ගල්කිස්සේ පොලිස් නිලධාරියාට ඇප ලබා ගන්න ජනපති මැදිහත් වුණා ද? 

Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇති ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීයාට ඇප ලබා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද  මැදිහත්වී ඇති බව කියන සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ සිදු කළ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ස්තුතියි ජනාධිපතිතුමනි කොස්තාපල්වරයාට ඇප ලබා ගැනීමට සටන් කළාට යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොලිස් කොස්තාපල්වරයාට ඇප ලබාගැනීමට මැදිහත්වූ බව කියමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙලෙස සටහනක් සංසරණය වෙමින් තිබේ. මෙම සටහන පළ කර ඇත්තේ, ජනාධිපතිවරායගේ සහ පසුගිය දා ගස්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිදුවීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඔක්තෝබර් 13 ඇප හිමිවූ පොලිස් නිලධාරියාගේ ඡායාරූප දෙකක් ද  සහිතවයි.  

Facebook | Archived Link

මෙම සටහනට බොහෝ අදහස් පළවීම් දැකගත හැකි වූ අතර එලෙසම මෙය සත්‍යයක් යැයි සිතා සැලකිය යුතු පිරිසක් අතරේ හුවමාරු වී ඇති ආකාරයක් ද මෙලෙස දැකගතහැකි විය. 

ඒ අනුව අධිකරණ කටයුුත්තක් දක්වා දුරදිග ගොස් තිබූ ගල්කිස්ස අධිකරණ සංකීරණයේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයා මැදිහත්වීමක් සිදු කර තිබේ ද යන්න පිළිබඳව අප කරණු විමසීමක් සිදු කළේ ය. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය පසුගිය දින කිහිපයේ රටේ විශාල කතිකාවක් නිර්මාණය වූ සිදුවීමක් බවට පත්ව තිබූ අතර සමාජ මාධ්‍ය වේදිකා තුළ මෙම සිදුවීමට අදාළව විවිධ සංවාද නිර්මාණය වී තිබූ ආකාරයක් ද දැකගත හැකි විය. තව ද මෙම සිදූවීම වාර්තා වූ පසුගිය 10  සිට රටේ පිළිගත් සියලුම මාධ්‍යයන් ද මෙම සිදුවීමට අදාළව  පුළුල් ප්‍රචාරණයක් ලබා දෙන ආකාරයක් ද දැකගත හැකි විය. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් නිලධාරියා (ඔක්තෝම්බර් 13) ඇප මත මුදා හැරුණු බව මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණා. Hiru NewsAda derana කිසිදු පුවත් වාර්තාවක මෙම සිදුවීම සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා කිසිදු ආකාරයේ මැදිහත්වීමක් හෝ ඊට අදාළව කිසිදු ප්‍රකාශයක් හෝ සිදු කළ බවට කිසිදු පිළිගත් කිසිදු මාධ්‍යක් වාර්තා කර නොතිබිණ. අධිකරණ කටයුත්තක් දක්වා දුරදිග ගොස් තිබූ මෙම සිදුවීම සඳහා ජනාධිපතිවරයා කිසියම් හෝ ප්‍රකාශයක් සිදු කර තිබුණේ නම්, එය සිරස්තල සහිත මාධ්‍ය වාර්තාකරණයක් වනු ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ජනාධිපතිවරයාගේ නිල සමාජ මාධ්‍ය ජාලා පරීක්ෂාවට ලක් කළ අතර එම කිසිදු ගිණුමක මෙම සිදුවීමට අදාළව ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් සිදු කර ඇති බවක් දැකගන්නට නොමැති විය.

මේ අතර අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සම්බන්ධයෙන් අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළ අතර ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ගල්කිස්ස අධිකණ භූමියේ සිදුවීමට අදාළව හෝ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් හෝ එහි සඳහන් ආකාරයේ මැදිහත්වීමක් සිදු නොකළ බවයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ සටහන  සම්පූර්ණයෙන්ම ව්‍යාජ සටහනක් බවයි. 

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් අපගේ අධිකරණ වාර්තාකරුගෙන් ද අප කරුණු විමසා සිටි අතර  ඔහු පැවසුවේ, ඔක්තෝබර් 13 වැනිදා පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ බවයි. එහිදී සැකකාර පොලිස් නිලධාරියා විසින් නීතිඥවරයෙකුට පහර දුන් බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවන බවත්, සමථ මූල මණ්ඩලයට යොමු කර විසඳිය හැකි දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තියට ගැනෙන චෝදනාවක් බවටත් පොලිසිය ඉදිරිපත් කළ කරුණු හා අදාළ ගැටලුව සමථයකට පත් කර ගත යුතු බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු ද සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙසේ ඇප ලබාදෙමින් සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කිරීමට නියෝග කළ බවයි. 

මෙහිදී සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් පැමිණිලිකාර නීතිඥවරයාගේ පාර්ශවය විරුද්ධත්වයක් ප්‍රකාශ නොකරන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව මෙසේ ඇප නියම කර සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කිරීමට මහසේත්‍රාත්වරයා නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.  ඒ අනුව පොලිස් නිලධාරියාට ඇප ලබා දීමට සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් සිදුව නොමැති අතර එය සිදුව ඇත්තේ, සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියට අනුවයි. 

මේ අතර පැමිණිලිකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනීසිටි නීිතිඥවරයා කරුණු දක්වමින් සැකකාර පොලිස් නිලධාරියා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් ද විවෘත අධිකරණයේදී පෙන්වා තිබුණා. ” මම වාහනය ගන්න කිව්වා. මට අනන් මනං කියන්න ආවා .මම දෙකක් ඇන්නා” නීතිඥවරයා අධිකරණයට පෙන්වා තිබුණේ ඉහත ප්‍රකාශ පසුබිමෙන් ඇසෙන වීඩියෝවයි. ඊට ප්‍රතිචාර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා තිබුණේ, එම සාක්ෂිය සංස්කරණය කළ එකක් විය හැකි බවයි. AI තාක්ෂණය ඔස්සේ, ඕනෑම දෙයක් මෙලෙස සංස්කරණය කළ හැකි බව ද නීතිඥවරයා පවසා තිබුණා. 

තව ද අප වාර්තාකරු පැවසුවේ, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් සිල්වා මහතා කරුණු දක්වමින් මෙසේ පැවසූ බවයි.  

“මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් පිටත වෙන දේවල් සම්බන්ධයෙන් අධිකරණ මනස යොමු වන්නේ නැහැ.මෙතන තියෙන්නේ කාරණා දෙකයි එකක් ලංකා දණ්ඩන නීති සංග්‍රහයේ 314 වන වගන්තිය අනිත් එක 316 වගන්තිය මෙය ඇප දෙන්න පුළුවන් කාරණාවක් කියලා ස්ථානාධිපතිතුමා කියනවා. එම නිසා සුදුසු ඇපයක් මත සැකකරු මුදා හරින්න කියලා ඉල්ලා සිටිනවා. සැකකරු ගමෙන් ආපු පුංචි පොලිස් නිලධාරියෙක්. බල සම්පන්න නීති ප්‍රජාව සමඟ ගැටෙන්න ඔහුට බෑ. ඔහු පොලිසියට ඇවිල්ල තාම අවුරුදු හයයිි. ඔහුට පෙර වැරදි කිසිවක් නැහැ. ඔහුට ඇප දුන්නා කියලා මහජන කැළඹීමක් ඇතිවෙන්නෙත් නැහැ.” 

මේ අනුව ද පැහැදිලි වන්නේ, විත්තිකාර පාර්ශවයේ නීතිඥවරයා අදාළ පොලිස් නිලධාරියාට ඇප ලබා ගැනීම සඳහා සිය කරුණු ඉදිරිපත් කිරීම් සිදු කර ඇති බවයි. 

එමෙන්ම නීතිපතිවරයා නියෝජනය කරමින් අධීකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසියට ජනරාල් වසන්ත පෙරේරා මහතා කරුණු  දක්වමින් මෙසේ පවසා තිබුණා.

මෙය අවාසනාවන්ත සිදුවීමක්, සිදු නොවිය යුතු සිදුවීමක්.මෙය පාදක කර ගනිමින් සමස්ත නීතිඥ ප්‍රජාව තුළම අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමට  මූලික විය යුතු නැහැ.මෙම සිදුවීමෙන් පස්සේ සිදුවුණු තවත් සිදුවීමක් තියෙනවා. .ඒ පිළිබඳවත් පොලිසිය කරුණු ඉදිරිපත් කළ යුතුයි.මේ කාරණාව තවදුරටත් පවත්වාගෙන යා යුතු කාරණාවක් හැටියට දකින්නේ නැහැ. නීතිපතිවරයා මීට මැදිහත් වන්නේ දෙපාර්ශවයේම මැදිහත්කරුවෙක් ලෙසයි. මෙය සමථයකට පත් කළ හැකියි. ඉදිරියට ගෙනියන්න කරුණක් මේ තුළ නැහැ.

කෙසේ වෙතත් මෙහිදී ජනාධීපති නීතිඥ ශානක රණසිංහ මහතා පවසා තිබුණේ, නීතිපතිවරයා මැදිහත් වී මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගත යුතු බවයි.

සැකකරු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කර වාර්තාවක් කැදවන දෙසට නියෝග කළ බවත්, විමර්ශන ප්‍රගතිය නොවැම්බර් 17 දින ඉදිරිපත් කරන ලෙසට ද දන්වා සිටි බවත් අප වාර්තාකරු සඳහන් කළේ ය. මේ අනුව සැකකාර පොලිස් නිලධාරියාට ඇප ලබාදීම කිසිවකුගේ මැදිහත්වීමක් මත සිදුවූවක් නොවන බවත් සියලු පාර්ශවවල කරුණු සලකා බැලීමෙන් පසු අධිකරණය ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදුව ඇති බවත් පැහැදිලි වේ. 

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිදුවීම හා බැඳුණු සිදුවීම් 

අද දිනයේ (ඔක්තෝබර් 14 ) මාධ්‍ය වාර්තා කර තිබුණේ, ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකු සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර ඇති බවයි. විස්තර මෙතැනින් සහ මෙතැනින් පොලිසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ, අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම ලබාදී ඇති බවයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(ඔක්තෝබර් 14) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ, ගල්කිස්ස අධිකරණ භූමිය තුළ නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් 03ක් ක්‍රියාත්මක බවයි. අදාළ නීතිඥවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරණු වාර්තා කර ඇති බවත්, සැකකාර නීතිඥවරයා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.  

මේ අතර ගල්කිස්ස අධිකරණ සංකීරණයේදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇති වූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ශනයකට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා පසුගිය දා වහාම ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇති බව පොලිසිය උපුටා දක්වමින් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. 

මේ අතර ගල්කිස්ස අධිකරණ භූමියේදී සිදුවීමට මුහුණු දුන් බවකියන  නීතිඥවරයා සමග පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු පොලිස් නිලධාරියාට බැණ තර්ජනය කර රාකාරියට සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලීසිය නිවේදනය කර තිබුණා. නිවේදනය මෙතැනින් 

මේ අතර පොලිසිය මෙම සිදුවීමට අදාළව තවත් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ,  මෙම සිදුවීමට අදාළව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිඳු දුරකථන සංවාදයක් සිදුවී නොමැති බවයි. මෙම සිදුවිම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයේ සිද්ධියට සම්බන්ධ නීතීඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකථනයෙන් පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගැන්වෙන ආකාරයක් එම වීඩියෝ පට දර්ශන තුළ දක්නට ඇති බවත් එමඟින් මෙම නීතිඥවරයා පොලිස්පතිවරයා සෘජුවම අමතා මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට වැරදි මතයක් සමාජ ගත වෙමින් පවතින බවත් පොලිසිය නිවේදනය කර තිබුණා.  නිවේදනය මෙතැනින් 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කෙරුණු පොලිස් කොස්තාපල්වරයාට ඇප ලබාගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මැදිහත් වී බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සමාජය නොමග යැවීමේ අරමුණින් සකසා පළ කරන ලද අසත්‍ය සටහන් බවයි. මේ අතර ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරිණ. 

Avatar

Title:ගල්කිස්සේ පොලිස් නිලධාරියාට ඇප ලබා ගන්න ජනපති මැදිහත් වුණා ද? 

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply