ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක මුදල් මුද්‍රණය කරලද?

Partly False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දැන හෝ නොදැන ඇතැම් දේශපාලන චරිත විසින් ආණ්ඩුව විවේචනය කිරීමට ඉදිරිපත් කරන දත්තයන් නිවැරදි නොවන බැවින් ඒ ඔස්සේ සමාජය නොමග යනු ලබනවා. ඒ ආකාරයෙන් ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක මුදල් මුද්‍රණය කර ඇති බවට දක්වමින් පළ වූ වාර්තාවක් පිළිබඳ සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක සල්ලි අච්චු ගහලායනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර තිබුණේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින්.

2024 ඔක්තෝබර් සිට 2025 ජුනි දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1225.9 ක් (හෙවත් රු. ට්‍රිලියන 1.2) ක් අච්චු ගසා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතා කඩකරමින් මුදල් අච්චු ගැසීම නැවත වරක් ආර්ථික අර්බුදයක් කරා රට යොමුවීමේ ආරම්භය විය හැකි බවත් එහි මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශයන්ට පටහැනිව මහ බැංකුව 2025 ජුනි මස පමණක් රු. බිලියන 210.3 (පුළුල්වීම 10.4%) ක් අච්චු ගසා ඇත. 2025 මාර්තු මස රු. බිලියන 233.90 ක් අච්චු ගසා (M2b) ඇති අතර එය පළමු මාස හය තුළ මසක දී අච්චු ගැසූ වැඩිම මුදලයි. ගෝඨාභය පාලන සමයේ දී අසීමිත මුදල් අච්චු ගැසීම හේතුවෙන් (උදා.2022 අප්‍රේල් මැයි පුළුල්වීම 17%-20%) ආර්ථිකයට මහත් විනාශයක් සිදුවිය. රටේ මූල්‍ය අර්බුදයක් ඇති නොවීමට සුදුසු පියවර ගැනීම පාර්ලිමේන්තුවේ හා මහ බැංකුවේ ඒකාබද්ධ වගකීමකි යැයි ද එහි දැක්වේ.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉහත සමාජ මාධ්‍ය සටහනේ ලැයිස්තු ගත කර ඇති කරුණු විශේෂයෙන් මුදල් සැපයුම, ණය මට්ටම් සහ දළ විදේශ සංචිත සම්බන්ධයෙන් මහ බැංකු දත්ත අදාළ වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු සත්‍ය බව දැක ගන්නට ලැබේ.

Trading Economics වෙබ් අඩවියේ දත්ත වලට අනුව සංචිත ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,080 සිට ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,144 (ඇමරිකානු ඩොලර් බිලියන 6.144) දක්වා ඉහළ ගොස් ඇති බව දක්වා තිබුණේ මෙලෙසින්.

6.531 සිට 6.080 වෙනසට සමගාමීව, ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 206 ක පහත වැටීම පිළිබඳ Economynext වාර්තා කර තිබුණේ මේ අයුරින්.

2025 මාර්තු මස අග වන විට දළ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් ලෙස ප්‍රකාශ කරමින් ලෝක බැංකු මාර්තු මාසයේ සංචිත අගය සනාථ කර තිබුණේ මෙලෙසින්.

කෙසේ වෙතත් ට්‍රිලියන  1.225ක මුදල් අච්චු ගසා ඇති බවට පසුගිය දා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත කීර්ති තෙන්නකෝන් පවසා තිබූ අතර එම නිවේදනය ඔස්සේ මහ බැංකුව මගින් මුදල් අච්චු ගසා ඇති බවට ප්‍රචාරය වුණි.

මෙහිදී ද, පැහැදිලි කර ගත යුතු කරුණ වන්නේ, මුදල් මුද්‍රණය ලෙස අර්ථකථනය කර ඇත්තේ, පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම (money printing – Broad money (M2b) පිළිබඳ මිස යන්ත්‍රයක් අනුසාරයෙන් මුදල් මුද්‍රණය කිරීමක් නොවන බවයි.

මුදල් මුද්‍රණය සහ පුළුල් මුදල් සැපයුම(M2b)

මුදල් අච්චු ගැසීම යන්නෙහි සාමාන්‍ය අර්ථය වනුයේ මහ බැංකුව විසින් ආර්ථිකයට නව මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ සංචිත මුදල් ලෙසයි. නමුත් බොහෝ දෙනෙකු මෙය මුදල් මුද්‍රණය කිරීම ලෙස වරදවා වටහානී.

මූලික වශයෙන් රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා නව මුදල් මුද්‍රණය කොට නිකුත් කිරීම පසුගිය වසරවල බහුලව දක්නට ලැබුණු  අතර මේ හේතුවෙන් රටේ උද්ධමනය සහ මුදල් අවප්‍රමාණය වීමට හේතු විය.

ශ්‍රී ලංකාව දශක ගණනාවකින් පසු එහි දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දුන් 2022 දී අර්බුදය උච්චතම අවස්ථාවට පත් වූ අතර, උද්ධමනය වාර්ෂිකව 49.72% දක්වා ළඟා විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ

• රජයේ මෙහෙයුම් සඳහා අරමුදල් සැපයීම සඳහා අධික ලෙස මුදල් නිර්මාණය කිරීම

• ආනයන වඩාත් මිල අධික කළ මුදල් අවප්‍රමාණය වීම

• පවතින භාණ්ඩ අඩු කළ සැපයුම් දාම බාධා

• මුදල් හා මුදල් ප්‍රතිපත්තිය කෙරෙහි විශ්වාසය නොමැතිබව වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව 2023 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනට ඇතුළු වූ දා සිට, මූල්‍ය හිඟය සඳහා මුදල් මූල්‍යකරණයෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටී. IMF විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ රජයේ අයවැය හිඟය සඳහා මුදල් මුද්‍රණය කිරීම නතර කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලිවම පවසයි.

ඒ වෙනුවට, ද්‍රවශීලතා මෙහෙයුම් සිදු කරනු ලබන්නේ ප්‍රතිමිලදී ගැනීම්, ප්‍රතිලෝම ප්‍රතිමිලදී ගැනීම් සහ විවෘත වෙළඳපොළ මෙහෙයුම් වැනි වෙළඳපොළ පදනම් කරගත් මෙවලම් හරහායි. එනම් මුදල් හුදු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුද්‍රණය කර ආර්ථික ප්‍රවාහයට මුදා හැරී මෙහිදී සිදු නොවේ.

First Capital Monthly Economic Watch – August 2025 වාර්තාවේ ඔවුන් විසින් කරන ලද ස්වාධීන විශ්ලේෂණයට අනුව ණය ප්‍රසාරණය සහ බාහිර මුදල් ගලා ඒම මගින් පුළුල් මුදල් සැපයුම(M2b) වර්ධනය මගින් මුදල් ප්‍රවාහය වැඩි වී ඇති බවත්, උද්ධමනය ඉලක්කගත මට්ටම් තුළ පවතින බවත් මෙහි දැක්වේ. අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමක් සිදු වූයේ නම් එනම් මුදල් අච්චු ගැසීමක් වූයේ නම් උද්ධමනය වැඩිවිය යුතු වේ.

2024 අප්‍රේල් 1.5%

2024 ජූනි 1.7%

2024 අගෝස්තු 0.5%

2025 ජූනි 0.6%

2025 ජූලි –0.3%

මේ අනුව ද, පැහැදිලි වන්නේ රුපියල් ට්‍රිලියන 1.22 ක් මුද්‍රණය කර ඇත්නම්, උද්ධමනය සැලකිය යුතු ලෙස වැඩි විය යුතු නමුත් ඒ වෙනුවට එය අඩු හෝ සෘණාත්මකව පැවති බවයි.

උද්ධමනය නිරන්තරයෙන් මහ බැංකුවේ 5% ඉලක්කයට වඩා පහළින් පවතින අතර, වගකිවයුතු මුදල් ප්‍රතිපත්තියක් මින් පිළිඹුමු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති වාර්තාව, 2025 අගෝස්තු මෙම වාර්තාව මගින්ද තව දුරටත් සනාථ වන්නේ ද, මහ බැංකුව මුදල් මුද්‍රණයෙන් වැළකී සිටින බවයි. පුළුල් මුදල් සැපයුම(M2b) වර්ධනය පුද්ගලික අංශයේ ණය + ශුද්ධ විදේශ වත්කම් මගින් මෙහෙයවනු ලබයි. ද්‍රවශීලතා කළමනාකරණය සිදු කරන ලද්දේ මුදල් මුද්‍රණය නොව, ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම්, ප්‍රතිවිකුණුම් ගිවිසුම් සහ විවෘත වෙළඳපොළ මෙහෙයුම් හරහා වේ. ( repos, reverse repos, and open market operations)

පවත්නා ආර්ථිකයේ මුදල් වර්ධනය පිළිබිඹු කරන්නේ නව මුදල් මුද්‍රණය නොව පෞද්ගලික අංශයට සහ ශුද්ධ විදේශ වත්කම්වලට ණය බව වාර්තා වැඩිදුරටත් අවධාරණය කරයි.

ළුල් මුදල් සැපයුම(M2b) යනු මහජනතාව සතුව ඇති මුදල්, ඉල්ලුම් තැන්පතු , වාණිජ බැංකු සමඟ ඇති කාල සහ ඉතුරුම් තැන්පතු වේ.

එහි වර්ධනය පහත සඳහන් සාධක මිශ්‍රණයක් පිළිබිඹු කරයි.

·      පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය

·      විදේශ සංචිත ගොඩනැගීම

·      රජයේ සුරැකුම්පත් වෙළඳපොළ ක්‍රියාකාරකම්

මේ අනුව, M2b හි වර්ධනය “නව මුදල් මුද්‍රණය කිරීම” හා සමාන නොවේ.

ශ්‍රී ලංකාවේ, M2b යනු මුදල් සැපයුමේ බහුලව භාවිතා වන මිනුම වන අතර M2b හි වෙනස්කම් ආර්ථිකයේ ද්‍රවශීලතාවය පිළිබිඹු කරයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.

නමුත් ඉහත සටහනේ රජිත කීර්ති මහතා පෙන්වා දෙන පරිදි පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම (M2b)  රු. ට්‍රිලියන 1.22ක් ලෙස පෙන්වා දුන්නත් ලංකා බැංකුවේ වාර්තා වලට අනුව 2024 ඔක්තෝබර් සිට 2025 මැයි දක්වා, පුළුල් මුදල් සැපයුම (M2b)  දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 14.0 සිට රුපියල් ට්‍රිලියන 15.0 කට ආසන්න දක්වා වර්ධනය වී ඇති අතර, එය මෙම මාස කිහිපය තුළ රුපියල් බිලියන 956.5 ක පමණ වැඩිවීමක් නියෝජනය කරයි. මේ සම්බන්ධයෙන් පළ වූ මහ බැංකු වාර්තා මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව ඔහු ඉදිරිපත් කර තිබූ මාසික දත්ත ද, මහ බැංකු වාර්තා වලට අනුව නිවැරදි නොවන බව දැක ගන්නට ලැබේ.

CBSL වාර්තා කළ M2b සංඛ්‍යා (රු. මිලියන)

2024 ඔක්තෝබර්: රුපියල් මිලියන 14,009

2024 නොවැම්බර්: රුපියල් මිලියන 14,087

2024 දෙසැම්බර්: රුපියල් මිලියන 14,322

2025 ජනවාරි: රුපියල් මිලියන 14,439

2025 පෙබරවාරි: රුපියල් මිලියන 14,544

මාසික ආර්ථික දර්ශක (MEI) වලින්:

2025 අප්‍රේල් අවසානය: රුපියල් මිලියන 14,931.9

2025 මැයි අවසානය: රුපියල් මිලියන 14,965.5

2024 ඔක්තෝබර්: රුපියල් මිලියන 14,009

2024 නොවැම්බර්: රුපියල් මිලියන 14,087

2024 දෙසැම්බර්: රුපියල් මිලියන 14,322

2025 ජනවාරි: රුපියල් මිලියන 14,439

2025 පෙබරවාරි: රුපියල් මිලියන 14,544

2025 අප්‍රේල්: රුපියල් මිලියන 14,931.9

2025 මැයි: රුපියල් මිලියන 14,965.5

කෙසේ වෙතත් මෙලෙසින් පුළුල් මුදල් සැපයුම ප්‍රසාරණය වීමට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ, මුදල් අච්චු ගැසීමයි. ඔහු එම සටහනේ මුදල් අච්චු ගැසීම ලෙස අර්ථකථනය කර තිබුණේ, පුළුවල් මුදල් සැපයුම බවට දක්වා තිබුණත්, නමුත් ඔහු මුදල් අච්චු ගැසීම මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තහනම් කර ඇති බව සඳහන් කිරීම මගින් ඔහු නැවතත් මුදල් මුද්‍රණය කිරීම සහ මුදල් අච්චු ගැසීම නැත්නම් පුළුල් මුදල් සැපයුම පටලවාගෙන ඇති බවක් පිළිඹිමු වේ.

පුළුල් මුදල් (M2b) රුපියල් ට්‍රිලියන 1.22ක වැඩිවීම

2024 ඔක්තෝබර් සිට 2025 ජුනි දක්වා, පුළුල් මුදල් (M2b) දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 1.22 කින් ප්‍රසාරණය වී ඇති අතර මෙය ස්වයංක්‍රීයව “මුදල් මුද්‍රණය” ට සමාන නොවේ.

පුළුල් මුදල් ප්‍රසාරණය සිදුවිය හැක්කේ:

·      බැංකු ණය වර්ධනය (ව්‍යාපාර සහ කුටුම්භ සඳහා බැංකු වැඩි ණය ලබා දීම).

·      තැන්පතු වැඩි වීම (ඉතුරුම්, ඉල්ලුම, කාල තැන්පතු).

·      විදේශ ගලා ඒම් (ප්‍රේෂණ, අපනයන, සෘජු විදේශ ආයෝජන (FDI)).

·      මහ බැංකු ක්‍රියාමාර්ග (සංචිත මුදල් ප්‍රසාරණය, එනම් සැබෑ මුදල් “මුද්‍රණය”).

2025 වසරේ, පුළුල් මුදල් සැපයුම ප්‍රසාරණය තිබියදීත් 2025 ජූලි මාසයේදී 0.3% ක්ව පැවති උද්ධමනය තවමත් සෘණාත්මක අගයක් ගන්නා බැවින් තව දුරටත් තහවුරු වන්නේ. මුදල් මුද්‍රණය කිරීමක් සිදු නොමැති බවයි. මුදල් මුද්‍රණය කිරීමක් සිදු වනවා නම්, උද්ධමනය වැඩිවිය යුතු වේ. පුළුල් මුදල් සැපයුම වැඩිවී ඇත්තේ අධික ලෙස “මුදල් මුද්‍රණය” නොව ණය සහ තැන්පතු මත පදනම් වූ වර්ධනයක් බව තව දුරටත් පැහැදිලි වේ.

IMF නිර්දේශය

ශ්‍රී ලංකාවේ IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ දැඩි කොන්දේසි වලින් එකක් වූයේ, රජයේ හිඟයන් සෘජුවම මූල්‍යකරණය කිරීම සඳහා මහ බැංකුව මුදල් මුද්‍රණය නොකළ යුතු බවයි.

 “මුදල් මුද්‍රණය නොකිරීම” යනු “පුළුල් මුදල් සැපයුම(M2b) වර්ධනයක් නොමැති” බව ද?

නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) විසින් පුළුල් මුදල් සැපයුම (M2b) වර්ධනය තහනම් නොකරයි. සත්‍ය වශයෙන්ම, යථා තත්ත්වයට පත්වන ආර්ථිකයක පුළුල් මුදල් සැපයුම වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ, මන්ද මිනිසුන් වැඩිපුර ඉතිරි කිරීම, ණයට ගැනීම සහ තැන්පත් කිරීම නිසාවෙනි.

IMF විසින් තහනම් කරනු ලබන්නේ අධික සංචිත මුදල් ප්‍රසාරණය හිඟයන් ආවරණය කිරීම සඳහා මුදල් මුද්‍රණය කිරීම වේ.

මහ බැංකුව විවට වෙළඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවට වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකිය. කෙසේ වෙතත්, විවෘත වෙළඳපොළ මෙහෙයුම් හරහා එවැනි ද්‍රවශීලතා එන්නත් කිරීම සාමාන්‍ය දෙයක් බවත් එය වචනාර්ථයෙන් “මුදල් මුද්‍රණය” ට සමාන නොවන බවත් සැලකිල්ලට ගැනීම වැදගත්ය. මහ බැංකුවේ වෙබ් අඩවියේ දක්වා තිබෙන්නේ, විවෘත වෙළඳපොළ මෙහෙයුම් (OMOs) මුදල් මුද්‍රණය” ලෙස ලේබල් කිරීම නොමඟ යවන සුළු බවයි. මේවා සම්මත ද්‍රවශීලතා කළමනාකරණ මෙවලම් වේ. ඒ සම්බන්ධයෙන් මහ බැංකුව 2024 වසරේ සිදු කළ පැහැදිලි කිරීමක් මෙතනින් සහ මෙතනින්.

ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

මුදල් මුද්‍රණය කිරීම

මුදල් මුද්‍රණය කිරීම සිදු වන්නේ, මහ බැංකුවේ ව්‍යවහරික මුදල් කළමණාකාර අංශය විසින් රටතුළ සංසරණය වන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින්, රටේ භාවිතා වන මුදල් අවශ්‍යතාවය මත උද්ධමනය ඇති නොවන අයුරින් වර්තමානයේ මෙන්ම ඉදිරි කාලයේදී ගනුදෙනු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව සැලකිල්ලට ගනිමින්, එමෙන්ම වලංගු නෝට්ටුවක්, භාවිතය නිසා ඉරී යාම, අපිරිසිදුවීම, දිරාපත්වීම, නෝට්ටුව මත යම් යම් දේ ලියා තිබීම නිසා හඳුනා ගැනීම අපහසු වීම, සංසරණයේ දී සිදු වන සුලු හානි වීම් හා හිතාමතා විකෘති කිරීම ආදිය මගින් භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් නෝට්ටු මහ බැංකුව යන්ත්‍රානුසාරයෙන් විනාශ කරන බැවින්ද එම මුදල් වලට සරිලන ආකාරයෙන් නව නෝට්ටු මුද්‍රණය කිරීම වැනි කරුණු ද සැලකිල්ලට ගනිමින් නෝට්ටු, කාසි මුද්‍රණය කරන බව මහ බැංකුවෙන් අප කළ විමසීමේදී පැහැදිලි කරනු ලැබීය.

මුදල් අච්චු ගැසීම යනු?

මුදල් අච්චු ගැසීම යන්නෙහි සාමාන්‍ය අර්ථය වනුයේ මහ බැංකුව විසින් ආර්ථිකයට නව මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ සංචිත මුදල් ලෙසයි.

මුදල් අච්චු ගැසීමේ බලය ?

ලෝකයේ රටවල් වලින් බොහොමයන මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ එම රටවල්වල මහ බැංකුවලටයි. ශ්‍රී ලංකාවේ ද මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. මෙම බලය මහ බැංකුයට ලැබී ඇත්තේ 1949 අංක 58 දරණ මුදල් නීති පනතිනි. මෙම පනත අනුව, 1950 අගොස්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව පිටිටුවන ලද අතර, එතැන් පටන් මුදල් අච්චු ගැසීමේ කාර්යය අඛණ්ඩව සිදු කරනු ලැබුවේ මහ බැංකුව විසිනි. 

රටක මහජනයා තුළ මුදල් සඳහා පිළිගැනීමක් ඇතිවන්නේ ඒ පිළිබඳ ඔවුන් තුළ පවත්නා විශ්වාසය මතයි. එය රැඳෙන්නේ මුදල් සඳහා පවත්නා නීතිමය වලංගුභාවය මතයි. මහජනයා තුළ මුදල් පිළබඳ විශ්වාසය පළුදු විය හැකි අවස්ථාවක් ලෙස යම්කිසි රටක භාණ්ඩ හා සේවා වල මිල අඛණ්ඩව සීඝ්‍රයෙන් ඉහළ යාම හෙවත් අධික උද්ධමනකාරී තත්ත්වයක් ඇති වීමයි. එවැනි තත්ත්වයක් තුළ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, මුදල් නිකුත් කිරීමේ බලධාරීන්ට විශාල වශයෙන් නව මුදල් නිකුත් කිරීම සිදුවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මුදල් හෙවත් සංචිත මුදල් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය

භාණ්ඩ හා සේවා ආනයනය සඳහා සහ විදේශයන්ට කරනු ලබන වෙනත් විවිධ ගෙවීම් සිදු කළ පසු යම් විදේශ විනිමය අතිරික්තයක් වේ නම් වාණිජ බැංකු විසින් එය මහ බැංකුවට විකුණනු ලැබේ. එමෙන්ම දේශිය ආර්ථිකය තුළ අවශ්‍ය ගෙවීම් සිදු කිරීම සඳහා රජයට ලැබෙන විදේශීය ණය විදේශීය මුදල් වලින් ලැබෙන නිසා එම ණය රුපියල් බවට පත් කිරීමට එම විදේශීය මුදල් මහ බැංකුවට විකුණා රුපියල් ලබා ගනී. මෙලෙසින් රජයෙන් හෝ වාණිජ බැංකු වලින් විදේශ විනිමය මිලදී ගැනීමේ දී මහ බැංකුව විසින් අළුතින් රුපියන් නිකුත් කිරීම සිදු කරයි. එමගින් රට තුළ දැනට පවත්නා මුදල් තොගයට අළුතින් මුදල් ප්‍රමාණයක් එකතු වීම සිදු වේ. එමෙන්ම රජය වෙනුවෙන් විදේශීය ණය ගෙවීම මහ බැංකුව විසින් සිදු කරන නිසා ණය ආපසු ගෙවීම සිදු වන අවස්ථාවේදී ඒ සඳහා අවශ්‍ය වන විදේශ විනිමය වෙනුවෙන් ඊට සමාන රුපියල් අගයක් මහ බැංකුවට ගෙවීමට රජයට සිදුවේ.

එලෙස මහ බැංකුව විසින් රුපියල් ගෙවීම් හේතුවෙන් රට තුළ සංසරණයෙහි පවත්නා මුදල් තොගයේ හෙවත් සංචිත මුදල්වල අඩුවීමක් සිදු වන අතර මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන විදේශ සංචිත ප්‍රමාණයද ඒ අනුව අඩු වේ.

දෙවනුව මහ බැංකුව විසින් රජය හා වාණිජ බැංකු සමග සෘජුවම රුපියල් වලින් කරනු ලබන ගනුදෙනු එනම් දේශීය වත්කම් හරහා සිදුවන ගනුදෙනු හේතුවෙන්ද රට තුළට මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මුදල් තොගයෙහි වෙනස් වීම් සිදු වේ.

මහ බැංකුව රජය සමග සිදු කරන මෙවැනි සෘජු ගනුදෙනු අතර ප්‍රධාන තැනක් ගනු ලබන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීමයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ස්වර්ණා ගුණරත්න මහත්මිය විසින් පවසන ලද වැඩි දුර තොරතුරු මෙතනින්.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිර්මාණය කිරීමමුද්‍රණය / ටංකනය කිරීම හා බෙදාහැරීම

1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය ශ්‍රී ලංකා මහබැංකුව සතු වේ. මෙම කර්තව්‍යය සිදුකරනු වස් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිර්මාණය කිරීම, මුද්‍රණය / ටංකනය කිරීම හා බෙදාහැරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇත. ව්‍යවහාර මුදල් කළමනාකරණයේ පරමාර්ථය වන්නේ ව්‍යවහාර මුදල්වල වටිනාකම හා විශ්වාසනීයත්වය ආරක්ෂා කර ගැනීම හා ආර්ථිකයේ මනා ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන, ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත්වන පරිදි ‍තොග පවත්වාගෙන යාම තුළින් මුදල් පිළිබඳ මහජන විශ්වාසය ගොඩනඟා පවත්වාගෙන යාමයි.

නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ බියගම පිහිටි ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් පුද්ගලික සමාගම මගිනි. 

සංසරණය සඳහා නිකුත් කරන ලද නව කාසි ටංකනය කරනු ලබන්නේ ස්ලෝවැකියාවේ , “Mincovna Kremnica” යන ටංකන සමාගම විසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා සංසරණ කාසි ටංකනය සහ සැපයීම සඳහා සැපයුම්කරුවන් තෝරාගනු ලබන්නේ ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියක් මගින් වේ.

ව්‍යවහර මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකු වෙබ් අඩවියේ සඳහන් වාර්තා මෙතනින්මෙතනින් සහ මෙතනින්.

මහ බැංකුවේ ව්‍යවහරික මුදල් කළමණාකාර අංශය විසින් රටතුළ සංසරණය වන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින්, රටේ භාවිතා වන මුදල් අවශ්‍යතාවය මත උද්ධමනය ඇති නොවන අයුරින් වර්තමානයේ මෙන්ම ඉදිරි කාලයේදී ගනුදෙනු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව සැලකිල්ලට ගනිමින්, එමෙන්ම වලංගු නෝට්ටුවක්, භාවිතය නිසා ඉරී යාම, අපිරිසිදුවීම, දිරාපත්වීම, නෝට්ටුව මත යම් යම් දේ ලියා තිබීම නිසා හඳුනා ගැනීම අපහසු වීම, සංසරණයේ දී සිදු වන සුලු හානි වීම් හා හිතාමතා විකෘති කිරීම ආදිය මගින් භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් නෝට්ටු මහ බැංකුව යන්ත්‍රානුසාරයෙන් විනාශ කරන බැවින්ද එම මුදල් වලට සරිලන ආකාරයෙන් නව නෝට්ටු මුද්‍රණය කිරීම වැනි කරුණු ද සැලකිල්ලට ගනිමින් නෝට්ටු, කාසි මුද්‍රණය කරන බව මහ බැංකුවෙන් අප කළ විමසීමේදී තවදුරටක් පැහැදිලි කරනු ලැබීය.

මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම විවෘත වෙළෙඳපොළ කටයුතු, නව මුදල් අච්චු ගැසීමක් ලෙස නොමග යවන සුළු අර්ථකතන ඔස්සේ හුවමාරු වූ අවස්ථා!

ආර්ථිකය ස්ථාවර කිරීමට මහ බැංකුවේ සුපුරුදු විවෘත වෙළෙඳපොළ මෙහෙයුම්වලට (Open Market Operations) අනුකූල වන  ක්‍රියාවලියක් යටතේ රටේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමේ ක්‍රියාවලිය, මුදල් අච්චු ගැසීම ලෙස ද ඇතැම් විට හැඳින්වීමත් සමඟ මීට පෙර ද බොහෝ අවස්ථාවල දී රජයන් විසින් නව මුදල් විශාල ප්‍රමාණයන් හෞතික වශයනේ මුද්‍රණය කර ඇති බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග ගොස් තිබු අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ නිකුත් කළ නිවේදනයක් මෙතනින්.

Also Read : මහ බැංකුවේ මුදල් අච්චු කිරීම යනු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක්ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube


Leave a Reply