
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් පුදුම සහගත ආකාරයේ සතුන් සිටින බවට ඡායාරූප, වීඩියෝ හුවමාරු වන ආකාරය අපට දකින්න ලැබෙනවා. බොහෝ දෙනෙක් මෙවැනි වීඩියෝ ඡායාරූප තම ගිණුම්වල පරිශීලකයන් වැඩි කරගැනීම, රීච් වැඩි කරගැනීම සඳහා භාවිත කරන උපක්‍රමයකි. එනමුත් ඇතමුන් ඒවා සත්‍ය බවට විශ්වාස කරන අවස්ථා පවතින නමුත් එවැනි වීඩියෝ, ඡායාරූප බොහෝමයක් නිර්මාණය කරන ලද වීඩියෝ බව කරුණු පරීක්ෂා කිරීම්වලදී තහවුරු වනවා.
කෙසේ වෙතත් මේ දිනවලත් ඇමසන් ගංගාවේ සිටින යෝධ ඇනකොන්ඩාවෙක් බවට වීඩියෝවක් ලෝකය පුරා බොහෝදෙනෙක් හුවමාරු කරගනිමින් තිබූ බැවින් අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“ඇමසෝනියා ගඟේදී දුටු අති විශාල ඇනකොන්ඩා” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් පළ කර තිබුණේ මේ අයුරින්.
‘ඇමසර්න් ගඟේ පාවෙන ඇනකොන්ඩා’ යනුවෙන් සඳහන් කරමින් එම වීඩියෝවේ ම තවත් පළකිරීමක් දැකගත හැකි වුණේ මෙලෙසින්.(Archive)
එම වීඩියෝව ම ‘දැනට ලොව හමුවී ඇති විශාලතම ඇනකොන්ඩා’ යනුවෙන් සඳහන් කරමින් ද පලකර තිබුණේ මේ අයුරින්. (Archive)
ඒ අනුව මෙම වීඩියෝවල සඳහන් ආකාරයෙන් ඇමසර්න් ගංඟාවෙන් ලොව විශාලතම ඇනකොන්ඩාවෙක් හමුවීමක් සිදුව තිබේ ද යන්න සම්බන්ධයෙන් සහ මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා බැලීමක් අප සිදුකළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඇනකොන්ඩාවන් ලොව විශාලතම සර්පයන්ගෙන් එකක් බවත් ඔවුන් වැඩිපුරම ජීවත් වන්නේ ඇමසන් වනාන්තරයේ බවත් අප දන්නා කරුණක්. පේරු, බොලිවියාව සහ බ්‍රසීලය වැනි රටවල් පුරා පැතිරී ඇති මෙම වැසි වනාන්තර,ලොව සුවිශාලතම ජෛව විවිධත්වයක් ඇති තෝතැන්න ය. එමෙන් ම මෙය අවම වශයෙන් ගවේෂණය කරන ලද පරිසර පද්ධති වලින් එකක් ද වන අතර තවමත් ගණන් කළ නොහැකි අභිරහස් සහ සොයා නොගත් සත්ත්ව විශේෂ සිටින පරිසර පද්ධතියක් බවටත් විද්‍යාඥයින් විශ්වාස කරති.
මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරුවන වීඩියෝවේ දැක්වෙන, ඇමසන් ගඟෙහි දැකගත හැකි වූ බවට පැවසෙන ඇනකොන්ඩාගේ සැබෑ දිග සහ බර පිළිබඳ කිසිදු තොරතුරක් එම වීඩියෝවල සඳහන් නොවේ. එමෙන් ම මෙය වීඩියෝගත කළේ, කුමන පර්යේෂණ කණ්ඩායමද, එය තහවුරු කළේ කවුරුන්ද, හෝ මෙම වීඩියෝව රූගත කළේ කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් මෙම වීඩියෝ පළ කිරීම්වල සඳහන් නොවේ.
එමෙන්ම මෙම වීඩියෝවල දැක්වෙන ආකාරයට මෙම ඇනකොන්ඩා රූගත කර ඇත්තේ හෙලිකොප්ටරයකින් හෝ ඩ්‍රෝන යානයකින් බවයි පෙනී යන්නේ. එනමුත් හෙලිකොප්ටරයකින් හෝ ඩ්‍රෝන් යානයකින් බලන විට එම සත්ත්වයා එතරම් විශාල ලෙස පෙනෙන්නේ නම්, එම සත්ත්වයාගේ සැබෑ ප්‍රමාණය කුමක්දැයි මෙම වීඩියෝව නරඹන පිරිස් කල්පනවා කරනවා ඇති. එමෙන් ම ඇතමුන් මෙය AI වීඩියෝවක් බවටත් අදහස් දැක්වීමක් සිදුකර තිබුණා
ඒ අනුව මෑත කාලයේදී, ලොව විශාලතම ඇනකොන්ඩා සොයා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍යවල කිසියම් පුවතක් පළ වී ඇත්දැයි සොයා බැලූ නමුත් එවැනි පුවතක් වාර්තා වී නොතිබුණි.
එනමුත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවේ සත්‍යතාව පිළිබඳව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවියේ වාර්තාවක් පළ වී තිබීම දැකගත හැකි විය.
AI අන්තර්ගතයන් පැමිණීමත් සමඟ, සත්‍ය සහ ප්‍රබන්ධ අතර රේඛාව වඩ වඩාත් බොඳ වී ඇති බවත්, කිසිදු රජයේ ආයතනයක් තවමත් මෙම වීඩියෝව සත්‍යාපනය කර නොමැති බවත්, මෙටාඩේටා හෝ මෙම සත්ත්වයා දුටු ස්ථාන ටැග් කිරීමකින් තොරව, වීඩියෝව පළකර තිබීම තුළ මෙම වීඩියෝවේ මූලාශ්‍රය සහ සත්‍යතාව අවිනිශ්චිත බවත් එම වාර්තාවේ සඳහන් වනවා.
කෙසේ නමුත් මෙම වීඩියෝව හරහා ඇමසන් වනාන්තරයේ අභිරහස් පිළිබඳ ගෝලීය කුතුහලය නැවත ඇති වන බවයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මීට වසරකට පෙර , නැෂනල් ජියෝග්‍රැෆික් , නළු විල් ස්මිත් සමඟ එක්ව, ඉක්වදෝරයේ කළ ගවේෂණයකදී අඩි 26ක් දිග සහ කිලෝග්‍රෑම් 500ක් පමණ බරැති යෝධ උතුරු කොළ ඇනකොන්ඩාවක් සොයාගෙන තිබෙනවා. මෙය ඇමසන් වනාන්තරයේ යෝධ ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ සාක්ෂියක් ලෙසද සලකනු ලබනවා. (Archive)
එමෙන් ම එම සොයා ගැනීම ඒ දිනවල මාධ්‍යයේ විශාල මාතෘකාවක් ලෙස ද කතාබහට ලක්විය.
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන බ්‍රයන් ෆ්‍රයිට අනුව, මෙය ලොව මෙතෙක් සොයාගත් විශාලතම ඇනකොන්ඩා විය හැකි බවට ද සඳහන් වනවා.
එබැවින් නව විශාලතම ඇනකොන්ඩාවෙක් සොයා ගනු ලැබුවේනම් එය ලොව විදෙස් මාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් ලෙස වාර්තා වන නමුත් එවැනි වාර්තා කිරීම් සිදුව නොතිබුණි.
තවද, ස්වභාවධර්මයේ අරුමපුදුම දේ පිළිබඳව ප්‍රකාශයට පත් කරන ජනප්‍රිය වෙබ් අඩවියක් වන නැෂනල් ජියෝග්‍රැෆික් , මෑතකදී සොයාගත් බවට පවසමින් සමාජ මාධ්‍යයේ පළකර ඇති වීඩියෝවේ දැක්වෙන ආකාරයේ යෝධ ඇනකොන්ඩා සම්බන්ධයෙන් හෝ ඊට සමාන වාර්තා කිරීමක් හෝ ප්‍රකාශයට පත් කර ඇත්දැයි අපි සොයා බැලූ නමුත් එවැනි වාර්තා එහි ප්‍රකාශයට පත් කර නොතිබුණි.
කෙසේ වෙතත් බොහෝ අය මෙම වීඩියෝව සැබෑ යැයි විශ්වාස කළත්, තවත් බොහෝ දෙනෙක් කියා සිටින්නේ එය කෘතිම බුද්ධිය (AI) හෝ Deepfake තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද්දක් බවයි.
එබැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අප කළ සොයා බැලීම්වලදී, ඇමසන් වනාන්තරයෙන් මෙතෙක් හමු වූ විශාලතම ඇනකොන්ඩා යැයි සඳහන් කරමින් පළකර තිබූ තවත් වීඩියෝවක් අපට සොයා ගැනීමට හැකි විය. එහි Invideo AI ලාංඡනය ඇති බව ද අපට නිරීක්ෂණය කිරීමට හැකි විය.
මීට අමතරව, මෙම වීඩියෝව බෙදාගෙන ඇති Mohsin Khan Mkෆේස්බුක් පිටුව පරීක්ෂා කළ විට, ඇමසන් ගංගාවල පිහිනන යෝධ ඇනකොන්ඩාවන් යැයි පවසමින් උඩුගත කරන ලද තවත් AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද විවිධ වීඩියෝ අපට හමු විය.
එමෙන් ම මෙම වීඩියෝව වඩාත් හොඳින් පරීක්ෂා කිරීමේදී ඔබට පෙනෙනවා ඇති ඇනකොන්ඩාගේ හිස් දෙකක් පෙනී නැවත එක් හිසක් නොමැති වී යන ආකාරය. එපමණක් නොව මෙහි රූගත කරන කැමරාවේ පෙනෙන්නට ඇත්තේ වෙනත් රූප රාමුවක් වන අතර එය පසුබිමේ ඇති රූප රාමු සමඟ ගැළපීමක් ද නොමැත.
එමෙන් ම කොලොම්බියාවේ ඇමසන් විශ්ව විද්‍යාලයේ සත්වෝද්‍යාන සහකාර මහාචාර්යවරයෙකු වන ෆර්නැන්ඩෝ ඉග්නාසියෝ ඔර්ටිස්, ” ඇනකොන්ඩාගේ බර හේතුවෙන් ඇනකොන්ඩාවන් මතුපිට පිහිනන්නේ නැති බවත් එම සත්ත්වයන් සෑම විටම ගැඹුරින් ගමන් ගන්නා බවත් පවසා තිබෙනවා. එබැවින් ඔහු ද තහවුරු කරන්නේ, මෙම වීඩියෝව නිර්මාණය කරන ලද එකක් බවයි. එම වාර්තා කිරීම මෙතනින්
තවදුරටත් සමාජ මාධ්‍යවල බෙදා ගන්නා ලද වීඩියෝව ද කෘතිමව නිර්මාණය කරන ලද්දක් දැයි විමර්ශනය කිරීම සඳහා, අපි AI පරීක්ෂක මෙවලමක් භාවිතයෙන් ද වීඩියෝව විශ්ලේෂණය කළෙමු.
එහිදී අදාළ වීඩියෝව කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කර ඇති බව තහවුරු විය.
ඇනකොන්ඩා
ලොව වඩාත් අවදානයට ලක් වූ සහ මිත්‍යා මත රැසක් ඇති සර්ප විශේෂයක් ලෙස ඇනකොන්ඩා සැලකිය හැකි ය.
පිළිගත් ඇනකොන්ඩා විශේෂ හතරක් ඇත.
- කොළ ඇනකොන්ඩා (Eunectes murinus)
- කහ ඇනකොන්ඩා (Eunectes notaeus)
- අඳුරු තිත් සහිත ඇනකොන්ඩා(Eunectes deschauenseei)
- බොලිවියානු ඇනකොන්ඩා (Eunectes beniensis)
මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ සහ විශාලතම ඇනකොන්ඩා වන්නේ, කොළ ඇනකොන්ඩා ය. ඇමසන් සහ දකුණු ඇමරිකාවේ අනෙකුත් ප්‍රදේශවල දක්නට ලැබෙන ඔවුන් පෘථිවියේ විශාලතම සර්ප විශේෂය වන අතර දිගම සර්පයන් වනවා.
වැඩිහිටි සර්පයන් අඩි 20 (මීටර් 6) ට වඩා දිග සහ කිලෝග්‍රෑම් 90 (රාත්තල් 200) ට වඩා බරින් යුක්ත වේ. ඔවුන් අර්ධ ජලජ ජීවීන් වන අතර වගුරු බිම්, වගුරු බිම් සහ ගංවතුර තැනිතලා වැනි අඳුරු, මන්දගාමී ජල කඳන්ට ප්‍රිය කරයි .
ඔවුන් කොතරම් දැඩි ලෙස පෙනුනත්, ඇනකොන්ඩා ලැජ්ජාශීලී සහ හුදකලා වන අතර මිනිසුන්ගෙන් ඈත්ව සිටීමට ඔවුන්ට උත්සහ දරයි. ඇනකොන්ඩා යනු විෂ නොවන සර්පයෙකි. මාළු, කුරුල්ලන් සහ කැපිබරා හෝ කයිමන් වැනි ගොදුරු අහාරයට ගනු ලබනවා. සියවස් ගණනාවක් පුරා, ගෝත්‍රික මිථ්‍යාවන්, මාධ්‍ය සහ ජනප්‍රිය මාධ්‍ය ප්‍රචාරණයන් හේතුවෙන් ඇනකොන්ඩා පිළිබඳ මිත්‍යා මත රැසක් සමාජ ගත වී ඇත.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂණයෙන් පෙනී යන්නේ, ඇමසන් ගඟේ පිහිනන ලොව විශාලතම ඇනකොන්ඩා සර්පයා සොයාගෙන ඇති බව පවසමින් බෙදා ගන්නා ලද වීඩියෝව කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇති බවයි.

Title:ඇමර්සන් ගඟෙන් යෝධ ඇනකොන්ඩාවෙක් හමු වූ බවට පළ වන වීඩියෝවේ ඇත්ත මෙන්න !
Fact Check By: Piumika LakshaniResult: False
