අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ දී අත්අඩංගුවට ? ලංකාවට පැමිණියා ද ?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දේශපාලන වේදිකාවල මෙන් ම, බල පෙරළි වලදී වරින් වර කරළියට එන හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් සිදුවීම හේතුකොටගෙන මෙවර ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අර්ජුන් මහේන්‍ද්‍රන් සිංගප්පූරුවේදී අල්ලයි යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණා.

FacebookFacebook | Archived Link

මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා. 

නමුත් ඒ ආකාරයෙන් පුවතක් වාර්තා වී ඇති බව දැක ගන්නට නොලැබුණි.

ආරක්ෂක අමාත්‍යාංශය

මේ හේතුවෙන් අප මේ පිළිබඳව විමසා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක  බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතා පැවසුවේ, අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත් බවට කිසිදු තොරතුරක් නොලැබුණු බව ත්, මෙය අසත්‍ය තොරතුරක් බව ත් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතාගෙන් ද, අප මේ පිළිබඳ වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා විමසීමක් කළ අතර ඒ මහතා පවසා සිටියේ මෙය අසත්‍ය තොරතුරක් බව ත්, අර්ජුන මහේන්ද්‍රන් මෙතෙක් අත්අඩංගුවට පත් වී නොමැති බවයි.

මෙවැනි සටහන් නිර්මාණය වීමට හේතුව කුමක්ද යන්න පරීක්ෂා කිරීමේදී පිළිබඳ පසුගිය 26 වන දා මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා සහභාගි වූ  ස්වර්ණවාහිනි රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකදී මාධ්‍යවේදී විසින් අර්ජුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න අසන අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසන්නේ අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අතහැර දමා නැති බවයි.

එමෙන් ම අර්ජුන් මහේන්ද්‍රන් විසින් සිය නම ද, වෙනස්කර සිංගප්පූරු ජාතිකයෙකු ලෙස එහි  ජීවත්වන බැවින්  ඔහු අත්අඩංගුවට ගැනීමට ඒ රටේ  නීති රීති යම් බාධාවක් වී ඇති බවත් ඔහු පවසනවා. එම අවස්ථාව පහතින්.

අර්ජුන් මහේන්ද්‍රන් ලංකවට පැමිණි බව දැක්වෙන වීඩියෝව, මීට වසර 9කට පැරණි වීඩියෝවක්!

එසේම අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට මෑතක දී පැමිණි බව හැඟවෙන අයුරින්, “මගුල් ගෙදර ගිය අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට මාලිමාවට ජයවේවා” ද වීඩියෝවක් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්. Archived

එම තේමාවෙන් සටහන් රැසක් ද හුවමාරු වෙමින් අර්ජුන් ලංකාවට පැමිණියත්, රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව හඟවමින් ද සටහන් පෙළක් සංසරණය වී තිබුණා.

කෙසේනමුත් මෙම වීඩියෝවේ රූප රාමු පරික්ෂා කිරීමේ දී ද අපට තහවුරු වුයේ මෙය මෑතක දී ලබාගත් දර්ශන පෙළක් නොව, මීට වසර 9කට පෙර, එනම් 2016 නොවැම්බර් මස, අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පැමිණි අවස්ථාවක දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අදහස් දැක්වූ අවස්ථාවක් බවයි. එම වීඩියෝව මෙතනින්.

අර්ජුන් ලංකාවට පැමිණි බව ඒත්තු ගන්න්වන සටහන් හුවමාරු වුයේ, අර්ජුන් මහේන්ද්‍රන් සමග දුරකථනයෙන් සිදුකළ කතාවක් අතරතුර ලබාගත් ඡායාරුපයක් සමඟ ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ මෙම සටහනත් සමඟයි.

අර්ජුන් මහේන්ද්‍රන්ට එල්ල වී ඇති චෝදනා සහ වත්මන් රජයේ පාර්ශවයන්ගේ ඒ ගැන ප්‍රතිචාර

2015 වසරේ බැඳුම්කර සිද්ධියෙන් රුපියල් කෝටි 1000ක පාඩුවක් සිදු කළේ යැයි මහේන්ද්‍රන්ට චෝදනා එල්ල වී තිබුණි. මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරද්දී 2015 පෙබරවාරි 27 වැනිදා රජයේ බැඳුම්කර නිකුත් කිරීම මගින් වංචාවක් සිදුවුණු බවට අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෂෙරීස් ලිමිටඩ් ආයතනය බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන ප්‍රතිලාභියා ලෙස චෝදනා ලැබ තිබුණා. මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ වඩාත් ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදවී වසර 10ක් ඉක්මවා තිබේ.

මීට පෙරද මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ ගත් නමුත් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබුණි.

අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාලව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, මහේන්ද්‍රන්ට  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසී නිකුත් කර තිබුණි. බැඳුම්කර සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණි.

මීට අමතරව මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කොළඹ නිත්‍ය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ජාත්‍යන්තර පොලිසිය හරහා  වරෙන්තු නිකුත් කිරීමක්ද කර තිබුණි.  සැප්තැම්බර් මස 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයට පෙර පවසා තිබුණේ, මහේන්ද්‍රන් මහතා මෙරටට යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවය. එය තම ප්‍රමුඛ කාර්යයක් බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරනු ලැබීය.

ජනාධිපතිවරණයෙන් පසු එවකට කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ, ජනාධිපති විමර්ශන කොමිසමේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කරුණු සැලකිල්ලට ගනිමින් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය ද නීතිමය පරීක්ෂණ ආරම්භ කළ බවය.

2015 පෙබරවාරි 27 දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 1,000කින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ වන විට මේ හා සමාන ණය උපකරණ වෙනුවෙන් බැඳුම්කර වෙළෙඳපොළේ තීරණය වී තිබුණු පොළී අනුපාතිකය 9.50%ක් පමණ විය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

හිටපු බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සත්‍ය වශයෙන්ම අත්අඩංගුවට ගනු ලැබුවේ නම් ඒ පිළිබඳ තහවුරු වූ තොරතුරු සමගින් යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

2015 වසරේ බැඳුම්කර සිද්ධියෙන් රුපියල් කෝටි 1000ක පාඩුවක් සිදු කිරීමේ වරදට චෝදනා එල්ල වී ඇති හිටපු බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන්ට සිංගප්පූරුවේදී අත්අඩංගුවට පත් වූ බව පළ වූ සටහන් අසත්‍ය වන අතර, ඒ බව ආරක්ෂක අංශ ද, තහවුරු කරයි. එසේම අර්ජුන් මහේන්ද්‍රන් ලංකාව ට පැමිණි අවස්ථාවක් ලෙස හුවමාරු වන්නේ ද මීට වසර 9කට පැරණි වීඩියෝවකි.

Avatar

Title:අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගෙන ඇති බවට අසත්‍ය සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *