දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේග ආණ්ඩුවට සහය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරන අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වුණා. එහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ඒකාබද්ද බයියන්ට හොදවයින් අමතන සජිත්” ලෙස සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් හුවමාරු වුණේ, වත්මන් ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයට විශේෂයෙන් පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන්ට සජිත් ප්‍රේමදාස මහතා බනින අවස්ථාවක් ලෙසට හඟවමින් වීඩියෝවක් පළ කරමිනි.
එම වීඩියෝවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය මෙලෙසින්.
“රටේ මහජන මුදල් සොරාකාපු පුද්ගලයින්, නීතිය හමුවට ගෙන එනකොට ඒ අයට සුදුහුණු ගාන්නට උත්සහ කරන සොරුන් කොට්ඨාසය නියෝජනය කරන ඒකාබද්ධ හොරුන්ගේ කොම්පැනිය කියනවා අනේ මේ කරන්නේ දේශපාලන පළි ගැනීමක් කියලා. මට ඇහුණා හොරු රැළ බේරගන්නට ඉදිරිපත් වන මේ ඒ්කාබද්ධ හොරුන්ගේ සංගමයේ සාමාජිකයෝ කියනවා අනේ අපිට තියෙන්නේ අධිකරණයේ පිහිට පමණයි.එක පැත්තකින් කියනවා අධිකරණයේ පිහිට තියෙනවලු අනික් පැත්තට කියනවා තමන් කරන වැරදි අධිකරණයට ගෙන යන කොට මේ රටේ මූල්‍ය වංචාවන් ගෙන යන කොට දැන් කියනවා මේ කරන්නේ, දේශපාලන පළි ගැනීම්ලු”
“මේවත් අහගෙනම නුගේගොඩ යං…” යන තේමාවෙන් මෙම වීඩියෝව හුවමාරු වී තිබු තවත් අවස්ථාවක් පහතින්.

සත්‍ය වශයෙන් ම විපක්ෂනායක විසින් මේ ආකාරයෙන් ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
වත්මන් ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත ජන රැලියක් මේ මස 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබේ.
මේ සඳහා මීට පෙර සමගි ජන බලවේගය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ නව ජනතා පෙරමුණ යන පක්ෂ නියෝජනය කරමින් විශාල පිරිසක් මේ සඳහා එක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.
නමුත් මේ වන විට සමගි ජන බලවේගය මෙම ජන රැලිය සඳහා සහභාගී නොවන බවට දන්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දැක් වූ අදහස් පහතින්.
මේ පිළිබඳ මෙම රැළියට සහභාගි වන අනෙකුත් පක්ෂ වල සාමාජිකයන් ද, සඳහන් කර තිබුණේ, සමගි ජන බලවේගයට ආරධනා කරනු ලැබුවත්, ඔවුන් මෙම අවස්ථාවට සහභාගී නොවන බවට දන්වා ඇති බවයි. කෙසේ වෙතත් මෙම රැලිය සඳහා ආශිර්වාද කරන බවක් සජබ පවසා ඇති බවට ඔවුන් සඳහන් කර තිබුණේ මෙලෙසින්.
සමගි ජන බලවේගය විසින් මෙම ජන රැලියට සහභාගී නොවීම අරඹයා ඊට හේතුව වශයෙන් විපක්ෂ නායක විසින් පවසන බවට දක්වා තිබූ ඉහත වීඩියෝව අප පරීක්ෂාවට ලක් කළේ, සජබ නායක ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් එවන් ප්‍රකාශයක් මෑතකදී සිදු කර ඇත්දැයි යන්නයි.
නමුත් ඔහු විසින් ජාතික ජන බලවේගයට පක්ෂව මේ ආකාරයෙන් ප්‍රකාශයක් කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා හෝ දේශපාලන කතාවක හෝ මෑතක වාර්තා වන අයුරු දැක ගන්නට නොලැබේ.
තවදුරටත් මෙම ප්‍රකාශය පිළිබඳ කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, මෙම ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරනු ලබන්නේ, 2016 වසරේ ඔහු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ අවස්ථාවේදී අතුරුගිරිය, පනාගොඩ ප්‍රදේශයේ ඉදිකළ නිවාස ඉදිකිරීමක මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු විසින් සිදු කරන ප්‍රකාශයක් බව දැක ගන්නට ලැබෙනවා. එම වකවාණුවේ පැවතියේ යහපාලන ආණ්ඩුව බැවින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ එවකට විපක්‍ෂයේ සිටින මන්ත‍්‍රිවරුන් 50කට ආසන්න පිරිසක් විසින් පිහුටුවා ඇති ඒකාබද්ධ විපක්ෂයටය.
එම සංවිධානය බොහෝ දුරට මහින්ද රාජපක්ෂ හිතවාදීන්ගෙන් සමන්විත වූ අතර එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ එිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ පරිපාලනය දැඩි ලෙස විවේචනය කරමින්. ජාතික ලැයිස්තුවෙන් පරාජිත හිතවතුන් පාර්ලිමේන්තුවට පත් කිරීමට සිරිසේන මහතා ගත් තීරණය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි වූ ඩිව් ගුණසේකර සහ ජී එල් පීරිස් වැනි පාර්ලිමේන්තුවෙන් පිටත පුද්ගලයින් ද මෙම සන්ධානයට ප්‍රමුඛව ඇතුළත් වි තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයා වූයේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනය. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ එකතු වී නොමැත. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්.
ඒ අනුව තහවුරු වන්නේ, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙලෙසින් පවසන්නේ, වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවට පක්ෂව වත්මන් ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධව සිදු කරන ප්‍රකාශයක් නොවන බවකි.
එමෙන් ම අප සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් ද, මේ පිළිබඳ විමසා සිටි අතර ඔවුන් තහුවරු කරන්නේ ද, මෙවැනි ප්‍රකාශයක් වත්මන් ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සඳහන් කර නොමැති බවයි. මෙය පැරණි වීඩියෝවක් බව ත්, ලබන 21 වන දා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ ජන රැලියට සමගි ජන බලවේගය සහභාගී නොවූවත්, ඊට විරුද්ධ නොවන බව ත්, ඔවුන් පෙන්වා දුන්නා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශයක් සිදු කරන බවට දක්වා තිබූ ෆේස්බුක් වීඩියෝව, මෑතකදී ඔහු විසින් සිදු කළ ප්‍රකාශයක් නොවන බවයි. 2016 වසරේ යහපාලන ආණ්ඩුව සමයේ නිවාස ආමාත්‍ය ලෙස කටයුතු කරනු ලැබූ විපක්ෂ නායකවරයා එවකට පැවති ඒකාබද්ධ විපක්ෂයට සඳහන් කරන ප්‍රකාශයක් මෙලෙසින් වර්තමානයේ ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක් නොමග යන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබේ.
ලබන 21 වන දා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ ජන රැලියට සමගි ජන බලවේගය සහභාගී නොවූවත්, ඊට විරුද්ධ නොවන බව ත්, ඔවුන් පෙන්වා දුන්නා.
Title:ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකගෙන් දෝෂා රෝපණයක්?
Fact Check By: Pavithra SandamaliResult: Misleading


