
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පිළිගත් පක්ෂ, ආයතන , සංවිධානවල ලිපි ශීර්ෂ අවභාවිතා කරමින්, ව්‍යාජ ලෙස සකසන නොමඟ යවන සුළු පුවත් නිර්මාණය වන අයුරු බොහෝ අවස්ථාවලදී දැක ගන්නට ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනීවරියක් ඉලක්ක කරගනිමින් සිදුකළ ව්‍යාජ ලිපි නිර්මාණයක් පිළිබඳව අප කරුණු අවිමසා සිදුකළ විමසා බැලීමක් සිදුකලේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඉකුත් සැප්තැම්බර් 18 දාතමින් යුතුව, එක්සත් ජාතික පක්ෂ ලිපි ශීර්ෂය යටතේ ‘විශේෂ දැනුම්දීමක්‘ යනුවෙන් සඳහන් කරමින් නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් වන්නේ, සැප්තැම්බර් 18 දින අත්අඩංගුවට ගන්නා ලද එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී හර්ෂණී සඳරුවනි මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
තව ද කිසිදු අවස්ථාවකදී හර්ෂනී මහත්මියගේ නඩු කටයුතු වෙනුවෙන් පක්ෂයේ කිසිවෙකු පෙනී නොසිටින බව ද දැනුම් දී ඇති බවක් ඒත්තු ගන්න්වමින් සඳහන් මෙම ලිපිය, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා විසින් නිකුත් කර ඇති බවක් පෙන්වා තිබුනේ මෙලෙසින්.

තවත් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු මෙම ලිපිය මෙලෙස පළ කර තිබිණ.

මෙම ලිපියේ නිර්වද්‍යතාව සොයා අප කරණු විමසීමක් සිදුකිරීමට පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත පසුගිය 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී හර්ෂනී සඳරුවනී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එදිනම ඇප මත මුදා හැර තිබුණා.
පොලිසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ, පසුගිය අගෝස්තු 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, අධිකරණයට සහ අධිකරණ තීන්දුවලට අපහාස කිරීමේ චෝදනා කිරීමේ යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු, අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරිය, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත, මුදා හැරීමට අධිකණය නියෝග කළ බවයි. නාගරික මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගැනීමට අදාළව පළ කර තිබූ තවත් මාධ්‍ය වාර්තා කිහිපයක් මෙතැනින් සහ මෙතැනින්.
ඒ අනුව අදාළ ලිපිය පිළිබඳ ඇති වූ සැක සහිත තැන් මත අප අදාළ ලිපිය සියුම්ව නිරීක්ෂණයට ලක් කිරීමට පියවර ගත්තේ ය. ඒ අනුව, ඉකුත් 18 දාතමින් නිකුත් කර ඇති සමාජ මාධයේ සංසරණය වන ලිපියේ සඳහන් වන්නේ, ‘අද දින අත්අඩංගුවට ගන්නා ලද‘ යනුවෙනි.
එහෙත් මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ , ඉකුත් 17 වැනිදා වන අතර එදිනම ඇය ඇප මත මුදා හැර තිබේ. නාගරික මන්ත්‍රීවරියකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමක් වැනි සුවිශේෂි ලිපියක් මෙරට පිළිගත් පක්ෂයක් විසින් මෙතරම් නොසැලකිල්ලකින් යුතුව පළ කරනු ඇතැයි විශ්වාස කිරීමට අපහසුය.
එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය
එජාපයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන විසින් විශේෂ දැනුම් දීමක් ලෙස මෙවැනි ලිපියක් නිකුත් කර තිබුණේ නම්, එය සභාපති වජිර අබේවර්ධන මහතාගේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල ද පළ කර තිබිය යුතු ය. එහෙත් එකී නිල ගිණුම් කිසිවක ඉහත ආකාරයේ ලිපියක් පළ කර තිබෙනු දැකගත නොහැකි විය.
අදාළ ලිපිය පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමට අප එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයෙන් මේ පිළිබඳව විමසා සිටි අතර ඔවුන් පැවසුවේ, අදාළ මන්ත්‍රීවරියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමක් සිදුව නොමැති බවය. එසේම මෙකී ලිපියේ සඳහන් අනෙකුත් කරණු ද සත්‍ය නොවන බව දක්වමින් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ හුවමාරු වන්නේ එජාපෙය් ලිපි ශීර්ෂ්ය ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද අසත්‍ය ලිපියක් බවයි.
Also Read: එජාප සංවත්සර සැමරුම පවත්වන දිනය ගැන හුවමාරු වූ ව්‍යාජ ලිපියක්!
නාගරික මන්ත්‍රී හර්ෂනී සඳරුවනී
අප නාගරික මන්ත්‍රී හර්ෂනී සඳරුවනි මහත්මියගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂාවට ලක් කළ අතර ඇයගේ නිල ගිණුම්වල මෙවැනි ලිපියක් පිළිබඳ කිසිදු තොරතුක් ඇතුළත්ව නොතිබුණි.
නාගරික මන්ත්‍රීවරිය ඉකුත් 17 වැනිදා පස්වරුවේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ, ‘අද CID ගියෙමි. අධිකරණයට ගියෙමි. ඇප ලබා ගෙදර ගියෙමි‘ යනුවෙනි. Facebook | Archived තවද (18) තවත් සටහනක් තබමින් ඇය පවසා තිබුණේ, සිදුවීමට අදාළ ප්‍රවෘත්ති 18 වැනිදා පළ වුවත් සිදුවීම සිදුවූයේ 17 වැනිදා යනුවෙනි. Facebook | Archived Link
අප නාගරික මන්ත්‍රී හර්ෂනී සඳරුවනී දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය. ඉකුත් 17 වැනිදා තමන් අත්අඩංගුවට ගැනීමෙන් එදිනම අධිකරණයෙන් ඇප හිමිවූ බව තහවුරු කරමින් නාගරික මන්ත්‍රීවරිය සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පක්ෂ සභාපතිවරයා තමන්ට දැනුම් දුන් බවයි.
මෙම ව්‍යාජ ලිපිය ගැන සිය ෆේස්බුක් පිටුවේ ද අය සටහනක් හරහා දැනුම්දීමක් සිදුකර තිබුනේ මෙලෙසින්.
ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2,223 ක් ලබා ගනිමින් සභික ධුර 2ක් හිමි කර ගත්තේ ය. ඒ අනුව හර්ෂණී සඳරුවනි කෝට්ටේ මහ නගරසභාව සඳහා තේරී පත්වී තිබුණා.
අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කළ අයට එරෙහිව විමර්ශන පවත්වන්නැයි, නියෝග
රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 22 වනදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
සෞඛ්‍ය ගැටළු මත හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයෙන් කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණු අතර, අගෝස්තු 26 වැනිදා වන විටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බැවින් එදින අධිකරණය Zoom ඔස්සේ ඔහු සම්බන්ධ වූ අතර, නඩුව කැඳවීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කර තිබුණේ, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත වික්‍රමසිංහ මහතා මුදා හරින ලෙසයි. මේ අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය වැඩිදුරටත් නියෝග කර තිබුණේ, අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයන් සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත යටතේ පියවර ගන්නා ලෙස යි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, එක්සත් ජාතික පක්ෂ කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී හර්ෂණී සඳරුවනි මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව සහ ඇයගේ නඩු සඳහා පෙනී නොසිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපිය, එජපා ලිපි ශීර්ෂය අවභාවිතා කරමින් සැකසු ව්‍යාජ ලිපියක් බවයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 17 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ නාගරික මන්ත්‍රීවරිය එදිනම ඇප මත මුදා හැර ඇත.

Title:UNP නාගරික මන්ත්‍රී හර්ෂණී සඳරුවනීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි?
Fact Check By: Sagarika ChathumaliResult: False
