මෙතම්ෆෙටමින් (අයිස්) නිසා සිදුවන මේ දේවල් ගැන ඔබ දැන සිටියා ද ?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

“අයිස්” යනු ප්‍රධාන වශයෙන් ස්ඵටිකරූපී මෙතම්ෆෙටමින් හයිඩ්‍රොක්ලෝරයිඩ් (methamphetamine hydrochloride) සඳහා වීදි නාමයක් වන අතර එය බලගතු මධ්‍යම ස්නායු පද්ධති උත්තේජකයකි. එය කෘතිම සාදන ලද්දකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, චාමර කරුණාරත්න මහතාගෙන් අප අයිස් සහ එහි භාවිතය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසා සිටි අතර ඔහු මේ සම්බන්ධයෙන් සිදු කළ සටහනක් ඇසුරෙන් පහත වාර්තාව සකසන ලදී 

(UNODC) විසින් නිකුත් කල 2025 – ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් නිකුත් කල 2025 – ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවට (World Drug Report, 2025) අදාලව, 2023 වන විට ලොව ජනගහනයෙන් (අවුරුදු 15-64 වයස) මිලියන 316ක් විෂ මත්ද්‍රව්‍ය එක් වරක් හෝ භාවිත කර ඇති අතර පසුගිය වසර 10 පුරාවට එය 28% ඉහල වර්ධනයක් පෙන්නුම් කරයි. ඉන් මිලියන 244ක වැඩිම ප්‍රමාණයක් ගංජා (Cannabis) භාවිත කර ඇති අතර මිලියන 31 ඇම්පිටමින් (අයිස්  අයත්වන) කුලකයට අයත් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත. 

එසේම මෙතම්ෆෙටමින් (අයිස්) භාවිත ප්‍රමාණය ගෝලිය ජනගහනයෙන් වයස අවුරුදු 15ත් 64ත් අතර 0.58% වන අතර එම වයස් කාණ්ඩයේම කාන්තාවන් අතර 0.34%ක් සහ පිරිමි 0.82%ක් ලෙස එය ඇස්මේන්තු කර ඇත.

අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන ගැටලු

2025 වාර්තාවට අදාලව ගෝලීය වශයෙන් මෙතම්ෆෙටමින් (අයිස්) මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන ගැටලු රාශියක් පෙන්වා දිය හැකිය. ඒ අතර මෙතම්ෆෙටමින් සඳහා ප්‍රතිකාර ලබන කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිත අක්‍රමතා (SUD), දරුණු රෝග ලක්ෂණ, ළමා කල අහිතකර අත්දැකීම් මට්ටම්, මානසික පීඩන තත්වයන් පිරිමින්ට සාපේක්ෂව ඉහල අගයක් ගන්නා බව දක්විය හැකියි. ඊට අමතරව, පිරිමින් හා සසඳන විට මෙතැම්පිටමින් (අයිස්) භාවිතා කරන කාන්තාවන් අවදානම් සහිත ලිංගික හැසිරීම් වල යෙදීමට ඉහළ ප්‍රවණතාවක් ඇති අතර HIV, හෙපටයිටිස් සහ වෙනත් බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇත. 

