“කමාන්ඩෝ සලිඳු කියන්නේ රණවිරුවෙක්”- හිටපු ඇමති ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්? 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පිළිගත් මාධ්‍ය ආයතනවල නාමයන්, ලාංඡන ව්‍යාජව යොදා ගනිමින් සමාජය නොමග යවන ආකාරයෙන් සකසන ලද සටහන් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සංසරණය වීමේ ප්‍රවණතාවක් දැකගත හැකියි. මෙවැනි ව්‍යාජ සටහන් සඳහා ආන්දෝලනාත්මක සිදුවීම්, ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින දේශපාලන චරිතවල නම් යොදා ගන්නා ආකාරයක් ද සුලභව දක්නට තිබේ. මේ එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදු කළ කරුණු පරීක්ෂාවක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ, “කොමාන්ඩෝ සලිඳු කියන්නේ රණ විරුවෙක් යනුවෙන් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. තව ද මෙම සටහන පළ කර ඇත්තේ, හිරු ප්‍රවෘත්ති නිල ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතියට සමානව,  BREAKING NEWS ලෙස ද  සඳහන් කර , හිරු ප්‍රවෘත්ති ලාංඡනය ද සහිතවයි. කෙසේ වෙතත් මෙම සටහන පළ කරන ලද දිනයක් හෝ හිටපු මන්ත්‍රීවරයා කවදා කොතැනකදී  මෙම ප්‍රකාශය සිදුකළා ද යන්න පිළිබඳව හෝ තොරතුරු ඇතුළත්ව නොමැත. 

Facebook | Archived Link

තවත් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් සලිඳු යනුවෙන් සඳහනක් ද සහිතව මෙම සටහන පළ කර තිබුණේ මේ ආකාරයෙනි. 

Facebook | Archived Link

මෙය සත්‍ය ප්‍රකාශයක් යැයි සිතා සැලකිය යුතු පිරිසක් විසින් ද හුවමාරු කර ගෙන තිබූ මෙම සමාජ මාධ්‍ය සටහනේ නිර්වද්‍යතාව පිළිබඳව අප මෙලෙස කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබී ය. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉකුත් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඉන්දුනීසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමග ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මෙය සැලකෙන්නේ, ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සුවිශේෂීම මෙහෙයුමක් ලෙසයි. පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කමාන්ඩෝ සලිඳු නමැත්තෙක් පිළිබඳව ප්‍රකාශයක් සිදු කළ බවට වන සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වන්නේ, අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ ඉදිරි නිතීමය ක්‍රියාමාර්ග පිළිබඳව රටේම අවධානය යොමු වී ඇති පසුබිමකදී ය.  

ඒ අනුව අප මූලින්ම සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන හිරු පුවත් නිල ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතියට සමාන බැවින් හිටපු අමාත්‍යවරයා මෑතකදී එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට වන සටහනක් හිරු පුවත් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර තිබේ දැයි පරීක්ෂාවට ලක් කළේ ය. කෙසේ වෙතත් හිරු පුවත් නිල ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළ කර තිබෙනු නිරීක්ෂණය නොවී ය. 

කෙසේ වෙතත් තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප අනෙකුත් පිළිගත් මාධ්‍ය වාර්තා ද පරීක්ෂාවට ලක් කළේ ය. ඒ අනුව කිසිදු පිළිගත් මාධ්‍ය නාලිකාවක් ගම්මන්පිල මහතා සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට වාර්තා කර තිබෙනු දැකගත නොහැකි විය. හිටපු අමාත්‍යවරයාගේ නම සඳහන්වන ආකාරයේ පුවතක්  ඉකුත් 27 වනදා මාධ්‍ය වාර්තා කර තිබුණේ,   අගෝස්තු 05 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමක් පිළිබඳවයි. එය හැරුණු කොට මෑකදී හිටපු අමාත්‍යවරයා සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට කිසිදු මාධ්‍යයක් විසින් වාර්තා කර නොමැත. 

මේ අතර තවදුරටත් අප සිදු කළ කරුණු පරීක්ෂාවේදී සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන සහ හිරු නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ෆේස්බුක් සටහන් අතර වෙනස්කම් කිහිපයක් නිරීක්ෂණය විය. ඉකුත් 27 වනදා හිරු නිල ෆේස්බුක් පිටුවේ ගම්මන්පිල මහතාගේ ඡායාරූපය සහිතව පළ කරන ලද ප්‍රවෘත්තියක් සංසදනාත්මකව විශේෂණය සඳහා යොදා ගත් අතර ඒ අනුව ඔවුන් සිය නිල පිටුවේ පළ කරන ලද සටහන් සඳහා දිනය යෙදීම අනිවාර්යෙන්ම සිදුකරන ආකාරයක් දැක ගතහැකි වූ අතර මීට අමතරව ඔවුන්ගේ නිල පිටුව ඔස්සේ පළ කරන ලද සෑම සටහනකටම  Watermark යොදා ඇති ආකාරය ද පැහැදිලිව දැකගත හැකියි. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන තුළ අදාළ සටහන පළ කරන ලද දිනය හෝ  Watermark දැකගත නොහැක. තව ද ඔවුන් සිය පිටුවේ පළ කරන ලද සෑම සටහනක් සඳහා ම වැඩි විස්තර සඳහා යොමුවක් ලබා දෙන ආකාරයක් දැකගත හැකි නමුත් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන සඳහා වැඩි විස්තර යොමුවක් දැකගත නොහැක.

කෙසේ වෙතත් තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මත අප සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන සම්බන්ධයෙන් අප හිරු ටීවි ඩිජිටල් අංශයෙන් විමසීමක් සිදු කළේ ය. එහි අධ්‍යක්ෂ විමුක්ති බණ්ඩාර මහතා පැවසුවේ, උදය ගම්මන්පල මහතාගේ ඡායාරූපය සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ කොමාන්ඩෝ සලිඳු කියන්නෙ රණවිරුවෙක් යනුවෙන් සඳහන්, සටහනක් හිරු නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පළ නොකළ බවයි. 

ඒ අනුව කමාන්ඩෝ සලිඳු කියන්නේ රණ විරුවෙක් යනුවෙන් ගම්මන්පිල මහතා ප්‍රකාශයක් සිදු කළ බවට වන සටහනක් හිරු ප්‍රවෘත්ති නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර නොමැති බව පැහැදිලි වේ. 

කෙසේ වෙතත් ඉකුත් දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් පිරිස අතර කමාන්ඩෝ සලිඳු නමින්  සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවූ බවට කිසිදු මාධ්‍යක් වාර්තා කර නොමැත. ඉන්දුනීසියාවේදී සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබුණේ, කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත, ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකි. මේ අතර කමාන්ඩෝ සලිඳු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී තිබේ දැයි අප විමසා බැලූ අතර කිසිදු මාධ්‍යක් එම අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අපරාධකරුවෙකු පිළිබඳ වාර්තා කර ඇති බවක් දැකගත නොහැකි විය. මේ අතර මේ පිළිබඳව අප පොලීසියෙන් ද විමසීමක් කළ අතර පොලීසිය පැවසුවේ, එම අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු නොමැති බවයි.  

කෙසේ  වෙතත් සලිඳු මල්ෂිත ගුණරත්න නම් සංවිධානාත්මක අපරාධකරුවෙකු පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී ඇතත් ඔහු හඳුන්වන අන්වර්ථ නාමය වන්නේ,   කොමාන්ඩෝ සලිඳු නොව කුඩු සලිඳු ලෙසයි.  ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයෙන් කොමාන්ඩෝ සලිඳු යනුවෙන් හැඳින්වෙන අයෙකු පිළිබඳ මාධ්‍ය වාර්තා නොමැත. කුඩු සලිඳු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අපරාධකරු මීට මාස කිහිපයක ඉහතදී ඇප ලැබීමෙන් පසු රටින් පැන ගොස් සිටින අයෙකි. 

මේ අතර ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සමීර දිල්ෂාන් පියුමංග කඳනාරච්චි කොමාන්ඩෝ සමිඳු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණ. සංජීව ඝාතනයේ වෙඩික්කරු වූ ඔහු මුහුදු මාර්ගයෙන් පලා යාමට සැලසුම් කර තිබිය දී පුත්තලම පාලවිය ප්‍රදේහයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

උදය ගම්මනිපිල මහතාගේ මාධ්‍ය ලේකම් 

මේ අතර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබේ ද යන්න සම්බන්ධයෙන් අප ඔහුගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසා සිටියේ ය. මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ, සමාජ මාධ්‍යයේ පළ කරන ලද මෙම සටහන ව්‍යාජ සටහනක්  බවයි. ගම්මන්පිල මහතා කිසිදු අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව අවධාරණය කළ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම සමාජ මාධ්‍ය සටහන පළ කරන ලද පුද්ගලයින්ට, කණ්ඩායම්වලට එරෙහිව පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා විසින් අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ  පැමිණිල්ලක් ගොනු කළ කළ බවයි. 

කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය අද (30) රාත්‍රී කටුනායකට 

ඉකුත් 27 වනදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනා රැගත් ගුවන් යානය අද රාත්‍රී කටුනායකට ළඟාවීමට නියමිතයි. ශ්‍රී ලංකා පොලිීසිය, ඉන්දුනීසියා පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ හෙමෙයුමකින් සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් 5 දෙනෙකු සහ කාන්තාව‍ෙ අත්අඩංගුවට ගැනිණ. මෙම මෙහෙයුම සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී, රොහාන් ඕළුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා මෙරටින් සහභාගී වී තිබුණා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් කණ්ඩායමක් ඊයේ  ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේ, අත්අඩංගුවට ගත් පිරිස මෙරටට රැගෙන ඒම සඳහායි.  වැඩි විස්තර මෙතැනින් 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) : අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, “කොමාන්ඩෝ සලිඳු කියන්නේ රණ විරුවෙක්යනුවෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ සටහනක් හිරු පුවත් නිල ෆේස්බුක් පිටුවේ ද පළ කර නොමැති බවත් ය. ඒ අනුව තහවුරු වන්නේ, ගම්මන්පිල මහතාගේ ඡායාරූපයක් සහ හිරු ප්‍රවෘත්ති නිල ෆේස්බුක් පිටුවේ පුවත් පළ කරන ආකෘතිය ව්‍යාජ ලෙස යොදා ගනිමින්  සමාජය නොමග යැවීමේ අරමුණින් මෙම සමාජ මාධ්‍ය සටහන සකසා පළ කර ඇති බවයි. 

Avatar

Title:“කමාන්ඩෝ සලිඳු කියන්නේ රණවිරුවෙක්”- හිටපු ඇමති ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්? 

Fact Check By: Sagarika 

Result: False


Leave a Reply