ගෝඨාභය සහ සේනාධිපති, ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස ලැබූවේ මෑතකදී ද ?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

යම් යම් දේශපාලන කාරණා මත අතීතයේ සිදුවූ දේවල් මෑතකදී සිදු වූ බවට සමාජ ගත කිරීමට ඇතැම් ප්‍රචාරණයන් සිදු කරන ආකාරයක සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් පළවන එවැනි සටහන් පෙළක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“ගාලු වරායේ පාවෙන ආයුධ ගබඩාවක් පවත්වාගෙන යෑම මගින් රුපියල් බිලියන 11.4 ක මුදලක් රජයට පාඩු කළා යැයි පවසමින් අල්ලස් කොමිසම විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා තිබූ නඩු කටයුත්තෙන්, ඔවුන් සියලු දෙනාම ගරු අභියාචනාධිකරණයේ නියෝගය මත නිදොස් කොට නිදහස් කර ඇත” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

ප්‍රධාන මාධ්‍ය ධාරාවක මෙම පුවත දක්වා වී ඇති බවට දක්වමින් මෙම තේමාවෙන් පළ වූ සටහන් Instagram සහ Threads ඔස්සේ ද, පළ වී තිබුණේ මේ අයුරින්.

Instagram |Threads

ෆේස්බුක් ඔස්සේ බහුලව මෙම සටහන් සංසරණය වී තිබුණේ ‘අද දවසේ’ ලබා දුන් තීන්දුවක් ලෙස සඳහන් කරමින්.

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මෙම තීන්දුව ලබාදුන් බව දක්වමින් පළවූ තවත් සටහනක් පහතින්.

ඇවන්ගාඩ් සම්බන්ධ නඩුව මෑතතදී නඩු විභාගයට ගෙන තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

පසුගිය ඔක්තෝබර් 25 යන දින ඇවන්ගාඩ් සිදුවීමට අදාළ සැකකරුවන් නිදොස් කොට නිදොස් කර ඇති බවට සමාජ මාධ්‍ය සටහන් කර ඇති බව නිරීක්ෂණය වූ අතර එහි ‘අද’ දිනයේ ලබා දුන් නඩු තීන්දුවක් ලෙස සඳහන් කර තිබුණා.

නමුත් ගාලු වරායට ආසන්නයේ ඇවන්ට්ගාඩ් සමාගමට අයත් බව කියන පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් මෑතකදී නඩු විභාගයක් පවත් වන බවට හෝ සැකකරුවන් නිදහස් කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොතිබුණු බව දැක ගන්නට ලැබුණා.

‘අද දෙරණ’ පුවත් සටහනක් ලෙස දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහන් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, එම සටහන 2019 වසරේ, සැප්තැම්බර් 12 වන දින එහි නිල ෆේස්බුක් පිටුවේ  පළ වී තිබූ පුවතක් බවයි.

Facebook | Archived Link

එමෙන් ම මෙම පුවත් සබැඳිය ඔස්සේ පරීක්ෂා කිරීමේදී මෙම පුවතට අදාළ ලිපියේ ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පළ කර තිබූ කරුණු ඇති බව දැක ගන්නට ලැබුණා.

Ada derana.lk | Archived Link

2019 වසරේ සැප්තැම්බර් 12 වන දා අභියාචනාධිකර‍ණයෙන් ලබා දුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් තව ත් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මෙතතින් සහ මෙතනින්. Save Avant Garde ෆේස්බුක් පිටුවක ද, මෙම පුවත පළ වී තිබුණේ මේ අයුරින්.

2019 වසරේ සැප්තැම්බර් 12 වන දා නඩු වාර්යේදී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 08 දෙනෙකු නිදොස් කොට නිදහස් කරයි

2015 යහපාලන සමයේ ගාලූ වරායේ ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබිණ.

මෙම නඩුවේ විත්තිකරුවන් අතර ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ සහ සෝමතිලක දිසානායක යන හිටපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙකුද ඇතුළත් ව සිටිති. ඊට අමතරව පාලිත ප්‍රනාන්දු සහ බී. එගොඩවෙල යන විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනා ද විත්තිකරුවන් අතරට ඇතුළත්ය. ඊට අමතරව ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක යාපා සේනාධිපති මහතා ද මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්.

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා , අලි සබ්රි සහ නීතීඥ සුදත් කල්දේරා යන මහත්වරුන් පෙනී සිටි අතර, නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනක බණ්ඩාර මහතා පෙනී සිටි බව පුවත් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ඹ මහතා ඇතුළු 8 දෙනෙකු නිදොස් කොට නිදහස ලැබුණ ද, ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධ නඩුවේ විමර්ශන තවදුරටත් ඉදිරියට ඇදිණි.

2021 මැයි 21 වන දින ඇවන්ගාඩ් නඩුව අවසන් වෙයි

නිශ්ශංක සේනාධිපති සහ හිටපු රක්නා ලංකා නිලධාරීන් ඇතුළු තවත් හත් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගනු ලැබුවේ 2021 මැයි 21 වන දින,  කොළඹ විශේෂ ත්‍රි-පුද්ගල මහාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුවයි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව එම තීන්දුව ලබා දී ඇති බව පුවත් වාර්තා පෙන්වා දෙයි.

තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, එම නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇවන්ගාඩ් සමාගමට සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබු රක්නා ලංකා සමාගමට රතු මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබාදී තිබු බව සඳහන් කරනු ලැබීය.

ඇවන්ගාඩ් නෞකාව තුළ ගිනිඅවි සහ පතොරම් තබා ගැනීමට අවසර තිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා දුන් සාක්ෂිවල සඳහන් කර තිබූ බව පෙන්වා දුන් විනිසුරු පටබැඳිගේ මහතා කෙසේ වෙතත් පරිපාලන පහසුව සඳහා එම ගිනිඅවි සහ පතොරම් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ලිපියක් නිකුත් කර තිබූ බවද සඳහන් කර තිබිණ.

එම නෞකාව තුළ ගිනිඅවි සහ පතුරම් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළේ යැයි සඳහන් කරමින් විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය නීත්‍යානුකූල ලියවිල්ලක් බවත් එය ව්‍යාජ ලිපියක් නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය සාක්ෂි මඟින් පිළිගෙන තිබූ බව ද විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ නෞකාව තුළ ගිනිඅවි සහ පතොරම් ළඟ තබාගැනීමට වලංගු බලපත්‍රයක් තිබූ බව පෙනී යන බවත් එම බලපත්‍රය ව්‍යාජ එකක් බවට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කරනු ලැබුවා.

2015 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203,395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා 19 යටතේ මෙම නඩු විභාගය පැවැත්විණ. මේ සම්බන්ධයෙන් පළ වන පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අධිකරණ වාර්තාකරුවන්

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් නඩුව මේ දිනවල යළි කැඳවා තිබුණේ ද, යන්න පිළිබඳ අප කොළඹ අධිකරණ වාර්තාකරුවන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ එය අවසන් වූයේ 2021 වසරේ බව ත්, මේ දිනවල ඒ හා සම්බන්ධ නඩුවක් කැඳවා නොමැති බව ත් ය.

ජනාධිපති නීතිඥවරුන්ගේ තහවුරු කිරීම

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා ගෙන් ද මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔහු තහවුරු කරනු ලැබුවේද, ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධ විමර්ශනයට අදාළ නඩුව අවසන් වූයේ බොහෝ කලකට පෙර බවත්, මෑතකදී මේ සම්බන්ධයෙන් කිසිදු නඩුවක් පවත්වා නොමැති බව ත්, ය.

නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්, අජිත් පතිරණ මහතාගෙන් ද, අප විමසීමක් කළ අතර, ඒ මහතා තහවුරු කළේ ද, නිශ්ංශක සේනාධිපති සහ ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් ඔහු නිදහස් කොට නිදහස් කර ඇති බව ත්, එම නඩුව අවසන් වී ඇති හෙයින් නැවත විභාගයක් නොවන බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඇවන්ගාඩ් පාවෙන අවිගබඩා නඩුවෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ නිශ්ශංක සේනාධිපති මෑතක දී නොදොස් කොට නිදහස ලැබූ බව හඟවමින් හුවමාරු වන්නේ නොමග යවන සුළු සටහන් පෙළකි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එම නඩුවෙන් නිදහස් කොට නිදහස ලබන්නේ කොළඹ අභියාචනාධිකරණයෙන් 2019 වසරේදී වන අතර ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් ද, නිදහස් කොට නිදහස ලබමින් ඇවන්ගාඩ් සම්පූර්ණ නඩුව අවසන් වන්නේ කොළඹ මහාධිකරණය මගින් 2021 වසරේදී ය. ඒ අනුව මෑතකදී මෙම නඩුව අවසන් වූ බවට පළ වන සටහන් නොමග යන සුළු බවට පෙන්වා දිය හැක.

Avatar

Title:ගෝඨාභය සහ සේනාධිපති ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස ලැබූ කාලය පිළිබඳ නොමග යන සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply