පුටුවෙන් වැටී රෝහල්ගත කර සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පුටුවකින් ඇඳවැටී අනතුරකට ලක්වීම හේතුවෙන් පසුගිය 23 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටි බවට පුවත් වාර්තා විය.

මෙම පසුබිම තුළ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පුටුවෙන් ඇඳවැටී අනතුරට ලක් වී ඇති අවස්ථාවේ ඡායාරූපයක් ලෙස හඟවමින් ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝදෙනා හුවමාරු කරගනිමින් පැවති බැවින්, එම ඡායාරූපයේ නිරවද්‍යතාවය අප පරීක්ෂා කරනු ලැබුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“පුටුවෙන් වැටී ,රෝගාතුරව සිටින බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඉක්මන් සුවය පතමු” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළකර තිබුණේ මෙලෙසින්.

FB | Archive FB FB FB

මේ අයුරින් තවත් බොහෝමයක් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fb|Fb|Fb |Fb|Fb|Fb

මෙම ඡායාරූපවල දැක්වෙන්නේ, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මෑතක දී පුටුවකින් වැටී රෝහල්ගත කළ අවස්ථාවේ ඡායාරූපයක් ද? අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා, පුටුවකින් ඇදවැටී අනතුරකට ලක්වීම නිසා පසුගිය මැයි 23 වනදා ඔහුට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමට නොහැකිවූ බව, ඒ මහතාගේ නීතීඥ අනිල් සිල්වා අධිකරණයට දැනුම් දී තිබු අතර ඒ පුවත ඉහත සටහන් නිරමනයට මුල් වී තිබුණා.

ඒ පිළිබඳව පළ වූ පුවත් වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව ඇතැම් පුවත් වෙබ් අඩවි ද අදාළ පුවත වාර්තා කිරීමේ දී ඉහත ඡායාරූපය සංකේතාත්මක ඡායාරුපයක් ලෙස යොදා ගෙන තිබුණා. ඒ සමඟම මෙය සත්‍ය වශයෙන්ම බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මෑතක දී පුටුවෙන් වැටී රෝහල්ගත වී ඇති අවස්ථාවක ඡායාරූපයක් ලෙස හැඟවෙන පරිදි සටහන් පළකර තිබුණා.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ පුටුවෙන් ඇඳවැටී අනතුරට ලක්වීමේ අවස්ථාවේ ඡායාරූප, වීඩියෝ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හුවමාරු වී නොතිබුණු බැවින් මෙම සමාජ මාධ්‍යයේ හුවමාරුවන ඡායාරූපය කුමක් ද යන්න සම්බන්ධයෙන් අප වැඩිදුරටත් සොයාබැලීමක් කළා.

මීට වසර 10 කට පෙර ලබාගත් ඡායාරුපයක්!

එහිදී අප මෙම ඡායාරූපය Reverse Search Image ඔස්සේ පරීක්ෂා කිරීමේදී පෙනීගියේ, එය මීට වසර 10කට පෙර ඡායාරූපයක් බවයි. එනම් 2015 වසරේ බැසිල් රාජපක්ෂ මහතා Durdens පෞද්ගලික රෝහලේ රෝහල්ගත්ව සිටියදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවක ඡායාරූපයක් බවයි.

මාධ්‍යවේදී අසාම් අමීන් 2015 වසරේ ඔහුගේ X ගිණුමේ බැසිල් රාජපක්ෂ එකල රෝහල්ගතව සිටියදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවක් ලෙස මෙහි සම්පූර්ණ ඡායාරූපය පළ කර තිබුණේ මෙලෙසින්.(Archive)

එහිදී ඔහු තබා තිබූ කෙටි සටහනේ සිංහල පරිවර්තනය මෙසේ ය. “අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩර්ඩන්ස් රෝහලේ රෝහල් ඇඳේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පසුගිය සතියේ ඔහුට ඇප ලැබුණි.”

එසේම මෙම මුල් ඡායාරූපයේ ‘අද දෙරණ’ මාධ්‍යවේදී හසිත විජේවර්ධන ද පසෙකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නේ මෙලෙසින්.

ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතාවයක් හේතුවෙන් 2015 වසරේදී සැකපිට අත්අඩංගුවට ගෙන සිටි බැසිල් රාජපක්ෂ, එවක මාස එකහමාරක කාලයක් බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් පසු ප්‍රතිකාර සඳහා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත්ව තිබෙනවා. ඔහු එවක බන්ධනාගාරගතව සිටියදී ද රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබෙනවා. 2015 වසරේ මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව 2015 වසරේ ඔහු ඇප ලැබීමෙන් අනතුරුව රෝහල්ගතව සිටිය දී දෙරණ නාලිකාවේ මාධ්‍ය සාකඡාවට එක් වූ අවස්ථාවේ වීඩියෝව ද අපට හමු  විය. 

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සඳහන් කරන්නේ, බන්ධනාගාරගතව සිටියදී ඔහුට වැළඳුණු කොන්දේ ආබාධයක් හේතුවෙන් ඔහු ප්‍රතිකාර ගන්නා බවයි. ඔහු දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතාවයක් හේතුවෙන් බන්ධනාගාරගතව සිටීමේ සිදුවීමට අදාළව මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙනු ලැබෙනවා.

පොදුජන පෙරමුණ මාධ්‍ය අංශය

අප මේ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළ අතර එහිදී ඔවුන් ද සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන්නේ, කලකට ඉහතදී බැසිල් රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති අවස්ථාවක එකක් බවයි. 

එම මහතා මෙවර අනතුරට ලක්වීමේ අවස්ථාවක් මාධ්‍ය වෙත නිකුත් කර නොමැති බවයි පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශයෙන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ.

බැසිල් රාජපක්ෂ මහතා පුටුවකින් ඇදවැටීම නිසා අධිකරණයට නොපැමිණීමේ සිදුවීම.

නීති විරෝධි ක්‍රියාකාරකමකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස් හිල්හි අක්කර එකහාමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව පසුගිය  මැයි 23 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීය.

එහිදී ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයේ පෙනී සිටියත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී සිටියේ නැත.

නඩුව කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් පැවසුවේ, නඩුවේ තුන්වැනි සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මඟ හැරීමේ අවධානමක් ඇති බැවින් ඇප මත සිටින සැකකරුට වරෙන්තු නිකුත් කරන ලෙසයි.

උපුටා ගැනීම

“ස්වාමීණී, අද දින අධිකරණයේ මේ නඩුවට අදාළව සැකකරුවන් වන එක,දෙක සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිනවා. 3 වැනි සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අද දින පෙනී සිටින්නේ නෑ අධිකරණයේ. ඔහුගේ ඇපකරුවන් අධිකරණය හමුවේ ඉන්නවා. 2024/09/18 වැනිදා මෙම අධිකරණයෙන් ලබාදුන් නියෝග තුන්වන සැකකරුට විදේශ ගතවීම සඳහා ලබා දුන් කාලය අවසන්. ඒ අනුව 2016/07/30 සැකකරුට නිකුත් කළ ඇප නියෝග අනුව අද දින සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුයි. අද දින තුන්වන සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීමට සාධාරණ හේතු ඔහුගේ නිතීඥවරයා ඉදිරිපත් නොකරන්නේ නම් සැකකරුට වරෙන්තු නික්තු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

සැකකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා එහිදී පැවසුවේ සිය සේවාදායකයා හදිසි අනතුරකට මුහුණ දී සිටීම හේතුවෙන් අධිකරණය හමුවට පැමිණිමට නොහැකි වූ බවයි.

උපුටා ගැනීම

“ස්වාමීනී මගේ සේවාදායකයා මැයි 18,19 ලංකාවට පැමිණීමට ගුවන් ගමන් ටිකට් පත් වෙන්කළා. නමුත් ඔහු හදිසියේ පුටුවකින් ඇදවැටී අනතුරකට ලක්වුණා. ඒ නිසා ඔහු දැන් හිසෙහි සහ බෙල්ලේ ස්නායු ආබාධයකට ලක් වෙලා ඉන්නවා. ඔහු ඊට ප්‍රතිකාර ලබා ගන්නවා. ඊට අදාළ වෛද්‍ය වාර්තා මම මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරනවා. ස්වාමීනී මේ වෛද්‍ය වාර්තා අනුව මාගේ සේවාදායකයාගේ රෝගී තත්ත්වයේ ස්වභාවය මත ඔහුට ගුවන් ගමන් යාම නුසුදුසු බව වෛද්‍යවරයා පවසා තිබෙනවා.මගේ සේවාදායකයා සිතා මතා අධිකරණය මග හරින්නේ නෑ. අධිකරණ අවසරයක් මතයි ඔහු විදේශ රටකට ගියෙත්. ඉදිරි නඩු දිනයේ ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිනවා. ඒ නිසා මගේ සේවාදායකයාගේ ඇප අහෝසි කිරීමක් හෝ ඔහුට වරෙන්තුවත් නිකුත් කිරීමක් සිදුකිරීම අනවශ්‍යයයි ස්වාමීනී”

එම කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය පැවසූවේ, සැකකරුගේ රෝගී තත්ත්වයක් පිළිබඳ පැමිණිල්ලට නිසි දැනුවත් කිරීමක් කර නොමැති බැවින් ඇප පනතේ 14/1 වගන්ති ප්‍රකාරව කරුණු දැක්වීමක් සිදු කළ යුතු බවයි.

උපුටා ගැනීම

“ස්වාමීනී තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවට ලේඛණ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්ව පිළිබඳ ඇතුලත් වාර්තා දෙකක්ද තිබෙනවා. ඉන් එක් වෛද්‍ය වාර්තාවක් නිකුත් කර තිබෙන්නේ 2025 මාර්තු 18 වැනිදා. ඒ වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ ඉරියව්වල වැරැදි හේතුවෙන් සාමාන්‍ය ආතරයිටීස් රෝගී තත්ත්වයකින් ඔහු පසුවන බව වෛද්‍යවරයා පවසා තිබෙනවා. ඒ වගේ ඒ වෛද්‍ය වාර්තාව තුළින් ලබා දී තිබෙන වෛද්‍ය නිර්දේශ දින 14ක් යනතුරු ක්‍රියාත්මක කරන ලෙස හා යම් කිසි දරුණු තත්ත්වයක් ඇති වුවහොත් වහාම රොහලට පැමිණෙන ලෙස එම වෛද්‍යවරයා නිර්දේශ කර තිබෙනවා. මොහු දින 14කින් පසු නැවත අසාධ්‍ය තත්ත්වයනින් ප්‍රතිකාර ගත් බවත් මේ වෛද්‍ය වාර්තා තුළින් ඉදිරිපත් කර නෑ. එවන් පසුබිමක ස්වාමීණී 2025/04/15 ඉඳන් ඔක්තෝබර් 15 දක්වා සැකකරුගේ රෝගී තත්ත්වය මත පදනම්ව ඔහුට ගුවන් ගමන් නුසුදුසු බවට තවත් වෛද්‍යවරයකු නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තා පිළිගත නොහැකියි. ඒ වගේම ස්වාමීණි යම් සැකකරුවකුට එරෙහිව විමර්ශනයක්, නඩුවක් විභාග වෙනවා නම් ඊට ඔහු පෙනී නොසිටින්නේ නම් ඔහුගේ ඇප අවලංගු කිරීමටත් වරෙන්තු නිකුත් කිරීමටත් අධිකරණයට බලයක් තියෙනවා. මේ සැකකරු ඔබතුමාගේ අවසරය මත විදේශ ගත වී සත්‍ය යැයි පෙනෙන අසත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර අධිකරණය මග හරිනවා.”

ඊට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පැවසූවේ, සිය සේවාදායකයා රාජපක්ෂ පවුලේ කෙනෙකු වීම නිසා නීතිපති දෙපාර්තමේන්තුව සැකකරුට එරෙහිව වරෙන්තු ගැනීමට උත්සාහ කරන බවයි.

උපුටා ගැනීම

“ස්වාමීනී නීතිපති දෙපාර්තමේන්තුව නොකල යුතු දෙයක් මේක. මාගේ සේවාදායකයා රාජපක්ෂ කෙනෙක් වීම නිසයි නීතීපති දෙපාර්තමේන්තුව මෙහෙම කටයුතු කරන්නේ.ආයතන නොමග යවලා අපි කටයුතු කරලා නෑ. ඒක පිලිකුල් සහගතයි. මෙතුමිය මේ කියන්න උත්සාහ කරන්නේ මගේ ස්වාදායකයා හොරා කියලනේ. මාගේ සේවාදායකයා නඩු වාර 23කට අධිකරණයෙ ඇවිල්ලා තියෙනවා. මට වෛද්‍ය විද්‍යාව ගැන නම් දැනුමක් නෑ. මම දන්නේ නෑ මගේ සේවාදායකයා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා ඇත්තද? බොරුද? කියලා. මම හිතන්නේ නෑ ලංකාවේ වෛද්‍යවරු වගේ අමෙරිකාවේ වෛද්‍යවරුත් හොරු කියලා. නීතිපති දෙපාර්තමේන්තුව හරි කැමති මගේ සේවාදයකයා, රාජපක්ෂලා ලොකු ලෙඩක් හැදිලා මැරිලා යනවා නම්. හොඳයි වුණත් නරකයි වුණත් ඒ මිනිස්සුත් ලංකාවේ ඉන්න ඕනේ. මගේ සේවාදයකයා අද ආවේ නැත්තේ අසනිප තත්ත්වය නිසා. ඉදිරි නඩු දිනයේ අධිකරණයට එනවා ඔහු. ඒ නිසා ස්වාමීණි මේ අවස්ථාවේ ඔහුට වරෙන්තු නිකුත් කිරීමක් හෝ ඇප අවලංගු කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නෑ.”

ඊට පිළිතුරු දෙමින් ලක්මිණි ගිරිහාගම මෙනවිය කියා සිටියේ, නීතීපති දෙපාර්තමේන්තුව කිසිම අයකු පුද්ගලයින් වශයෙන් ගෙන ක්‍රියා නොකරන බවයි.

උපුටා ගැනීම 

“ස්වාමීනි, නීතිපති දෙපාර්තමේන්තුව පුද්ගලයින් මෙයා රාජපක්ෂ කෙනෙක්ද පෙර්රා කෙනෙක්ද වගේ බලලා දඬුවම් දෙන්නේ නෑ.සැකකරුවකු ඇප ලබා ගත් පසු ඉන් පසුව නඩුව කැඳවන සෑම දිනකම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුයි. එයයි නිතීය. ඔබතුමා දැන් කටයුතු කළ යුත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව ස්වාමීනී. කරුණු සලකා බලා මා මේ ගරු අධිකරණයෙන් කළ ඉල්ලීම් ලබා දෙන්න ස්වාමීණී”

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැවසූවේ, මේ අවස්ථාව වන විට සැකකරු අධිකරණය මඟ හරින බවට සෑහීමකට පත් විය හැකි ආකාරයේ කරුණු ඉදිරිපත් වීමක් සිදුව නොමැති බවයි.

ඉදිරි නඩු වාරයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇපකරුවන්ට හා නීතිඥවරයාට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 21 වැනිදාට නඩුව යළි කැඳවීමට නියම කරනු ලැබුවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පුටුවකින් ඇදවැටී අනතුරට ලක්වී රෝහල්ගත කර ඇති අවස්ථාවක් ලෙස ඇඟවෙන අයුරින් සමාජ මාධ්‍යයේ පළකර ඇති ඡායාරූපයේ දැක්වෙන්නේ, ඔහු පුටුවකින් ඇදවැටී මෑතක දී අනතුරකට ලක් වී රෝහල්ගත වී සිටින අවස්ථාවක ඡායාරූපයක් නොවේ.

එම ඡායාරූපය 2015 වසරේ බැසිල් රාජපක්ෂ මහතා කොන්දේ ආබාධයක් හේතුවෙන් ලංකාවේ පෞද්ගලික රෝගලක රෝහල්ගතව සිටි අවස්ථාවක ඡායාරූපයකි.

එසේම දැනට විදෙස්ගත වී සිටින බැසිල් රාජපක්ෂ මහතා, පුටුවකින් ඇදවැටී අනතුරකට ලක්වීම නිසා පසුගිය මැයි 23 වනදා  අධිකරණයට පැමිණීමට නොහැකිවූ බවත්, දැනට ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණයට දැනුම් දී තිබුණා.

Avatar

Title:බැසිල් රාජපක්ෂ පුටුවෙන් ඇදවැටී රෝහල්ගත කර සිටින අවස්ථාවක ඡායාරූපයක් ද?

Written By: Piumika Lakshani  

Result: False


Leave a Reply