අධ්‍යාපන අමාත්‍යාංශය 2024 අයවැයෙන් තුනෙන් දෙකක් ඉතිරි කරලද?

Economy False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අධ්‍යාපන අමාත්‍යාංශයට 2024 විසර්ජන පනත් කෙටුම්පතින් වෙන් කරන ලද මුදල ඉතිරි කිරීමට හැකි වූ බවට පවසමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණා. මෙහි නිවැරදි දත්තයන් පරීක්ෂා කිරීමට Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් තුනෙන් දෙකක මුදලක් ඉතිරිකර එම මුදල් භාණ්ඩාගාරයට යැවීමට හැකි උනේ අපි සොරකම් වංචා නොකරන නිසා” යනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසූ බව සඳහන් කරමින් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව සොයා අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් අග්‍රාමාත්‍යවරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් තුනෙන් දෙකක මුදලක් ඉතිරිකර එම මුදල් භාණ්ඩාගාරයට යැවීමට හැකි වූ බවට ප්‍රකාශයක් සිදු කළ බවට පුවත් වාර්තා කර නොතිබුණි. එමෙන් ම අග්‍රාමාත්‍යවරිය වෙනත් දේශපාලන වේදිකාවක හෝ වෙනත් වැඩසටහනක දී හෝ ඇය විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

අප මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කරනු ලැබූ අතර ඔවුන් පැවසුවේ, අග්‍රාමාත්‍යවරියි විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කර නොමැති බවයි. එමෙන් ම වියදම් නොකර අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කළ මුදල් ඉතුරු වුණේ 2024 වසරේ බව ත් වත්මන් ආණ්ඩුවේ නොවන බව ත් ය. 

ඉන් පසු අප පරික්ෂා කිරීමට පියවර ගනු ලැබුවේ, 2024 වසරේ අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති මුදල් වලින් තුනෙන් දෙකක මුදලක් ඉතිරි කර තිබේද යන්නයි.

මෙම ප්‍රකාශයේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය ජූනි මස ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික කාර්ය සාධන වාර්තාව – 2024 අප පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලැබුවා.

මෙම වාර්තාවේ 03වන පරිච්ඡේදයේ 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ වසර සදහා වන සමස්ත මූල්‍ය කාර්යසාධනය යටතේ  අමාත්‍යාංශය 2024 වර්ෂය සඳහා ප්‍රතිපාදන, වියදම් සහ නිල දත්ත සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමේදී එහි සඳහන් දත්ත පහත පරිදි පෙන්වා දිය හැක.

කාණ්ඩය ප්‍රතිපාදන (රු.) සැබෑ වියදම (රු.) වැය නොකළ (රු.)  
පුනරාවර්තන වියදම් 121,153,679,060 102,369,355,183 18,784,323,877 15.5%
ප්‍රාග්ධන වියදම් 50,758,131,000 34,371,228,655 16,386,902,345 32.29%
මුළු එකතුව 175,065,810,000 139,650,412,019 35,415,397,981 20.23%

2024 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 175.1ක් ලබා දී ඇති අතර ඉන් රුපියල් බිලියන 139.6ක් වියදම් කර තිබේ. ඒ අනුව වියදම් නොකළ ශේෂය රුපියල් බිලියන 35.4ක් වන අතර ප්‍රතිශතයක් ලෙස අධ්‍යපානය සඳහා යොමු කර තිබූ අයවැයෙන් 20%ක් පමණ වේ.

වෙන් කරන ලද ප්‍රතිපාදන, උපයෝගී කරනු ලැබූ ප්‍රතිපාදන, අවසන් කරන ලද ප්‍රතිපාදන වැඩි දුරටත් පැහැදිලිව වාර්ෂික කාර්ය සාධන වාර්තාවෙන් දැක්වෙන්නේ මේ අයුරින්.


ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි අයවැයෙන් තුනෙන් දෙකක් සත්‍ය වශයෙන් වියදම් කර තිබුණේ නම්, වියදම් නොකළ මුදල රුපියල් බිලියන 117කට ආසන්න වනු ඇත. නමුත් වාර්ෂික කාර්ය සාධන වාර්තාව – 2024  නිල වාර්තාවට අනුව පැහැදිලිවම දැක ගැනීමට හැකි වන්නේ ලබා දී ප්‍රතිපාදන වලින් වියදම් නොකළ ඉතිරිව ඇත්තේ රුපියල් බිලියන 35.4ක් පමණක් බවයි. තව දුරටත් පැහැදිලි කරනවානම් 2024 දී අධ්‍යාපන අමාත්‍යාංශය එහි ප්‍රතිපාදනවලින් 4/5 ක් පමණ වියදම් කර ඇති අතර, භාවිතයට නොගෙන ඉතිරිව ඇත්තේ 1/5 ක් පමණ බවට නිල අයවැය වාර්තා සනාථ කරයි. ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහනේ දෙවන කරුණ ද, අසත්‍ය බව පැහැදිලි වේ.

කෙසේ වෙතත් 2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2023 වසරේ නොවැම්බර් මස ඉදිරිපත් කර තිබූ අතර අධ්‍යාපනය සඳහා වෙන්වූ මුදල වී තිබුණේ, බිලියන 237කි. මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති අයවැය යෝජනා ඇතුළු 2024 සඳහා වන මූලික වියදම් සංරචක අයවැය ඇස්තමේන්තු වේ පෙන්වා දෙන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රු.මි. 239,840ක් වෙන් කර ඇති අතර පුනරාවර්තන වියදම් සඳහා රු.මි. 181,800 ප්‍රාග්ධන වියදම සඳහා රු.මි. 58,040ක් වෙන් කර තිබුණා. 

නමුත් 2025 වසරේ  ජූනි මස නිකුත් තිබූ වාර්ෂික කාර්ය සාධන වාර්තාව – 2024  නිල වාර්තාවට අනුව පුනරාවර්තන වියදම් සඳහා රු.මි 121,153,679,060 මුදලකුත්, ප්‍රාග්ධන වියදම් සඳහා රු.මි.50,758,131,000 මුදලක් සමගින් 2024 සඳහා අධ්‍යාපනයට වෙන්තර තිබූ සමස්ත වියදම රුපියල් බිලියන 175.1ක් විය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් තුනෙන් දෙකක මුදලක් ඉතිරිකර එම මුදල් භාණ්ඩාගාරයට යැවීමට හැකි උනේ අපි සොරකම් වංචා නොකරන නිසා” යනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ප්‍රකාශය ඇය විසින් සිදු කර නොමැති ප්‍රකාශයක් බවයි. එමෙන් ම 2024 වසර සඳහා අයවැයෙන් වෙන් කර තිබූ මුදල් වලින් තුනෙන් දෙකක් ඉතිරි වී නොමැත. 2024 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව 2024 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 175.1ක් ලබා දී ඇති අතර ඉන් රුපියල් බිලියන 139.6ක් වියදම් කර තිබේ. ඒ අනුව වියදම් නොකළ ශේෂය රුපියල් බිලියන 35.4ක් වන අතර ප්‍රතිශතයක් ලෙස අධ්‍යපානය සඳහා යොමු කර තිබූ අයවැයෙන් 20%ක් පමණ වේ.

Avatar

Title:අධ්‍යාපන අමාත්‍යාංශය 2024 අයවැයෙන් තුනෙන් දෙකක් ඉතිරි කරලද?

Fact Check By: Pavithra Sandamali  

Result: False


Leave a Reply