අයිස් නිෂ්පාදනය සහ භාවිතය වැඩි කලාප

මෙතැම්පිටමින් (අයිස්) නිෂ්පාදනය සහ භාවිතය වැඩි වශයෙන් නැගෙනහිර සහ අග්නිදිග ආසියාව සහ උතුරු ඇමරිකාව, විශේෂයෙන් නිරිතදිග ආසියාව, දකුණු ආසියාව, ආසන්න සහ මැද පෙරදිග , ඕෂනියාව, යුරෝපය සහ අප්‍රිකාව රටවල බහුල වශයෙන් වාර්තා වේ. ඇෆ්ගනිස්ථානය අඛන්ඩව මෙතැම්පිටමින් (අයිස්) නිෂ්පාදනය සහ අනෙකුත් රටවල් වලට බෙදා හැරීම සිදුකරන යන අතර මේ වන විට ඇෆ්ගනිස්ථානයේ සහ නිරිතදිග ආසියාවේ අනෙකුත් රටවල ද මෙතැම්පිටමින් (අයිස්) භාවිතය ඉහළ ගොස් ඇත. එමෙන්ම මෙම ජාවාරම මේ වන විට දකුණු, බටහිර ආසියාව සහ ආසන්න සහ මැද පෙරදිග රටවලට ප්‍රසාරණය වෙමින් පවතින බව අනාවරණය වී ඇත.

2023 වර්ෂය තුළ උත්තේජන ගණයට අයත් මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගත් ප්‍රමාණය

2023 වර්ෂය තුළ උත්තේජන ගණයට අයත් මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගත් ප්‍රමාණය පිළිවෙළින්, එක්ස්ටසි (ecstasy) ටොන් (tons) 19ක්, Amphetamine – type stimulates (ATS) ටොන් (tons) 37ක්, ඇම්පිටමින් (amphetamine) ටොන් (tons) 109ක්, මෙතැම්පිටමින් නොහොත් අයිස් (methamphetamine) ටොන් (tons) 482ක් වේ. මෙම අත් අඩංගුවට ගැනීම් සම්බන්ධ වාර්තා ලොව සෑම රටකම දත්ත වාර්තා නොවන අතර පසුගිය වර්ෂ වලට සාපේක්ෂව මෙම මෙතැම්පිටමින් (අයිස්) මත්ද්‍රව්‍ය අත් අඩංගුවට පත්වීම් 31% වර්ධනයක් පෙන්නුම් කරයි.

2024 ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම්

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් පළකළ 2024 ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් පිළිබඳ විශ්ලේෂණාත්මක දළ විශ්ලේෂණය (Analytical Overview of Drug-related Arrests in Sri Lanka – 2024) අදාලව 2024 දී දිවයින පුරා මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 228,450 ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙයින් හෙරොයින් ආශ්‍රිත වැරදි 75,097 ක් වූ අතර එය මුළු සංඛ්‍යාවෙන් 32.9% ක් නියෝජනය කරන අතර ගංජා ආශ්‍රිත වැරදි 75,602 ක් අත්අඩංගුවට ගැනීමට හේතු වූ අතර එය මුළු සංඛ්‍යාවෙන් 33.1% ක් වේ. මෙතැම්පිටමින් (අයිස්) ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් 68,132 ක් වූ අතර එය මුළු සංඛ්‍යාවෙන් 29.8% ක් වන අතර එය කෘතිම මත්ද්‍රව්‍යවල වැඩිවීම පිළිබඳ ඉහළ අවධානමක් පෙන්නුම් කරයි.

පලාත් මට්ටමින් මෙතැම්පිටමින් (අයිස්) ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් පිලිබද සැලකීමේදී වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 55,428ක් වේ. ඉන් පසු වැඩිම අත් අඩංගුවට ගැනීම් පිළිවෙලින් දකුණ සහ මධ්‍යම පලාත් වලින් වාර්තා වේ. එමෙන්ම 2024 තුළ මෙතැම්පිටමින් (අයිස්) 1364 Kg අත් අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුල මෙතැම්පිටමින් (අයිස්) භාවිතය සම්බන්ධ සිදුවීම් මුලින්ම වාර්තා වූයේ 2017 වර්ෂයේ දීය. එය සමස්ත සිදුවීම් වශයෙන් සිදුවීම් 5කි. ඉන් පසුව 2019 පුද්ගලයින් 2,073ක්, 2020 පුද්ගලයින් 2,387ක්, 2021 පුද්ගලයින් 13,720ක්, 2022 පුද්ගලයින් 22,631ක්, 2023 පුද්ගලයින් 26,096ක්, 2024 පුද්ගලයින් 68,132ක් දෙනෙක් අත් අඩංගුවට පත් ව ඇත. මෙතැම්පිටමින් (අයිස්) මත්ද්‍රව්‍ය මේ වන විටත් අප සමාජය තුල කෙතරම් ව්‍යසනයක් සිදු කර ඇති ද යන්න මෙම දත්ත අපට සාක්ෂි දරයි. 

අයිස් වලට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 22-26 වන වයස් කාණ්ඩයයි

ශ්‍රී ලංකාවේ මෙතැම්පිටමින් (අයිස්) භාවිතය සම්බන්ධයෙන් සිදු කල පර්‍යේෂණයකදී හෙළි වී ඇත්තේ භාවිත පුද්ගලයින්ගෙන් වැඩිම පිරිසක් 38%ක්, වයස අවුරුදු 22-26 වන අතර, දෙවැනි වැඩිම පිරිස 28%ක්, වයස අවුරුදු 19-21 වන අතර වන බවත් ය. එනම් මෙම පර්‍යේෂණ දත්ත වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මෙතැම්පිටමින් (අයිස්) භාවිත වැඩිම පිරිසක් 66%ක්, වයස අවුරුදු 19-26 අතර පසුවන්නන් බවයි. මෙකී සියලු දේශීය විදේශීය දත්ත වාර්තා විමර්ශනයේදී පැහැදිලි වන්නේ මේ වන විට ලොව අනෙක් විෂ මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව මෙතැම්පිටමින් (අයිස්) මත්ද්‍රව්‍ය ඉල්ලුමේ සහ සැපයුමේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. මේ වන විට එය මුලු ලෝකයටම පිළිලයක් වී ඇති බව පැහැදිලිය. එනිසා මෙතැම්පිටමින් (අයිස්) මත්ද්‍රව්‍යයෙන් අපේ රටේ දරුවන්, තරුණයින්ගේ මුදවා ගැනීම සඳහා සාක්ෂි මත පද වූ ඉතා ශක්තිමත්, ඵලදායී සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් ආරම්භ කල යුතුව ඇත. ඒ සදහා අපේ රටේ මිලියන 22ක් වූ සියලු ජනතාව එකාවන්ව, එක්සිත්ව එක්විය යුතුය. එසේ නොවුනහොත්, අපේ රටේ දරුවන්ගේ සහ තාරුණයින්ගේ ජීවිත අයිස් වලින් දියවී යන දවස වැඩි ඈතක නොවනු ඇත.

මෙතම්පිටමින් (අයිස්) භාවිතය සහ සියදිවි නසාගැනීම

Exas Tech University Health Science Center, April 15, 2024 වර්ෂයේ සිදුකල Methamphetamine Intoxication May Trigger Suicidal Ideation පර්‍යේෂණයට අදාළව මෙතම්පිටමින් (අයිස්) භාවිතය, සියදිවි නසාගැනීමේ සිතුවිලි සහ සියදිවි නසාගැනීමේ උත්සාහයන් සැලකිය යුතු මට්ටමින් වැඩි කරන අතර, එය විශේෂයෙන් තරුණයින් සහ අවධානම් පුද්ගලයින් අතර ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බවට පත් ව ඇති බව පෙන්වා දෙයි.

මෙතම්පිටමින් (අයිස්) භාවිතය සියදිවි නසාගැනීමේ අවධානම වැඩි කිරීමට ප්‍රධාන ලෙස බලපානු ලබන්නේ මෙතම්පිටමින් (අයිස්) මඟින් ඇති කරන දීර්ඝකාලීන කාංසාව, මානසික අවපීඩනය, ව්‍යාකූලත්වය, මායාවන් සහ මනෝ ව්‍යාධිය ඇතුළු ගැඹුරු මානසික කැළඹීම් වේ.

මෙතම්පිටමින් (අයිස්) මොළයේ රසායන ක්‍රියාවලියට සිදුකරන බලපෑම මත ඩෝපමීන් සහ සෙරොටොනින් යන ප්‍රධාන හෝමෝන ධාරා නිකුත් කිරීමේ සහ ක්‍රියාත්මක වීමේ වෙනස්කම් ඇතිකරයි. එමඟින් චිත්තවේගීය නියාමනය, තීරණ ගැනීම සහ ආවේග පාලනය අඩාල කරන අතර එමඟින් සියදිවි නසාගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරයි.

මෙතම්පිටමින් (අයිස්) භාවිතා කරන්නන්, මත්ද්‍රව්‍ය භාවිතා නොකරන අයට සාපේක්ෂව සියදිවි නසාගැනීමේ අදහස්, සැලසුම් කිරීම සහ උත්සාහයන් සැලකිය යුතු ලෙස ඉහළ අනුපාතයක් පෙන්නුම් කරයි. මෙතම්පිටමින් (අයිස්) භාවිතා කරන්නන්ගෙන් 30% ක් භාවිතා නොකරන අයට සාපේක්ෂව සියදිවි නසාගැනීමේ ඉතිහාසයක් ඇති මෙම පර්‍යේෂණයෙන් පෙන්වා දෙයි.

මෙතම්පිටමින් (අයිස්) එන්නත් කරන්නන්, අනෙකුත් මත්ද්‍රව්‍ය එන්නත් කරන්නන් හා සසඳන විට සියදිවි නසාගැනීමේ උත්සාහයන්ගේ අවධානම 80% කින් පමණ ඉහළ අගයක් ගන්නා බවත් එයට ප්‍රධානතම හේතුව ඉහල සමාජ හුදකලාව බවට අනාවරණය වී ඇත.

එමෙන්ම මෙතම්පිටමින් (අයිස්) භාවිතා කරන්නන් තුළ ඇතිවන ද්විධ්‍රැව අක්‍රමිකතාව (Bipolardisorder), මානසික අවපීඩනය, භින්නෝන්මාදය සහ කාංසාව වැනි මනෝචිකිත්සක හා සම්බන්ධ රෝග බහුල වශයෙන් ඇති කරන අතර එය සියදිවි නසාගැනීමේ අවදානම තව තවත් ඉහල නන්වයි.

මත්ද්‍රව්‍ය භාවිතය සහ තරුණ මනස

මත්ද්‍රව්‍ය භාවිතය මානසික යහපැවැත්මට සැලකිය යුතු ලෙස බාධා ඇති කරයි. මොළය සහ එයට මුහුණ දීමේ යාන්ත්‍රණයන් තවමත් වර්ධනය වෙමින් පවතින තරුණයින් සඳහා, මත්ද්‍රව්‍ය මඟින් විනිශ්චය සහ චිත්තවේගී පාලනය අඩාල කරයි. මත්ද්‍රව්‍ය භාවිතය මානසික අවපීඩනය සහ කාංසාව වැනි රෝග ලක්ෂණ වැඩි කරන අතර සංජානනමය ගැටලු, දුර්වල තීරණ ගැනීම සහ ආවේගශීලීත්වයට මඟ පාදයි.

බොහෝ යෞවනයන් චිත්තවේගීය වේදනාව සමනය සදහා ස්වයං ඖෂධ භාවිතයන් සඳහා පෙළඹී සිටින අතර එය ඔවුන්ගේ මානසික සෞඛ්‍යය නරක අතට හැරෙන්නට සෘජුව බලපානු ලබයි.

මත්ද්‍රව්‍ය භාවිතය මඟින් සියදිවි නසාගැනීමේ ආවේගයන් වැඩි කරන අතර පුද්ගලයෙක් තුළ පවතින මානසික ආබාධ උග්‍ර කිරීම සහ නව මනෝචිකිත්සක රෝග ලක්ෂණ ඉහල නැන්වීමට එය සමත්වෙයි. නැවත නැවත මත්ද්‍රව්‍ය භාවිතා කිරීම මොළයේ රසායන ක්‍රියාවලිය වෙනස් කිරීමටත්, යැපීම සහ මානසික පීඩාව වැඩි කිරීමටත් හේතු වෙයි.

විෂ මත්ද්‍රව්‍ය ඇබ්බැහියේ සිටින අයෙක් ඇතිවන විරමණ ලක්ෂණ දැඩි චිත්තවේගීය පීඩාවක් සහ සියදිවි නසාගැනීමේ අදහස් ඇති කරන අතර මත්ද්‍රව්‍ය භාවිතය තුළින් ආතතියට මුහුණ දීමේ හැකියාව අඩාල කරන අතර එහි අවධානම ක්‍රමානුකූලව ඉහල නන්වයි.

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ තරුණයින් බොහෝ විට බලාපොරොත්තු සුන්වීම සහ අරමුණක්, ඉලක්කයක් නැති හැඟීම් අත්විඳිති.

මානසික සෞඛ්‍ය රෝග ලක්ෂණ සහ මත්ද්‍රව්‍ය භාවිතය සියදිවි නසාගැනීමේ අවදානම නරක අතට හැරෙන විෂම චක්‍රයක් නිර්මාණය කරයි.

මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීමේ අවධානම

තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය සහ සියදිවි නසාගැනීම් අතර සෘජු සම්බන්ධයක් ඇති අතර මත්ද්‍රව්‍ය භාවිත අක්‍රමතා (SUDs) ඇති තරුණයින් සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම 4 සිට 5 ගුණයකින් වැඩි ඉඩක් පවතින බව පර්‍යේෂණ මඟින් සනාථ කර ඇත.

මත්ද්‍රව්‍ය භාවිතය සහ සියදිවි නසාගැනීමේ අවධානමට දායක වන සමාජ සාධක

තරුණයින් මත්ද්‍රව්‍ය භාවිතයට සහ සියදිවි නසාගැනීමේ අවධානමට ගොදුරු වීමේ සමාජ නිර්ණායකයන් හඳුනා ගැනීම

01. ආර්ථික අස්ථාවරත්වය සහ දරිද්‍රතාවය ආතතිය වැඩි කරන අතර රැකවරණය සහ ආරක්ෂාව සඳහා ප්‍රවේශයයන් අවම කරයි

02. පවුල් ගැටුම් සහ දෙමාපියන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය, කම්පන සහගත පරිසරයන් නිර්මාණය කරයි.

03. ප්‍රචණ්ඩත්වයට සහ කුඩා කල අහිතකර ළමා අත්දැකීම් වලට නිරාවරණය වීම තුළින් මානසික සෞඛ්‍යය ඇති කරන සෘණාත්මක බලපෑම ඇති කරයි.

04. දුර්වල පාසල් පරිසරයන්, සමාජ සහයෝගය අඩු කරන අතර අවධානම් හැසිරීම් වැඩි කරයි.

05. සමාජ මාධ්‍ය සහ සයිබර් හිරිහැර කිරීම් (Cyberbullying) මානසික පීඩාව සහ හුදකලාව ඉහළ නන්වයි.

06. ප්‍රජා සහ විනෝදාත්මක ක්‍රියාකාරකම්වල අර්ථවත් සම්බන්ධතාවයක් නොමැතිකම.

07. දරාගැනීම, ඔරොත්තු දීම, ප්‍රතික්ෂේප කිරීම යනාදී කුසලතා ඉගැන්වීම සඳහා ශක්තිමත් මාර්ගෝපදේශකත්වයක් හෝ ක්‍රියාවලියක් නොමැතිවීම.

08. සමහර ප්‍රජාවන්, ආගම්, සංස්කෘතීන් තුළ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇති ප්‍රවේශ්‍යතාවය සුලබවීම සහ සාමාන්‍යකරණය.

09. තරුණයින්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැන්වීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් කිරීම සහ සුවවීම සඳහා අවශ්‍ය සේවාවන් ප්‍රමාණවත් නොවීම.

සියදිවි නසාගැනීම වැළැක්වීමේ ආරක්ෂණ ප්‍රවේශයයන්

01. සාක්ෂි මත පද වූ විද්‍යාත්මක නිවාරණ ප්‍රවේශයන් ඔස්සේ මත්ද්‍රව්‍ය සහ සියදිවි නසා ගැනීම නිවාරණ දැනුම සහ සම්පත් වලින් තරුණයින් බල ගැන්වීම ඔවුන්ගේ ජීවිත බේරා ප්‍රමුඛතම අවියයි.

02. මත්ද්‍රව්‍ය භාවිතය, සියදිවි නසාගැනීමේ අවධානම වැඩි කරන ප්‍රධානතම සාධකය බැවින් මත්ද්‍රව්‍ය නිවාරණය, උපදේශනය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් සහ ප්‍රවේශයන් පුළුල් කිරීම.

03. පවුලේ අය සහ සම වයසේ මිතුරන් සමඟ ශක්තිමත්, සහයෝගී සබඳතා ගොඩනඟා පවත්වා ගැනීම.

04. ආතතිය සහ චිත්තවේගී වේදනා කළමනාකරණය සහ සෞඛ්‍ය සම්පන්නව මුහුණ දීමේ කුසලතා ඇතුළු වැදගත් කුසලතා ඉගැන්වීම සහ පුහුණු කිරීම.

05. මානසික සෞඛ්‍යය සහ මත්ද්‍රව්‍ය ගැටලු පිළිබඳව විවෘතව කතා කිරීම.

06. යහපැවැත්ම ප්‍රවර්ධනය කරන පාසල් සහ ප්‍රජා වැඩසටහන් වලට ක්‍රියාත්මක කිරීම.

07. සම වයසේ මිතුරන් අතර මත්ද්‍රව්‍ය භාවිතය සාමාන්‍යකරණය කිරීමෙන් හෝ ආකර්ෂණීය කිරීමෙන් වැළකීම.

08. පාසල් සහ ප්‍රජාවන් තුළ අපකීර්තියෙන් සහ සමාජ අවමානයෙන් තොර ආරක්ෂිත පරිසරයන් නිර්මාණය සඳහා පාසල් ප්‍රජාව බලාත්මක කිරීම.

09. මත්ද්‍රව්‍ය භාවිතය සහ සියදිවි නසාගැනීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන රාජ්‍ය, රාජ්‍ය නොවන, පුද්ගලික සියලු ආයතන පුද්ගලයන් ඒකාබද්ධව දීර්ඝකාලීන වැඩ පිළිවෙළක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

අවසාන වශයෙන්, මත්ද්‍රව්‍ය භාවිතය සහ සියදිවි නසාගැනීම් අතර ඇති සහසම්බන්ධය වෙනස් කිරීම සඳහා තරුණයින්ට එහි ඇති අන්තර් සම්බන්ධිත මානසික, සමාජීය සහ සංස්කෘතික බලපෑම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදීම අත්‍යාවශ්‍ය වේ. දැනුවත් සංවාද ප්‍රවර්ධනය කිරීම, අපකීර්තියට එරෙහිව සටන් කිරීම සහ පුළුල්, ඵලදායී නිවාරණ සහ මැදිහත්වීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම මඟින්, මත්ද්‍රව්‍ය භාවිතයේ සහ සියදිවි නසාගැනීමේ විනාශකාරී ප්‍රතිවිපාකවලින් තරුණයින් ආරක්ෂා කිරීමට හැකියාව පවතී.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Avatar

Title:මෙතම්ෆෙටමින් (අයිස්) ගැන ඇත්ත!

Fact Check By: Pavithra Sandamali  

Result: Insight


Leave a Reply