ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාර්ගගත වෙළඳපොළක් වන Daraz ආයතනයේ ප්‍රවර්ධන කටයුතුවල නියැලී සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ඇතුළු සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් ඇතුළත් වීඩියෝ මාලාවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වෙමින් පවතිනවා.
මෙම ප්‍රවර්ධන සත්‍ය වශයෙන් ම Daraz ආයතනය හරහා සිදු කරන ප්‍රවර්ධනයන් ද, මෙලෙසින් සත්‍ය වශයෙන් ම ප්‍රතිලාභ ලැබෙනවාද? එමෙන් ම සත්‍ය වශයෙන් ම මෙම ප්‍රවර්ධනයන් සඳහා මෙරට ප්‍රසිද්ධ තරු සහභාගී වී ඇත් ද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගත්තා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Daraz ආයතනය විසින් සිදු කර න ලද ප්‍රවර්ධනයන් ලෙස දක්වා තිබුණු මේ වීඩියෝවල දක්වා තිබුණේ, රු. 680 ක් වැනි වාරිකයකට Samsung S24 Ultra 512GB ස්මාර්ට් ජංගම දුරකතනය මිලදී ගැනීමට මෙම සටහන් හරහා ඉදිරිපත් කර ඇති සබැඳිය හරහා අයදුම් කරන ලෙසයි
ක්‍රිකට් තරු මෙන් ම රංගන ශිල්පිනියන් විසින් මෙම ප්‍රවර්ධනයන් සිදු කරන බවට හඟවා තිබුණේ මෙලෙසින්.
මෙම වීඩියෝවල දැක්වෙන ලෙස මෙවැනි ප්‍රවර්ධනයන් සිදු වනවා ද යන්න පිළිබඳ අප විමර්ශනයක් සිදු කරනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අප මේ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පළමුවෙන් ම Daraz නිල ෆේස්බුක් පිටුව හරහා මෙලෙසින් රු. 680 ක වැනි වාරිකයකට Samsung S24 Ultra 512GB ස්මාර්ට් ජංගම දුරකතනය මිලදී ගැනීම සඳහා සබැඳියක් දක්වමින් ඊට අයදුම්කරන ලෙස ප්‍රවර්ධනයන් සිදු කර තිබුණේ ද, යන්න පරීක්ෂා කරා. නමුත් අප ට එවැනි සටහන් හෝ ක්‍රිකට් තරු හෝ රංගන ශිල්පීන් යොදා සිදු කරන ප්‍රවර්ධනයන් හෝ දැක ගන්නට නොලැබුණි.
ප්‍රවර්ධනයන් සඳහා යොදා ගෙන තිබූ ක්‍රිකට් ක්‍රීඩකයින්
කුමාර් සංගක්කාර
හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් මෙම වීඩියෝ ව්‍යාජ බවට ත්, එවැනි ප්‍රවර්ධන සමග ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සිය නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින්.
ඉහත වීඩියෝව පරීක්ෂා කිරීමේදී කුමාර් සංගක්කාරගේ කටහඬේ යම් යම් වෙනස්කම් සිදු කර ඇති බව අපට පෙනී ගිය බැවින් අප වැඩිදුර විමර්ශනය සඳහා, මෙම වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ ඔහුගේ කටහඬ කෘතිමව ජනනය කර ඇත්දැයි යන්න AI හඳුනා ගැනීමේ මෙවලමක් භාවිතයෙන් පරීක්ෂා කළා ඒ අනුව ඔහුගේ කටහඬ කෘතිමව ජනනය කර ඇති ඇති බවට තහවුරු වුණා.
එමෙන් ම කුමාර් සංගක්කාර සිටින මෙම වීඩියෝව 2023 වසරේ පළ කරපු සත්‍ය වීඩියෝවක් වන අතර මෙහි ඔහු විසින් සඳහන් කරන්නේ ඉදිරි වසරේ IPL වෙන්දේසිය සම්බන්ධයෙනි.
සනත් ජයසූරිය
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සම්බන්ධයෙන් පළ වී තිබූ ඔහුගේ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙය ව්‍යාජ බවත්, තමන් කිසිදු අවස්ථාවක මෙවැනි ප්‍රවර්ධනයක් සඳහා පෙනී නොසිටි බවයි. ඉහත ආකාරයෙන් මෙම වීඩියෝව ද, නිර්මාණය කර තිබුණා.
පූජා උමාශංකර්
රංගන ශිල්පී පූජා උමාශංකර් සම්බන්ධ වීඩියෝවේ ද, ඒ හඬ ඇයගේ හඬ නොවන අතර ඇයගේ හඬ සමගින් එම වචන වලට අදාළ තොල් සෙලවීම වෙනස් බවක් දැක ගන්නට ලැබේ. එය ද, ඉහත ආකාරයෙන් කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවට පැවසිය හැක.
රජය සම්බන්ධ ව්‍යාපෘතියක් නොවේ
මෙම සටහන් වල ඩිජිටල් අමාත්‍යාංශයෙන් හවුල් කාරීත්වයෙන් ද, සිදුකරන වැඩසටහන් ලෙසට දක්වා තිබූ බැවින් අප ඒ පිළිබඳ ඩිජිටල් අමාත්‍යාංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ මෙය ව්‍යාජ බව ත්, එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව ත් ය.
Clickbait වංචා
මෙම සටහන් සඳහා සපයා ඇති ඇතැම් සබැඳි ක්ලික් කිරීමෙන් පසු, Samsung S24 Ultra 512GB ස්මාර්ට් ජංගම දුරකතනය මිලදී ගැනීමට අයත් පිටුවක් හෝ Daraz සම්බන්ධ පිටුවක් වෙත හෝ අවතීර්ණ නොවන අතර එහි දැක්වෙන්නේ වෙනත් සන්නාමයන් වලට අනුබද්ධ වෙළඳ දැන්වීම් පමණක් වන අතර ඒ අනුව එම url ආදායමක් උත්පාදනය කිරීමට හෝ දත්ත ලබා ගැනීමට නිර්මාණය කර ඇති clickbait වංචා බවට පැවසිය හැක.
සැක සහිත සබැඳි ක්ලික් කිරීමට පරිශීලකයින් පොළඹවා ගැනීම සඳහා එය විශ්වාසදායක වෙළඳ නාම සහ රජයේ වැඩසටහන් වල නම්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් අවභාවිත කර තිබේ. මෙම සබැඳි වලින් පුද්ගලික තොරතුරු ඉල්ලා නොසිටියද, මෙම සටහන් මගින් මෙම සැබඳි ක්ලික් කිරීමේ පෙළඹවීමට යොමු කරන අතර මේ හේතුවෙන් මේවා මාර්ගගත වංචාවක් ලෙස වර්ගීකරණය කරයි.
එසේම රජයේ ඩිජිටල්කරණ වැඩසටහනක් යටතේ සැම්සුන් විසින් S24 අල්ට්‍රා රු. 680 කට පිරිනමන බවට කරන ප්‍රකාශය අසත්‍ය වන අතර එය ව්‍යාජ අනුමත කිරීම් වන ක්ලික්බෙට් වංචාවන් වේ. එවැනි සබැඳි ක්ලික් නොකරන ලෙසත්, තවදුරටත් ඒවා පැතිරීම වැළැක්වීමට එවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු නොකර ගන්නා ලෙසත් අප අපගේ පරිශීලිකයින්ගේ ඉල්ලා සිටින්නෙමු.
Read in English: Is Sangakkara currently participating in any promotional campaigns with Daraz?

Title:Daraz විසින් මාසික වාරිකය රු. 680 කට Samsung S24 Ultra ලබා දෙනවාද?
Fact Check By: Pavithra SandamaliResult: False
