පසුගිය 2024 වසරේ අගභාගයේ දී සිදුවූ රුහුණු සරසවියේ උපකුලපතිවරයා එම තනතුරින් ඉවත්කිරීමට හේතු පාදක වූ කරුණු පිළිබඳව අගමැති හරිනි අමරසුරිය දැක්වූ අදහස් යනුවෙන් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“ශිෂ්‍ය සංගම් ඉල්ලීම් කළ නිසයි රුහුණේ උපකුලපති ඉවත් කළේ – ඔහු නවක වදයට එරෙහි ක්රියාමාර්ග ගත්බව දැන සිටියේ නෑ.” යනුවෙන් අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බවට සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.
තවත් එවැනි සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙවැනි කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවේද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් සියදිවි හානි කරගැනීමේ සිදුවීමත් සමඟ විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ ඇති නවක වදය සම්බන්ධයෙන් කතා බහ නැවතත් මතු වී තිබෙනවා.
එවන් පසුබිමක ඊයේ(4) දිනය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය රුහුණු හිටපු උප කුලපතිවරයා ඉවත්කිරීම සම්බන්ධයෙන් සිදුකළ කරුණු පැහැදිලි කිරීමක් ලෙස සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණා.
එම සටහන්වල සඳහන්වන අයුරින් මෙම නවක වදය සම්බන්ධ කතිකාවත නැවත සමාජයේ මතු වී ඇති මොහොතක මෙවැනි ප්‍රකාශයක් අග්‍රාමාත්‍යවරිය සිදුකළේ නම් එය මාධ්‍ය ඔස්සේ වාර්තා වන බැවින් අප එවැනි කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ අවස්ථාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමක් කළා.
එනමුත් එවැනි කරුණු පැහැදිලි කිරීමේ අවස්ථාවක් සම්බන්ධයෙන් හෝ සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට මාධ්‍ය වාර්තා කිරීමක් සිදුව නොතිබුණි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය හරිනි මෑතකාලීනව සිදුකරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද අප අවධානය යොමු කළ නමුත් එවැනි ප්‍රකාශයක් සිදුකළ ආකාරයක් දැකගත නොහැකි විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජිතා බස්නායක
අප මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජිතා බස්නායකගෙන් විමසීමක් සිදුකළ අතර එම මහත්මිය පැවසුවේ, හිටපු රුහුණු උපකුලපති සම්බන්ධ සිදුවීම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිදුවීමක් බවත්, මෑත කාලීනව උපකුලපති සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමක් කරුණු පැහැදිලි කිරීමක් අග්‍රාමාත්‍යවරිය විසින් සිදු නොකළ බවයි.
එසේම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් වන ලෙස ප්‍රකාශයක්, අගමැති හරිනි විසින් සිදු නොකළ බව එම මහත්මිය පවසනවා.
එමෙන් ම රුහුණු උපකුලපති ඉවත්කිරීම ශිෂ්‍ය සංගම්වල ඉල්ලීමක් මත පදනම්ව සිදුවූවක් නොව රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු දැඩි ලෙස අවුල් වී ඇති මොහොතක ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් බවයි, ඇය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් පවසා සිටියේ
සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඡායාරූපයේ අවස්ථාව
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ප්‍රකාශය සිදුකළ අවස්ථාව බවට සඳහන් කරමින් පළකර ඇති ඡායාරූපය ද අප පරීක්ෂා කළා.
එම අවස්ථාව පසුගිය මැයි 3 වන දින මාලඹේ පැවති ජනහමුවක එකක් බව අප කළ පරීක්ෂාවේදී පැහැදිලි විය.
එනමුත් එම අවස්ථාවේ ඡායාරූප එක්කර තිබුණ ද එම රැස්වීමේ සම්පුර්ණ වීඩියෝවක් කිසිඳු මාධ්‍යයක හෝ පළකර නොතිබුණි.
අප අගමැති මාධ්‍ය ලේකම්ගෙන් එම වීඩියෝව ඉල්ලා ඇති අතර එය ද ලැබුණු පසු එහි අන්තර්ගත කරුණු ද සමඟින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වනවා.
රුහුණු විශ්වවිද්යාලයේ හිටපු උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන ඉවත් කිරීම
රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී දිගින් දිගට ම වැඩවර්ජනයන්ගේ නිරත වෙමින් හිටපු උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේනට සිය විරෝධය පළකරනු ලැබුවා.
පෙර පැවති රජයේ ආරක්ෂාව හා රැකවරණය ලබා ගනිමින් මොහු මූල්‍ය වංචා දූෂණයන් සිදුකළ බවත්, විශ්ව විද්‍යාලය තුළ ඒකාධිපති පාලනයක් ගෙන යන බවටත්, ඒ අනුව පන්ති ජීවිතාන්තය තෙක් තහනම් කිරීම්, උපාධි ප්‍රධානෝත්සව තහනම් කිරීම්, නේවාසිකාගාර තහනම් කිරීම් වැනි තත්වයන් නිසා සිසුන්ට අධ්‍යයන කටයුතු කරගෙන යාමට අවශ්‍ය නිසි වටපිටාව ඒ ඔස්සේ අහිමි වීම යන කරුණු කාරනා රැසක් මුල් කරගනිමි, හිටපු උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේනට එරෙහිව විශ්වවිද්යාලයේ අනධ්යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය සංගම්, විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විරෝධතාවල නිරත විය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේනට එරෙහිව ශිෂ්‍යයින්, ආචාර්ය මහාචාර්යවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැක්වූ විරෝධතා සහ ඔවුන්ගේ ආදහස් දැක්වීම් ඇතුළත් වාර්තා කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
මෙම ගැටලුව සම්බන්ධයෙන් එවක ද අග්‍රාමාත්‍යවරිය වූ ආචාරය හරිනි අමරසුරිය සහ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අතර විශේෂ සාකච්ඡා ද පැවැත්වුණි.
එම අවස්ථාවේ මහාචාර්ය සුජීව අමරසේනට එරෙහිව චෝදනා එල්ල වීමේදී එම මහතා තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවටත්, තමන් එම ධූරයෙන් ඉවත් නොවන බවත් දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශ කර තිබෙනවා. ඒ සම්බන්ධ පුවත් කිහිපයක් මෙතනින් සහ මෙතනින්. එම මහතා අග්‍රාමාත්‍යවරිය වෙත ඒ සම්බන්ධයෙන් ලිපියක් ද නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් 2024 නොවැම්බර් 24 ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වන වගන්තිය යටතේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස පැවරී ඇති බලතල ප්‍රකාරව රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්යෙෂ්ඨ මහාචාර්ය R.M.U.S.K රත්නායක මහතා පත්කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ, රුහුණු විශ්ව විද්යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්වයට නැවත පත්කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් මෙම උපකුලපති වෙනුවට නිසි බලධාරියා පත්කරන බවයි.
ඒ අනුව මහාචාර්ය සුජීව අමරසේන වෙනුවට නව උපකුලපතිවරයෙක් නොව නිසි බලධාරියෙක් පමණක් පත්කර ඇත.
මහාචාර්ය සුජීව අමරසේන වෙනුවට නිසි බලධාරියෙක් පත්කිරීමෙන් අනතුරුව ඔහු දෙරණ නාලිකාවේ ‘මොකද වුණේ?’ වැඩසටහනට පැමිණ ඔහුට විරුද්ධව තිබූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් එම චෝදනාවලට කරුණු දැක්වීම් එකින් එක සිදුකරනු ලබනවා.
මෙම වැඩසටහන ආරම්භයේදී ම ඔහු පවසන්නේ, විශ්වවිද්යාලයේ කටයුතු අවුල් වී ඇති බවට සඳහන් කරමින් එය යථා තත්වයට පත්කිරීමට නිසි බලධාරියෙක් පත්කර ඇති නමුත් තමාව උපකුලපති ධූරයෙන් ඉවත් කිරීමක් සිදුව නොමැති බවයි. එම වැඩසටහන සිදුකරන මොහොත වන විටත් එම මහතා රුහුණු විශ්වවිද්යාලයේ උපකුලපති බව ඔහු සඳහන් කරනවා. එනමුත් ලිපි ලේඛනවලට අත්සන් කිරීමේ හැකියාව තමාට නොමැති බවත්, රාජකාරී කටයුතු තමාට කිරීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පවසනවා. එනම් මෙහිදී ඔහුගේ බලතක කප්පාදුවක් පමණක් සිදුව ඇති නමුත්, උපකුලපති ධූරයෙන් ඔහුව ඉවත්කිරීමක් සිදුව නොමැත.
ඔහු පවසන්නේ, ඔහුගේ මෙම බලතල කප්පාදුවට පෙර විමර්ශණ කිහිපයක් ඔහුට පැවැත්වුණු නමුත්, මෙම බලතල කප්පාදුව සිදුකලේ ඒවා මත පදනම්ව නොව, විශ්වවිද්‍යාල පරිපාලනය අවුල් වී ඇති බවට සඳහන් කරමින් බවයි. එම අවුල් සහගත බව නිර්මාණය කළේ විරෝධතා දැක්වූ, ඒවා සංවිධානය කළ අය බවත්, මේවා සැලසුම් සහගතව සිදුවූ ඒවා බවත් ඔහු පවසනවා.
විශ්වවිද්‍යාලය තුළ රහස් ඡන්දයක් තියා නිසි පරිදි එයින් ඔප්පුවුවහොත් තමාට විරුද්ධව බහුතරය ඉන්නා බව, තමා ඉල්ලා අස්වන බව මහාචාර්ය සුජීව අමරසේන පවසනවා. එනමුත් එසේ නොකර මෙම බලතල කප්පාදුව සිදුකළේ වර්තමාන රජයේ දේශපාලනික පලිගැනීමක් නිසා බවයි එම මහතා සඳහන් කරන්නේ.
රුහුණු විශ්වවිද්යාලයට නව උපකුලපතිවරයෙක්
මහාචාර්ය සුජීව අමරසේන ඉහත වැඩසටහනේදී පවසන්නේ, සිය ධූරකාලය 2025 මාර්තු මාස 8 වන දින අවසන් වන බවයි.
ඒ අනුව වර්තමානයේ රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස සේවය කරන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ.ජයන්ත මහතායි. ඔහු පසුගිය මාර්තු 8 වනදින සිය ධූරයේ වැඩභාරගෙන තිබෙනවා.
ඒ බව විශ්වවිද්‍යාල නිල වෙබ් අඩවියේ තොරතුරු සඳහන්වනවා. නව උපකුලපති පත්වීම සම්බන්ධ පුවත් පළවී තිබුණේ මෙලෙසින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
“ශිෂ්‍ය සංගම් ඉල්ලීම් කළ නිසයි රුහුණේ උපකුලපති ඉවත් කළේ – ඔහු නවක වදයට එරෙහි ක්රියාමාර්ග ගත්බව දැන සිටියේ නෑ.” යනුවෙන් අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බවට සමාජ මාධ්‍ය සටහන් පළ වුව ද එතුමිය එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිඳු මූලාශ්‍රයක් හෝ වාර්තා කිරීමක් නොමැත.

Title:පසුගිය වසරේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ඉවත් කිරීම ගැන අගමැති හරිනි මේ දිනවල අදහස් දැක්වීමක් සිදුකළා ද ?
Written By: Piumika LakshaniResult: Misleading
