මාරාන්තික බස් අනතුරට හේතුව මගනැගුම ව්‍යාපෘතියෙන් කොමිස් ලබා ගැනීම බවට ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය මැයි 11 වන දා කොත්මලේ , ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුර මේ වනවිට පුද්ගලයන් විසි දෙදෙනෙකුට මරු කැඳවූ, බොහෝ කතාබහට ලක්වූ ඛේදවාචකයක් බවට පත්වී තිබෙනවා. මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුවෙමින් පවතිද්දි, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම අනතුරට හේතුව හෙළිකළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වූ අතර එහි සත්‍යතාව සොයා Factcrescendo අප ඒ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මාරාන්තික බස් අනතුරට හේතුව මගනැගුම ව්‍යාපෘතියෙන් කොමිස් ලබාගන්න රාජපක්ෂලා සිදුකල අවිධිමත් මාර්ග සංවර්ධන කටයුතුයි. ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්.!” ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වුණේ මේ ආකාරයෙන්.

Facebook | Archived Link

මෙම සටහන් බහලුව ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්.

සත්‍ය වශයෙන් ම ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් පසුගිය 11 වන දින කොත්මලේ , ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස්රථ අනතුරට හේතුව ලෙස ඉහත සඳහන් ප්‍රකාශය සිදු කර ඇත්ද යන්න පිළිබඳ ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා.

නියෝජ්‍ය අමාත්‍යවරා විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබේද යන්න පරීක්ෂා කළ ත්, එවැනි ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදු කළ බවට දක්වා නොතිබුණි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් මාධ්‍ය වෙත හෝ වෙනත් ප්‍රසිද්ධ වේදිකාවකදී හෝ මෙවන් ප්‍රකාශයක් සිදු කරේ ද, යන්න පිළිබඳ පරීක්ෂා කරත් එලෙසින් මෙම අනතුරට හේතුව පිළිබඳ හෙළිදරව්වක් අමාත්‍යවරයා විසින් සිදු කර බවට දැක ගන්නට නොලැබුණි.

පසුගිය මැයි 09 වන දා පාර්ලිමේන්තුවේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පොදු ප්‍රවාහනයේ සුව පහසුව වගේම ආරක්ෂිතබව සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවට අවසන් වරට ඔහු සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පළ වූ පුවත් වල දැක්වෙන්නේ මෙලෙසින්. නමුත් මේ අනතුරෙන් පසුව ඔහු සිදු කළ ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය ධාරාවල පළ වී ඇති බවට දැක ගන්නට නොලැබේ.

සිරස Newfirst ආකෘතිය අවභාවිතා කරමින් සිදු කළ නිර්මාණයක්

එමෙන් ම ඉහත සමාජ මාධ්‍ය සටහන පළ වී තිබුණේ, සිරස රූපවාහිනි නාලිකාවේ, Newsfirst පුවත් නිල ෆේස්බුක් පිටුවේ බවට දක්වා තිබූ බැවින් අප එම පිටුව හරහා ද, ඉහත සඳහන් ලෙස පුවතක් පළ වී ඇත්දැයි යන්න පිළිබඳ පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එවැනි පුවතක් පළ වී නොතිබුණු අතර අප කළ විමසීමේදී එහි කළමණාකරුවෙකු විසින් තහවුරු කළේ ද, එවැනි පුවතක් එම ෆේස්බුක් පිටුවේ පළ කර නොමැති බව ත්, ඔවුන්ගේ පුවත් ආකෘතිය අවභාවිත කරමින් මෙම සටහන නිර්මාණය කර ඇති බවයි.

ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා භාවිත කර තිබූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ඡායාරූපය සම්බන්ධයෙන් ද, අප පරීක්ෂා කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, එහි දැක්වෙන්නේ අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේ පසුගිය පෙබරවාරි 04 වන දා පළ වූ ඡායාරූපයක් බවයි. එනම් මෙම අනතුර සිදුවීමට පෙර පළ ව තිබූ ඡායාරූපයක් බවට පැහැදිලි වේ.

Facebook | Archived Link

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය 

මේ පිළිබඳව වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා. 

ඔහු සඳහන් කළේ, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම මාරක අනතුරට හේතුව ලෙස සඳහන් කරමින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. මෙම ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද, ඉදිරිපත් කළ බව ත්, සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ,  මෙම රිය අනතුර සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කර නොමැති බව ත්, සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විධිමත් පරීක්ෂණ සිදු කරන බව ත්, එම පරීක්ෂණ අනුව මහ මාර්ග අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නොබෝ දිනකින් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි.

කොත්මලේ , ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුර

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් බස් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදු වූ අනතුරෙන් බස් රථයේ රියැදුරු ඇතුළු පුද්ගලයන් විසි දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

බස් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර ඇති අතර මෙම බස් රථ අනතුරට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙම කමිටුව පත් කර ඇති බවට පොලීසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කර, නිරීක්ෂණ හා නිදේශ සහිත වාර්තාවක් ලබන 30 වැනිදාට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය  එම කමිටුව වෙත දැනුම්දී  තිබේ.

මෙම කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩයන් කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදු කිරීමට නියමිත අතර , ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා උපදෙස් ලබා දී තිබුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් මේ අනතුරට හේතුව වශයෙන් නිශ්චිත වාර්තාවක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති අතර අදාළ විමර්ශනයන් තවදුරටත් ක්‍රියාත්මක වන බැවින්, මෙම අනතුරට හේතුව ලෙස පෙන්වා දී තිබූ සටහන් තව දුරටත් අසත්‍ය බවට තහවුරු වේ.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

කොත්මලේ , ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික බස් අනතුරට හේතුව මගනැගූම ව්‍යාපෘතියෙන් කොමිස් ලබාගන්න රාජපක්ෂලා සිදුකල අවිධිමත් මාර්ග සංවර්ධන කටයුතු බවට ප්‍රවාහන නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසු බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ. අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර මෙතෙක් මෙම අනතුරට හේතුව පිළිබඳ අනාවරණය වී නොමැති අතර තවමත් විමර්ශනයන් අදාළ පාර්ශව විසින් සිදු කරනු ලබනවා.

Avatar

Title:මාරාන්තික බස් අනතුරට හේතුව මගනැගුම ව්‍යාපෘතියෙන් කොමිස් ලබා ගැනීම බවට ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply