දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජීවතය පවත්වා ගැනීම සඳහා ගනු ලබන ආහාරම ඇතැම් විට ජීවිත අවදානමට පත් කරන බවට වන මතිමතාන්තර දැන් දැන් සමාජයේ වැඩි වෙමින් පවතී. බොහෝ අවස්ථාවල එවැනි තත්තව නිර්මාණය වී ඇත්තේ, අහාරවල වරදක් නිසා නොව අහාරය සකසා ගැනීම දක්වා වන විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. ඒ ආකාරයට අහාර පිසීමේදී නැතුවම බැරි ළූණු පිළිබඳව සමාජ මාධ්‍යයේ පළවන සටහනක් පිළිබඳව සිදු කළ කරණු විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මාරක විෂ ඇති ළූණු යනුවෙන් සඳහන් කරමින් පොත්තෙහි සහ ඇතුළත ස්ථරයේදී කළු පැහැති දීලිරයක් සහිත ළූණු ගෙඩියක ඡායාරූපයක් සහ පහතින් සඳහන් දීර්ඝ විස්තරය ද සහිත මෙම සමාජ මාධ්‍ය සටහන මේ දිනවල සීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් අතරේ හුවමාරු වෙමින් පවතින බවක් දැක ගත හැකියි.
“කුඩා දරුවන්ට ආහාර සැකසීමේදී ළූණූ අනිවාර්ය අංගයක් ලෙස යොදා ගනී. ඒ එහි අඩංගු පෝෂක කොටස් නිසායි. නමුත් අපි නොදන්නා අනතුරක් ළූණූ වල සැගවී ඇති.දරුවන් සිටින ඔබ මේ ගැන දැනුවත් වන්න.
ළූණු ආහාරයක් ලෙස බොහෝ පෝෂකවලින් පිරී ඇත.ළූණු වල පොටෑසියම්, කාබෝහයිඩ්රේට්, සෝඩියම්, විටමින් සී, විටමින් බී 6, විටමින් ඩී, කැල්සියම්, මැග්නීසියම් සහ යකඩ වැනි බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ.
එනම්, ළූණු යුෂ පිළිකා සුව කරයි, ශරීරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරයි, ප්රතිශක්තිය වැඩි කරයි, අසාත්මිකතාවන්ට එරෙහිව සටන් කරයි, ශ්වසන ගැටළු ඉවත් කරයි, පෙනීමේ ගැටළු සුව කරයි, නියපොතු වලට ඉතා හොඳයි, ආතතියට එරෙහිව සටන් කරයි, හොඳ නින්දක් ලබා දෙයි, සාරවත් බව ඇති කරයි, සහ කුරුලෑ ගැටළු ඇති කරයි. සමනය කරයි, රැළි ඉවත් කරයි සහ හිසකෙස් වර්ධනය ප්රවර්ධනය කරයි.
ළූණු වල සෞඛ්‍ය ප්රතිලාභ ලෙස විශේෂයෙන් අමුවෙන් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ. එය ශරීරයට අවශ්‍ය ප්රතිශක්තිකරණ පද්ධතිය සපයයි. ප්රධාන වශයෙන් ඔබ දිනපතා එක් අමු ළූණු ගෙඩියක් අනුභව කරන්නේ නම්, ශරීරයේ එකතු වන අනවශ්‍ය මේදය ටිකෙන් ටික දිය වීමට පටන් ගනී. ළූණු පිළිකා අවදානම අඩු කළ හැකි බව පර්යේෂණවලින් ද පෙනී යයි.
නමුත් ළූණු ලෙලි කපන විට, ඒ මත කළු පැහැයක් පැතිරී ඇති බව ඔබ දැක තිබේද? සමහරු එය කපා ඉවත් කරති. සමහරු එය වතුරෙන් සෝදා පසුව ආහාර පිසීම සඳහා භාවිතා කරති.
නමුත් සමහර අය තවමත් එය ආහාර පිසීම සඳහා භාවිතා කරන්නේ එහි පිටුපස ඇති අන්තරාය නොදැන ය. ඇත්තම කිව්වොත්, කළු පටලයකින් වැසී ඇති ළූණු ආහාරයට ගැනීමෙන් ඇති වන හානිකර බලපෑම් ගැන බොහෝ අය නොදනිති.
මෙම ළූණු වර්ගය ආහාරයට ගැනීමෙන් මුකෝමිකෝසිස් නම් දිලීර ආසාදනයක් ඇති විය හැක. මෙම දිලීරය ඉතා විෂ සහිත වන අතර ආහාර පිසීම සඳහා භාවිතා කිරීමට පෙර හොඳින් සේදිය යුතුය. ළූණු තුළ කළු දිලීර ඔබ දුටුවහොත්, එය භාවිතා නොකිරීම වඩාත් සුදුසුය. කළු දිලීර සහ කුණුවීම ඇති නම් ළූණු කිසි විටෙකත් භාවිතා නොකරන්න.
කළු දිලීර සහිත ළූණු ආහාරයට ගැනීමෙන් හිසරදය, ඔක්කාරය, බඩේ කැක්කුම, පාචනය, වමනය ආදිය ඇති වේ.
ඇදුම රෝගීන්ගේ ආහාරවල කිසි විටෙකත් කළු පුස් ළූණු භාවිතා නොකරන්න. එය ඔවුන්ට හානි කරයි.
ළූණු මතුපිට කළු දිලීර තිබේ නම්, එම කොටස පමණක් ඉවත් කර ආහාර පිසීම සඳහා භාවිතා කළ හැකිය. එනම්, ළූණු ඇතුළත කළු නම්, එය කිසි විටෙකත් භාවිතා නොකරන්න. එසේ නොමැතිනම්, අනවශ්‍ය අසාත්මිකතා ඇති වේ.
සැ.යු.
සියල්ලන්ගේම ශරීර එක ලෙස ප්රතිචාර නොදක්වයි. එම නිසා මෙය නොවැදගත් කරුණක් ලෙස සිතා බැහැර නොකරන්න. “
මෙම සටහන මගින් ළූණුවල ඇති පෝෂක කොටස්, ඒවගේම ළූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි, එමෙන්ම ළූණු ආහාරයට ගැනීමෙන් රෝග අවදානම අඩුවීම පිළිබඳ කරණු මෙන්ම ඇතැම් ළූණු ගෙඩිවල මතුපිට දැකගතහැකි කළු පැහැති පටලය ආහාරයට ගැනීම හානිකර බව ද එහි සඳහන් ය. මෙම සටහනේ දැක්වෙන්නේ, මෙවැනි ළූණු වර්ග ආහාරයට ගැනීමෙන් මුකෝමිකෝසිස් නම් දිලීර ආසාදනයක් ඇති විය හැකි බවයි.
එවැනි ළූණු ආහාරයට නොගෙන සිටීම වඩා වැදගත බව එහි සඳහන් ය. තව ද කළු දිලීර සහිත ළූණු ආහාරයට ගැනීමෙන් හිසරදය ඔක්කාරය බඩේ කැක්කුම අදිය ඇති වන බවත් සඳහන් වේ. මීට අමතරව ඇඳුම රෝගීන්ගෙ ආහාර සඳහා කළු පුස් සහිතත ළූණු භාවිත කිරීම හානි කර බව ද සඳහන් ය.
තවදුරටත් ෆේස්බුක් ඔස්සේ මෙය පළ කර තිබුණේ මේ ආකාරයෙනි. කටට රහට හදන කෑම Archived Link
මීට අමතරව WhatsApp ඔස්සේ ද මෙම සටහන හුවමාරු වී තිබෙනු දැකගත හැකි විය.
විවිධාකාරයෙන් ආහාරයට එක් කර ගන්නා ළූණු වර්ග කිහිපය අතරින් ප්‍රමුඛ තැනක් ගන්නා බී ළූණු එසේත් නොමැතිනම්, ලොකු ළූණු යනුවෙන් ද හඳුන්වනුමෙම ළූණු සම්බන්ධයෙන් ඉහත සමාජ මාධ්‍ය සටහනේ ඇතුළත් තොරතුරු සත්‍ය යැයි සිතා බොහෝ පිරිසක් කළයුත්තේ කුමක් දැයි ප්‍රශ්න කරමින් අදහස් පළ කර තිබිණ. ඊට අමතරව මෙහි ඇතුළත් දේ සත්‍ය බවට විශ්වාස කරමින් බොහෝ පිරිසක් අතරේ හුවමාරු වී තිබුණේ ද මේ අකාරයෙනි.
සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන සෑම පුද්ගලයෙකුගේම ඇස නවතින සහ එහි සඳහන් විස්තර කියවීමෙන් යම් තැතිගැන්මක් ඇති කරන මෙම සටහන්වල අන්තර්ගත කරණුවල සත්‍යඅසත්‍යතාව පිළිබඳව කරණු සොයා බැලුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය සටහනේ අන්තර්ගත තොරතුරු සඳහා මුල් වූ පිළිගත හැකි මූලාශ කිසිවක් පිළිබඳ එහි සඳහන් ව නොමැත. ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහනේ ඇතුළත් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අප කරුණු විමර්ශනයක් සිදු කළේ ය.
බී ළූණුවල අන්තර්ගත පෝෂක කොටස්
අමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව ග්‍රෑම් 110 මධ්‍යම ප්‍රමාණයේ ළූණු ගෙඩියක අන්තර්ගත පෝෂ්‍ය පදාර්ත පහත පරිදි වේ.
U.S. Department of Agriculture
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ කළු පටලයකින් වැසී ඇති ළූණු ආහාරයට ගැනීමෙන් මියුකෝමයිකෝසිස් (mucormycosis) නම් දිලීර ආසාදනයක් ඇති වනවා ද?
මියුකෝමයිකෝසිස් (mucormycosis)
මියුකෝමයිකෝසිස් යනු Mucorales නම් දිලීර කාණ්ඩය මගින් ඇතිවන, ඉතා දුර්ලභ මෙන්ම ප්‍රබල ජීවිත අවදානමක් සහිත සහිත දිලීර ආසාදනයකි. Black Fungus ලෙස ද හැඳින්වෙන 2021 වසරේදී COVID-19 වලින් සුව වූ වූ පිරස අතරේ ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබිණි. විස්තර මෙතැනින් එහෙත් ළූණුවල ඇති දීලිරය ආසාදනය වීමෙන් මියුකෝමයිකෝසිස් (mucormycosis) රෝගය වැළඳෙන බවට වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු කිසිවක් නොමැත.
මුකෝමයිකෝසිස් ඇති කරන දිලීර අයත් වන්නේ රයිසොපස්, මුකෝර්, ලිච්ටයිමියා(Rhizopus, Mucor, Lichtheimia,) වැනි දිලීර ඇතුළු මුකෝරේල්ස් නම් විශේෂිත කණ්ඩායමකටයි. මේවා සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් නරක් වූ ආහාරවල දක්නට ලැබෙන දිලීරයක් නොවන බවට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC)පර්යේෂණ පත්‍රිකාවක පෙන්වා දේ.
StatPearls හි (NCBI හරහා) සමාලෝචනයකින්(A review) පැහැදිලි වන්නේ මෙම තාප ඔරොත්තු දෙන මුකෝරල් දිලීරය සාමාන්‍යයෙන් පසෙහි සහ දිරාපත් වන කාබනික ද්‍රව්‍යවල දක්නට ලැබෙන අතර, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් තුළ පමණක් දරුණු, වේගයෙන් වර්ධනය වන ආසාදනයක් ඇති කරන බවයි.
India Today Fact Check කණ්ඩායම ද, තහවුරු කර තිබුණේ, ශීතකරණයන් තුළ ඇති දිලීර (Stachybotrys chartarum වැනි) සහ ළූණු මත ඇති දිලීර (Aspergillus niger වැනි) මුකෝමිසීටස් දිලිරී වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවට ඉන්දියානු විශේෂඥයින් ද, තහවුරු කළ බවයි. ඒ සම්බන්ධයෙන් පළ වන වාර්තාව මෙතනින්.
ශීතකරණයක් හෝ ළූණු මත ඇතිවන දිලීර නිසා ශ්ලේෂ්මල පටලය ආසාදනය වන බවට ඇති අදහස මිථ්‍යාවක් බව Times of India වෙබ් අඩවියේ කරුණු විමර්ශන වාර්තාවක ද, දැක්වෙන්නේ මෙලෙසින්.
ඒ අනුව තවදුරටත් පැහැදිලි කරනවානම්,
ශීතකරණයේ ඇති දිලීර මුකෝර්මයිකෝසිස් ඇති කරන බවට පැවසෙන ප්‍රකාශය අසත්‍ය අතර එය ගෘහස්ථ ආශ්‍රීත පරිසරයේ ඇති මුකෝර්මයිකෝසිස් දිලීර වලට වඩා වෙනස් වේ.
ළූණු මතුපිට ඇති දිලීර මුකෝර්මයිකෝසිස් ඇති කරන ප්‍රකාශය අසත්‍ය වේ. – ළූණු මතුපිට ඇති දිලීර (ඇස්පර්ගිලස් වැනි) නිසි ලෙස සේදූ විට ඉවත් වන අතර සාමාන්‍යයෙන් හානිකර නොවේ.
මුකෝර්මයිකෝසිස් පාරිසරික දිලීර වලින් පැමිණෙන අතර පස, දූවිලි, දිරාපත් වන ද්‍රව්‍ය වලින් ලැබෙන මුකෝර්මයිසීට්ස් රෝගය ඇති කළ හැකිය, විශේෂයෙන් ඉහළ අවදානම් සහිත පුද්ගලයින් තුළ.
මුකෝමිකෝසිස් ඇතිවන්නේ ළූණුවල හෝ ශීතකරණ ඇතුළත ඇති දිලීර නිසා නොව, විශේෂිත පාරිසරික දිලීර (මුකෝරල්ස්) නිසා බව තහවුරු කිරීමට ශක්තිමත්, විශ්වාසදායක සාක්ෂි ඇති බව ඔබට පැහැදිලි වේ.
මුකෝර්මයිකෝසිස් සම්ප්‍රේෂණය වන ආකාරය
ප්‍රධාන වශයෙන් වායුගෝලයෙන් පැතිර ඇති දිලීර බීජ (spores) හුස්මගැනීම හරහා මෙය ආසාදනය වේ.
සමේ තුවාල, කැපුම් හෝ පිළිස්සුම් හරහා ඇතුළු විය හැක
මෙය අවම වශයෙන් දූෂිත ආහාර පාන හරහාත් ආසාදනය විය හැක.
නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය පැතිරෙන්නේ නැත.
පර්යේෂණ මහාචාර්ය, ඉල්මි හේවාජුලිගේ මහත්මියගේ ප්‍රතිචාරය
සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි ළූණුවල දැක ගත හැකි කළු පැහැති පටලය සහිත ළූණු ආහාරයට ගැනීම ශරීරයට අහිතකර ද සහ ළූණුවල එවැනි දිලීර තත්ත්වයක් ඇති වන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණ මහාචාර්ය, ඉල්මි හේවාජුලිගේ මහත්මියගෙන් විමසීමක් සිදු කළේ ය.
මහාචාර්යවරිය පැවසුවේ, ළූණුවල එලෙස දැකගත හැකි වන්නේ, ඇස්පර්ජිලස් නයිගර් (Aspergillus niger) දීලීරය බවයි. එහෙත්, මීට ඉහතදී එම දිලීරය ශරීරයට අහිතර අහිතකර නොමැති බව ප්‍රකාශ වී තිබුණ ද මෑතකාලීනව එහි විෂ ඇති බවට ප්‍රකාශවී ඇති බවයි. කෙසේ වෙතත් එය ඇෆ්ලැටොක්සින් (Aflatoxin) තරම් භයානක නොවන බවත් ඇය සඳහන් කළා ය. සිය ආතනය මේ පිළිබඳව පර්යේෂණ සිදු කර නොමැති බව ද ඇය කියා සිටියා ය. මහාචාර්යවරිය වැඩිදුරටත් කියා සිටියේ, විදෙස් රටවල සිදු කරන ලද පර්යේෂණ අනුව ටොක්සීන් එකක් ඇති බවට ප්‍රකාශ වුවද ඉන් ශරීරයට සිදුවන හානිය කෙතරම් ද යන්න පිළිබඳව දීර්ඝ පර්යේෂණ සිදුව නොමැති බවයි.
මහාචාර්යවරිය සඳහන් කළේ, කෙසේ වෙතත් මෙවැනි දීලිර සහිත ළූණු ආහාරයට නොගෙන සිටීම වඩාත් සුදුසු බවයි. තවද පැත්තක් කුණු වී ඇති එළළුලු, පලතුරු පවා එම කොටස කපා දමා ඉතිරි කොටස ආහාරයට නොගත යුතු බව ද ඇය පැවසුවා ය.
ඇමරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව, ළූණු වල කළු පැහැ දිලීර ඇති වන්නේ පසෙහි දක්නට ලැබෙන සුලභ දිලීරයක් වන ඇස්පර්ගිලස් නයිගර් මගින් බව තවදුරටත් පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.
ජබල්පූර් හි වෛද්‍ය මයිකොලොජි දිලීර රෝග විනිශ්චය සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ(Center For Medical Mycology Fungal Disease Diagnostic and Research Center) විද්‍යාඥ වෛද්‍ය ෂෙෂ් ආර් නවංගේ විසින් ද එය තහවුරු කරමිප් පවසන්නේ, “මෙම වර්ගයේ දිලීර දුර්ලභ අවස්ථාවන්හිදී ආසාදන ඇති කරයි. කෙසේ වෙතත්, ළූණු පරිභෝජනයට පෙර සෑම විටම හොඳින් සේදිය යුතු” බවයි.
ආචාර්ය රංජිත් ෆර්නැන්ඩු නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආහාර පර්යේෂණ ඒකකය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් ෆර්නැන්ඩු මහතාගෙන් ද අප මේ පිළිබඳව විමසීමක් සිදු කළේ ය. එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ළුණු අස්වැන්න නෙළීම සහ ගබඩා කිරීම නිවැරදි ක්‍රමවේදයට සිදු නොවන නිසා මෙම ළූණුවල මෙවැනි දිලීර හට ගන්නා බවයි. ඇතැම් ළූණු ගොවීන් වාසි සහගත තත්ත්වයන් සහ ඉතා ඉක්මනින් වෙළඳපොළට අස්වැන්න නිකුත් කිරීමේ අවශ්‍යතාව මත අස්වනු නෙළීම, පසු අස්වනු සැකසීමේදී නිවැරදි ක්‍රමවේදය අනුගමනය නොකරන බවයි. ඒ අනුව අමු ළූණු වෙළඳපොළට නිකුත් කරන බවත් ළූණුවල තෙතමන රැඳී තිබුණ හොත් දිලීර වර්ධනය වන බවත් ඔහු කියා සිටියේ ය.
මෙවැනි ළූණු විෂ සහිත ද, මාරාන්තික ද යන්න ඝෘජුවම කිව නොහැකි බවත් දිලීරය අනුව තීරණය වන බවත් ආචාර්යවරයා සඳහන් කළේ ය. කෙසේ නමුත්
දිලීර ශරීරගතවීම නුසුදුසු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. දිලීර වර්ධනය නොවන ආකරයට අස්වනු සකසා වෙළඳපොළට නිකුත් කරන්නෙ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව සඳහන් කළ අචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ගොවීන් ඇතුළු වගකිවයුතු අංශ ඊට අදාළය ක්‍රියාත්මක වියයුතු බවයි. ළූණු වගා කිරිමේ සිට අස්වනු නෙළීම දක්වා නිසි ක්‍රමවේදයට අනුව සිදුකළ යුතු ආකාරය මෙතැනින්.
Aspergillus niger දිලීරය හා සෞඛ්‍යයට බලපෑම් පිළිබඳ වෛද්‍ය වෘත්තිකයින්ගේ අදහස්
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ආහාර ආකලන පිළිබඳ ඒකාබද්ධ FAO/WHO විශේෂඥ කමිටුව සඳහන් කරන්නේ “Aspergillus niger යනු ආහාරවල බහුලව දක්නට ලැබෙන දූෂකයක් බවයි. පවතින තොරතුරුවලින් පෙනී යන්නේ එය මිනිසාට ව්‍යාධිජනක නොවන බවයි.
Institut national de santé publique du Québec ආයතනය සඳහන් කරන්නේ, ආග්‍රහණය කරන ලද ඇස්පර්ගිලස් නයිජර් විෂ ද්‍රව්‍ය නිසා ඇතිවන විෂ සහිත බලපෑම් අතර සයිටොටොක්සිසිටි, ස්නායු විෂ වීම සහ නෙෆ්‍රොටොක්සිසිටි ඇතුළත් වේ, නමුත් මෙය විශේෂයෙන් විෂකාරී දිලීරයක් ලෙස සැලකෙන්නේ නැති බවයි.
Mayo Clinic පැහැදිලි කරන්නේ මෙම දිලීරය බොහෝ වික්‍රියා හානිකර නොවන නමුත් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක්, පෙනහළු රෝග හෝ ඇදුම වැනි තත්ත්වයන් ඇති පුද්ගලයින් මෙම දිලීර බීජාණු ආශ්වාස කරන විට දැඩි රෝගී තත්ත්වයන්ට ලක් විය හැකි බවයි.
CDC (Centers for Disease Control and Prevention)පවසා සිටින්නේ, බොහෝ අය Aspergillus දිලීරය හේතුවෙන් බොහෝ අය අසනීප නොවන බවයි. කෙසේ වෙතත්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හෝ පෙනහළු රෝග ඇති පුද්ගලයින් ට දැඩි රෝගී තත්ත්වයන් ඇති කරවිය හැකි බවයි.සංවේදී පුද්ගලයින් තුළ අසාත්මිකතා ප්‍රතික්‍රියා,පවතින ශ්වසන තත්වයන් ඇති පුද්ගලයින් තුළ ඇදුම උග්‍රවීම මෙහි දක්නට ලැබේ. වැඩිදුර තොරතුරු මෙතනින්
විද්‍යාත්මක පූර්වාරක්ෂාවන් සහ ආරක්ෂිත පියවර :
Aspergillus දිලීරය ඇති ළූණු භාවිත කිරීමේදී අත්වැසුම් පළඳින්න
ඒම ළූණු විශාල ප්‍රමාණවලින් සැකසීමේදී මුඛ ආවරණ භාවිතා කරන්න
Aspergillus බීජාණු ආශ්වාස කිරීම වළක්වා ගැනීම සඳහා හොඳින් වාතාශ්‍රය ඇති ප්‍රදේශවල වැඩ කරන්න
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Title:ළූණුවල දක්නට ඇති කළු පැහැති දිලීරය මියුකෝමයිකෝසිස් නමැති මාරක විෂ සහිත දිලීරයක් ද?
Fact Check By: Sagarika ChathumaliResult: Misleading
