දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මේ දිනවල කාගෙත් අවදානයට ලක් වෙලා තියෙන දෙයක් තමයි හෝර්ටන් තැන්නේ,දක්නට ලැබුණ වසර 12 කට වරක් පිපෙන ‘නෙලූ මල්’ ගැන. කොහොම වුණත් හොර්ටන් තැන්නේ, එක පොකුරට මෙම මල් යායක් පිපී ඇති අයුරු බොහෝ ප්‍රධාන මාධ්‍ය වල වගේ ම සමාජ මාධ්‍ය ඔස්සේ ත් වෛරල් වුණු වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“වසර 12 කට වරක් පිපෙන නෙලු වසන්තය Horton place, Nelu flower” යනුවෙන් සඳහන් කරමින් හෝර්ටන් තැන්නේ පිපුණ ‘නෙලූ මල්’ වල වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වී තිබුණා.
මෙම වීඩියෝව බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මෙම මල් වර්ගය හෝර්ටන් තැන්නේ පීපී ඇති ‘නෙලූ මල්’ බවට වාර්තා කර තිබුණේ මෙලෙසින්.


Tiktok සමාජ මාධ්‍ය වේදිකාවේද මෙම තේමාවෙන් වීඩියෝ හුවමාරු වී තිබුණේ, මේ අයුරින්.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, සත්‍ය වශයෙන් හෝර්ටන් තැන්නේ වීඩියෝවක් ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අවුරුදු 12කට පසුව පිපෙන ‘නෙලූ මල්’ හෝර්ටන් තැන්නේ පිපී ඇති අයුරු බවට පෙන්වා දී තිබූ ඉහත වීඩියෝවේ දැක්වෙන මල් වර්ගය සහ මෙරට සත්‍ය වශයෙන් ම හෝර්ටන් තැන්නේ පිපී ඇති ‘නෙලූ මල්’ වර්ගය වෙනස් බවට දැක ගන්නට ලැබුණා.
සමාජ මාධ්‍ය වීඩියෝවේ දැක්වෙන ‘නෙලූ මල්’ බවට පවසා තිබූ වීඩියෝවේ මලේ පිහිටීම සහ එම ශාකයේ ස්වභාවය මේ දිනවල හොර්ටන් තැන්නේ බහුලව දක්නට ලැබෙන ‘නෙලූ මල්වල’ ස්වභාවයත් වෙනස් බව දක්නට ලැබෙනවා.
සමාජ මාධ්‍ය පරිශීලකයින් ද, මේ දිනවල හෝර්ටන් තැන්නේ පිපී ඇති නෙලු මල්වල ඡායාරූප, වීඩියෝ පළ කර තිබුණේ මෙලෙසින්.
වීඩියෝවක් පහතින්.
තවත් වීඩියෝ මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. තව ත් ඡායාරූප මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
නෙලු මලේ සමීප ඡායාරූප

ඒ අනුව ඉහත වීඩියෝවේ දැක්වෙන මල සහ මෙරට හෝර්ටන් තැන්තේ දක්නට ලැබෙන නෙලු මලේ පැහැය මෙන් ම මල ද, වෙනස් බව දැක ගන්නට පැහැදිලිව දැක ගන්නට ලැබෙනවා.
මේ හේතුවෙන් අප ඉහත සමාජ මාධ්‍ය වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
එහිදී දැක ගැනීමට හැකි වූයේ මෙය මෙරට වීඩියෝවක් නොව, චීනයේ නිංබෝ හි පිහිටි කන්දක් වන Ningbo Jin’e කන්දේ පිපී ඇති Rhododendron(රෝඩොඩෙන්ඩ්‍රන්) මල් වර්ගය බවයි.
නිංබෝ ජිනේ කන්ද රෝඩොඩෙන්ඩ්‍රන් යනු චීනයේ නිංබෝ හි ජිනේ කන්දෙහි සාමාන්‍යයෙන් අප්‍රේල් මැද සිට මැයි මැද දක්වා රෝඩොඩෙන්ඩ්‍රන් මල් පිපෙනු ලැබේ. මෙම ප්‍රදේශය කන්දෙහි ප්‍රධාන ආකර්ෂණයක් වන විචිත්‍රවත් මල් නැරඹීමට පැමිණෙන කඳු නගින්නන් සහ කඳවුරු බැඳගෙන සිටින අය සඳහා ජනප්‍රිය ගමනාන්තයක් බව ද, වෙබ් වාර්තා පෙන්වා දෙන්නේ මෙලෙසින්.
මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ මැචෙන්ග් හි ගුයිෆෙන්ග් කන්දේ ‘රෝඩොඩෙන්ඩ්‍රන්’ වනාන්තරයක් පිළිබඳ වෙබ් වාර්තාවක් පළ වී තිබුණේ මෙලෙසින්.

‘රෝඩොඩෙන්ඩ්‍රන්’ මල් සංචාරකයින් විසින් ඡායාරූප ගත කර තිබූ අවස්ථා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
‘රෝඩොඩෙන්ඩ්‍රන්’ දම්-රෝස හෝ රෝස-සුදු විශාල හා විචිත්‍රවත් මල් ඇත. ‘රෝඩොඩෙන්ඩ්‍රන්’ මල් සාමාන්යයෙන් අඟල් 3 සිට 6 දක්වා පළල වේ.
‘රෝඩොඩෙන්ඩ්‍රන්’ මලෙහි සමීප ඡායාරූපයක්.

රෝඩොඩෙන්ඩ්‍රන් චීනයේ, විශේෂයෙන් ගුයිෂෝ පළාතේ බයිලි සහ හුබෙයි හි ගුයිෆෙන්ග් කන්ද වැනි ස්ථානවල සොයාගත හැකිය. ඒවා ලොව පුරා ද දැකිය හැකි අතර, නේපාලය, ඉන්දියාව (සිකිම්, උත්තරාකන්ඩ්, හිමාචල් ප්‍රදේශ්) සහ භූතානය වැනි රටවල් ඇතුළත් හිමාල කලාපයේ ප්‍රධානව ඇත. දක්නට ලැබෙන අනෙකුත් ස්ථාන අතර උතුරු ඇමරිකාවේ ඇතැම් ස්ථාන, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව ඇතුළත් වේ. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ජාතික උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ
අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා ජාතික උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ, ජාතික මූලික අධ්‍යන ආයතනයේ ශාක වර්ගීකරණය සහ සංරක්ෂණය පිළිබඳ කාර්යාල අධ්‍යක්ෂ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා.
ඒ මහතා සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍ය වීඩියෝවේ දැක්වෙන්නේ ස්ට්‍රොබිලන්තස්(Strobilanthes) කුලයට අයත් ශාකයක් වන ‘නෙලූ මල්’ නොවන බව යි. එම වීඩියෝවේ දැක්වෙන්නේ, රෝඩොඩෙන්ඩ්‍රන් ගණයට අයත් අසේලියා (Azalea) වර්ගයක් බවයි.
මෙරට ඇති එකම රෝඩොඩෙන්ඩ්‍රන් ගනයට අයත් වන්නේ, මහ රත් මල් ලෙස හඳුන්වන Rhododendron arboretum නමැති විශේෂය බව ත්, නමුත්, ඉහත වීඩියෝවේ දැක්වෙන විශේෂයට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් බව ත්, මහචාර්ය වරයා පෙන්වා දුන්නා.
මහරත් මලේ සමීප ඡායාරූපයක්

නුවරඑළියේ/හක්ගල ප්‍රදේශවල වගා කරන ලද අසේලියා වර්ග කිහිපයක් ඇති බව ත්, ඒවා බොහෝ දුරට රෝඩොඩෙන්ඩ්‍රන් ඉන්ඩිකම් (Rhododendron indicum) වර්ග බව ත් සඳහන් කළා.
නෙලු විශේෂ ශ්‍රී ලංකාවට ආවේණික වන අතර, ආවේණික විශේෂ 35ක් පමණ ඇති අතර නිල් පාට නෙලු(Strobilanthes sexennis), දම් පාට නෙලු (Strobilanthes pulcherrima), කහ පාට නෙලු(Strobilanthes calycina), සුදු පාට නෙලු(Strobilanthes viscosa) සාමාන්‍යයෙන් දක්නට ලැබෙන බව ත්, මහචාර්යවරයා අප කළ විමසීමේදී තවදුරටත් තහවුරු කරනු ලැබුවා.
‘නෙලූ මල්’ (Strobilanthes විශේෂය)
මෙය Acanthaceae පවුලට අයත් වන අතර එය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ අනෙකුත් ආසියානු රටවලට ආවේණික වේ. මෙම කුලයට ලොව පුරා විශේෂ 450 ක් පමණ ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව විශේෂ 33 ක් පමණ පවතී, ඉන් 30 කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට ආවේණික වේ.
මෙම මල් වල වඩාත්ම කැපී පෙනෙන වෙනස පවතින්නේ එම මල්වල චක්‍රවල යි. නෙලූ ශාක මොනොකාපික් හැසිරීම් පෙන්නුම් කරයි. එනම් මිය යාමට පෙර එක් වරක් පමණක් පිපෙන වේ. බොහෝ විශේෂයන් වසර 12-14 කට වරක් පිපෙනු ලබයි. මෙහි මල් පිපීම සිදු කිරීමට පෙර වසර ගණනාවක් ඒ සඳහා ශක්තිය රැස් කරයි. මල් පිපීම සහ බීජ නිෂ්පාදනයෙන් පසු, සම්පූර්ණ ශාකය මිය යන අතර ඊළඟ චක්‍රය තෙක් බීජ පසෙහි නිද්‍රාශීලීව පවතින බවටයි මේ සම්බන්ධ වාර්තා පෙන්වා දෙන්නේ. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
නෙලු විශේෂ සංරක්ෂණ ගැටලු වලට මුහුණ දී ඇති අතර, දැනටමත් තර්ජනයට ලක්ව ඇති සහ එක් විශේෂයක් (Strobilanthes caudata) වඳ වී ගොස් ඇති බව සැලකේ. ඒවා වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත, වන සංරක්ෂණ ආඥාපනත සහ ජාතික පාරිසරික පනත ඇතුළු ශ්‍රී ලංකාවේ නීති යටතේ නීත්‍යානුකූලව ආරක්ෂා කර ඇත.
මධ්‍යම කඳුකරයේ, විශේෂයෙන් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබේ. ඔවුන් ප්‍රධාන වශයෙන් තෙත් කලාපයේ, විශේෂයෙන් ඉහළ උන්නතාංශවල, සමහර විශේෂ වියළි කලාපයේ දක්නට ලැබේ.
2025 නෙලු මහා මල් පිපීම මෙම ආවේණික සංසිද්ධිය නිරීක්ෂණය කිරීමට දුර්ලභ අවස්ථාවක් සපයයි, එය 2013 දී පෙර ප්‍රධාන මල් පිපීම සිදු වී දළ වශයෙන් වසර 12 කට පසුව සිදු වී තිබුණා. මින් පසු ‘නෙලූ මල්’ පිපීම උදාවන්නේ 2037 වසරේදී වේ. මෙම දුර්ලභ අවස්ථාව නැරඹීමට දේශිය මෙන් ම විදේශීය සංචාරකයින් ද, හෝර්ටන් තැන්න නැරඹීමට වැලනොකැඩී යන ආකාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ද, දක්නට ලැබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හෝර්ටන් තැන්නේ, වසර 12කට පසුව පිපුණු ’ නෙලු මල්’ලෙසට දක්වා තිබූ වයිරල් වී ඇති වීඩියෝව මෙරට වීඩියෝවක් නොව චීනයේ නිංබෝ හි පිහිටි කන්දක් වන Ningbo Jin’e කන්දේ පිපී ඇති Rhododendron(රෝඩොඩෙන්ඩ්‍රන්) වර්ගයට අයත් අසෙලියා මල් වර්ගයක් බවයි.
Title:හෝර්ටන් තැන්නේ නෙලු මල් වල වීඩියෝවක් නොවේ!
Fact Check By: Pavithra SandamaliResult: Misleading


