
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය අප්‍රේල් මස, ඉන්දීය පරිපාලනය යටතේ පවතින පහල්ගම් වෙත, ලෂ්කර්-ඊ-තලීබා සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ දශක ගණනාවක් තිස්සේ පවතින ඉන්දීය – පකිස්තාන දේශසීමා පිලිබඳ ගැටුම්කාරී තත්වය නැවතත් තීව්‍ර විය.මෙම තත්වය හමුවේ ඉන්දියානු පාකිස්තාන ගැටුම් පිළිබඳ බොහෝ ව්‍යාජ, නොමඟ යවන සුළු තොරතුරු ද හුවමාරු වීම නිරන්තරයෙන් සිදු වූ අතර ඉන්දු පාකිස්තාන ගැටුම්වලදී තුවාල ලැබූ පාකිස්තාන ගුවන් නියමුවෙක්ට ඉන්දියානු සිවිල් වැසියන් උපකාර කරන බව දක්වමින් වීඩියෝවක්, ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් පවතිනවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
‘පාකිස්ථාන ගුවන් නියමුවාට ඉන්දීය ජනතාවගෙන් ප්‍රථමාදාර..’ යනුවෙන් සඳහන් කරමින් ගුවන් නියමුවෙකුට සිවිල් වැසියන් උපකාර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පළකර තිබුණේ මේ අයුරින්.
මෙම වීඩියෝව සඳහා බොහෝදෙනෙක් දක්වා තිබූ අදහස්වලින් පෙනී යන්නේ, මෙම වීඩියෝව ඉන්දු පාකිස්තාන ගැටුම් අවස්ථාවකදී තුවාල ලැබූ පාකිස්තානු ගුවන් නියමුවෙකුට ඉන්දියානු ජනතාව සහය දක්වන අවස්ථාවක් බවට විශ්වාස කර ඇති බවයි.
බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන ද තිබු මෙම වීඩියෝවේ නිරවද්‍යතාව අප සොයා බැලීමක් කළේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
‘පාකිස්ථානු ගුවන් නියමුවාට ඉන්දීය ජනතාවගෙන් ප්‍රථමාදාර..’යනුවෙන් සඳහන් කරමින් තුවාල ලැබූ ගුවන් නියමුවන්ට සිවිල් වැසියන් උපකාර කරන අයුරු දැක්වෙන මෙම වීඩියෝව පළ කර තිබුණේ, 2025 මැයි 8 වන දිනයි.
මෙම වීඩියෝවේ කඩා වැටී ගිනි ගන්නා ගුවන් යානයක දර්ශන සහ එම අවස්ථාවේ බොහෝ සිවිල් වැසියන් පිරිසක් කලබලකාරී අයුරින් දැක්වෙන අවස්ථා අන්තර්ගත වී තිබෙනවා.
ඉන්දියාවේ පෙහෙල්ගම් වෙත, එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව පකිස්ථානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසු මෙම වීඩියෝව පළකර ඇති බව ඒ අනුව පෙනී යනවා. එම ප්‍රහාරය පුද්ගලයින් 70 දෙනෙකුට පමණ මරු කැඳවමින් දින කිහිපයක් පුරා පැවති දැඩි සටන් වලට හේතු විය. ඒ පිළිබඳ පුවත් මෙතනින් සහ මෙතනින්
මේ අනුව, මැයි 7 වන දා සිට 10 දක්වා, ඉන්දියාව සහ පාකිස්තානය අතර දශක ගණනාවකට ඇතිවූ දරුණුතම ගැටුම්වලින් පසුව, දෙරට මැයි 10 වන දින සටන් විරාම තත්වයකට එළඹුණා.
මෙම යුධ ගැටුම් අවස්ථාවේ තුවාල ලැබූ පකිස්තානු ගුවන් නියමුවන්ට ඉන්දියානු වැසියන් උපකාර කිරීමේ සිදුවීමක් වාර්තා වී තිබේ ද යන්න අප විදෙස් මාධ්‍ය පරීක්ෂා කළ නමුත් ඉන්දීය හෝ පාකිස්තානු මාධ්‍ය හෝ වෙනත් විදෙස් මාධ්‍යයක් ඔස්සේ එවැනි අවස්ථාවක පුවතක් පළ කර නොතිබුණි.
ඉන්දු – පකිස්තාන ගැටුම් නැවත තීව්‍ර වීමටත් පෙර, එනම් පසුගිය අප්‍රේල් 16 වනදා පකිස්තානයේම සිදුවූ ගුවන් අනතුරක දර්ශන පෙළක් !
Google Reverse Search ඔස්සේ අප කළ සොයා බැලීමේදී පෙනී ගියේ මෙම අවස්ථාව, ඉන්දු – පකිස්තාන ගැටුම් නැවත ආරම්භ වීමට පෙර වූ ගුවන් අනතුරක අවස්ථාවක් බවයි.
ගිනිගත් ගුවන් යානයේ එම දර්ශන සහිත වීඩියෝවක් අප්‍රේල් 16 වන දින ඉන්ස්ටග්‍රෑම් හි eTimes Pakistan ප්‍රවෘත්ති ආයතනය විසින් පළකර තිබුණේ මෙලෙසින්.(Archive)
eTimes Pakistan ප්‍රවෘත්ති ආයතනය එම වීඩියෝව පළකිරීමේදී දක්වා තිබූ සටහනෙහි සඳහන් වන්නේ, “පකිස්ථාන ගුවන් හමුදා ජෙට් යානයක්, වෙහාරි නගරය (Vehari City) අසල කඩා වැටී ඇත,” යනුවෙනි.
එනම් මෙම සිදුවීම වී තිබෙන වෙහාරි නගරය යනු, පකිස්තානයේ දකුණු දිග පන්ජාබ් පළාතේ වෙහාරි දිස්ත්‍රික්කයේ පරිපාලන මධ්‍යස්ථානය වන අතර, පකිස්ථානයේ මුල්ටාන් නගරයට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.
ඉන්දියානු වැසියන් පාකිස්තානු ගුවන් නියමුවන්ට ප්‍රතිකාර කරන බවට සඳහන් කරමින්න් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබූ වීඩියෝවේ දැක්වෙන ගුවන් යානයක් කඩා වැටී ගිනි ගන්නා ආකාරය දැක්වෙන දර්ශණ, eTimes Pakistan ප්‍රවෘත්ති ආයතනය පළ කළ වීඩියෝවේ ද දැක්වේ. එනමුත් එහි ගුවන් නියමුවන්ට ප්‍රතිකාර කරන අවස්ථාවේ දර්ශණ අන්තර්ගත නොවේ.
සමාජ මාධ්‍යයේ හුවමාරුවන වීඩියෝවේ සඳහන් දර්ශණ | eTimes Pakistan ප්‍රවෘත්ති ආයතනය පළ කළ වීඩියෝවේ දැක්වෙන දර්ශණ |
ගුවන් නියමුවන්ට සිවිල් වැසියන් උපකාර කරන අවස්ථාවේ දර්ශන eTimes Pakistan ප්‍රවෘත්ති ආයතනය පළ කළ වීඩියෝවේ අන්තර්ගත නොවන බැවින් අප වැඩිදුරටත් මූල පද ඔස්සේ මෙම සිදුවීම පිළිබඳව සොයා බලනු ලැබීය.
එහිදී පකිස්ථාන පුහුණු ගුවන් හමුදා යානයක් අනතුරට ලක්වී, වෙහාරි දිස්ත්‍රික්කයේ රට්ටා ටිබ්බා ප්‍රදේශයට කඩාවැටීමේ සිදුවීමක් පසුගිය අප්‍රේල් 16 වන දින පකිස්ථානයේ Dawn පුවත්පත ද වාර්තා කර තිබූ අතර වීඩියෝවේ දැක්වෙන ආකාරයේ ගිනිගෙන දැවෙන ගුවන් යානයේ ඡායාරූපයක් ද පළකර තිබුණි. (Archive)
එම පුවතේ ගුවන් නියමුවන් දෙදෙනා ම ආශ්චර්යමත් ලෙස ගුවන් යානයෙන් පිටතට පැන ඔවුන්ගේ දිවි ගලවාගෙන ඇති බවත්, ඔවුන් සුළු තුවාල ලබා ඇති බවත් සඳහන් කර තිබෙනවා.
එමෙන් ම හමුදා ඇඳුම් ඇඳගත් ගුවන් නියමුවෙකුට සිවිල් වැසියන් විසින් උපකාර කරන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය වීඩියෝවේ දෙවන දර්ශනය, පකිස්ථාන මාධ්‍ය ආයතනයක් වන ඩේලි අවුසාෆ් ගිල්ගිට් බෝල්ටිස්තානය විසින් අප්‍රේල් 16 වන දින එහි ෆේස්බුක් පිටුවේ පළ කර ඇති ආකාරය අපට දැකගත හැකි විය. (Archive)
සමාජ මාධ්‍ය වීඩියෝවේ දැක්වෙන ගුවන් නියමුවන්ට ප්‍රතිකාර කිරීමේ දර්ශන | පකිස්ථාන මාධ්‍ය ආයතනයක් වන ඩේලි අවුසාෆ් ගිල්ගිට් බෝල්ටිස්තානය පළකළ වීඩියෝවේ දැක්වෙන දර්ශන |
එම වීඩියෝව පළ කිරීමේදී Daily Ausaf Gilgit Baltistan ආයතනය තබා තිබූ සටහනෙහි සඳහන් වන්නේ, “වේහාරි දිස්ත්‍රික්කයේ තදාසන්න ප්‍රදේශයක් වන රට්ටා ටබ්බා අසලදී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පකිස්ථාන හමුදා පුහුණු ගුවන් යානයක් කඩා වැටුණි. වාසනාවකට මෙන්, යානයේ සිටි නියමුවන් දෙදෙනාම නියමිත වේලාවට පිටතට පැන ආරක්ෂිත වූ අතර කිසිදු හානියක් සිදු නොවීය.” යනුවෙනි.
සමාජ මාධ්‍ය වීඩියෝවේ අනෙක් නියමුවා පෙන්වන දර්ශනය ද අප්‍රේල් 15 වන දින පකිස්ථානයේ CTN ප්‍රවෘත්ති විසින් සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ, පළකර තිබුණේ මෙලෙසින්. (Archive)
සමාජ මාධ්‍ය වීඩියෝවේ දැක්වෙන අනෙක් නියමුවාට ප්‍රතිකාර කිරීමේ දර්ශන | CTN ප්‍රවෘත්ති විසින් සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ පළකළ වීඩියෝවේ දැක්වෙන දර්ශන |
එම වීඩියෝව පළ කිරීමේදී CTN News තබා තිබූ සටහනෙහි ද,
පකිස්ථාන හමුදා ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වේහාරිවල රට්ටා ටබ්බා අසල කෙත්වලට කඩා වැටී ඇති බවයි. යානය කඩා වැටීමට පෙර ගිනිගෙන තිබූ බවත්, වාසනාවකට මෙන්, නියමුවන් දෙදෙනාම නියමිත වේලාවට පිටතට පැන දිවිගලවාගෙන ඇති බවත්, පෞද්ගලික තෙල් ගබඩාවක් අසලදී යානය කඩා වැටුණු නමුත් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවටත් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව සමාජ මාධ්‍යයේ දැක්වෙන්නේ, ඉන්දු පාක්ස්තාන ගැටුම් අවස්තාවේ වීඩියෝවක් නොව, අප්‍රේල් 15 වන දින පාකිස්තානයේ වේහාරිවල රට්ටා ටබ්බා අසල පුහුණු ගුවන් හමුදා යානයක් කඩා වැටීමේ සිදුවීමකට අදාල දර්ශන වේ.
ඒ අනුව මෙම දර්ශන පාකිස්තානයේ විවිධ මාධ්‍ය විසින් මෙම සිදුවීමට අදාළව පළකරන ලද දර්ශන කිහිපයක් එක් කරමින් සකස් කළ වීඩියෝවක් බව ද පැහැදිලි වනවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
‘පාකිස්ථාන ගුවන් නියමුවාට ඉන්දීය ජනතාවගෙන් ප්‍රථමාදාර..’ යනුවෙන් සඳහන් කරමින් ගුවන් නියමුවෙකුට සිවිල් වැසියන් උපකාර කරන අයුරු දැක්වෙන වීඩියෝව ඉන්දු පාකිස්තාන ගැටුම් අවස්ථාවේ සිදුවීමක් නොවේ.
මෙහි දැක්වෙන්නේ, ඉන්දු – පකිස්තාන ගැටුම් නැවත තීව්‍ර වීමටත් පෙර, එනම් පසුගිය අප්‍රේල් 15 වනදා, පකිස්තානයේ වෙහාරි නගරය අසල දී, සිදුවූ ගුවන් අනතුරක දී පකිස්තානු ජනතාව, අනතුරට ලක්වූ පකිස්තානු ගුවන් නියමුවන්ට සහය දක්වන අවස්ථවක්.

Title:පාකිස්තානු ගුවන් නියමුවෙක්ට ඉන්දියානු වැසියන් පිහිටවන බවට දක්වමින් සංසරණය වන වීඩියෝව ඇත්ත කතාව!
Fact Check By: Piumika LakshaniResult: False
