දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ජංගම දුරකතන අස්ථානගත වීම හා ඒවා නැවත සොයා ගැනීමට උපකාර වන ආයතන සහ අදාළ සේවා පිළිබඳ සමාජයේ බොහෝ දෙනෙක් අතර නිසි දැනුවත්භාවයක් නොමැති කම නිසාම නිල නොවන උපකාරක අවස්ථාවන්ට යොමුවන අවස්ථා දැක ගන්නට ලැබෙන අතර ඒවා මගින් සිදුවන අනිසි බලපෑම් ගැන සමාජය දැනුවත් කරමින් අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
‘නැති වූ ජංගම දුරකථන සොයන්න නවතම වෙබ් අඩවියක්’ ලෙස findmobile.lk නමැති වෙබ් අඩවියක් පිළිබඳ සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණා.

බොහෝ දෙනෙක් අතර හුවමාරු වෙමින් පැවති මෙම සටහනට ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර මෙය රජයට අනුබද්ධ ආයතනයක් ද, නිල වෙබ් අඩවියක් ද, යන්න පිළිබඳ සොයා බැලීමක් සිදුකරන ලෙස අපට ද ලැබුණු ඉල්ලීම් ද ඔස්සේ මේ ගැන විමර්ෂණයක් සිදුකලේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Findmymobile නිර්මාණය කර තිබු ෆේස්බුක් පිටුවක් මඟින් ද මෙම වෙබ් අඩවිය ප්‍රවර්ධන කර තිබු අතර එහි වැඩිදුර විස්තර සඳහා සබැඳියක් ද මෙසේ ලබා දී තිබුණා.
එහි සඳහන් කර ඇත්තේ මෙම වෙබ් අඩවිය මගින් ඔබගේ ජංගම දුරකතනයේ තත්වය පරීක්ෂා කිරීමට හැකි අතර ඔබගේ නැති වූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකතනය වුවද නැවත සොයාගැනීමට හැකි බවයි.
“ඔබ Mobile Phone ශොප් එකකින් අලුත් ජංගම දුරකතනයක් ගන්නවනම් මෙම වෙබ් අඩවිය මගින් එම දුරකතනය පරීක්ෂා කර බලා, මිලදී ගත හැකි අතර, එවිට ඔබට එම දුරකතනය සොරකම් කළ එකක්ද නැතහොත් කෑලි සම්බන්ධ කළ දුරකතනයක්ද කියලත් බලා ගන්න පුලුවන්.”
මේ හේතුවෙන් ඔබට ඉතා හොද දුරකතනයක් මිලදී ගැනීමේ හැකීයාව පවතින බවත් මෙම වෙබ් අඩවිය නොමිලේ භාවිතා කළ හැකි බවත් මෙහි දක්වා තිබෙනවා.

මේ අනුව අප අදාළ FindMobile.lk වෙබ් අඩවිය මගින් ලබාදෙන සේවාවන් පරික්ෂා කළ අතර එහි සේවාවන් ලබාගැනීමට පරිශීලකයින්ට ඔවුන්ගේ IMEI අංකය, සම්පූර්ණ නම, දුරකථන අංකය සහ අදාළ ජංගම දුරකථන නැතිවූ දිනය, ස්ථානය, ඇතුළුව වෙනත් හඳුනාගැනීම සඳහා යොදාගත හැකි කෙටි සිදුවීම් විස්තරයක් ඉදිරිපත් කිරීමෙන් “සොරකම් කරන ලද උපාංග රිපෝට් කරන්න” (Report Stolen Device) යනුවෙන් සදහන් කර තිබේ.
කෙසේවෙතත් මෙම සේවය “සක්‍රිය” කර ඉදිරියට ගොස් සේවාව ලබාගැනීමට නම් PayHere ගෙවීම් Portal හරහා රු. 100 ක ගෙවීමක් ද ගෙවීමට සිදු වෙන බව මෙහි පෙන්වා දී තිබෙනවා.

එසේම, TRCSL, ICTA හෝ ශ්‍රී ලංකා පොලිසිය (ineed.police.lk) ඇතුළු ඕනෑම රජයේ ආයතනයක් සමඟ වෙබ් අඩවියේ සම්බන්ධතාවය තහවුරු කරන visible disclaimer, රහස්‍යතා ප්‍රතිපත්තියක් හෝ නිල සබැඳියක් මෙහි දක්වා නොතිබුණි. එමෙන් ම මෙම වෙබ් අඩවිය මගින් IMEI අංකය හරහා නැතිවූ දුරකතනයක් සොයා ගත හැක්කේ කෙලෙසද යන්න සදහන් කර ද, නොතිබුණි.
ඉහත වෙබ් අඩවිය රජයට හෝ නිල ආයතන වලට අනුබද්ධ වෙබ් අඩවියක් නොවේ!
මෙය නිල වශයෙන් රජයේ ලියාපදංචි වී ඇති ආයතනයක් ද, යන්න අපි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිල portal සහ නාමාවලි පරීක්ෂා කළ අතර ICTA, TRCSL, SL CERT, SLT Mobitel, DRP,DPA යනාදී ආයතන එහි ලැයිස්තු ගත කර තිබුණත්,FindMobile.lk වැනි සේවාවක් ගැන කිසිදු සඳහන් වන්නේ නැහැ.
උපාංග නිෂ්කාශනය සහ නියාමන කාර්යයන් පිළිබඳ තොරතුරු සපයන TRCSL නිල වෙබ් අඩවිය ද අපි පරීක්ෂා කළ නමුත් FindMobile.lk බලයලත් සේවාවක් ලෙස ලැයිස්තුගත කර නොමැති බව දක්නට ලැබුණි.
ලංකාවේ ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයතනයක් වන ICTA මගින් ද මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන් සඳහන් නොකර තිබුණි.
රජයේ, දත්ත ආරක්ෂණ අධිකාරියේ (www.dataprotection.gov.lk) සහ ICTA වෙබ් අඩවිවල FindMobile.lk ලියාපදිංචි හෝ අනුකූල ආයතනයක් ලෙස ප්‍රසිද්ධ වාර්තාවක් නොමැති බැවින්, එය විධිමත් ලෙස අනුමත කර නොමැති බවට ඉන් තහවුරු වේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම(TRCSL) සහ ශ්‍රී ලංකා පොලිසියේ නිල මාර්ගගත වාර්තාකරණ ද්වාරය වන ineed.police.lk යන වෙබ් අඩවියට FindMobile.lk සමඟ සම්බන්ධිත අනුබද්ධිත ආයතනයක්, හවුල්කාරිත්වයක් හෝ බලයලත් සේවාවක් ඇත් ද, යන්න පිළිබඳ අප කළ විමසීමේදී ඔවුන් තහවුරු කළේ, ඉහත වෙබ් අඩවියට කිසිදු සබඳකමක් මෙම නිල ආයතන නොදක්වන බවයි.
නැතිවූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකතන පිළිබඳ පැමිණිලි කිරීමට උපකාරී වන නිල ආයතන සහ වේදිකා මොනවාද?
නැතිවූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකථන පිළිබඳව මහජනතාවට වාර්තා කිරීමට උපකාරී වන ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී ඇති නිල අන්තර්ජාල වේදිකාව වන්නේ ineed.police.lk. එමගින් පොලිස් ස්ථානයකට නොගොස්ම නැතිවූ දුරකථන ලබාදීමට ඔබට ඉඩ සලසයි.
නැතිවූ දුරකතනය පිළිබඳ ineed.police.lk වෙබ් අඩවියට ගොස් මාර්ගතව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC), දුරකතනයේ IMEI අංකය සහ සිද්ධිය පිළිබඳ අනෙකුත් අදාළ තොරතුරු අවශ්‍ය වේ.
ඉන්පසු එම නැති වූ ජංගම දුරකතනය හමු වූයේ නම් ඒ පිළිබඳව පසු පොලීසිය විසින් ඔබව දැනුවත් කර එම ජංගම දුරකතනය පොලිස් ස්ථානයකදී ඔබ අතට පත් කරනු ලබයි. එය සොරකමක් නම් අදාළ සැකකරුද ගෙන්වා කටයුතු කරනු ලබයි.
මේ ගැන තොරතුරු ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය WhatsApp සඳහා 0718598888 සහ කොළඹ පිහිටි ඔවුන්ගේ මූලස්ථානය සඳහා +94 11 2421111 වැනි සම්බන්ධතා අංක ද ලබා දී තිබේ. මේ සේවාව ගැන විස්තර ඇතුළත් වීඩියෝවක් පහතින්.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) හරහා ද, නැතිවූ දුරකථන සේවාව පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. මේ පිළිබඳ තොරතුරු මෙතනින්.
Google හි ” Find My Device ” විශේෂාංගය භාවිතා කිරීම මගින් ද, නැති වූ හෝ සොරකම් කරන ලද දුරකතනය ඇති ස්ථානය සොයා ගැනීමට හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
එසේම Apple පරිශීලකයින් සඳහා ද ඔවුන් මේ ආකාරයේ නැතිවූ උපාංග සොයා ගැනීම ට යොදා ගත හැකි ක්‍රම ගැන දැනුවත් කර තිබෙන්නේ මෙලෙසින්.
Findmobile.lk වෙබ් අඩවියේ ප්‍රතිචාරය
FindMobile.lk වෙබ් අඩවිය නිර්මාතෘගෙන් මේ ගැන Factcrescendo අප කළ විමසීමේදී ඔහු පැවසුවේ, නැති වූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකතන පිළිබඳ පාරිභෝගියෙකු පැමිණිලි කිරීමේදී ඔවුන්ගේ ජංගම දුරකතනයේ IMEI අංකය, මෙම පද්ධිතියේ දත්ත සමුදායට එකතු වන බවත්, තමා හා සම්බන්ධ වී සිටින අනික් හවුල් කරවුන්(ජංගම දුරකතන විකුණන පාර්ශවයන්)ට යම්කිසි හෙයකින් එලෙසින් අස්ථානගත වූ ජංගම දුරකතන නැවත විකිණීම සඳහා ඔවුන් අතට පත් වුවහොත් ඔවුන් ද, මෙම දත්ත සමුදාය හරහා ඔවුන් අතට පත් වන ජංගම දුරකතන වල IMEI අංකය පරීක්ෂා කරන අතර එවිට එම IMEI අංකයට අදාළ ජංගම දුරකතනය අස්ථානගත වී ඇති බවට මෙම වෙබ් අඩවිය හරහා පැමිණිල්ලක් ලැබී තිබුණි නම් එමගින් ජංගම දුරකතනය සොයා ගැනීමක් සිදුවිය හැකි බවත්, ම්ම් වෙබ් සේවාවේ ක්‍රමවේදය පැහැදිලි කරමින් ඔහු පවසා සිටිනවා.
මෙහිදී සිදු වන්නේ ඔබ පැමිණිලි කරන ජංගම දුරකතනය සම්බන්ධ IMEI අංකයක් සමගින් එය අස්ථානගත වී ඇති බවට ඔහුගේ දත්ත සමූහයට එකතු වීමකි. ඔබගේ දුරකතනය ඔහුගේ හවුල්කරුවන්ට හමුවීම අනිවාර්ය යුතු අතර එසේ නොමැතිව නැති වූ ජංගම දුරකතන සොයා ගැනීමේ හැකියාවක් නොමැත.
නමුත් ඔබ මුදලක් ගෙවීම මගින් ඔබේ නැති වූ හෝ සොරකම්කරන ලද ජංගම දුරකතනය ඔබට සොයා දෙන බවට මින් සහතික නොවේ. එලෙස හමුවීම ඉතා අහඹු සිදුවීමක් වේ.
එයට හේතුව වන්නේ ඔහුගේ හවුල්කරුවන්ට ඔබගේ දුරකතනය හමුවිය යුතු බැවින් සහ එලෙස ඔබගේ ජංගම දුරකතනය යම් සෙයකින් ඔහුගේ හවුල් කරුවෙකුට හමු වූවත් එය ඔවුන් හරහා ලබා ගැනීමේ ක්‍රියාවලියක් සකසා නොතිබීමයි.
එසේම මේ වෙබ් අඩවිය ඔස්සේ දුරකථන සියයකට වඩා සොයා ගෙන ඇති බව දක්වා තිබුණ ද එහි නිර්මාතෘම පවසන්නේ එය ද මෙම දුරකථන නැතිවී ඇති බවට රිපෝට් කළ විස්තර ඇති අයෙකුටම සිදුකළ හැකි බැවින් සත්‍යතාවයක් තහවුරු කළ නොහැක.
රජයට අනුබද්ධ හෝ ICT නිල ආයතනකට හෝ පොලීසිය හෝ දුරකතන ජාලා සැපයුම්කරුවන් හෝ සම්බන්ධ කර ගනිමින් සිදු වන නිල ක්‍රියාවලියක් නොවන බැවින්, මෙම වෙබ් අඩවියේ නිර්මාණකරුම පවසන පරිදි ඔහුගේ පද්ධතිය, එම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වන පරිශීලකයින් මත පමණක් ම රඳා පවතිනවා.
ඒ අනුව මෙම වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය කරුණ ඉටු නොවුනද ඔබ ලබාදෙන දත්ත කුමන කරුණක් සඳහා යොදාගන්නේ ද යන්න පිළිබඳව ද ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.
එයට හේතුව, ඔබගේ බැංකු තොරතුරු, පෞද්ගලික තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් තෙවන පාර්ශවයකට යම්කිසි හෙයකින් නිරාවරණය නොවන බවට සහතිකයක් ද, දිය නොහැකි.
පුද්ගලික තොරතුරු තෙවන පාර්ශවකට ලැබීමේ අවදානමට අමතරව IMEI අංකය ලබාදීමේ ඇති අවදානම
IMEI අංක තහවුරු නොකළ පාර්ශවයන් සමඟ හුවමාරු කර ගැනීම තුළින් විනාශකාරී තත්වයන් ඇති වීමේ අවදානමක් ද තිබෙනවා.
එහිදී අපරාධකරුවන් ඔබේ දුරකථනයේ අනන්‍යතාවය අනුපිටපත් කර ඔබේ නම යටතේ නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීමට හැකි වන අතර, ඇතැම් විට ඔබේ නීත්‍යානුකූල උපාංගය දුරකථන ජාල වලින් අසාදු ලේඛනගත කළ හැකිය.
සයිබර් අපරාධකරුවන් SIM SWAP ප්‍රහාර, ඔබේ ඇමතුම්, පණිවිඩ සහ සත්‍යාපන කේත මූල්‍ය ලබාගැනීම ඇතුළු නවීන වංචා යෝජනා ක්‍රම සඳහා ද IMEI දත්ත යොදා ගැනීමේ අවදානම පවතිනවා.
මේ අනුව IEMI අංකය ඔස්සේ අනන්‍යතා සොරකම්, මූල්‍ය පාඩු, නීතිමය ගැටලු ඇතුළු රහස්‍යතා උල්ලංඝනයන් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින්.
මේ නිසා සත්‍යාපිත නීත්‍යානුකූල ආයතන සමඟ පමණක් IMEI අවශ්‍ය කාරණාවක් මත පමණක් හුවමාරු කරගැනීම ඉතා වැදගත් වේ.
Also Read: ජංගම දුරකතන IMEI අංක ලියාපදිංචිය අනිවාර්ය කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් !
නැතිවු ජංගම දුරකථන සොයා ගැනීම මෙවැනි වෙබ් අඩවි පරිශීලන කිරීමේ දී සැලකිලිමත් වීමේ වැදගත්කම!
ශ්‍රී ලංකා මේ පිළිබඳ කටයුතු කරන නිල ආයතන වන පොලිස් මූලස්ථානය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු පාර්ශව පෙන්වා දෙන්නේ, සෑම විටම මෙවැනි නිල නොවන ආයතන හෝ වෙබ් අඩවි වලට ඔබගේ තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසයි.
මෙවැනි විධික්‍රම නියාමන රාමුවලින් පිටත ක්‍රියාත්මක වන අතරතුර, නීත්‍යානුකූල දුරකථන සොයා ගැනීමේ නිල ක්‍රියාදාමයන් පිළිබඳව මහජනතවගේ නොදැනුවත්කම උපයෝගී කරමින් ප්‍රවර්ධනය කරන අවස්ථාවක උදාහරණයක් ලෙස මෙම findmobile.lk වෙබ් අඩවිය පෙන්වා දිය හැකියි. එබැවින් ඔබගේ නැතිවූ උපාංග වාර්තා කිරීම සහ සොයා ගැනීම සඳහා පරිශීලකයින් නිල නාලිකා මත පමණක් විශ්වාසය තැබිය යුතුය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Title:නැති වූ ජංගම දුරකතන සොයන්න නවතම වෙබ් අඩවි ලෙස ප්‍රවර්ධන වන විධික්‍රම ගැන ඔබ සැලකිලිමත් විය යුත්තේ ඇයි?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
