අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මිද්දෙණියෙන් හමු නොවූ බවට තහවුරු වුණාද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් හෙළි කරගන්නා තොරතුරු හා ඒ හරහා එළියට එන ප්‍රවෘත්ති පිළිබඳව රටේ ජනතාව දක්වන්නේ දැඩි උනන්දුවක්. ඒ නිසාම පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ තිබී හමුවූ අයිස් මත්ද්‍රව්‍ය සෑදීම සඳහා යොදා ගන්නා බව කියන රසායකින ද්‍රව්‍ය තොගය පිළිබඳව ද සමාජයේ කතිකාවක් ගොඩ නැගුණා. මේ ඊට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මිද්දෙණියේ කන්ටේනර් දෙක අයිස් නෙමේ ලු නේ, අපිට කලින් ඩෝබින්ට ආරංචි වෙලා, එකෙක් මීක් නෑ යනුවෙන් සඳහන් කරමින් පසුගිය 12 වැනිදා සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් ෆේස්බුක් ඔස්සේ මෙම සටහන පළ කර තිබුණා. මිද්දෙණියේදී හමුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැකකෙරෙන  රසායනික ද්‍රව්‍යවලට අදාළ සටහනක් බව පැහැදිලි වුව ද මෙහි ඒ පිළිබඳව වැඩිවිස්තර කිසිවක් සඳහන්ව නොමැත. 

Facebook | Archived Link

ඒ අනුව මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති මෙම රසායනික ද්‍රව්‍ය පිළිබඳ සඳහන් මෙම ආන්දෝලනාත්මක සටහනේ නිර්වද්‍යතාව පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගත්තේ මෙලෙසිනි. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනෙහි දැක්වෙන්නේ, මිද්දෙණිය කන්ටේනර් දෙකක අයිස්  තිබී නොමැති බවකි. එහෙත් සමාජ මාධ්‍ය පරිශීලකයා පවසන ආකාරයෙන් මිද්දෙණියේ කන්ටේනර් දෙකක තිබී අයිස් හමුවීමක් වාර්තා නොවූ අතර ඉකුත් 05 වැනිදා වාර්තා වූයේ,  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබියදී හමුවීමයි. වැඩිදුරටත් වාර්තා වී තිබුණේ, මෙකී රසායනික ද්‍රව්‍ය ඉකුත් ජනවාරි 29 වැනිදා කොළඹ සිට කන්ටේනර් දෙකක අසුරා  රැගෙනවිත් පසුව අගෝස්තු 31 වැනිදා අදාළ නිවසේ වළ දමා ඇති බවයි. ඒ අනුව සමාජ මාධ්‍ය පරිශීලකයා මූලිකවම මුල් සිදුවීමේ කරුණු විකෘති කර සමාජ මාධ්‍ය සටහන පළ කර ඇති බව පැහැදිලි වේ. 

ඒ අනුව අපගේ අවධානය යොමු වූයේ, ඉහත සමාජ මාධ්‍ය සටහනින් ප්‍රකාශ කිරීමට උත්සාහ කර ඇති පරිදි අදාළ රසායකින ද්‍රව්‍ය අයිස් මත්තද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නොවන බවට කරණු හෙළි වීමක් සිදුවූවා දැයි යන්න පිළිබඳව අප විමසා බැලීම සඳහායි. සමාජ මාධ්‍ය සටහනින් ප්‍රකාශ කිරීමට උත්සාහ කර ඇති පරිදි මිද්දෙණියෙන් හමුවූ බව කියන රසායනික ද්‍රව්‍ය  අයිස් මත්ද්‍රව්‍ය නොවන බවට හෙළිවී තිබුණේ නම්, සමාජයේ දැඩි අවධානයක් යොමුව ඇති එම අන්දෝලනාත්මක පුවත මෙරට සියලුම  මාධ්‍ය ප්‍රවෘත්තිය ලද විගසම දැඩි ප්‍රමුඛත්වයකින් යුතුව වාර්තා කර තිබිය යුතු ය. එහෙත් ඉකුත් දින කිහිපයේ මෙරට කිසිදු මාධ්‍යක් එවැනි පුවතක් වාර්තා කර ඇති බවක් අපගේ විමර්ශනයට හසු නොවීය.   

පසුගිය 6 වැනිදා මිද්දෙණිය ඉඩමෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය පිළිබඳ දැනුවත්  ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ, මිද්දෙණියේ ගෙවත්තක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍යවල එකතුවක් ලෙස කිලෝ 42,000ක ප්‍රමාණයක් පොලිස් භාරයටගත් බවයි. රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ විශේෂඥයින් පිරිසක් විසින් ගොඩගත් රසායනික ද්‍රව්‍යවල අන්තර්ගතය පරීක්ෂා කරමින් සිටින බවත් ය. තව ද  අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල 20 කින් 5කම අයිස් (methamphetamine) හි සාන්ද්‍රණයක් ඇතුළත් බවට තහවුරු වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.  

ඉන්පසුව රටේ විවිධ ස්ථානවලින් මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍යවලට සමාන රසායනික ද්‍රව්‍ය තිබී හමුවූ අතර ඒවා හමුවී තිබුණේ, ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක පාතාල අපරාධකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරුවලට අනුවයි. 

මේ අතර ඊයේ (14) දිනයේ මාධ්‍ය වාර්තා කර තිබුණේ, මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20 න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බවට අනාවරණය වී ඇති බවයි. 

ඒ බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණවලදී අදාළ අනාවරණය සිදුව ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබිණ.

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙණිය ප්‍රදේශයෙන් මෙලෙස ගොඩ ගැනිණ.  

ඒ කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු අනුවයි.

අනතුරුව අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ අතර අදාළ සාම්පල සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාව පසුගිය සිකුරාදා පොලීසියට භාරදී ඇති බව වාර්තා වෙයි. වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින් 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය 

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මිද්දෙණියේ කන්ටේනර් දෙක අයිස් නෙමේ ලු නේ යන සටහන සම්බන්ධව අප පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් සිදු කළ අතර එම කොට්ඨාසය සඳහන් කළේ, එම සටහන්වල සත්‍යතාවක් නොමැති බවයි. තව ද මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය පිළිබඳ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යොමු කර ඇති වාර්තාවට අනුව එම ස්ථානයෙන් ලබාගත් සාම්පලවලින් කොටසක අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බවට අනාවරණය වී ඇති බවයි. 

මිද්දෙණියේ කන්ටේනර් ගැන රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවාගේ පැහැදිලි කිරීම  

ඒ අනුව මිද්දෙණියෙන් හමුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැකකකරන රසායනික ද්‍රව්‍ය තොගයට අදාළ මාධ්‍ය වාර්තා පිළිබඳව අප තවදුරටත් අවධානය යොමු කළ අතර එහිදී ඉකුත් 11 වැනිදා දෙරණ නාලිකාවේ විකාශය කර තිබූ සම්මුඛ සාකච්ඡාවක් වෙත අපගේ අවධානය යොමු විය. රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සහභාගී වී තිබූ එම සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදියා විමසන පැනයකට පිළිතුරු ලෙස මිද්දෙණියෙන් සොයා ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැකකරන කන්ටේනර් දෙක සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා  පැහැදිලි කිරීමක් කර තිබුණා. 

එහිදී ඔහු පවසන්නේ, මෙම බහාලුම් 2ක ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණ ඇති බවත් මුලින්ම ආනයනකරු ලෙස සඳහන් කර තිබූ ආයතනය එය තමන්ගේ නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු, කිහිප වතාවක් හිමිකාරිත්වය මාරු වී ඇති බවත් පසුව ජනවාරි අවසානයේ පමණ කන්ටේනර් දෙක නිෂ්කාෂණය කරගෙන ඇති බවත් ය.  කෙසේ වෙතත් කන්ටේනර් දෙක නිදහස් කර ඇත්තේ, පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව කියා සිටින රේගු අධ්‍යක්ෂවරයා පවසන්නේ, නිෂ්කාශනය කරන අවස්ථාවේදී මෙම බහාලුම් පරීක්ෂා කර ඇති බවත්, එම පරීක්ෂාව සියුම් ලෙස සිදු කර ඇති බවත් ය. 

තව ද  වාර්තාවල සඳහන්ව ඇත්තේ, එහි භාණ්ඩ  ටැල්ක් පවුඩර් (talc powder) සහ ටැල්ක් ස්ටෝන් (talc stone) ලෙස බව ද ඔහු පවසයි.  අධ්‍යක්ෂවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මේවා  විවිධ කර්මාන්ත සඳහා භාවිතා කරන, සාමාන්‍යයෙන් ආනයනය කරන භාණ්ඩ බවත්, ළදරු පවුඩර්, තීන්ත, පොලිෂ් වැනි දේ නිෂ්පාදනයට යොදා ගන්නා බවත්  ය. කෙසේ වෙතත් මෙයත් සමග වෙනත් රසායනිකයක් තිබුණේ ද යන ප්‍රශ්නය ඇති බව ද ඔහු පවසයි. 

තව ද බහාලුම් පරීක්ෂා කිරීමේදී නිලධාරීන් මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට භාවිත කරන ටෙස්ට් කට්ටලයට මෙම ද්‍රව්‍යය ප්‍රතිචාර නොදැක්වූ බව ඔවුන් දැනුම් දී ඇති බව ද රේගු අධ්‍යක්ෂවරයා පවසයි. 

මෙම පරීක්ෂණය සඳහා රේගුවට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ද සම්බන්ධ වී ඇති අතර, ඔවුන්ද පරීක්ෂා කිරීමෙන් පසු නිදහස් කිරීමට විරෝධයක් නොමැති බව ලිඛිතව ලබාගෙන ඇති බව අධ්‍යක්ෂවරයා පවසයි. 

කෙසේ වෙතත් අධ්‍යක්ෂවරයා එහිදී සිය පෞද්ගලිකව උපකල්පනයක් ලෙස අදහසක් ඉදිරිපත් කරමින් පවසන්නේ, ටැල්ක් ස්ටෝන් යනු සැහැල්ලු සහ සවිවර ගලක් බැවින් ඒ තුළට වෙනත් යමක් අවශෝෂණය කර තිබුණේ ද යන්න විමසා බැලිය යුතු බවයි. කෙසේ වෙතත්  එය සිය පෞද්ගලික උපකල්පනයක් බව ද  ඔහු අවධාරණය කරයි.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටින්නේ,  රසායනාගාර වාර්තාව ලද පසු සත්‍ය තත්ත්වය අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි. 

මිද්දෙණියෙන් හමුවූ කන්ටේනර් ආන්දෝලනාත්මක කන්ටේනර් 323ට අයත් ද? 

මේ අතර බොහෝ පිරිසක් චෝදනා කළේ, මීට පෙර වරායෙන් නිදහස් කෙරුණු ආන්දෝලනාත්මක කන්ටේනර් 323 අතරට මෙම මිද්දෙණියෙන් හමුවූ මෙම කන්ටේනර් 2ක අයත්ද යන්න පිළිබඳවයි.

එහෙත් ඉකුත් 6 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ, ආන්දෝලනයට තුඩු දුන් වරායෙන් නිදහස් කළ කන්ටේනර් 323 සහ මිද්දෙණියෙන් හමුවූ කන්ටේනර්  2ක අතර කිසිදු සම්බන්ධ නොමැති බවයි. ඔහු සඳහන් කළේ අදාළ කන්ටේනර් දෙකේ අංක සහ ආන්දෝලනයට තුඩු දුන් වරායෙන් නිදහස් කළ කන්ටේනර් 323ට අදාළ අංක අතර කිසිදු සමානකමක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණේ මේ අයුරින්.

තව ද ඉකුත් 11 වැනිදා දෙරණ නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවට එක්වූ රේගු අධ්‍යක්ෂවරයා ද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේ ය. එහිදී රේගු අධ්‍යක්ෂවරයා පවසන්නේ, මෙම බහාලුම්, මීට පෙර නිදහස් කෙරුණු ප්‍රශ්නගත කන්ටේනර් 323 හා සම්බන්ධ නොවන බවත්, 323 යනු පරීක්ෂා නොකර යවන ලද කන්ටේනර් බවත් මිද්දෙණියෙන් හමුවූ කන්ටේනර් පරීක්ෂා කර නීත්‍යනුකූලව මුදා හැර ඇති බවත් ඔහු දෙරණ නාලිකාවේදී අවධාරණය කලේය.

කෙසේ වෙතත්, පුංචිහේවා මහතා පැහැදිලි කරන්නේ, එම කන්ටේනර් 323 පරීක්ෂා නොකර යවන ලද ඒවා වන අතර, මෙම බහාලුම් දෙක පරීක්ෂා කර මුදා හැර ඇති බැවින් ඒවා එකට සම්බන්ධ කළ නොහැකි බවයි. 

මිද්දෙණියෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැකකරන අමුද්‍රව්‍ය සොයා ගනී 

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙනවිත් දැනට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු අනුව ඉකුත්  5 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන මෙම රසායනික ද්‍රව්‍ය පළමු වරට පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක වළදමා තිබියදී ය.විස්තර මෙතැනින්

මේ අතර තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් සැප්තැම්බර් 07 වැනිදා පොලිසියට හමුවී තිබූ අතර සැප්තැම්බර් 08 වැනිදා කඳාන ප්‍රදේශයේ ගෙවත්තක තිබියදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. විස්තර මෙතැනින් මේ අතර මේ වනවිට රැඳවුම්භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේගෙන් මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය පිළිබඳව විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කර ඇති අතර ඔහු පවසා ඇත්තේ, ඒවා තමන්ගේ නොවන බවත් ඒවා පානදුරේ නිලංගට අයත් බවත් ය . තවද එම රසායනික ද්‍රව්‍ය යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවටත් එම අයිස් මත්ද්‍රව්‍ය පානදුරේ කුඩු නිලංගට අයත් බවත් ඔහුගෙන් තමන් ඒවා මිලදී ගත් බවත් කෙහෙල්බද්දර පද්මේ පවසා තිබුණා. 

මේ අතර කෙහෙල්බද්දර පද්මේගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් නුවරඑළිය ප්‍රදේශයේ  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු හෙළි කර ගෙන තිබූ බව ඉකුත් 3 වැනිදා මෙරට මාධ්‍ය වාර්තා කර තිබුණා. සැකකරු පවසා තිබුණේ, ඒ සඳහා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් යොදවා ඇති බවත්, ඊට නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ලබාගෙ ඇති බවත් එහිදී අනාවරණය වී තිබෙනවා. 

කෙසේ වෙතත් මෙලෙසින් ගොඩ ගැණුනු අයිස් නිශ්පාදනයට භාවිත කරන අමුද්‍රව්‍ය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු වන බව පොලීසිය සඳහන් කරනු ලැබුවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, මිද්දෙණියේ කන්ටේනර් දෙක අයිස් නෙමේ ලු නේ, යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති සමාජ මාධ්‍ය සටහන කිසිදු විශ්වසදායී මූලාශ්‍රයක් නොමැතිව, සමාජය නොමග යැවීමේ අපේක්ෂාවෙන් පළ කරන ලද අසත්‍ය සටහනක් බවයි. මිද්දෙණිය ප්‍රදේශයට කන්ටේනර් දෙකකින් ගොස්  ගෙවත්තක වළ දමා තිබියදී හමුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැකකරන රසායනික ද්‍රව්‍ය සාම්පල  සාම්පල 20 න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බවට මේ වනවිට අනාවරණය වී තිබේ. 

Avatar

Title:අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මිද්දෙණියෙන් හමු නොවූ බවට තහවුරු වුණාද?

Fact Check By: Sagarika 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *