කරාපිටියේ රෝහලේ දී බිලිඳාගේ මරණයෙන් පසු, මාරාන්තික කොවිඩ් රැල්ලක් ලංකාවේ ලෙස හුවමාරු වන සටහන් ගැන පැහැදිලි කිරීමක්!

COVID Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල ආසියාවේ පැතිර පවතින කොවිඩ් නව ප්‍රභේදය හමුවේ, මෙරටට ද මෙම වෛරසය පැතිරීමේ අවදානම ගැන බොහෝ දෙනා සැලකිල්ලෙන් පසු වුණා. මේ අතර මෙම නව ප්‍රභේදය ආසාදනය වී මෙරට කරාපිටිය රෝහලේ බිළිදෙකු මිය ගිය බවට දක්වමින් පළ වන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ සත්‍ය සොයා අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයෙ ආසාදිතයන් මෙරට රෝහල් කිහිපයකින් හමුව ඇත. දරුවෙකු මිය ගොස් ඇත. කරාපිටිය රෝහලේ.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතරේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් වල දැක්වෙන තොරතුරුවල නිරවද්‍යතාව විමසා බලන ලෙස අප වෙත පාඨක ඉල්ලීම් ලැබුණු අතර මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

සිංගප්පූරුව, හොංකොං, තායිලන්තය සහ ඉන්දියාව යන ආසියාතික රටවල් කිහිපයක කොරෝනා වෛරස් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන්හි, උප ප්‍රභේදයක් හේතුවෙන් සැලකිය යුතු කොවිඩ් ආසාදිතයින් පිරිසක් පසුගිය සති කිහිපයක් පුරාවටම වාර්තා වෙමින් පවතිනවා.

මේ තත්ත්වය යටතේ, එම රටවල දක්නට ලැබෙන නව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වන්නේ දැයි සොයා බැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගිය 29 වන දා මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළා.

ජනතාව මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොවන අතර කොවිඩ් ලෝක වසංගත තත්ත්වය අවසන් වුණත් මෙරටදී ද කොවිඩ් රෝගීන් සිටි බව ත්, බව එය ක්‍රමයෙන් ආවේණික රෝග තත්ත්වයක් බවට පරිවර්තනය වී ඇති බව ත් ඒ මහතා පෙන්වා දෙනවා. 

එසේම, මැයි සහ ජූනි යන මාස වල කොවිඩ් තත්ත්වය සාමාන්‍යයෙන් ඉහළ යන බව ත්, ආසියාවේ විශේෂයෙන් ම මේ තත්ත්වය දැකිය හැකි බව ත්, එම වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණියත් මේ සඳහා සූදානම් වන බව ත් පවසමින් වැඩි දුරටත්  සඳහන් කළේ,  මේ නව ප්‍රභේදය ද, මරණීය කොවිඩ් තත්ත්වයක් නොව අඩු මරණ කොවිඩ් තත්ත්වයක් බවයි.

මෙම කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසා තිබුණා. 

ඔමික්‍රෝන් ප්‍රභේදයේවෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී  (LF.7 and XFG) යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බව ත්, දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති වුවද, මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කර තිබුණා. මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණේ, මෙලෙසින් සහ මෙලෙසින්.

Also Read: අධි අවදානම් covid-19 තත්වයක්, මේ දිනවල ලංකාවේ පැතිරෙනවා ද ?

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ

කෙසේ වෙතත් ගාල්ල කරාපිටිය ජාතික රෝහලේදී මාස එකහමාරක පමණ වයසැති බිළිඳෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග ඇතැම් ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය සටහන් ද, හඟවා තිබුණේ, කොවිඩ් නව ප්‍රභේදය මෙම බිළිදාට ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

මේ පිළිබඳව අප තොරතුරු තහවුරු කර ගැනීම සඳහා කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතාගෙන් විමසීමක් කළා. 

ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම මිය ගිය දරුවා කරාපිටිය රෝහලේ සෙම සහ වෙනත් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වී මිය ගොස් ඇති බවයි. 

මරණයෙන් පසු සිදු කරන ලද විශේෂ පරීක්ෂණයක් සඳහා දරුවාගේ සෙම පටක කොළඹ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් පසු කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ බව තහවුරු වූ ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ. 

කෙසේ වෙතත් මේ තත්ත්වය ආසියාවේ මේ දිනවල පැතිර යන කොවිඩ් නව ප්‍රභේද තත්ත්වය නොවන බවත්, මීට පෙර වසරවලදී ලංකාවේ හමු  වී තිබු තිබූ කොවිඩ් වෛරසය බවයි අප කළ විමසීමේදී වෛද්‍යවරයා සඳහන් කළේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

මේ අතර අද(02) දිනයේ නව කොවිඩ් වෛරස් තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් යොමු කර තිබුණා.

එහි සඳහන් වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තා වී ඇති බවයි.

ජාත්‍යන්තරව සිදු කරන ශ්වසන රෝග සඳහා වන ආවේෂණ පද්ධතියට අනුව පසුගිය මාස කිහිපය තුළදී විශේෂයෙන්ම ආසියාතික රටවල් කිහිපයක් ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක COVID – 19 රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වී ඇති බව ත්, 2023 මැයි මාසයේ සිට COVID – 19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර එතැන් සිට COVID – 19 රෝගය සාමාන්‍යයෙන් පැතිර යන ශ්වසන රෝගී තත්ත්වයක් ලෙස සලකනු ලබන බව ද, එහි සඳහන්.

SARS-CoV-2 වෛරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාස වලට භාජනය වීම සාමාන්‍ය තත්වයක් වන බව ත්, දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදීද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේද 2024 වර්ෂයේදී මෙම ප්‍රභේදය නිරීක්ෂණය වී ඇති බව ද, එම නිවේදනයෙන් පවසා තිබුණා.

2025 වර්ෂයේ මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) මගින් පරීක්ෂා කළ නියැදියද එම අනු ප්‍රභේදවලටම අයත් බව හඳුනාගෙන ඇත. එම නිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර එමඟින් වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇති වීමක් හෝ වාර්තා වී නොමැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග ආවේක්ෂණ පද්ධතියට අනුව 2024 වර්ෂය තුළදී ශ්‍රීලංකාව තුළ SARS-CoV-2 වෛරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය, ශ්වසන රෝග සහිත රෝගීන්ගේ නියැදියවලින් 3% ක් විය. එම වසරේ මැයි මාසයේදී එය 9.6% දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ මෙතෙක් දුරට SARS-CoV-2 වෛරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය 2% පමණ වන අතර, සුළු වැඩිවීමක් මේ වන විට පෙන්නුම් කරන බව ත් වෛද්‍යවරයා සඳහන් කරනවා.

2024 මැයි මාසයේදී මෙන්ම 2025 මැයි මාසයේදීත් COVID – 19 රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබෙන අතර කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව මෙම වෛරසය අනාගතයේදී හැසිරීම පිළිබඳව පූර්ව නිගමනයකට එළඹී නැති අතර ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම තවම පර්යේෂණ මට්ටමක පවතින බවයි පෙන්වා දී ඇත්තේ.

පසුගිය ගිය වසර කිහිපය හා සැසඳීමේදී පවතින කාලගුණ තත්ත්ව යටතේදී ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝගවල වැඩිවීමක් මෙම කාලයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබේ. රෝගය පැතිර යාම පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවේ. එම නිසා මහජනතාව මේ පිළිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැති බවයි පවසන්නේ.

උණ, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල් ගතවීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ පැන නොනගී. නමුත් යම් පුද්ගලයකුට ශ්වසන රෝගයක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලක් වෙත යොමුවීම අවශ්‍ය වේ. 

කෙසේ වුවද මෙම COVID – 19 රෝගය, ඉන්ෆ්ලුවෙන්සාව ඇතුළු සියලුම ශ්වසන රෝගවලින් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු ශ්වසන ස්වස්ථාවය ඇතුළු යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශය අවධාරණය කරනවා.

එම තොරතුරු ඇතුළත් සම්පුර්ණ නිවේදනය මෙතනින්.

පිළිපැදිය යහපත් සෞඛ්‍ය පුරුදු

කිවිසෙන විට හෝ කහින විට තමාගේ වැලමිටින් හෝ ටිෂූ කඩදාසියක් වැනි යමකින් ආවරණය කර ගැනීම
අනවශ්‍ය ලෙස තමාගේ මුහුණ අතපත ගෑමෙන් වැළකීම
නිතර දෑත් සේදීම හෝ විෂබීජනාශක ද්‍රාවණයකින් දෑත්පිරිසිදු කර ගැනීම අපිරිසිදු දෑත්වලින් මුහුණ ඇල්ලීමෙන් වැළකීම
යම් අයෙක් ශ්වසන රෝගයකින් පෙළේ නම් එම පුද්ගලයාගෙන් අන් අයට රෝගය ආසාදනය වීම වැළැක්වීම සඳහා රෝගී පුද්ගලයා මුව ආවරණයක් පැළඳීම
අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයෑම වැනි දේ යෝග්‍ය වේ

රෝගය නිසා සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම්

වයස්ගත පිරිස්, ගර්භනී කාන්තාවන්, ළදරුවන්, හෘද රෝග, දිගුකාලීන ස්වසන රෝග, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ, යම් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිශක්තිය පහළ දමන ආකාරයේ ඖෂධ ලබාගන්නා පුද්ගලයන් වේ. 

කොවිඩ් නව ප්‍රභේදය

2025 ජුනි මාසය වන විට, ආසියාව නව ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් වන NB.1.8.1 මතුවීම හේතුවෙන් COVID-19 රෝගීන් නැවත නැඟිටීමක් අත්විඳිමින් තිබේ. චීනයේ ප්‍රථම වරට හඳුනාගත් මෙම ප්‍රභේදය කලාපය පුරා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර එමඟින් ආසාදනය වීම් සහ ආසාදිතයින් රෝහල්ගත කිරීම් වර්ධනය වී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.

ඉන්දියාවේ COVID-19 රෝගීන්ගේ පස් ගුණයක වැඩිවීමක් සහ 2025 මැයි අග වන විට රෝගීන් 2,700 කට වඩා වැඩි වී ඇති බව වාර්තා පෙන්වා දෙයි. මෙම වැඩිවීමට හේතුව NB.1.8.1 ප්‍රභේදයයි. මේ වන විට මරණ 7ක් වාර්තා වී ඇති අතර ඔවුන් බොහෝ දෙනෙකුට වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති බව ද, මාධ්‍ය වාර්තා කරයි

තායිලන්තය කොවිඩ් NB.1.8.1 ප්‍රභේදය හා සම්බන්ධ රෝගීන් 257,000 කට අධික සංඛ්‍යාවක් සහ මරණ 52 ක් වාර්තා වී ඇත. මුඛ ආවරණ පැළඳීම, අත් සනීපාරක්ෂාව සහ බූස්ටර් එන්නත් ලබා ගැනීම ඇතුළු ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) NB.1.8.1 “අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණය කර ඇති අතර, එහි වේගවත් ව්‍යාප්තිය සටහන් කර ඇත, නමුත් එය පෙර ප්‍රභේදවලට වඩා දරුණු රෝගාබාධ ඇති නොකරන බව පෙන්නුම් කරන බව සඳහන්.

WHO සහ ගෝලීය සෞඛ්‍ය ප්‍රතිචාරය

ලෝක සෞඛ්‍ය සංවිධානය NB.1.8.1 ප්‍රභේදය සමීපව නිරීක්ෂණය කරමින්, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා එන්නත් කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. ප්‍රභේදය වඩාත් දරුණු රෝගාබාධ ඇති කරන බවක් නොපෙනුනද, එහි වේගවත් පැතිරීම සහ ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව මග හැරීමේ හැකියාව සැලකිලිමත් වීමට හේතු වේ. යාවත්කාලීන කරන ලද එන්නත් සහ ආරක්ෂක පියවරයන් පිළිපැදීම ඇතුළුව අඛණ්ඩ  සුපරීක්ෂාකාරිත්වයක් මහජන සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශ කරයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2025 මැයි 23 වන දින සිට NB.1.8.1 Omicron උප ප්‍රභේදය අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් (VUM) ලෙස නිල වශයෙන් නම් කර ඇත. 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි COVID-19 උපකරණ පුවරුව NB.1.8.1 ඇතුළුව SARS-CoV-2 ප්‍රභේදවල ගෝලීය සංසරණය පිළිබඳ යාවත්කාලීන දත්ත මෙතනින්.

නව ඔමික්‍රොන් උප ප්‍රභේදයේ පොදු රෝග ලක්ෂණ (NB.1.8.1):

උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව

වියළි කැස්ස හෝ උගුරේ අමාරුව

තෙහෙට්ටුව හෝ ශරීර කැක්කුම

නාසයන් දියර ගැලීම හෝ අවහිර වීම

හිසරදය

හුස්ම ගැනීමේ අපහසුතාව (විශේෂයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් තුළ)

ඔක්කාරය

සුවඳ හෝ රසය නැතිවීම (පෙර ප්‍රභේදවලට වඩා අඩු)

පෙර ප්‍රභේදවලින් ප්‍රධාන වෙනස්කම්:

NB.1.8.1 එන්නත් කරන ලද පුද්ගලයින් අතර පවා ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වේ.

එය නිරෝගී පුද්ගලයින් තුළ මෘදු රෝග ලක්ෂණ ඇති කළ හැකි නමුත් ළදරුවන්, වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් තුළ බරපතල සංකූලතා ඇති කළ හැකිය.

එන්නත් වලින් ප්‍රතිශක්තිය ලැබෙන බැවින් බොහෝ රටවල තවමත් බූස්ටර් එන්නත් ලබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:කරාපිටියේ රෝහලේ දී බිලිඳාගේ මරණයෙන් පසු, මාරාන්තික කොවිඩ් රැල්ලක් ලංකාවේ ලෙස හුවමාරු වන සටහන් ගැන පැහැදිලි කිරීමක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Insight


Leave a Reply