දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
AliExpress,Temu,ebay වැනි ඔන්ලයින් වෙළඳපොළවල් හරහා අඩු පිරිවැයක් යටතේ ලාභදායි ලෙස භාණ්ඩ මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන්ට කදිම තෝතැන්නක් වුණා. කෙසේ වෙතත් මෙම වේදිකාවන් හරහා ඇනවුම්කරන ලද භාණ්ඩ ගැනුම්කරුවන් අතට පත්වීමේ ප්‍රමාදය සමගින් සමාජයේ දැඩි කතා බහක් මතු වූයේ මෙම භාණ්ඩ සඳහා වූයේ කුමක්ද යන්නයි. මෙම සිදුවීම වටා පැතිරුණු නොමග යන සුළු සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් මෙන් ම මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
AliExpress ලංකාවට භාණ්ඩ බෙදා හැරීම තහනම් කර ඇති බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූවා.
Temu, AliExpress වැනි ඔන්ලයින් වෙළඳපොළවලින් ගෙන්වන බඩු භාණ්ඩ ආදිය මෙරට රේගුව විසින් නවතා ඇති බව ත් මෙලෙසින් දක්වා තිබේ.
එමෙන් ම මෙම ඔන්ලයින් වෙළඳපොළවල්හි භාණ්ඩවල මිල වැඩි වීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ විමසමින් ද, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණා.
මෙම ඔන්ලයින් වෙළඳපොළවල් හරහා පැන නැගී ඇති ඉහළ ගැටලු පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
පසුගිය ජූනි මස සිට AliExpress වැනි ඔන්ලයින් වෙළඳපොළවල් හරහා අයිතම මිලදී ගත් මෙරට ගැණුම්කරුවන් විසින් තමන් ඇනවුම් කළ අයිතම තමන් වෙත ළඟා නොවීම සම්බන්ධයෙන් ඊට හේතුව විමසමින් සමාජ මාධ්‍යයේ සටහන් පළ කර තිබුණා. එවැනි සටහන් කිහිපයක් මෙතනින්. Facebook, Facebook, Facebook
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අප වෙත ද, ඉල්ලීම් ලැබුණු අතර ඒ පිළිබඳව විමසීමට අප එම දිනවල අප රේගු මාධ්‍ය ප්‍රකාශක,සීවලී අරුක්ගොඩ දුරකතන මාර්ගයෙන් බොහෝ අවස්ථාවල සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් ඔහු දුරකතන ඇමතුම් මග හැරි අතර තව ද, අප රේගුවේ තොරතුරු නිලධාරියා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත්, ඔහු ද, කාර්ය බහුල බව පවසමින් දුරකතන ඇමතුම් වලට පිළිතුරු ලබා නොදුනි.
කෙසේ වෙතත් AliExpress මගින් ඇණුවුම් කරන ලද අයිතම මෙරට බෙදා හරිනු ලබන්නේ, මෙරට ඔන්ලයින් වෙළඳපොළක් වන Daraz ආයතනය මගින් බැවින් අප ඔවුන්ගෙන් ද, මේ පිළිබඳව විමසා සිටි අතර ඔවුන් පැවසුවේ, රේගුව හා ඔවුන් අතර මෙම අයිතම නිදහස් කර ගැනීමේ ගැටලුවක් මත ගැණුම්කරුවන් වෙත ඔවුන්ගේ ඇණවුම් ලැබීම ප්‍රමාද වන බවයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
මේ සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පසුගිය ජූලි 03 වන දා සිය ෆේස්බුක් පිටුවේ සටහන් කරමින් පවසා සිටියේ, ලංකාවෙ දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වී ඇති අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කර ඇති බවයි.
මීට පෙර මීට පෙර කිලෝ 1 ක පාර්සලයක ඕනෑම භාණ්ඩයක් සඳහා රුපියල් 800 ක බද්දක් ගෙවා නිදහස් කර ගැනීමට හැකියාව තිබූ අතර එම නිශ්චිත අගයට අඩු නම් බදු ඇතුළත් නොවූ බවත් එය බොහෝ පිරිසක් අවභාවිතා කර තිබු බව ත් එහි සඳහන්.
මේ හේතුවෙන් මින් ඉදිරියට ගෙන්වන පාර්සල් වල HS කේතයට එකට අනුව බදු අයවන අතර බර අනුව බදු අය කිරීමක් සිදු නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
මෙම නව ක්‍රමවේදය හේතුවෙන් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා ගෙන එන භාණ්ඩවලට බදු අයවන බවට චෝදනාවක් ඇති බවත් ඉදිරියේදී ඒ සඳහා සංශෝධන ගෙන එන බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් පැවසුවේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූයේ මෙලෙසින්.
රේගු මාධ්‍ය ප්‍රකාශක
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතාගෙන් අප මේ පිළිබඳව විමසමීට අද(07) දිනයේදී ත් ඇමතුමක් ලබා ගත් අතර ඔහු ඇමතුමට පිළිතුරු දෙමින් සඳහන් කළේ, රේගුව මගින් භාණ්ඩ නැවැත්වීමක් හෝ බදු ඉහළ දැමීමක් සිදුකර නොමැති බවත්, මෙතෙක් කල් හේතුවෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවූ, බදු මුදල නීතියෙන් නියමිතව නිවැරදි ලෙස අය කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම බවයි.
පැරණි ක්‍රමය පාර්සලයේ බර හෝ ස්ථාවර ගාස්තු මත පදනම් වූ අතර එය විශේෂයෙන්ම අඩු මිලට භාණ්ඩ ඇතුළත් කිරීම හරහා අනිසි ලෙස භාවිතයට හා වංචාවට තුඩු දුන් බව අරුක්ගොඩ මහතා සඳහන් කරනවා. ශ්‍රී ලංකා රේගුව දැන් භාණ්ඩවල HS කේත වර්ගීකරණය මත පදනම් වූ නව ක්‍රමයක් වෙත මාරු වී ඇති අතර, එය එක් එක් භාණ්ඩයේ සැබෑ ස්වභාවය සහ වටිනාකම මත මීට පෙර අදාළ භාණ්ඩයන් සඳහා පනවා තිබූ බදු අය කෙරන බව පෙන්වා දුන්නා.
මීට පෙර පැවති ක්‍රමය අනිසි ලෙස භාවිත කරන බව නිරීක්ෂණය වීමෙන් අනතුරුව, රේගු දෙපාර්තමේන්තුව කුරියර් සමාගම්වලට සහ ආනයනකරුවන්ට කල්තියා දැනුම් දී ඇති අතර, ක්‍රියාත්මක කිරීමට පෙර මාස එකහමාරක දැනුම් දීමක් ලබා දී සති දෙක කාලයක සිට නව විධිමත් ක්‍රියාවලිය ආරම්භ කළ බව ඔහු සඳහන් කරනවා.
මෙම නියමිත බදු මුදල් ගෙවන ඕනෑම අයෙකුට කිසිදු බාධාවකින් තොරව භාණ්ඩ නිදහස් කරගත හැකි අතර, ඒ සඳහා පාරිභෝගිකයා පෞද්ගලිකව රේගුව වෙත පැමිණීම අවශ්‍ය නොවන බවත්, අදාළ බෙදාහැරීමේ ආයතන විසින් එම නිෂ්කාශන කටයුතු සිදුකරනු ලබන බවත් ඔහු පැහැදිලි කළා.
මුදල් අමාත්‍යාංශය
AliExpress හා Temu වැනි සේවාවල දැනට ඇති අර්බුදය මතුව ඇත්තේ, සුළු පිරිසක් විසින් කලින් පැවතුණු ක්‍රමය අවභාවිත කිරීම නිසා බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
මීට පෙර තම පෞද්ගලික භාවිතය සඳහා භාණ්ඩ ගෙන්වා ගැනීමට ලබා දී තිබුණු අවස්ථාව අවභාවිතා කරමින්, ව්‍යාපාරික අරමුණු සඳහා භාණ්ඩ ගෙන්වීමට සමහර පිරිස් කටයුතු කර ඇති බවත්, ඔවුන් බදු ගෙවීම් ද පැහැර හැර ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.
ලබාදී ඇති සහන අවභාවිතා කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව, මෙය අවභාවිතා කරන පිරිස් හඳුනාගැනීමට දැනට පවතින ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇති බවත්, මේ හරහා ලැබෙන දත්ත පදනම් කර ගනිමින් ඉදිරියේදී රේගුවෙන් මේ සඳහා යෝජනාවක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් වරයා සඳහන් කළේ.
AliExpress ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට නැව්ගත කිරීමේ විකල්ප කිහිපයක් නවතා දමයි!
නව රේගු බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් ලාභදායී දේශසීමා බෙදාහැරීමේ මාර්ග වෙත ප්‍රවේශය අවහිර කර ඇති නව රේගු බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් AliExpress ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට නැව්ගත කිරීමේ විකල්ප කිහිපයක් නවතා දමා තිබෙනවා.
AliExpress විසින් විකුණුම්කරුවන්ට පණිවිඩයක් නිකුත් කරමින්, නව බදු අවශ්‍යතා පිළිබඳ පැහැදිලි බවක් නොමැතිකම හේතුවෙන්, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු ගමනාන්ත මාර්ග සඳහා නොබැඳි සැකසුම් 9offline processing for destination) ආරම්භ කර ඇති බව AliExpress තහවුරු කර තිබේ. මේ සමබ්න්ධයෙන් පළවන ලිපියක් මෙතනින්.
AliExpress online වෙළඳපොළ මගින් තවමත් මෙරට භාණ්ඩ බෙදා හරිනව ද?
කෙසේ වෙතත් AliExpress වෙළඳපොළ මගින් මෙරට භාණ්ඩ බෙදා හැරීම නවත්වා ඇත්ද , යන්න පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, තවම ත් එමගින් ගැණුම්කටයුතු සිදු කළ හැකි බවයි.
ඇතැම් භාණ්ඩ ඇනවුම් කිරීමේදී බෙදාහරින ක්‍රමවේදය AliExpress choice ලෙස දක්වා ඇති භාණ්ඩ සඳහා ගාස්තු රහිත නැව්ගත කිරීම(Free shipping) යටතේ භාණ්ඩයේ දක්වා ඇති මිල ගණන් වලට මිලදී ගත හැකි බවයි.
එමෙන් ම ඇතැම් භාණ්ඩ වල මිල අවම මට්ටමක පැවතිය ද, එය මෙරටට ගෙන්වීම සඳහා නැව්ගත කිරීමට ඉතා විශාල මුදලක් වැය කිරීමට සිදු වනවා.
තව ත් අයිතම මෙරටට නැව්ගත නොකරන බවට ද, දක්වා තිබුණා.
AliExpress හරහා ඇනවුම් කරන ලද මේ වන විට රේගු භාරයේ ඇති භාණ්ඩ සඳහා බදු අය කර ඇත් ද ?
AliExpress හරහා භාණ්ඩ ඇනවුම් කර තිබූ ඉහත ක්‍රියාවලිය හේතුවෙන් තම ඇනවුම් නොලැබුණු ගැණුම්කරුවන්ට මේ වන විට සිය අයිතම ළඟා වෙමින් පවතින බව ෆේස්බුක් සමූහ තුළ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් සටහන් පළ කර තිබුණා.
එමෙන් ම මේ ඇනවුම් සඳහා බදු අය කිරීමක් සිදු නොවී ඇති බව ද ඔවුන් Tracking History සමග දක්වා තිබුණා.
අප මේ පිළිබඳව ද, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එම භාණ්ඩ මෙරටට ගෙන්වා බෙදා හරින ආයතන විසින් කලින් දැනුවත් කිරීමක් කර තිබීමත් ඒවා නොසළකා හැරීමත් නිසා එම බදු බර දරාගත යුතු බව ත්, ඒ අනුව එම ආයතන විසින් භාණ්ඩ වලට අදාළ බදු ගෙවා නිශ්කාශනය කර ගන්නා බවයි. මේ හේතුවෙන් රේගුවේ පසුවන ගැණුම්කරුවන් පෙර ඇනවුම් කරන ලද භාණ්ඩ සඳහා එම ගැණුම්කරුවන්ට බදු අය විමක් සිදු නොවුණත්, බදු අදාළ බෙදාහරින සමාගම විසින් ගෙවා නිශ්කාශනය කර ගන්නා බවයි පවසා සිටියේ. කෙසේ වෙතත් ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් විය හැකි බව ඔහු පෙන්වා දුන්නා.
HS CODE (Harmonized System code)
HS CODE යනු වාණිජමය භාණ්ඩයක් රේගු කටයුතුවලදී නිවැරදිව හදුනා ගැනීම සදහා ලෝක රේගු සංවිධානය (World Customs Organization) මගින් හඳුන්වා දෙන ලද කේතයකි (code) රටවල් 200 කට අධික සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද මෙය, බදුකරණය, වෙළඳ ප්‍රතිපත්ති සහ සංඛ්‍යානමය විශ්ලේෂණයන් විධිමත් කරයි.
එහි මුල් අංක 6 (international code) සෑම රටකටම පොදුවන අතර අවසාන අංක 6 (national code) රටින් රටට වෙනස් විය හැක. මෙය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්වන අතරම එකම භාණ්ඩ වුවද නිශ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මතද වෙනස්වේ. මේ ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් මෙතනින්.
මෙම තත්ත්වය පිළිබඳව වැඩි දුරටත් පැහදිලි කරන ඇඩ්වොකාටා ආයතනය
Ali Express සහ Temu අර්බුදය සඳහා විකල්ප විසඳුම් භාවිතා කර අඩු වටිනාකමක භාණ්ඩ ගෙනෙන පාරිභෝගිකයින්ට සහනයක් දිය හැකි ආකාරය පිළිබඳ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කර තිබුණේ මෙලෙසින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:AliExpress මගින් ඇණවුම් කර මෙරට රේගුව විසින් රඳවා ඇති භාණ්ඩ වලට මොකද වෙන්නේ?
Fact Check By: Pavithra SandamaliResult: Insight
