හිටපු ජනපති මහින්දට ආචාර කරන ඡායාරූපයේ සිටින්නේ නිලන්ති කොට්ටහච්චි ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රි නිලන්ති කොට්ටහච්චි සම්බන්ධයෙන් කලින් කලට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. මේ අතර ඇය සම්බන්ධ කර ගනිමින් පළ වූ නොමග යන සුළු ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රි නිලන්ති කොට්ටහච්චි හිස නමා ආචාරය කරන අවස්ථාවක් බවට හඟමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

ඉහත අවස්ථාව වීඩියෝවක් ලෙස ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

Facebook  | Facebook

මෙම ඡායාරූපයේ සිටින්නේ, සත්‍ය වශයෙන් ම නිලන්ති කොට්ටහච්චි මහත්මිය ද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිලන්ති කොට්ටහච්චි මහත්මිය බවට හඟවා තිබූ ඉහත ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට එම ඡායාරූප අවස්ථාව කුමක්ද යන්න පිළිබඳ අප අවදානය යොමු කරනු ලැබුවා.

ඒ ඡායාරූප අවස්ථාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ වූ ඡායාරූප ගොනුවක තිබූ විවාහ මංගල්‍යයක අවස්ථාවකදී ලබා ගත් ඡායාරූපයක් බව දැක ගන්නට ලැබෙනවා.

Facebook

“රදීෂාන් සිරිබද්ධන හා මනූෂි සේනාරත්න යුවළගේ නව ඇරඹුමට සාක්ෂිකරුවෙකු වෙමින් එම දෙපළට ආශිර්වාද කළෙමි. සෙනෙහසින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි” ලෙසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවේ මෙම ඡායාරූප ගොනුවේ සටහන් කර තිබූ හෙයින් අප රදිෂාන් සහ මනූෂි යන යුවළගේ විවාහ අවස්ථාවේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව කලා ලොවේ කිහිප දෙනෙකු ද, මෙම අවස්ථාවට සහභාගි වී ඇති බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. මේ අතර රන්ජන් රාමනායක මහතා ද, මෙම අවස්ථාවට සහභාගි වී(Archived Link )ඇති බව දැක ගන්නට ලැබුණු හෙයින් අප මෙම විවාහ අවස්ථාවට නිලන්ති කොට්ටහච්චි මහත්මිය සහභාගි වුණා ද, යන්න ඔහුගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, නිලන්ති කොට්ටහච්චි මහත්මිය මෙම විවාහ උත්සවයට සහභාගී වූ බවට දක්නට නොලැබුණු බවයි. එමෙන් ම තව ත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් ද, අප විමසීමක් කළ අතර ඔවුන් ද, පවසා සිටියේ නිලන්ති කොට්ටහච්චි මහත්මිය එම විවාහ අවස්ථාවට පැමිණි බවට දැක ගන්නට නොලැබුණු බව ත්, එම විවාහ මංගල්‍ය රාජපක්ෂ පවුලට හිතවත් පිරිසකගේ විවාහ මංගල්‍යයක් බවයි.

අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීමට මෙම විවාහ මංගල්‍යයේ මනමාල පාර්ශවයේ මව ව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වූ අතර ඇය තහවුරු කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ සිටින්නේ තමන්ගේ සහෝදරියෙකුගේ දියණිය බව ත්, ඇය නිලන්ති කොට්ටහච්චි නොවන බව ත් ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට, තම පවුල හිතවත් බව ත්, ඔවුන්ට තම පුතුණුවන්ගේ විවාහය සඳහා ඇරයුම් කළ බව ත්,  තම පුතුණුවන්ගේ විවාහ අවස්ථාවට ජවිපෙ/ජාතික ජන බලවේගයට සම්බන්ධකම් ඇති පුද්ගලයන් නොපැමිණි බව ත්, නිලන්ති කොට්හච්චි මහත්මියට මෙම විවාහයට ආරාධනා නොකළ බව ත්, ඇය සඳහන් කළා.

නිලන්ති කොට්ටහච්චි

එමෙන් ම නිලන්ති කොට්ටහච්චි මහත්මියගෙන් ද, අප මේ ඡායාරූපය සම්බන්දයෙන් විමසීමක් කළ අතර ඇය පවසා සිටියේද, සමාජ මාද්‍ය ඔස්සේ පළව ඡායාරූපයේ සිටින්නේ තමන් නොවන බව ත්, තමන් එම විවාහ අවස්ථාවට සහභාගී නොවූ බව ත්, තමන් විවාහ මංගල්‍යය කාගේද හෝ යන්නවත් නොදන්නා බව යි. ඇය මේ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ ද, සටහනක් පළ කර තිබුණා.

Facebook

මෙම සටහන පළ කිරීමට පෙර  ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ ඇය බවට පවසමින් දක්වා ඇති සමාජ  සටහන සඳහා කොට්ටහච්චි මහත්මිය ප්‍රතිචාර දක්වා තිබුණේ, මෙම ඡායාරූපය AI ඔස්සේ ජනනය කරන ලද බවටයි. 

නමුත් ඉහත ඡායාරූපය AI ඔස්සසේ ජනනය කරන ලද ඡායාරූපයක් නොව සත්‍ය ඡායාරූපයක් බවට පෙන්වා දිය හැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආචාර කරන අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූප අවස්ථාවේ සිටින්නේ ඇය නොවන බවයි. ඒ බවට එම විවාහ මංගල්‍ය අවස්ථාවට සහභාගි වූ පිරිස් මෙන් ම, මනමාල පාර්ශවයේ මව විසින් ද, එමෙන් ම නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් ද, තහවුරු කරයි.

Avatar

Title:හිටපු ජනපති මහින්දට ආචාර කරන ඡායාරූපයේ සිටින්නේ නිලන්ති කොට්ටහච්චි ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply