විදුලි වාහන ආනයනය සීමා කිරීමට රජය සූදානමක්?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රජය විසින් ගනු ලැබු තීරණ ලෙසට දක්වමින් විදුලි වාහන ආනයනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තාවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

විදුලි වාහන ආනයනය සීමා කිරීමට රජය සූදානම් වන බවත්, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේ රටට නව විදුලි වාහන සන්නාම විශාල සංඛ්‍යාවක් ගලා ආවත්, මෙම ගලා ඒම නියාමනය කිරීමට ඔවුන් අදහස් නොකළ බව ත්, ඔවුන් පනවන එකම සීමාව විදුලි වාහනවල එන්ජින් ධාරිතාව අනුව බව ත් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන සඳහා යොමු කර තිබුණේ, වෙබ් අවියක පළ වී තිබූ ලිපියක් වෙතයි.

Website Link| Archived Link

මෙවැනි තීරණයක් රජය විසින් ගෙන තිබේද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් රජය විසින් විදුලි වාහනවල එන්ජින් ධාරිතාව අනුව   විදුලි වාහන ආනයනය සීමා කිරීමේ තීරණයක් ගත් බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කර බැලුවා.

නමුත් ඒ ආකාරයෙන් පුවත් වාර්තා වී නොමැති බව ත්, ඉහත ලිපියේ පෙන්වා දෙන පරිදි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන විසින් හෝ විදුලි වාහක ආනයනය සීමා කිරීමේ තීරණයක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ සිදු කර නොමැති බව නිරීක්ෂණය විය.

එමෙන් ම ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නිල වෙබ්අඩවියේ මෙන් ම නිල ෆේස්බුක් පිටුව හරහා ද, මේ ආකාරයෙන් සීමා කිරීමක් සිදු කරන බවට පුවත් වාර්තා වී ඇත්දැයි යන්න පිළිබඳ අප පරීක්ෂා කළත්, ඒ පිළිබඳව සඳහනක් එහි නොවීය.

අප මේ පිළිබඳ විමසීමක් කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මාධ්‍ය ලේකම්වරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඒ මහතා පැවසුවේ, මෙව සම්පූර්ණ අසත්‍ය වාර්තාවක් බව ත්, අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයන් කිසිදු ස්ථානයකදී සිදු කර නොමැති බව ත් ය. එමෙන් ම විදුලි වාහන ධාරිතාව අනුව සීමාවන් පැනවීමේ කිසිදු තීරණයක් නොමැති බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් හෝ විදුලි වාහනවල එන්ජින් ධාරිතාව අනුව සීමා පනවන බවට හෝ ප්‍රකාශක් කර නොමැති බව ත්, අවධාරණය කළා.

කාර් සහ විදුලි වාහන ආනයන තහනම ඉවත් කිරීම

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන්(හයිබ්‍රිඩ්) වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව, 2025 ජනවාරි 27 දිනැති අංක 2421/04 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2025 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, ඒ යටතේ සිදු කරන ලද ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිදියි මෙම තහනම ඉවත්කරන බවයි එම ගැසට්ටුවේ සඳහන් වූයේ.

මගින් කැබ් රථ, ඔටෝ-රික්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සඳහා පනවා තිබූ තහනම මින්  ඉවත් කෙරුණු අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ මෝටර් රථ ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වී ඇති ආනයනකරුවෙකුට, ගැසට්ටුවේ සඳහන් රෙගුලාසි යටතේ වර්ගීකරණය කර ඇති මෝටර් රථ වෙළඳ අරමුණු සඳහා ආනයනය කිරීමට අවසර ඇති බවයි.

කෙසේ වෙතත් විද්‍යුත් වාහන වෙනුවෙන් අයකරන බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 30ක් දක්වා ඉහළ නංවා ඇති බව පසුගිය මැයි 21 වන දා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරම මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා.

විද්‍යුත් වාහන වෙනුවෙන් අවම බදු සීමාවක් පැනවීම හරහා එම වාහන වැඩි වශයෙන් ගෙන්වීම හරහා ඩොලරයට ඇතිවිය හැකි තෙරපුම අවම කර ගැනීම වෙනුවෙන් මෙසේ බදු ඉහළ දැමූ බවයි ඔහු සඳහන් කර තිබුණේ.

Read Also: බදු ඉහළයාම් සමග වේගයෙන් මිල ඉහළ යන පරිසර හිතකාමී විදුලි වාහන !

කෙසේවෙතත් රජය විසින් විදුලි වාහනවල එන්ජින් ධාරිතාව අනුව  විදුලි වාහන ආනයනය සීමා කිරීමේ තීරණයක් පිළිබඳ දැනුම් දීම් සිදු කර ඇත්ද යන්න පිළිබඳ අප විද්‍යුත් වාහන ආනායනකරුවන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, එවැනි සීමා කිරීමක් සිදු කර බවට රජය විසින් දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:විදුලි වාහන ආනයනය සීමා කිරීමට රජය සූදානමක්?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply