මෙරට ට ඩ්‍රොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු තීරණයේ හැරවීමට හේතුව ගැන දේශපාලනඥයින් සිදු කළ ප්‍රකාශද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අමෙරිකානු ජනාධිපති ඩ්‍රොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පනවා තිබූ ‘අන්‍යොන්‍ය තීරුබද්ද’ වශයෙන් හඳුන්වා ඇති තීරුබදු ක්‍රමය හේතුවෙන් ලෝක ආර්ථිකයට අවපාතයට ගමන් කිරීමක් වූවා. නමුත් එහි උණුසුම පහව යෑමට ත් පෙර මෙම තීරණයට තාවකාලිකව දින 90කට අත්හිටුවීම ලොව පුරා යළිත් කතා බහට ලක්වූ අතර මේ පිළිබඳ මෙරට දේශපාලන වේදිකාවලදී ත් දැඩි ලෙස කතා බහට ලක් වූ මාතෘතකාවක් වුණා. මේ අතර මෙලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙරට බදු ප්‍රතිශතය සම්බන්ධව ගත් තීරණය නැවත ආපසු හැරවීමට බලපෑ හේතු ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් කිහිපයක නිරද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජනාධිපතිතුමා යවපු ලිපිය නිසයි ට්‍රම්ප් ගහපු බද්ද ඉවත් කරේ” යනුවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පැවසූ බවට දක්වමින් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ට්‍රම්ප් බදු අඩු කළේ මගේ ඉල්ලීම නිසා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළ බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් වල නිවරද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි විසින් සත්‍ය වශයෙන් ම මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂාවක් සිදු කළා. 

නමුත් ඇය විසින් මෙවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් ද, වාර්තා කර නොතිබුණි.

ඉහත සමාජ මාධ්‍ය සටහනේ ප්‍රධාන මාධ්‍ය ධාරාවක පළ වී තිබූ බවට දක්වා තිබූ ඡායාරූප අවස්ථාව ඇති කතාව කුමක්ද යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර එහිදී ඇය විසින් එම අවස්ථාවේ සිදු කළ කතාව දෙස අපගේ අවධානය යොමු කළා.

නමුත් එහිදී හෝ ඇය විසින් “ජනාධිපතිතුමා යවපු ලිපිය නිසයි ට්‍රම්ප් ගහපු බද්ද ඉවත් කරේ” යනුවෙන් ප්‍රකාශයක් සිදු නොකරන බව දැක ගන්නට ලැබුණා. එම අවස්ථාවේ කොට්ටහච්චි මහත්මිය විසින් සිදු කළ දේශපාලන කතාව මෙතනින්.

එමෙන් ම ඇය මේ සම්බන්ධයෙන් පසුගිය 10 වන දින රාත්‍රියේ ස්වර්ණවාහිනිය නාලිකායේ “රතු ඉර” වැඩසටහනේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු සම්බන්ධයෙන් අදහස් දක්වන අතර එහිදී හෝ ඇය විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව දැක ගන්නට ලැබෙනවා. එම වැඩසටහනේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොටස මෙතනින්.

එමෙන් ම මේ අවස්ථාවේදී එම වැඩසටහනේ නිවේදක විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් ද, විමසීමක් කළ අතර ඇය එහදීද තහවුරු කරන්නේ තමන් විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකරන බවයි. එම අවස්ථාවේ ලබා දුන් පිළිතුර පහතින්.

මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි

කෙසේ වෙතත් අප මේ පිළිබඳ විමසීමට මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අතර එහිදී ඇය පවසා සිටියේ,  තමන් විසින් එවැනි ප්‍රකාශයක් කිසිදු ස්ථානයක නොකළ බව ත්, එය අසත්‍ය පුවතක් බවත් ය.

මෙම බදු සම්බන්ධයෙන් එමෙන් ම ඇමරිකානු රජය සහ ජනාධිපතිගෙන් සාකච්ඡාවක් සඳහා අවසර ලබා දෙන ලෙස වත්මන් රජය විසින් රාජතාන්ත්‍රික මට්ටමින් ඔවුන්ට දැනුම් දීමක් කර ඇති අතර ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ත්, එවැනි සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබා දීමට අවසර ලැබී ඇති බව ත්, අපනයන මණ්ඩලයේ සභාපතිවරයා ඒ පිළිබඳ මාධ්‍යයට ද, දැනුම් දුන් බව ත්, ඇය සඳහන් කළා.

ඒ අනුව මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇත්තේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට පැවසිය හැක.

ජනාධිපති මාධ්‍ය අංශය

අප මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, අමෙරිකානු ජනාධිපති විසින් මෙරටට පනවන බවට කියූ තීරු බදු අඩු කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලිපියක් යොමු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් අසත්‍ය බවයි.

එමෙන් ම අප විමසා සිටියේ තීරු බදු වැඩි කිරීම පිළිබඳ මෙරට රජය විසින් කිසිදු ලිපියක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ එරට රජයට යොමු කර නොමැති ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ඔවුන් පැවසුවේ, මෙරට රජය විසින් මෙම තීරු බදු පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස අමෙරිකානු රජය සහ ජනාධිපතිවරයාගෙන් රාජතාන්ත්‍රික මට්ටමින් දැනුම් දීමක් කළ බව ත්, ඒ සඳහා ලිපි යොමු කර ඇති බව ත් ය.

ඒ අනුව මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇත්තේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට පැවසිය හැක.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අප රටින් අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා 44%ක ප්‍රතිචාරක බදු පැනවීම ක්‍රියාත්මක කිරීම දින 90කට කල් දැමුවේ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය හරහා හෝ ඉහත සටහනේ පෙන්වා දී ඇති පරිදි Hiru News නිල ෆේස්බුක් පිටුවේ හෝ දක්වා නොතිබුණි.

එමෙන් ම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දී තිබුණේ, පසුගිය අප්‍රේල් 7 වන දා විපක්ෂ නායකවරයා විසින් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වෙන්නප්පුව ආසනයේ ජනතාව දැනුවත් කිරීමේ ජන හමුවකට ගිය අවස්ථාවේ ඡායාරූපයක් බවට අපට මෙලෙසින් දැක ගන්නට ලැබුණු බැවින් අප එම අවස්ථාවේ ඒ මහතා විසින් සිදු කළ දේශපාලන කතාවට අවධානය යොමු කළ අතර එහිදී හෝ විපක්ෂ නායක වරයා විසින් අමෙරිකාව මෙරටට පැනවීමට නියමිතව තිබූ 44%ක බදු පැනවීම සම්බන්ධයෙන් හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අදහස් දක්වන නමුත් ඔහු විසින් ඉහත සඳහන් ලෙස එවැනි ප්‍රකාශයක් සිදු නොකරනු ලබයි. එම සම්පූර්ණ වීඩියෝව මෙතනින්.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක වරයා සඳහන් කරන්නේ සමගි ජන බලවේගය ජාතික ජන බලවේග රජයට එදා කියූ දේ කලා නම් අවම වශයෙන් මූලික සාකච්ඡාවකට හෝ ගොස් කටයුතු කළ හැකියාව තිබූ බවත් එහෙත් මොවුන් බොරු කිය කියා රටම අන්දවා ඇති බවත් දැන්වත් ඇමරිකාවට දැනුමැති දූත කණ්ඩායමක් විකල්ප යෝජනාවක් සමග යවන ලෙසත් ඊට අමතරව මෙම බලපෑමට ලක්වූ ආසියානු කලාපයේ සෙසු රටවල් සමග එකතු වී පොදු එකගතාවට ලක්ව ලෝක වෙළෙද සංවිධානය හා එක්ව යම් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට අමතරව රට ඇතුළේ පොදු මතයකට පැමිණිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දෙනවා. එමෙන්ම වෙනත් රටවල් කෙරෙහි අප රටේ අපනයන වෙළෙදපොළ පුළුල් කර විවිධාංගීකරණය කිරිමත්, අපනයන කරුවන්ට ශක්තියක් ලබා දෙන වෙනමම අරමුදලක් පිහිටුවීමත්, හරිත ආර්ථිකය කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

විපක්ෂ නායකගේ මාධ්‍ය අංශය

මෙම සටහන Hiru News ෆේස්බුක් පිටුවේ පළවූ ප්‍රවෘත්තියක ආකෘතිය වෙනස් කර ව්‍යාජ පුවතක් පළ කර ඇති බව ත්,  මෙසේ පළ කර ඇති පුවතේ අන්තර්ගත කරුණු සියල්ල අසත්‍ය බවත් එවැනි කිසිඳු ප්‍රකාශයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කර නොමැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන් ම බංකොලොත් දේශපාලනයක නිරත වන ඇතැම් බංකොලොත් පක්ෂ මැතිවරණ සමයේ මෙවැනි පහත් ක්‍රියා සිදු කිරීම තරයේ හෙළා දකින බවත් තවදුරටත් ඔවුන් සඳහන් කළා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතක් බවට දක්වා ඇත්තේ සත්‍ය පුවතක් ඇතුළත් ඡායාරූපයක් නොව අසත්‍ය තොරතුරක් ඇතුළත් කර  සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට පෙන්වා දිය හැක.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකානු ඉතිහාසයේ සිදු කළ විශාලතම තීරුබදු පැනවීම අප්‍රේල් 2 දින ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ‘අන්‍යොන්‍ය තීරුබද්ද’ වශයෙන් හඳුන්වා ඇති මෙම තීරුබදු ක්‍රමය අප්‍රේල් මාසයේ 9 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා. 

බදු අනුපාත ගණනය කර ඇත්තේ ඇමෙරිකාව සහ එක් එක් රට අතර වෙළෙඳාමේ දී පවතින වෙළෙඳ හිඟය ඒ ඒ රටෙන් සිදු කරන මුළු ආනයනවල ප්‍රතිශතයක් වශයෙන් ගණනය කර එයින් සියයට 50ක් වන පරිදි වේ. රටවල් සහ ස්වාධීන රාජ්‍ය 180ට වැඩි ප්‍රමාණයකට මෙම බදු සංශෝධනය අදාළ වූ අතර අවම බදු අනුපාතය 10%ක් වන අතර උපරිම අනුපාතය 50%කි. ඒ අතරින් ශ්‍රී ලංකාවට පනවා ඇති අනුපාතය 44%ක් වුණා.

එය දකුණු ආසියාවේ රටකට පනවා ඇති ඉහළම බදු අනුපාතිකයයි. ශ්‍රී ලංකාවේ අපනයනවලට මෙතෙක් පැවති බද්ද සියයට 12ක් තරම් අඩු අගයක් වන අතර 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 12705ක් පමණ වූ අතර එයින් මිලියන 2909ක් ඇමෙරිකාවට සිදු කළ අපනයනවලින් උපයා ඇත. ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 23කි. මේ බිලියන 3ට ආසන්න ඉපැයීම්වලින් මිලියන 1900ක් පමණ උපයා ඇත්තේ රෙදිපිළි සහ ඇඟලුම් අපනයනයෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 63කි. සෙසු අපනයන අතර ආහාර, ටයර් අතුළු රබර් නිෂ්පාදිත, පොල් ආශ්‍රිත නිෂ්පාදිත, ප්ලාස්ටික් නිෂ්පාදිත සහ මැණික් ප්‍රධාන තැනක් ගනී. ඇඟලුම් අපනයන වැඩිම බලපෑමට ලක්වන බව මෙයින් පැහැදිලි වේ. මේ සම්බන්ධයෙන් පළ ව ඇති මහ බැංකු වාර්තාවක් මෙතනින්.

අමෙරිකා එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරු බදු සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමු කර ඇති බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පසුගිය අප්‍රේල් 8 වන දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන් ම, අමෙරිකාවේ වෙළඳ නියෝජිත කාර්යාලය සමග අද රාත්‍රී 8:00ට මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරට ත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ තීරු බදු ක්‍රියාත්මක කිර‍ිම දින 90කට අත්හිටුවීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය ගෙන තිබුණු අතර අමෙරිකානු වෙළෙඳ හවුල්කරුවන් 60කට පමණ එරෙහිව බදු පැනවීමෙන් පසු, ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරමින්, සාකච්ඡා දිගට ම පවතින බැවින් මෙම තීරණය ගෙන තිබුණු බවයි ට්‍රම්ප් සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, චීනය මත පැනවූ අතිරේක තීරුබදු වහා ම ක්‍රියාත්මක වන බව ත්, අමෙරිකාව විසින් චීනයෙන් කරන ආනයන වෙනුවෙන් පනවන බදු ප්‍රමාණය 125%ක් දක්වා වැඩි කර තිබේ.

බදු ක්‍රියාත්මකවීම අත්හිටුවීමට ඇමෙරිකානු ජනපතිවරයා ගත් තීරණයත් සමගින් ලෝකය පුරා විශේෂයෙන්ම ආසියානු කොටස් වෙළඳපො‍ළ යළිත් ප්‍රකෘතිමත් විය.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:මෙරට ට ඩ්‍රොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු තීරණයේ හැරවීමට හේතුව ගැන දේශපාලනඥයින් සිදු කළ ප්‍රකාශද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *