රු. 75000 තිබී රු. 350 ට අඩු කල ඖෂධය දැන් රු. 84500 ක් ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙම වසරේ ජනවාරි මාසයේ මහත් ආන්දෝලනාත්මක අයුරින් කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ රු.76,000ක් වැනි විශාල මුදලකට පැවති ඖෂධයක මිල රු.350කට ලබාදීමේ හැකියාව තිබියදීත් රු.76,000ක් වැනි මිලකට ලබාදීම පෙර රජයන්හිදී සිදුවීමයි.

එනමුත් නව රජය මෙම ඖෂධය ඇතුළු ඖෂධ මිල ගණන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවට එම වකවානුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.

කෙසේ වෙතත් රු.76,000ක් වැනි විශාල මුදලකට පැවති, එනමුත් රු.350කට ලබාදිය හැකි බවට රජය පැවසූ ඖෂධය ම රු.84,500ක් වැනි වඩාත් ඉහළ මිලකට නැවතත් ලබාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එබැවින් මෙම සිදුවීමට අදාළව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“මේ තියෙන්නේ මහරගම අපේක්ෂා රොහලේ ගේට්ටුව අසල ෆාමසියෙ පිළිකා මර්ධන බෙහෙත් කුප්පියක මිල…75000 ට තිබුන බෙහෙත 750 ට අඩු කලා කියල කිවුවෙ ..දැන් 84500 යි…..රැවටෙන අයට කැමතිනම් තව රැවටෙන්න පුලුවන්” 

යනුවෙන් සඳහන් සටහනක් ද සහිතව Trastuzumab 440 mg නම් ඖෂධයක් රු.84,500කට ෆාමසියකින් මිලදීගත් බිලක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණේ මෙලෙසින්.

Fb|Archive

නව රජය මෙම වසරේ මුල කතාබහට ලක්වූ ඉහළ මිලකට තිබී මිල අඩුවෙන් ලබාදිය හැකි බව පැවසූ ඖෂධය ම නැවතත් ඊටත් වඩා ඉහළ මිලකට ලබාදීම විවේචනය කරමින් තවත් සමාජ මාධ්‍ය සටහන් පළකර තිබුණේ මෙලෙසින්.

FB|Archive |Fb|Archive

බොහෝ දෙනෙක් මෙය පළාත් පාලන ඡන්දය අද (6) දිනයේ පැවැත්වෙන බැවින් එය ඉලක්ක කරගනිමින් නව රජයට එල්ල කළ මඩ ගැසීමක් ලෙස අදහස් දක්වා තිබුණා.

තවද මෙම සංසරණය වන බිලෙහි පවතින්නේ, රු.75,000ට තිබී, රු.350ට මිල අඩු කළ හැකි බවට පැවසූ ඖෂධය නොව වෙනත් ඖෂධයක් බවත් එබැවින් මේවා අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් බවටත් ඇතමුන් අදහස් පළකර තිබුණා.

කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් නිවැරදි කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

රු.350ක් වැනි මිලකට ලබාදීමේ හැකියාව තිබියදී රු.75,000ක් වැනි ඉහළ මිල ගණන් වලට ලබාදෙන බවට පසුගිය කාලයේ කතා බහට ලක්වූ ඖෂධය කුමක් ද යන්න සම්බන්ධයෙන් අප පළමුව අවධානය යොමු කළා.

ඒ අනුව මෙම වසරේ මුලදී කතා බහකට ලක් වූ ඖෂධය වූයේ Papaverine Hydrochloride නම් එන්නතයි. මෙය හෘද රෝග සැත්කම්වලදී භාවිතා කරන ඖෂධයක් වන අතර පිළිකා සඳහා ලබාදෙන ඖෂධයක් නොවේ. අප මෙම ඖෂධයේ මිල ගණන් සම්බන්ධයෙන් කතාබහට ලක් වූ අවධියේ සිදුකළ සවිස්තරාත්මක කරුණු විමර්ෂණය මෙතනින්.

මෙම Papaverine Hydrochloride නම් එන්නත ජාතික ජනබලවේග රජය බලයට පත්වීමට පෙර එවක පැවති රජයන් විසින්, ඖෂධ ගෙන්වීමේදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව එකම සැපයුම් කරුවෙක් හරහා ඉහළ මිලකට ගෙන්වීම කාලයක සිට සිදුව තිබෙනවා.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

කෙසේ වෙතත් නව රජය පත්වීමෙන් පසු මෙම එන්නත රු.370කට ලබාගැනීමට අදාළ ඖෂධ සපයන සමාගම්වල එකඟතාවය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට හැකි වී ඇති බව මෙම ඖෂධය සම්බන්ධයෙන් කතාබහ මතු වූ කාලයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි පවසනු ලැබුවා.

එමෙන් ම Papaverine Hydrochloride නම් ඖෂධය එවක ලංකාදීප පුවතේ සඳහන්වන ලෙස නිවෙස් විකුණා රෝගීන්ට මිලදී ගැනීමට සිදුවූ බව අසත්‍යක් බවත්, වැඩි මිලට මෙම එන්නත සපයා ඇත්තේ රජයට බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ සභාපති විශේෂඥ  වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙම සිදුවීම සිදුවූ කාලයේදී අප කළ විමසීමේදී පැවසුවා.

ඒ අනුව Papaverine Hydrochloride නම් ඖෂධය රු.370ක් වැනි මිලකට ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන බව පවසා තිබියදී එම එන්නත ම රු.84,500ක මිලකට ලබාදෙන බවටයි මේ දිනවල සංසරණය වන සමාජ මාධ්‍ය සටහන්වල තොරතුරුවලින් ඇඟවෙන්නේ.

එනමුත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන, අපේක්ෂා රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල ඇති ‘Aruna Pharmacy and grocery’ නම් ඖෂධහලෙන් මිලදීගත් ඖෂධයේ බිල්පත හොඳින් පරීක්ෂා කර බැලුවහොත් ඔබට පෙනෙනවා ඇති එහි මිලදීගෙන ඇත්තේ, Trastuzumab 440 mg නම් ඖෂධයක් බව.

ඒ අනුව පසුගිය කාලයේ කතාබහට ලක් වූ Papaverine Hydrochloride නම් ඖෂධය සහ මෙම බිල්පතේ සඳහන් වන Trastuzumab 440 mg ඖෂධය යනු ඖෂධ දෙවර්ගයකි.

Aruna Pharmacy and grocery හිමිකරු

Aruna Pharmacy and grocery හි හිමිකරු ඖෂධවේදී තරංග සංජීව ද සිය ෆාමසියෙන් පසුගිය අප්‍රේල් මාසයේදී Trastuzumab 440 mg නම් ඖෂධය මිලදී ගැනීමේ බිල්පතක් සමාජ මාධ්‍යයේ හුවමාරුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන අතර ඔහු සඳහන් කරන්නේ, පළාත් පාලන ඡන්දය ආසන්නයේ රජය සහ තම ආයතනය අපහසුතාවයට පත්කරමින් මෙම සමාජ මාධ්‍ය සටහන් හුවමාරුවන බවයි.

රු. 370ක් වැනි මිල්කට ලබාදිය හැකි එනමුත් රු.75,000ක් වැනි මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් මීට පෙර කතාබහ ඇති වූයේ Papaverine නම් ඖෂධයේ බවත් මෙම බිල්පතේ සඳහන් වන්නේ එම ඖෂධය නොව Trastuzumab ඖෂධය බවයි ඔහු පවසන්නේ. සාමාන්‍යයෙන් එම ඖෂධයෙ මිල පවතින්නේ, රු.84,500ක් වැනි මිලකට බවත්, එහි මිලෙහි මේ ආකරයේ වෙනසක් සිදුව නොමැති බවයි, එම ෆාමසියේ හිමිකරු පවසන්නේ. 

මෙම සිදුවීමට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම ආයතනයේ හිමිකරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

අප මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. වෛද්‍ය ආනන්ද පැවසුවේ Papaverine සහ Trastuzumab යනු ඖෂධ වර්ග දෙකක් බවයි.

Trastuzumab ඖෂධයේ සාමාන්‍ය මිල ගණන් පවතින්නේ, 84,000ක් වැනි මිලකට බවයි එම මහතා සඳහන් කළේ. Papaverine ඖෂධයේ මෙන් Trastuzumab ඖෂධයේ මිල ගණන් අඩු කිරීමක් සිදු කළ හැකි බවට ඖෂධ නියාමන අධිකාරියෙන් සඳහන් කිරීමක් කර නොමැති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

එමෙන් ම ඖෂධ මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් ද අප කළ විමසීමේදී එම මහතා සඳහන් කළේ, දැනට පවතින වාරණ නියෝගයට අදාළව ඖෂධ නියාමන අධිකාරියෙන් මෝසමක් ඉදිරිපත් කර තිබෙන අතර එම වාරණ නියෝගය ඉවත් කිරීමෙන් අනතුරුව ඖෂධ මිල ගණන් අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

Trastuzumab ඖෂධය

Trastuzumab යනු HER2-ධනාත්මක පියයුරු පිළිකා සහ ආමාශ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන ඒක ක්ලෝනල් ප්‍රතිදේහ ඖෂධයකි. එය ක්‍රියා කරන්නේ පිළිකා සෛලවල අධික ලෙස ප්‍රකාශ වන සහ ඒවායේ වර්ධනයට උපකාරී වන HER2 ප්‍රෝටීනය අවහිර කිරීම සඳහා ය.

එම ඖෂධය සම්බන්ධ වැඩිදුර තොරතුරු ඔබට මෙතනින් සහ මෙතනින් කියවිය හැකිය.

Trastuzumab 440 mg නම් ඖෂධයේ මිල ගණන් 

ලංකාවේ සාමාන්‍ය වෙළඳපොළ තුළ Trastuzumab 440 mg නම් ඖෂධයේ මිල ගණන් ඖශධහල් කිහිපයකින් පරීක්ෂා කළ අතර එම ඖෂධයේ මිල සාමාන්‍යයෙන් පවතින්නේ රු. 84,000 ක මිලකටයි.

රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියේ 2024 වසරේ මෙම ඖෂධයේ ඇස්තමේන්තු මිල පවතින්නේ, රු.62,410කට ය.

ඒ අනුව පිළිකා සඳහා ලබාදෙන මෙම එන්නත ඉහළ මිලකට රජයට ද සැපයීම සිදුවන අතර සාමාන්‍ය වෙළඳපොළේ ද මෙම ඖෂධයේ මිල පවත්තින්නේ ඉහළ මිලකටයි.

Also Read – රු.76,000 පිළිකා එන්නත රු. 370 දක්වා පහත දැමීමේ කතාවේ ඇත්ත !

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

මෙම වසරේ මුල් කාලයේදී රු.75,000ක් වැනි ඉහළ මිලකට පැවති, එනමුත් රු350ක් වැනි මිලකට රජයට ලබාගත හැකි ඖෂධයක් බවට කතාබහක් ඇති වූයේ Papaverine Hydrochloride නම් ඖෂධය සම්බන්ධයෙනි. එමෙන් ම එය පිළිකා රෝග සඳහා නොව හෘද සැත්කම් සඳහා ලබාදෙන එන්නතකි. 

තවද Papaverine Hydrochloride එන්නත රජය විසින් මිළදී ගැනීමේ ක්‍රියා පටිපාටිය යටතේ මිලදී ගැනීමක් සිදුවූ බැවින් එය ෆාමසි හරහා මිලදී ගැනීමේ තත්වයක් නොමැත. 

එනමුත් Papaverine ඖෂධයම, ඊටත් වඩා ඉහළ මිලකට එනම් රු.84,500ක් වැනි මිලකට ලබාගැනීමට විකිණෙන බව හඟවමින්, හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන සුළු අතර සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන බිල්පතේ සඳහන් වන්නේ, Trastuzumab 440 mg නම් වෙනත් ඖෂධයක මිල ගණන් ය. එම ඖෂධයේ සාමාන්‍ය වෙළඳපොළ මිල පවතින්නේ එවැනි ඉහළ මිල ගණන් යටතේ වන අතර ජාතික ජන බලවේග රජය යටතේ මෙම එන්නතේ මිලෙහි අඩුවීමක් සිදුවුයේ නැහැ.

Avatar

Title:රු. 75000 තිබී රු. 350 ට අඩු කල ඖෂධය දැන් රු. 84500 ක් ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply