ජනපති සහ අගමැතිගේ නම් සඳහන් සමරු ඵලකයක සංස්කරණය කළ ඡායාරූපයක් ද?  

Education Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමරු ඵලකයක් නිරාවරණය කරන අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

වෛරල් වී තිබෙන පහත ඡායාරූපයේ, අගමැතිනියගේ සහ ජනපතිගේ නම් ද සමරු ඵලකයේ සඳහන් කොට තිබෙන අයුරු ඉස්මතු කර තිබෙනවා. රජයේ නායකයින්ගේ නම් මහජන බදු මුදලින් ඉදිකෙරෙන ව්‍යාපෘතිවල සඳහන් කරන්නේ, වත්මන් රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ක්‍රියාකරමින් නොවේද යන්න සමාජ මාධ්‍ය සටහන් රැසක් ඔස්සේ ප්‍රශ්න කර තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link

මහජන බදු මුදලින් ඉදිකරන ලද සමරු ඵලක සඳහා නම් ඇතුළත් නොකරන බවට වත්මන් ආණ්ඩුව පැවසුවද මෙම අවස්ථාවේ එය සිදුව ඇත්තේ කෙසේද යන්න සටහන් මගින් ප්‍රශ්න කර තිබිණ. මෙතැනින් | Archived Link

ජාතික ජන බලවේග බලයට පත්වීමට පෙර සමරු ඵලකවල දේශපාලනඥයින්ගේ නම් ඇතුළත් කිරීම්වලට එරෙහිව අදහස් පළ කළ අතර ඔවුන් කියා සිටියේ, එය ඔවුන්ගේ ප්‍රතිපත්තිය නොවන බවයි. 

එවන් පසුබිමක දී , බලයට පත්වීමෙන් පසු මෙලෙස ඇතැම් ඉදිරිකිරීම් විවෘත කිරීම්වලදී සමරු ඵලකවල නම් සඳහන් කිරීම සිදුවුනේ කෙසේද යන්න ඇතැමුන් ප්‍රශ්න කළ අතර, තවත් පිරිසක් ඉහත වෛරල් ඡයරුපය සැබෑවක් නොව, සංස්කරණය කරන ලද ඡායාරුපයක් බවට ද අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

WhatsApp ඔස්සේ ද හුවමාරු වී තිබු මෙම ඡායාරුපය ඇත්තක් ද සහ ඒ ගැන වැඩිදුර තොරතුරු ගැන අපට ද විමසීම් කිහිපයක් ම ලැබුණා.

ඒ අනුව ඉහත ඡායාරූපයේ ජනපති සහ අගමැතිගේ නම්වලට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නම ද සඳහන් වී තිබීම ද හේතුවෙන් සහ මේ ගැන ලැබුණු විමසුම් හේතුවෙන්, ඉහත ඡායාරූපයේ නිර්වද්‍යතාව සහ පසුබිම සොයා බැලීමක් හා කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා. 

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

ඇතැම් පිරිස් මෙය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් යන්න පිළිබඳව ද ප්‍රශ්න කර තිබූ නිසා අප මූලිකවම අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී වූ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබුණේ දැයි පරීක්ෂා කර බැලීය. 

ඉන්දීය ප්‍රදානයක් යටතේ පොළොන්නරුවේ ඉදිකරන ලද ත්‍රෛභාෂා පාසලක් ශ්‍රී ලංකා රජයට භාරදීමේ අවස්ථාවක්!

ඒ අනුව ‘අද දෙරණ’ පුවත් ඔස්සේ මීට අදාළ පුවතක් වාර්තා කර තිබූ අතර මෙම සමරු ඵලක නිරාවරණය කිරීම සිදුව ඇත්තේ ඉන්දීය ආධාර යටතේ පොළොන්නරුවේ ඉදිකරන ලද බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලක්, නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර දීමේ අවස්ථාවේ ඡායාරූපයක් බව වාර්තා වී තිබුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා මහතා ඇතුළු  පිරිසක් එක්ව සිට තිබුණා. අදාළ පුවත් වාර්තාවේ සඳහන්ව ඇත්තේ, මෙම ව්‍යාපෘතිය ඉන්දීය ආධාර යටතේ ඉදිකරන ලද්දක් බවයි. තව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද මේ පිළිබඳ වාර්තා කර තිබූ අතර එහිද සඳහන්ව ඇත්තේ, පොළොන්නරුවේ ඉදි කරන ලද බහු වාර්ගික ත්‍රෛභාෂා පාසල ඉන්දීය රජයේ පරිත්‍යාගයක් බවයි.

මේ අතර බහුවාර්ගික ත්‍රෛභාෂා පාසල නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර දීමේ අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා ද සහභාගී වී සිටි අතර ඔහුගේ  නිල ෆේස්බුක් පිටුවේ බහු වාර්ගික ත්‍රෛභාෂා පාසල භාරදීමේ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සමග සටහනක් පළ කර තිබූ අතර එහි අග්‍රාමාත්‍යවරිය විසින් නිරාවරණය කරන ලද සමරු ඵලකයේ පැහැදිලි ඡායාරූපයක් මෙලෙස Archived Link දැකගත හැකි විය.  

මෙම සමරු ඵලකයේ සඳහන් වන්නේ පහත වාක්‍ය ඛණ්ඩයයි.

“ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති, ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සහ ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දුරදර්ශි මග පෙන්වීම යටතේ, ඉන්දියාවේ ප්‍රදාන හරහා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය ඇතිව, පොළොන්නරුවේ ඉදිකරන ලද බහු වාර්ගික ත්‍රෛභාෂා පාසල භාර දීම සනිටහුන් කිරීම සඳහා මෙම සමරු ඵලකය, 2025 ඔක්තෝබර් 31 වන දින, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු  ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සහ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා විසින් නිරාවරණය කරන ලදි

ඒ අනුව සමරු ඵලකවල නම් සටහන් කිරීමට පටහැනි වීමේ මාලිමාවේ ප්‍රතිපත්තියට බැහැරව වුවත්, ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරියගේ නම් අදාළ සමරු ඵලකයේ සටහන් කර ඇති බව පැහැදිලි වේ. 

කෙසේ වෙතත් ඉහත සියලු පිළිගත හැකි මූලාශ්‍ර සියල්ලෙහිම සඳහන් වන්නේ, ඉන්දීය ආධාර යටතේ ඉදිකරන ලද ත්‍රෛභාෂා පාසල ශ්‍රී ලංකා රජයට භාර දීම මෙම අවස්ථාවේ සිදුව ඇති බවයි. තවද මෙම සමරු ඵලකයේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරියගේ නම්වලට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නම් ද ඇතුළත්ව තිබේ. 

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිවේදනය

මේ අතර පොළොන්නරුවේ ඉදිකරන ලද ත්‍රෛභාෂා පාසල ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි සඳහන් වන්නේ, ඉන්දීය ප්‍රදානයක් යටතේ ඉදි කරන ලද්දක් බවයි.  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් විසින් විවෘත කර ශ්‍රී ලංකා රජයට භාරදුන් බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 320ට අධික මුදලක් වැය වූ බවත් සමස්ත පරිශ්‍රය සඳහා වන සැලසුම්වලට අනුව පසුගිය 31 වනදා  විවෘත කරන ලද ගොඩනැගිල්ලට යාබද අතිරේක ඉදිකිරීම් තවදුරටත් ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ඇති බවත් එහි විස්තර සහිතව මෙලෙස සඳහන් ය. අග්‍රාමාත්‍යවරිය  සහ ඉන්දීය මහකොමසාරිස්වරයා එක්ව සමරු ඵලකය විවෘත කරන අකාරය දැක්වෙන ඡායාරූපයක් ද එහි මෙලෙස දැකගත හැකි විය. 

ඒ අනුව මෙම පසුගිය 31 වනදා සමරු ඵලකය විවෘත කර ඇත්තේ, ඉන්දීය අධාර යටතේ ඉදි කරන ලද ත්‍රෛභාෂා පාසල ශ්‍රී ලංකා රජයට භාරදීම සනිටුහන් කරමින් බව පැහැදිලි වේ. 

අධ්‍යාපන අමාත්‍යවරියගේ සම්බන්ධීකරණ ලේකම්

කෙසේ වෙතත් සමරු ඵලකවල නම් ඇතුළත් කිරීම  වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන නමුත් අදාළ සමරු ඵලකයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නම් සඳහන්ව තිබීම සම්බන්ධයෙන් අප අධ්‍යාපන අමාත්‍යවරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියගෙන් විමසා සිටියේ ය. 

සම්බන්ධීකරණ ලේකම්වරිය කියා සිටියේ, අදාළ  ත්‍රෛභාෂා පාසල ඉන්දීය රජයේ අධාරයක් මත ඉදිකරන ලද්දක් බවත් එය ශ්‍රී ලංකා රජයට භාරදීම සනිටුහන් කරමින් සමරු ඵලකයක් නිරාවරණය කිරීමක් සිදුව ඇති බවත් ය.

එම ඉදිකිරීමට අදාළව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නම් අදාළ සමරු ඵලකයට ඇතුළත් කිරීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටි බවත්, ඊට සමගාමීව අදාළ සමරු ඵලකයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නම් ද ඇතුළත් කරන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූ බවයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරියගේ නම් ද ඊට ඇතුළත් කර ඇති බව සම්බන්ධීකරණ ලේකම්වරිය සඳහන් කළා. 

මීට පෙර අග්‍රාමාත්‍යවරිය විසින් නිරාවරණය කළ සමරු ඵලකවල දේශපාලනඥයින්ගේ නම් තිබුණා ද? 

මහජන බදු මුදලින් ඉදිකිරීමෙන් පසු විවෘත ජනතා අයිතියට පත් කෙරුණු ඉදිකිරීම්වලට අදාළ සමරු ඵලක වල අග්‍රාමාත්‍යවරිව නම ඇතුළත්ව තිබුණේ දැයි අප පරීක්ෂාවට ලක් කළේ ය.  

පසුගිය අප්‍රේල් 23 වැනිදා අග්‍රාමාත්‍යවරිය අතින් විභාග දෙපාර්තමේන්තුවේ නව බහුකාර්‍‍යය ගොඩනැගිල් අතින් ජනතා අයිතියට පත් කෙරුණු අතර එය සනිටුහන් කරමින් විවෘත කෙරුණු සමරු ඵලකයේ කිසිදු තැනක දේශපාලනඥයින්ගේ නම් සඳහන්ව නොතිබිණ. මේ අතර වව්නියාව විශ්වවිද්‍යාලයේ නව පුස්තකාලය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය අගෝස්තු 2 වැනිදා සිදුව තිබූ අතර එහිදී නිරාවරණය කරනු ලැබූ සමරු ඵලකයේ ද කිසිදු දේශපාලනඥයෙකුගේ නමක් සඳහන්ව නොමැත. 

සමරු ඵලකවල නම් ඇතුළත් කිරීම ගැන කැබිනට් ප්‍රකාශකවරයාගේ මතය  

පසුගිය ජූලි 11 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවේදී නිරාවණය කරන ලද සමරු ඵලකයක අමාත්‍යවරයාගේ නම සඳහන්ව තිබීම පිළිබඳව විමසා සිටියේ ය.  

එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිපත්තියක් ලෙස සමරු ඵලකවල නම් දැමීමට එකඟ නොමැති බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය විවෘත කරන ලද ආරාධනය මත එම අවස්ථාවේ සමරු ඵලකය විවෘත කළ බවත් විවෘත කළ පසු නම් සඳහන් කර ඇති ආකාරය දුටු බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 

කෙසේ වෙතත් වසර ගණනාවකට පසු එම පාසලට ගොඩනැගිල්ලක් ලැබුණු පළවෙනි අවස්ථාව එය බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ, සමරු ඵලකවල නම් සඳහන් කිරීම ප්‍රතිපත්තියට විරුද්ධ නමුත් එම අවස්ථාවේ සමරු ඵලකය ඉවත් කරන ලෙස ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍යයේ වීරයෙක් වීමට හැකිව තිබුණ ත් එම අවස්ථාවේ එවැන්නක් සිදු කිරීම සුදුසු නොවන බව ඔහු පැහැදිලි කළේ ය. තව ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව ආයතන ද කටයුතු කරනු ඇතැයි, අපේක්ෂා කරන බව  සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සමරු ඵලකවල දේශපාලනඥයින්ගේ නම් සඳහන් නොකරන ලෙස  ලිඛිතව චක්‍ර ලේඛයක් මගින් ආයතනවලට දැනුම්දී නොමැති බවයි. අමාත්‍යවරයාගේ පැහැදැලි කිරීම ඇතුළත් වීඩියෝව මෙතැනින් 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

අපගේ කරණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, අග්‍රාමාත්‍යවරිය සමරු ඵලකයක් නිරාවරණය කරන අයුරු දැක්වෙන ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් නොව එය ඉන්දීය ආධාර යටතේ ඉදිකරන ලද බහු වාර්ගික ත්‍රෛභාෂා පාසල ශ්‍රී ලංකා රජයට භාර දෙන අවස්ථාවේ නිරාවරණය කරන ලද සමරු ඵලකයේ ඡායාරූපයක් බවයි. තවද සමරු ඵලකවල දේශපාලනඥයින්ගේ නම් සඳහන් කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවුණද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ඉල්ලීමක් මත එලෙස ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරියගේ නම් ඇතුළත් කිරීමට කටයුතු කළ බව අධ්‍යාපන අමාතංශය ද කරුණු දක්වා සිටිනවා.

Avatar

Title:ජනපති සහ අගමැතිගේ නම් සඳහන් සමරු ඵලකයක සංස්කරණය කළ ඡායාරූපයක් ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *