භාතිය සිහිවෙන්න රන් ආලේපිත ප්‍රතිමාවක් හදන බවට ඇමති දම්මිකගෙන් ප්‍රතිඥාවක්?   

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය වේදිකාවල අසත්‍ය පුවත් ප්‍රචාරණය සඳහා වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ඡායාරූප මෙන්ම ඇතැම් අසත්‍ය ප්‍රකාශ ද යොදා ගන්නා ආකාරය අදත්‍යතනයේ බහුලව දැකගත හැකියි.  මේ පසුගිය සමයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ භාතිය ඇතා සම්බන්ධයෙන් රජයේ  ඇමතිවරයෙකු කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව අප සිදුකළ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

භාතිය ඇතා සිහිවීමට විශාල රන් ආලේපිත ප්‍රතිමාවක් හදනවා – වනජීවි ඇමතිගෙන් ප්‍රතිඥාවක් යනුවෙන් සඳහන් කරමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතාගේ ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති මෙම ෆේස්බුක් සටහන අදාළ පරිශීලකයා සිය ගිණුමේ පළ කර ඇත්තේ, ඒ සඳහා අමාත්‍යවරයාට ස්තුතිය ද පළ කරමිනි. මෙම සාමාජ මාධ්‍ය සටහනේ ආකෘතිය දිනමිණ නිල ෆේස්බුක් පිටුවේ ආකෘතියට සමාන බවක් පෙන්නුම් කරන අතර පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බවට අදාළ සටහන දෙස  බැලීමේදී හැඟී යයි. තව ද ෆේස්බුක් සටහනේ එක් තැනක වැඩි විස්තර යනුවෙන් ද සඳහනක් දැකගත හැකියි. 

 

Facebook | Archived Link

සැලකිය යුතු පිරිසක් අතරේ හුවමාරු වී තිබූ සහ තවත් පිරිසක් අදහස් පළ කර තිබූ මෙම සමාජ මාධ්‍ය සටහනේ නිර්වද්‍යතාව සොයා අප කරුණු විමසීමක් සිදු කළේ ය. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අදාළ සටහන සඳහා පාදක වී ඇත්තේ දිනමිණ ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතිය බැවින් අප මූලකවම දිනමිණ නිල ෆේස්බුක් පිටුවේ මෑතකාලීනව මෙවැනි පුවතක් වාර්තා කර තිබේ ද යන්න පිළිබඳව පරීක්ෂා කළේ ය. එහෙත් ඉහත සමාජ මාධ්‍ය පරිශීලකයා පවසන ආකාරයේ ප්‍රකාශයක් සහිත සටහනක් දිනමිණ ෆේස්බුක් පිටුවේ දැකගත නොහැකි විය. කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන සහිත ආකෘතිය සහ දිනමිණ නිල ෆේස්බුක් පිටුවේ සටහන් පළ කර ඇති ආකෘතිය අතර වෙනස්කම් කිහිපයක් අපට නිරීක්ෂණය විය. එනම් සමාජ මාධ්‍යයේ සංසරණය වන අකෘතිය තුළ වැඩිදුර විස්තර යනුවෙන් යොමුවක් තිබුණ ද නිල පිටුවේ පළකර ඇති ආකෘති කිසිවක එවැන්නක් දැකගත නොහැක. තව ද දිනමිණ නිල ෆේස්බුක් පිටුවේ පුවත් පළ කරන අකෘතියට අනුව දිනමිණ ලාංඡනයට පහතින් නිල් පැහැති තීරුවක් ඇති අතර සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනේදි එය දැකගත නොහැක.  ඒ අනුව අදාළ සමාජ මාධ්‍ය සටහන දිනමිණ පිටුවේ පළ කරන ලද ඇමතිතුමා විසින් කරන ලද ප්‍රකාශකයක් නොවන බව කිසියම් දුරකට පැහැදිලි වේ.

ඒ අනුව අප තවදුරටත් දිනමිණ පිටුව පරික්ෂා කර බැලූ අතර එහිදී  මේ වන විට කිසියම් පිරිසක් විසින් සමාජ මාධ්යයේ සංසරණය කරන පහත සඳහන් පුවත අසත්යය පුවතක් වන අතර අප මාධ්ය ආයතනය විසින් එවැනි පුවතක් පළ කර නොමැති බව දන්වා සිටිමු ” යනුවෙන් සඳහන් කරමින් දිනමිණ නිල ෆේස්බුක් පිටුවේ පහත සටහන පළ කර තිබෙනු දැකගත හැකි විය. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන අසත්‍යක් බවත් එවැනි පුවත් එම ආයතනය විසින් පළ නොකළ බවත් ය.  

Facebook | Archived Link

සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවත අසත්‍ය බව සඳහන් කරමින් දිනමිණ පිටුවේ පළ කර තිබූ සමාජ මාධ්‍ය සටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ ද මෙලස දැකගත හැකි විය.  

කෙසේ වෙතත් වෙනත් මාධ්‍ය නාලිකාවල හෝ පරිසර අමාත්‍යවරයා සිදු කළ බව කියන මෙවැනි පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා කර තිබේ දැයි අප තවදුරටත් කරුණු පරීක්ෂා කර බැලූ අතර එහිදී ද කිසිදු මාධ්‍ය නාලිකාවක් එවැනි පුවතක් වාර්තා කර තිබෙනු අපට නිරීක්ෂණය නොවී ය. 

ඒ අනුව අප මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ මාධ්‍ය ලේකම්වරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය. එහිදී ලේකම්වරයා සඳහන් කළේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවත් අමාත්‍යවරයා භාතිය හස්තියා සම්බන්ධයෙන් කිසිදු ස්ථානයකදී මෙවැනි හෝ මීට සමාන හෝ ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද ලේකම්වරයා අවධාරණයෙන් යුතුව කියා සිටියේ ය.

ඒ අනුව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා භාතිය හස්තියා සම්බන්ධයේන සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක කළ බවට තහවුරු කර ගත හැකි සාක්ෂි නොමැත. 

භාතිය හස්තියා අවසන් ගමන් යයි 

දින ගණනක් තිස්සේ, රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා ඉකුත් ජූලි 15 වැනිදා ජීවිතයෙන් සමුගත්තේ බොහෝ දෙනෙකුගේ නෙතගට කඳුළක් එක්කරමින්. වෙඩි වැදීමකින් හටගත් තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ භාතිය හස්තියාට ප්‍රතිකාර කර යළි සුවපත් කර ගැනීම සඳහා පශු වෛද්‍යවරුන් ඇතුළු වනජීවි නිලධාරීන් මහත් ප්‍රයත්නයක් දැරීය. එහෙත් එම උත්සාහයන් ව්‍යර්ත වූ අතර පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක හස්තියා සතියක පමණ කාලයක් වැතිර සිටියේය .

නිකවැරටිය වනජීවි කලාපය තුළදී හස්තියා වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින බවට මුල්වරට ගම්වාසින්ට නිරීක්ෂණය වී තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. පසුව අවස්ථා කිහිපයකදීම වෙඩි වැදීම්වලට ලක්වූ බව කියන භාතියගේ කන ප්‍රෙදේශයටත්, පාදයකටත් එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් දිනෙන් දින ඔහු දුර්වල තත්ත්වයට පත්විය. පසුව අවස්ථා කිහිපයකදීම දණින් වැටුණු භාතිය යළි නැගී සිටීමට නොහැකි තරමට දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට පත් විය. පසුව භාතිය අවසන් ගියේ ය. වයසට වඩා පිරුණු පෙනුමකින් හෙබි, සමමිතික, හැඩ දළ යුවළකට හිමිකම් කිවූ අවුරුදු 30 – 35 අතර වයසක පසුවූ  භාතිය කාගෙත් අවධානය දිනාගත් හස්ති රාජයෙකි. විස්තර මෙතැනින් 

Also Read: 

භාතියට නිදහසේ මැරෙන්න දෙන්න. ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්?

භාතිය හස්තියා අවසන් ගමන් ගියා ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ නිගමනය වන්නේ, “භාතිය ඇතා සිහිවීමට විශාල රන් ආලේපිත ප්‍රතිමාවක් හදනවා – වනජීවි ඇමතිගෙන් ප්‍රතිඥාවක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍යක් බවත් අමාත්‍යවරයා කිසිදු ස්ථානයකදී එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ය. ඒ අනුව එම සටහන දිනමිණ ෆේස්බුක් පිටුවේ පුවත් පළ කරන ආකෘතිය ව්‍යාජව යොදා ගනිමින් පරිසර අමාත්‍යවරයාගේ නම ඈඳා ගනිමින් පළ කරන ලද අසත්‍ය සටහනකි. 

Avatar

Title:භාතිය සිහිවෙන්න රන් ආලේපිත ප්‍රතිමාවක් හදන බවට ඇමතිගෙන් දම්මිකගෙන් ප්‍රතිඥාවක්?

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply