දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම සිදු වූ දිනයේ සිට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෙවින් කතාබහට ලක්වන චරිතයක්. ඇයගේ ඡායාරූප යොදා ගනිමින් විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් තිබෙන අතර මේ එලෙස හුවමාරු වන පුවතක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමසීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පසුගිය 17 වැනිදා පුවත්පතක පළ වූ ලිපියක් බව කියමින් පළ කර ඇති මෙම සමාජ මාධ්‍ය සටහනෙහි දැක්වන්නේ, කැමති නම්, අගමැති කාර්යාලයේ සේවයට එන්නැයි, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරට පෞද්ගලික ඇරයුමක් සිදුකළ බවයි. තවද මෙහිදී පළාත් පාලන කොමසාරිස්තුමිය හඳුන්වා ඇත්තේ, මාලිමාවට කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමට උපකාර කළැයි, චෝදනා ලද යනුවෙනි. බස්නාහිර පළාත් පාලන කොමසාරිස්තුමිය සහ අග්‍රාමාත්‍යතුමියගේ ඡායාරූප ද සහිතව පළ කර ඇති මෙම පුවතට අදාළ වැඩි විස්තර අදාළ පුවත්පතේ දෙවැනි පිටුවේ ඇති බව ද එහි සඳහන් ය.
ඒ අනුව සත්‍ය වශයෙන්ම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි අග්‍රාමාත්‍යතුමිය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්තුමියට එවැනි ඇරයුමක් සිදු කළාද ද සහ එවැනි සඳහනක් සහිතව පුවත් පත් වාර්තාවක් පළ වී තිබුණේ ද යන්න අප සොයා බැලුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
වැඩි විස්තර දෙවැනි පිටුවේ ඇති බව පවසන ඉහත සමාජ මාධ්‍ය සටහනට පාදක වී ඇති පුවත්පත කුමක්ද යන්න අදාළ සාමාජ මාධ්‍ය සටහනේ කිසිදු තැනක දැකගත නොහැක. එහෙත් මෙය බැලූ බැල්මට මව්බිම පුවත්පට සමානකමක් දක්වන බැවින් මෙහි සඳහන් දිනයේදී එනම් 17 වැනිදා මව්බිම පුවත්පත මෙවැනි පුවතක් වාර්තතා කර තිබුණේ දැයි සොයා බැලුවා.
ඒ අනුව එහි මුල් පිටුවේ මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකරයේ පුවතක් වාර්තා කර නොමැති බව තහවුරු වුණා. තව ද සමාජ මාධ්‍ය සටහනේ දෙවැනි පිටුවේ මේ පිළිබඳ වැඩි විස්තර ඇති බව සඳහන් කර තිබූ නිසා අප මව්බිම පුවත්පතේ දෙවැනි පිටුව ද නිරීක්ෂණය කළේ ය. කෙසේ වෙතත් එහිද මෙහි පවසන ආකාරයේ පුවතක් වාර්තා කර තිබෙනු දැකගත නොහැකි විය.
ඊට අමතරව අප මෙහි සඳහන් දිනයේ පළ වූ ප්‍රධාන ජාතික පුවත්පත් ද පරීක්ෂාවලට ලක් කළේ ය. කෙසේවෙතත් කිසිදු පුවත්පතක ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වන ආකාරයේ පුවතක් වාර්තා කර තිබෙනු දැකගන්නට නොහැකි විය. ඒ අනුව අප මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ පුවතක් අදාළ දින හෝ ඊට පසු දින හෝ ප්‍රධාන ධාරාවේ අනෙකුත් මාධ්‍ය විසින් හෝ වාර්තා කර තිබේ ද යන්න තවදුරටත් පරීක්ෂා කළේ ය. එහිදී ද එවැනි හෝ ඊට සමාන ඇරයුමක් අග්‍රාමාත්‍යතුමිය විසින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්තුමියට සිදු කර ඇති බව කියවෙන පුවතක් කිසිදු මාධ්‍යක් වාර්තා කර ඇති බවක් දැක ගන්නට නොමැත.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිචාරය
ඉහත සමාජ මාධ්‍ය සටහන සම්බන්ධව වැඩිදුරටත් කරුණු සොයා බැලූ අප අග්‍රාමාත්‍යවරිය විසින් පළාත් පාලන කොමසාරිස්තුමියට ඉහත සාමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ අරයුමක් කර තිබේ දැයි, අගාමාත්‍ය මාධ්‍ය ලේකම්තුමියගෙන් විමසා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය ලේකම්තුමිය කියා සිටියේ, අදාළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවයි.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස්තුමියගේ ප්‍රතිචාරය
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන මෙම සටහන සම්බන්ධව තොරතුරු දැනගැනීම සඳහා අප බස්නාහිර පළාත් පාලන කොමසාරිස් කොමසාරිස්තුමිය ද සම්බන්ධ කරගත්තා. ඇය ප්‍රකාශ කළේ මෙම සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් සටහනේ සඳහන් කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ය.
මේ අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම පුවත්පත් මුල් පිටු සංස්කරණය කරමින් නිර්මාණය කරන ලද සමාජ මාධ්‍ය සටහන් රැසක් පිළිබඳව අපගේ විමර්ශනයන් ලක්ව තිබුණා. වැඩි විස්තර සඳහා 2 පිටුවට යන්න එකී බොහෝ ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන්වල දක්නට ලැබුණ පුමුඛතම ලක්ෂණයක්.
Also Read:පෝලිම් යුගය පැය 24 න් අවසන් කළ හැකි බව විජිත හේරත් පැවසුවා ද?
අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඉලක්ක කරගත් ව්‍යාජ සංස්කරණයක්!
ලසන්ත වික්‍රමතුංගගේ දියනිය හා අනුර කුමාර සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක්ද?
කොළඹ මහ නගර සභාවේ පුරපති තෝරා ගැනීම
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී ප්‍රධාන පක්ෂ කිසිවක් 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබානොගැනීම හමුවේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 16 වනදා පැවැත්වුණා.
එහිදී නගාරාධිපති තෝරා ගැනීම සඳහා ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කිරීම හමුවේ සභාවේ යම් උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඡන්දය පවත්වන ආකාරය පිළිබඳ දීර්ඝ විවාදයකින් අනතුරුව නගරාධිපති තේරීම සඳහා සභාව ඒකමතිකව රහස්‍ය ඡන්දයකට එකඟ වූ බව කොමසාරිස්වරිය සභාවට දැනුම් දුන්නේ ය.
එහිදී ඡන්ද 61 ක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් තේරී පත් වූ අතර සමගි ජන බලවේගයෙන් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ මොහොමඩ් රීසා සාරුක් ලබා ගත්තේ, ඡන්ද 54ක් පමණි. ඒ අනුව කොළඹ මහ නගර සභාවේ පුරපති ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද තේරී පත්වුණා.
සැ.යු : කෙසේ වෙතත් මෙවැනි ඇරයුමක් අග්‍රාමාත්‍යවරිය විසින් පෞද්ගලිකව සිදු කරාද නැද්ද යන්න අපට ස්වාධීනව සත්‍යාපනය කිරීමට නොහැකි අතර මෙම කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙවැනි පුවතක් කිසිදු පුවත් පතක පළ වී නොමැති බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යතුමිය බස්නාහිර පළාත් පාලන කොමසාරිස් කොමසාරිස්තුමියට ඇරයුමක් සිදු කළ බවට වන පුවතක් කිසිදු පුවත්පතක් හෝ වෙනත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් විසින් ද පළ කර නෙමැති බවත් මෙය අග්‍රාමාත්‍යවරියගේ සහ බස්නාහිර පළාත් පාලන කොමසාරිවරියගේ ඡයාරූප යොදා ගනිමින් අසත්‍ය තොරතුරු අන්තර්ගත කර සංස්කරණය කරන ලද අසත්‍ය පුවතක් බවයි.

Title:අගමැතිනියගෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්ට ඇරයුමක් සිදු කළ බවට පුවත් ලිපියක්?
Fact Check By: Fact Crescendo TeamResult: False
