ලුණු අර්බුදය සහ ඒ හා පැතිරුණු සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් !

Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අයහපත් කාළගුණික තත්වයන් හේතුවෙන් පසුගිය කාලයේ මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් ලුණු නිෂ්පාදනය කිරීමේ ගැටලුවක් පැනනැගුණු අතර එහිදී ලුණු ආනයනය කිරීමටත් රජය කටයුතු කරනු ලැබුවා.

නමුත් නැවතත් මෙරට වෙළඳපොලේ ලුණු හිඟ තත්වයක් පැනනැගී ඇති අතර එම තත්වය තුළ මෙරට ලුණු පිළිබඳ මාතෘකාව නැවතත් කරලියට පැමිණ තිබෙනවා. 

මෙම පසුබිම තුළ ලුණු මිල ඉහළ යාමේ තත්වයන් ද පවතින බවට සමාජ මාධ්‍ය සටහන් පළව තිබූ අතර ලුණු අර්බුධය සම්බන්ධයෙන් මැති ඇමතිවරු සිදුකළ ඇතැම් ප්‍රකාශ ද සමාජයේ කතාබහට ලක්ව තිබූ බැවින් මෙම සියලු තත්වයන් පිළිබඳ පැහැදිලි කිරීමක් අප විසින් සිදුකිරීමට තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

Claim 01:

මේ දිනවල ලුණු මිල ඉතා ඉහළ ගොස් ඇති බවට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබුණේ මේ අයුරින්.

Fb

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

මෙරට බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණේ ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බවයි. මෙම තත්වය තුළ ඇතැම් වෙළඳුන් ලුණු ඉහළ මිලකට ඇලෙවි කරන බව ප්‍රධාන මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණා. එම පුවත් මෙතනින්, මෙතනින්

ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ

‍ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරන්නේ, ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බවයි.

ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද  එය ප්‍රමාද වී ඇති බව එම මහතා සඳහන් කරනවා.

ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

වෙළඳපොලේ ලුණු මිල 

සමාජ මාධ්‍ය තුළ ද ලුණු මිල ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබූ බැවින් අප මේ සම්බන්ධයෙන් සොයාබැලීමක් කළා.

Cargills Food City තුළ ලුණු මිල විවිධ සන්නාමවල පැවතියේ 400g පැකට්ටුවක් රු.120 සිට 170 දක්වා මිලකටයි. 1kg පැකට්ටුවක් 220 – 290 කට අලෙවි වන බවයි දැක්වෙන්නේ. එනමුත් ඒවා ඔන්ලයින් මිලදී ගැනීමට නොමැති බවයි සඳහන් වුණේ. 

අප ශාඛා කිහිපයකින් කළ විමසීමේදී ද සඳහන් කළේ, ලුණු සති දෙකක වැනි කාලයක සිට අලෙවි කිරීම සිදු නොවූ බවයි.

කීල්ස් ආයතනයේද ලුණු මිලදී ගැනීමට නොමැති බවයි සඳහන් කළේ. ඔවුන්ගේ වෙබ් අඩවියේද ලුණු මිලදී ගැනීමට ඇති බව දක්වා නොමැත. 

ලංකා සතොස අලෙවිසැල් කිහිපයකින් ද අප විමසීමක් කළ අතර ලුණු අලෙවි කිරීමට නොමැති බවයි එම ශාඛා සියල්ල සඳහන් කළේ. නැවත ලුණු පැමිණෙන දිනයක් නිශ්චිතව නොදන්නා බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

සිල්ලර වෙළඳසැල් කිහිපයකින් ලුණු මිල අප පරීක්ෂා කළ අතර බොහෝ ස්ථානවල ද ලුණු මිලදී ගැනීමට නොවී ය. ඇතැම් ස්ථානවල කැට ලුණු සහ  ලුණු කුඩු පැරණි මිල ගණන්වලට ද විකිණීම සිදුවනවා. 

ඇතැම් සන්නාමවල ලුණු කැට 1kg මිල රු.300ක මිලකටත් 800g ලුණු කැට පැකට් එකක මිල රු.290 ක වැනි මුදලකට අලෙවි වන බවයි අප කළ නිරීක්ෂණයේදී දැකගත හැකිවුණේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතමුන් අදහස් දක්වා තිබුණේ, ලුණු කුඩු පැකට් 400g පැකට්ටුවක මිල සඳහන් වුණේ රු.120 මිලකට වුව ද, එය විකිණීම සිදුවන්නේ, රු.190කට වන බවයි.

Fb|Archive

පාරිභෝගික අධිකාරිය

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතමුන් ලුණු වැඩි මිලට අලෙවි කරන බවට අදහස් දක්වා තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයතු අධිකාරියෙන් අප කළ විමසීමේදී සඳහන් කළේ රු.400ක් වැනි මිලකට ලුණු අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම් කරන බවයි. එමෙන් ම ලුණු තොග සඟවාගෙන සිටිනවා ද යන්නත් පාරීක්ෂා කරන බවයි පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන් ම පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් අසේල බණ්ඩාර මහතා සඳහන් කර තිබෙනවා.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍යංශයේ ලේකම් ඒ විමලෙන්තිරාජා

ලුණු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව විමසීම සඳහා අප වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍යංශයේ ලේකම් ඒ විමලෙන්තිරාජාගෙන් විමසීමක් කළ අතර එහිදී එම මහතා සඳහන් කළේ ලුණු ආනයනය සම්බන්ධයෙන් නව කැබිනට් තීරණයක් පැමිණීමට ඇති බවත්, එය පැමිණි වහාම ලුණු ආනයනය කඩිනමින් සිදුකරන බවත් ය.

අප එම විමසීම සිදුකර කෙටි වේලාවකින් ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවට වාර්තා විය.

ඒ අනුව ජූනි 10 වනදා දක්වා එම ආනයනයන්ට අදාළ අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා මෙහිදී අවස්ථාව ලබා දී තිබෙනවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

Claim 02:

ලුණු නැත්නම්, හාල් නැත්නම්, පොල් නැත්තන් ඇත්තටම වග කිවයුත්තේ පසුගිය ආණ්ඩු බවට නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ සිදුකළ ප්‍රකාශයක් මෙම ලුණු අර්බුධය පවතින පසුබිම තුළ බොහෝසෙයින් විවේචනාත්මකව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

බොහෝදෙනෙක් මෙම ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ලුණු ගැටලුව මුල් කරගනිමින් දැක්වූ අදහසකදී පැවසූ දෙයක් බවට ඇඟවෙන අයුරිනුයි මෙය හුවමාරු කරගෙන තිබුණේ.

Fb

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fb|Archive

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ලුණු අර්බුධයක් වෙළඳපොළේ පවතින වාතාවරණයක එම ලුණු ගැටලුවට හේතුව පසුගිය රජයන් බවට නලීන් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සබන්ධයෙන් අප කළ සොයා බැලීමේදී පෙනීගියේ එය මේ දිනවල පවතින ලුණු ගැටලුව ඉලක්ක කරගනිමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් නොවන බවයි.

2024 වසරේ දෙසැම්බර් මාසයේදී ද මෙරට පැවති අයහපත් කාළගුණය හේතුවෙන් මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් ලුණු නිෂ්පාදනය කිරීමේ නොහැකියාව මත ලුණු හිඟයක් වෙළඳපොළ ඇතිවූ අතර එහිදී ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුනා.

ඒ අනුව එම වකවානුවේ ලුණු සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් ඇති වී තිබූ අතර එකළ නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ, නව රජය පත්වී දින 48ක් පමණක් ගත වී ඇති බවත්, එමනිසා මෙම ලුණු හිඟ තත්වය ඇතුළු හාල්, පොල් ගැටලු සඳහා ද වගකිව යුත්තේ පසුගිය රජයන් බවයි.

එය ඔහු එම අවදියේ එනම් 2024 දෙසැම්බර් මාසයේ සිදුකළ ප්‍රකාශයකි.

එකළ එම මහතා මෙම ප්‍රකාශය සිදුකළ බවට මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

අප නලීන් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන් ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ එය 2024 දෙසැම්බර් මාසයේ සිදුකළ ප්‍රකාශයක් බවත් මෙම ලුණු අර්බුදය පවතින පසුබිමේ සිදුකළ එකක් නොවන බවයි.

ඒ අනුව NPP රජය පවත් වී දින 48ක් වැනි කාලයක් තුළ දී සිදු කළ එම ප්‍රකාශය  මේ දිනවල නැවත ලුණු අර්බුදයක් ඇතිවීම මත මෙම ප්‍රකාශය නැවත විවේචනාත්මක අයුරින් සහ උපහාසාත්මක අයුරින් මේ දිනවල සිදුකළ ප්‍රකාශයක් බවට ඇඟවෙන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන බව පැහැදිලි වනවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

Claim 03:

ලුණු කියන්නේ සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් නෙවෙයි. ලුනු හිඟය නිසා රටේ ජනතාවගේ ලුණු පරිභෝජනය අවම වීමෙන් සිදුවන්නේ යහපතක් යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් ප්‍රකාශයක් සිදු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

චතුරංග අබේසිංහ අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළ ත්, ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම ඔහු විසින් වෙනත් ස්ථානයකදී හෝ මෙලෙසින් ප්‍රකාශයක් කර ඇත්ද යන්න පිළිබඳ අප පරීක්ෂා කළ ත්, ඔහු ඉහත සමාජ මාධ්‍ය වල දැක්වෙන ලෙස ප්‍රකාශයක් කර නොතිබුණි.

අප මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව ත්, එම සටහන් අසත්‍ය බවත් ය.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

Claim 04:

“අධික ලුණු භාවිතය නිසා හෘද රෝගීන් විශාල ප්‍රමාණයකින් වැඩිවෙලා” යනුවෙන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් එය මෙම ලුණු අර්බුධය අරඹයා කළ ප්‍රකාශයක් ලෙසට ඇඟවෙන අයුරිනුත් පළකර තිබුණේ මෙලෙසින්.

Fb|Archive

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ලුණු අධික භාවිතය හේතුවෙන් හෘද රෝගීන් වැඩි වී ඇති වී ඇති බවට ප්‍රකාශයක් මේ දිනවල නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේද යන්න අප සොයා බැලීමක් කළ නමුත් කිසිඳු මාධ්‍යයක් හරහා අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළ බවට වාර්තා කිරීමක් සිදුව නොතිබුණි.

මෑතකාලීනව අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර තිබේද යන්න අප වැඩිදුරටත් පරීක්ෂා කළ නමුත් ඔහු එවැන්නක් පැවසූ වීඩියෝවක් අපට හමු නොවීය.

මෙම සමාජ මාධ්‍ය සටහන News Hub ෆේස්ගිණුමේ ආකෘතියෙන් පළ වූවක් බැවින් මෙම පුවතට අදාළ වැඩි විස්තර සහිත සබැඳියක් තිබේද යන්න අප එම ගිණූමේ පරීක්ෂා කළ නමුත් News Hub ෆේස්ගිණුමේ එවැනි කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් පළකර ඇති ආකාරය අපට දැකගත නොහැකි විය.

Also Read – ලුණු මිල පිලිබදව පැතිරෙන නොමගයවන සුළු සමාජ ජාලා සටහන් (පෙබරවාරි 2025)

Also Read – ලුණු ආනයනය සම්බන්ධව පැතිර යන නොමගයවන සුළු සමාජ ජාලා සටහන් (දෙසැම්බර් 2024) 

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ලුණු අර්බුදය සහ ඒ හා පැතිරුණු සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් !

Written By: Piumika Lakshani  

Result: Insight


Leave a Reply