංජීව ඝාතනයේ සැකකරු ගැන වයිරල් වන පොස්ට්වල ඇත්ත කතාව!

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය):

අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතා හෙවත් කෞෂල්‍ය ගුණරත්න ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් අවස්ථාව පදනම් කරගෙන ඔහු සිය වරද පිළිගත් බවට සඳහන් කරමින් සංසරණය වන වීඩියෝව කෘතිම බුද්ධිය භාවිතයෙන් සකස් කළ එකක් වේ. එම වීඩියෝව ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ රූප රාමු භාවිතා කරමින් සකස් කර ඇත.

Avatar

Title:රැප් ගායක “ශාන් පුතා” පොලිස් රථය තුළ අසරණ වූ වීඩියෝවේ ඇත්ත කතාව!

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *