දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2026 වසරට බලපැවැත්වෙන අයවැය යෝජනාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීමට මිලියට 12,500ක් වෙන් කර ඇති බව දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ඇතැම් මාධ්‍ය ද වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“මන්ත්‍රීල 225ට කැබ් දෙන්න මිලියන 12500 ජනතාවට යන්න බස් 600ට මිලියන 3600යි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණේ, 2026 වසර සඳහා වන රජයේ අයවැය ලේඛනයේ මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ප්‍රතිපාදන ලෙස දක්වමින්.

එම තේමාවෙන්ම හුවමාරු වන තවත් සටහනක් පහතින්.

මෙම සටහන්වල දැක්වෙන කරුණ සත්‍යයද, යන්න පිළිබඳ බොහෝ දෙනෙකු විමසා සිටි අතර අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
එළැඹෙන 2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ(7) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කැබ් රථ ලබා දීම සඳහා රු. මිලියන 12,500 ක මුදලක් වෙන් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප විසර්ජන පනත් කෙටුම්පත හරහා පරීක්ෂා කරනු ලැබුවා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂයෙන් වාහන ලබා දීමක් පිළිබඳව ඍජුව සඳහන් කිරීමක් දැක ගන්නට නොලැබේ. නමුත් මෙහි යෝජනා යටතේ “රජයේ ආයතනවලට හා පළාත් පාලන ආයතනවලට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ලබා දීම” සඳහා මුදලක් වෙන් කර තිබුණා.
මේ යටතේ, රජය සතු දැනට පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් නොවීමත්, පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ බොහෝමයක් පැරණි ඒවා වීමත් හේතුවෙන් ඒවා අළුත්වැඩියා කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ත්, දක්වා තිබු අතර, මෙම තත්ත්වය රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට බාධාවක් වී ඇති බව සඳහන් කරමින් එම තත්ත්වය සලකා බලා, රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12,500 ක් වෙන් කිරීමට යෝජනා කර ඇති බව සඳහන් කර තිබේ.
මෙම ප්‍රතිපාදනය පොදුවේ රජයේ ආයතන සහ පළාත් පාලන ආයතන සඳහා මෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන වාහන මිලදී ගැනීම් සඳහා ඉදිරිපත් කර ඇති අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා පමණක් එම මුදල වෙන් කර ඇති බවට සඳන් නොවේ.

කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද ප්‍රධාන මාධ්‍ය නාලිකාවක් වැරදි අර්ථකථනයක් ලබාදෙමින් අදාළ පුවත වාර්තා කර තිබු බව පෙන්වා දෙමින් ද පැහැදිලි කර සිටියේ , හුවමාරු වන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවයි. ඔහුගේ පැහැදිලි කිරීම පහතින්.
ජනපතිගේ අයවැය ප්‍රකාශය
ජනාධිපතිවරයා විසින් වාහන, වාහන බලපත්‍ර (පර්මිට්), සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව අයවැය කතාවේදී සඳහන් කරනු ලැබීය.
රජය විසින් දේශපාලකයන්ට සහ ඉහළ පෙළේ නිලධාරීන්ට මෙතෙක් තිබු අනවශ්‍ය වරප්‍රසාද කපා හැරීමට කටයුතු කළ බව ත්, මෙම ක්‍රියාවලියේ අරමුණ වන්නේ සාධාරණත්වය සහ සමානත්වතාව මත පදනම් වූ නව සමාජයක් ගොඩනැගීම බව ත් ඔහු සඳහන් කළා.
රාජ්‍ය වාහන සමූහය අලුත් කිරීමේ සැලසුම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමේ පදනම සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන මිලදී ගනු ලබන්නේ ධූර කාලය අවසානයේ නැවත ආපසු භාර දීමේ පදනම් මත බව ත්, රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන මිලදී ගැනීමට මූලික වශයෙන් රුපියල් මිලියන 12500ක් වෙන් කිරීමට යෝජනා කරන බව ත්, අමාත්‍යාංශවලට වාහන නොමැති නම්, අමාත්‍යාංශයට වාහනයක් ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.
එමෙන් ම මෙම තීරණයට හේතුව වන්නේ පවතින රාජ්‍ය වාහන අලුත්වැඩියා කිරීමේ පිරිවැය විශාල ලෙස ඉහළ යාම වන අතර 2020 වසරේදී රාජ්‍ය වාහන අලුත් වැඩියා කිරීමේ පිරිවැය රුපියල් බිලියන හතක් වන බව ත්, 2025 වසරේදී මෙම පිරිවැය රුපියල් බිලියන 25ක් දක්වා ඉහළ ගොස් ඇති බව ත්, පවසනු ලබනවා. මන්ත්‍රීවරුන්ට ධුර කාලය අවසන් වන විට නැවත ලබා දිය යුතු කැබ්රථ ලබා දෙන බවක් පවසනවා.
ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබුණේ, වාහන බලපත්‍ර(පර්මිට්) නිකුත් කිරීමේ සංස්කෘතිය අවසන් කළ යුතු බවයි. එමෙන් ම ඔහු අවිවාදයෙන්ම ප්‍රකාශ කළේ නව බලපත්‍ර නිකුත් නොකරන බවයි. මේ වන විට පවතින බලපත්‍ර සමාලෝචනය කරන අතර දැනට වාහන බලපත්‍ර 20,000ක් විතර එළියේ ඇති අතර, ඒවා සම්බන්ධයෙන් අධ්‍යනයක් කරමින් ඇති බව ත්, ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එමෙන් ම වාහන වෙළඳපොළ විවෘත කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරීමේදී සඳහන් කරනු ලැබීය. වාහන වෙළඳපළ විවෘත කිරීම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ 30වන දා වන විට වාහන සඳහා එල්සී (LC) විවෘත කිරීම් ඩොලර් මිලියන 193ක් දක්වා සිදුවී ඇති බව ත්, මෙය පසුගිය වසරේ නොතිබුණු වියදමක් බව ඔහු පෙන්වා දුන්නා.
පොදු ප්‍රවාහනය සඳහා වාහන වෙන් කිරීම
මේ අතර තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය යටතේ “මහජන ප්‍රවාහන සේවාවක් – කාර්යක්ෂම ගමනාන්තයක්” යන රජයේ දිගුකාලීන දැක්ම ළඟා කර ගන්න කාර්යක්ෂම හා තිරසාර මගී ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වන අතර ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 67,200 ක් වෙන් කර ඇති බව ත් ජනාධිපතිවරයා සඳහන් කළා.
පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම පිණිස දුර ගමන් සේවා සඳහා බස් රථ 600 ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ධාවනයට එක්කිරීමට නියමිත බව ත්, එහි මූලික කටයුතුවලට රුපියල් මිලියන 3,600 ක් වෙන් කර ඇති බව ත්,
එසේම ශ්‍රී ලංගම බස් රථ 307ක ගෙවී ගිය එන්ජින් කට්ටල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 2,062 ක් ලබන වසර සඳහා වෙන් කර ඇති බව ත් ජනාධිපති අනුර පවසා තිබුණා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සහ වැඩපොළවල් සඳහා අවශ්‍ය නව මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපකරණ සපයා ගැනීම සඳහා රුපියල් මිලියන 790 ක් වෙන් කර ඇති බවද සඳහන්.
දුම්රිය සේවාව තවදුරටත් කාර්යක්ෂම හා මගී හිතැති සේවාවක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නව ඩීසල් බලවේග කට්ටල 5 ක් ලබා ගැනීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 3,300 ක් වෙන් කර තිබෙනවා. තවද, දුම්රිය මගීන් සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත්‍ර ලබා දීම ඇතුළු දුම්රිය සේවාව ඩිජිටල්කරණය කිරීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන බවට ජනපති පෙන්වා දෙනවා.
තවද දිවයිනේ ඇතැම් මාර්ගවල බස් රථ ධාවනයේ දී ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙන් පුද්ගලික අංශයේ සේවා සපයන්නන් සිය බස් රථ ධාවනය සීමා කිරීමට පෙළඹී ඇති බව පෙනී යනවා. මේ හේතුවෙන් එම ග්‍රාමීය ප්‍රදේශවල මගී ජනතාව දැඩි අපහසුතාවන්ට ලක්වෙනවා. එවැනි මාර්ග විධිමත්ව හඳුනාගෙන, තිරසාර ප්‍රවාහන සේවයක් ලබා දීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනා කරන අතර අන්තර්කාලීන විසඳුමක් ලෙස රුපියල් මිලියන 2,000 ක අතිරේක ප්‍රතිපාදනයක් 2026 වසර සඳහා වෙන් කිරීමට යෝජනා කර තිබුණා.
එමෙන් ම අලි-මිනිස් ගැටුම් අවම කිරී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය වාහන 294 ක් සහ නවීන සන්නිවේදන උපකරණ ලබා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්පූර්ණ අයවැය යෝජනාව මෙතනින්.
ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර සිටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමේ පුරුද්ද නිරන්තරයෙන් විවේචනය කළ අතර විශේෂයෙන් රටේ ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මහජන මුදල් අනිසි ලෙස භාවිතා කිරීමක් ලෙස සහ බදු ගෙවන්නන්ගේ වියදමින් උසස් ජීවිතයක් ගත කරන බවට චෝදනා කරනු ලැබීය.ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේග නායකයින්, ජාතික ජන බලවේග රජයක් කිසිවෙකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා නොගන්නා බවට හෝ නිකුත් නොකරන බවට ප්‍රතිඥා දී තිබුණා. පෙර බලපත්‍ර අනිසි ලෙස භාවිතා කර මුදල්, ලාභ සඳහා විකුණා දැමූ බවට චෝදනා එල්ල කරමින් මහජන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දීම සදහා සුඛෝපභෝගී වාහන සඳහා භාවිතා කරන අරමුදල් සෞඛ්‍ය සේවාහෝ වෙනත් මහජන අවශ්‍යතා වැනි අත්‍යවශ්‍ය සේවාවන් වෙත යොමු කළ යුතු බව ජාතික ජන බලවේගය පවසා තිබුණා.
තීරුබදු රහිත බලපත්‍ර වෙනුවට, NPP යෝජනා කළේ රජය විසින් මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට නිල රාජකාරි සඳහා පමණක් පිරිවැය ඵලදායී, ඉන්ධන-කාර්යක්ෂම වාහන ලබා දෙන බවත්, ඔවුන්ගේ ධුර කාලය අවසානයේ ඒවා ආපසු ලබා දෙන බවත්ය. මතභේදාත්මක බලපත්‍ර යෝජනා ක්‍රමයකින් තොරව මන්ත්‍රීවරුන්ට තම රාජකාරි ඉටු කළ හැකි බව සහතික කිරීම මෙම ප්‍රවේශයේ අරමුණු බව ත් ඔවුන් පෙන්වා දෙනු ලබයි.
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතය. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6 ට සිදු කිරීමට නියමිතය. අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2026 අයවැය යෝජනාවෙන් මන්ත්‍රීල 225ට කැබ් දෙන්න මිලියන 12500ක් වෙන් කර ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් නොමග යන සුළු බවයි. මෙම මුදල් වෙන් කිරීම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන මිලදී ගැනීම ඇතුළත් වන නමුත්, මෙම වෙන් කිරීම රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීම ද, අයත් වේ.
Title:පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබ් දෙන්න මිලියන 12,500ක් අයවැයෙන් වෙන් කරලද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading


