දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කැබිනට් තීරණ දැනුම් දීම් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර හුවමාරු වනවා. එලෙසින් පළ වූ තවත් සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“අවුරුදු තුනකින් යුද්ධය අවසන් කල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ලේකම් තනතුර ලබා දීමට කැබිනට් අනුමැතිය” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍යයේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.
|
|
|
|
|
|
මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙස අප වෙත පාඨක ඉල්ලීම් ලැබුණු අතර එම ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ අප සොයා බැලීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ප්‍රධාන මාධ්‍ය ධාරා
මෙම සටහන් වල දැක්වෙන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ලේකම් තනතුර ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් වාර්තා නොකර ඇති බවට දැක ගන්නට ලැබුණා.
එවැනි කැබිනට් තීරණයක් නැහැ
එමෙන් ම මෙවන් තීරණයක් ගෙන තිබුණේ ද, යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අප මෑතකදී ගනු ලැබූ කැබිනට් තීරණ වෙත ද, අවධානය යොමු කළ අතර නමුත් එවැනි තීරණයක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් දැක ගන්නට නොලැබුණි.
ආරක්ෂක අමාත්‍යාංශය
මේ වන විට ආරක්‍ෂක ලේකම් ධුරය හොබවනු ලබන්නේ, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා වන අතර හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම ධුරය සඳහා පත් කිරීමට කැබිනට් තීරණයක් ගෙන ඇත්දැයි විමසීම සඳහා අප ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධකර ගත්තා.
අප කළ විමසීමේදී ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේ මෙය අසත්‍ය තොරතුරක් බවත්, එවැනි කැබිනට් තීරණයක් ගෙන නොමැති බවත් ය. එමෙන් ම ආරක්ෂක ලේකම්වරයා ද, තහවුරු කළේ, ඉහත දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය
ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බැවින් අප ජනාධිපති මාධ්‍ය අංශය හරහා ද, මේ පිළිබඳව විමසීමක් කරනු ලැබුවා. ජනාධිපති මාධ්‍ය අංශය ද, තහවුරු කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමට හෝ කැබිනට් යෝජනාවක් හෝ මේ සම්බන්ධයෙන් නොමැති බවයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
එමෙන් ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ලේකම් හරහා ද, අප මේ පිළිබඳව තහවුරු කර ගත් අතර හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් ධුරය සඳහා පත් කර නොමැති බව ත්, එවැනි තීරණයක් ගෙන නොමැති බැවින්, ඒ සඳහා අනුමැතිය ලැබුනු බව ට පළවන පුවත් ද, සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
අප මේ පිළිබඳව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සම්බන්ධීකාරකගෙන් ද, විමසීමක් කළ අතර, ඇයගේ පිළිතුර සමගින් මේ ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
මීට පෙර 2024 වසරේ සිටම සරත් ෆොන්සේකා මහතා සහ මාලිමාව සම්බන්ධ කරගනිමින් සටහන් හුවමාරු වූ අතර එසේ මාලිමාව එක්වීමේ සූදානමක් තිබූ බවට හුවමාරු වූ සටහන් පිළිබඳ අප එම සමයේ සිදුකළ කරුණු විමසුමක් මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ලේකම් තනතුර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන අතර ඒ බවට ආරක්ෂක අමාත්‍යාංශය සහ ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරයි.