දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
බුදු පිළිම වහන්සේ නමක් ඉවත් කළ බව කියන සිදුවීමක් මුල් කරගනිමින් පසුගිය නොවැම්බර් 16 වැනිදා ත්‍රිකුණාමලයේදී ප්‍රදේශවාසීන් හා පොලීසිය අතර නොසන්සුන් තත්ත්වයක් වාර්තාවී තිබූ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, වීඩියෝ දර්ශන මෙන්ම ඡායාරූප ද විවිධ කෝණයන් ඔස්සේ සරසරණය වෙමින් තිබුණා. ඒ අනුව අප මෙම සිදුවීම පිළිබඳව කරණු විමසා බැලීමක් සිදු කිරීමට තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ත්‍රීකුණාමලය ශ්‍රී සම්බෝධි විහාරයේ ඉදිකිරිම් මාළිමාවේ දෙමළ පොළිසිය මැදිහත්වෙලා නතර කලා. ඔන්න ඊයේ පොළිසිය ඇවිත් බුදු පිළිමයත් ඉවත් කරලා, පංසලත් ඉවත් කරා. අද රාජපක්ෂගේ උපන් දිනය නේද.
ඊදිරියෙදි සටහන් කරන්නම්. වෙන්නේ මොකක්ද කියලා…’’
යනුවෙන් සඳහන් කරමින් මෙම පහත වීඩියෝ දර්ශනය ෆේස්බුක් ඔස්සේ සංසරණය වන අතර එහි දර්ශන පෙළට අනුව එම ස්ථානයේ පොලීසිය, ප්‍රදේශවාසීන් , භික්ෂූන් වහන්සේ අතර කිසියම් නොසන්සුකාරී තත්ත්වයක් හටගෙන ඇති බවක් පෙන්නුම් කරයි.
සමාජ මාධ්‍ය ජලා ඔස්සේ ඉතා වේගයෙන් හුවමාරු වූ එම සිදුවීම පිළිබඳ Factcrescendo සිදුකළ කරුණු පැහැදිලි කිරීම පහතින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන භූමියේ තැන්පත් කළ බව කියන බුදු පිළිම වහන්සේ ඉවත් කිරීමට පසුගිය (16) වැනිදා රාත්‍රියේ පොලිසිය පියවර ගැනීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණා. එම විහාරස්ථානය 1951 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති විහාරස්ථානයක් බවත් එහි පවත්වාගෙන ගිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත්ව තිබු බවත් යළි එහි කටයුතු ආරම්භ කිරීමට විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංසතිස්ස හිමියන් සහ දායක පිරිස තීරණයක් ගෙන තිබූ බවත් එහි සඳහන් වුණා.
ඒ අනුව පෙරදින උදෑසන එහි මුල්ගල් තබා පස්වරුවේ එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට පිරිස කටයුතු කර ඇත. කෙසේ වෙතත් මෙය අනවසර ඉදිකිරීමක් බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවට පොලිසිය එම ස්ථානයේ ස්වාමීන් වහන්සේ දැනුවත් කර ඇති අතර මෙවැනි පසුබිමක් තුළ එම භූමියේ තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට පොලිසිය (16) රාත්‍රියේ කටයුතු කර ඇති අතර එහිදී මෙසේ හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට විරෝධතා එල්ල වී ඇතැයි, ද එම පුවත් වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව තිබුණා. කෙසේ වෙතත් පසුව බුදු පිළිම වහන්සේ රැගෙන යාමට පොලීසිය කටයුතු කර තිබූ අතර පොලිසිය විසින් රැගෙන ගිය බුදු පිළිම වහන්සේ 17 වැනිදා පස්වරුවේ යළි එම ස්ථානයට වැඩම කරවා පෙර තැන්පත් කර තිබූ ස්ථානයේ ම යළි තැන්පත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා. මෙකී සිදුවීමට අදාළ මාධ්‍ය වාර්තා කරුණු වාර්තා කර තිබූ අකාරය මෙතැනින් , මෙතැනින් සහ මෙතැනින්
මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමියන් ද, මෙම සිදුවීම හෙළා දකිමින් ජනපතිට ලිපියක් යොමු කර තිබුණා.

විහාරස්ථාන දායක සභාවේ ලේකම් සහ නගර හා කඩවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් ගුරු සංගමයේ ලේකම්
රටේ දැඩි අවධානයකට ලක් වූ ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ සිදුවීම සම්බන්ධයෙන් කරණු විමසීම සඳහා අප එම විහාරස්ථානයේ විහාරස්ථාන දායක සභාවේ ලේකම් සහ නගර හා කඩවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් ගුරු සංගමයේ ලේකම්වරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.
ලේකම්වරයා සඳහන් කළේ, 1951 වසර දක්වා ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය 1957 වසරේදී එම සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය ලෙසින් නම් කර ඇති බවයි.

තවද මෙම විහාරස්ථානයේ පවත්වා ගෙන ගිය සම්බෝධි ජයන්ති බෝධිවර්ධන දහම්පාසල ත්‍රිකුණාමලයේ පළමු දහම්පාසල වන බව ද ඔහු සඳහන් කළා. පසුකාලීනව හටගත් යුදමය තත්ත්වයත් සමග ආරක්ෂක හේතුන් මත විහාරස්ථානය කොටුව බෞද්ධ මධ්‍යස්ථානය පිටිහි සර්වෝදය ගොඩනැගිල්ලට ගෙන ආ බවත් ඉන්දීය හමුදාව පිටව ගිය පසු මෙම ස්ථානය යුද හමුදාව විසින් පාලනය කර ඇති බව ලේකම්වරයා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, 2002 වසර වනවිටත් එම ස්ථානයේ ගොඩනැගිල්ලක් තිබූ බවයි.

2004 වසරේ සුනාමි ව්‍යසනයත් සමග පසුව මෙම ගොඩනැගිල්ල පිහිටි ස්ථානය සම්පූර්ණයෙන් ම විනාශ ගොස් තිබූ බවත් අධාර නොලැබීම තුළ විහාරාධිපති වහන්සේට යළි ගොඩනැගිල්ල ඉදි කර ගැනීමට නොහැකි වූ බව ද ඔහු සඳහන් කළා. පසුකාලීනව වෙරළ ඛාදනය සිදුවන බව පවසමින් නගර සභාව විසින් එම ස්ථානයේ ෆයිනස් ගස් සිටුවීමක් සිදු කිරීමට තීරණය කිරීමත් සමග විහාරධිපති ස්වාමීන් වහන්සේ ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර පසුව අදාළ ආයතන ද දැනුවත් කරමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ යම් ඉදි කිරීමක් සිදුකරන අවස්ථාවේ එම වැට කපා ඉවත් කර දිය යුතු බව දන්වමින් දිසාපතිවරයා ත්‍රිකුණාමලය නගර සභාවට ලිඛිතව දැනුම් දී තිබූ බව ද ලේකම්වරයා කියා සිටියා.

කෙසේ වෙතත් 2014 වසරේදී පමණ විහාරාධිපති හිමියන් පන්සල් භූමියට අයත් ඉඩමේ වැට ඉදි කළ ද කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී එම වැට කඩා ඉවත් කර ඇති බව ලේකම්වරයා සඳහන් කළා. ඉන්පසු 2014 වර්ෂයේදී ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම භූමියෙන් පර්චස් 40ක පූජා භූමි ඔප්පුවක් මගින් විහාරස්ථානයට ලබාදී තිබුණා.

වැට සකස් කිරීමට මුදල් නොමැති නිසා මෙම ප්‍රෙද්ශය විවෘත ප්‍රදේශයක් ලෙස තිබී ඇති අතර පසුව හිස් භූමියක්ව පැවති මෙම ඉඩම අත්පත් කර ගැනීමේ උත්සාහයක් පවතින බවට දැන ගැනීමත් සමග , එහි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට එවක දායක සභාවේ ලේකම්වරයා ඉදිරිපත් වී ඇත. ඒ අනුව ආදායමෙන් කොටසක් විහාරස්ථානයට ලබා දීමේ පොරොන්දුව මත මෙහි කොෆි ෂොප් එක ඉදි කර ඇති බව ලේකම්වරයා සඳහන් කළා. ඒ සඳහා අවශ්‍ය කරන අවසරය විහාරාධිපති හිමියන් මැදිහත් වී ලබා ගෙන ඇති බවත් පැවසූ ලේකම්වරයා කෙසේ වෙතත් පසුගිය දිනක බලධාරීන් විසින් මෙය අනීතික බවට ලිපියක් යොමු කර තිබූ බවත් ඒ අනුව කොෆි ෂොප් එක නිසා ප්‍රශ්නයක් වෙන නිසා එය ඉවත් කර ධර්මශාලා ගොඩනැගිල්ල තාවකාලිකව ඉදි කිරීමට බලාපොරොත්තු වන බව තීරණය කළ බවත් ලේකම්වරයා අප සමග කියා සිටියා.




ත්‍රිකුණාමලය නගර සභාවේ වැඩබලන කොමසාරිස්
ත්‍රිකුණාමලය නගර සභාවෙන් අප මේ පිළිබඳව විමසා සිටි අතර එහි වැඩබලන කොමසාරිස්වරයා සිද්ධිය පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා.
කොමසාරිස්වරයා කියා සිටියේ, වෙරළ කලාපය තුළ තනි පුද්ගලයෙකුට අයත් ඉඩම් තිබිය හැකි නමුත් එහි කිසියම් ඉදි කිරීමක් සිදු කිරීමේදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුව ඇති බවයි. තව ද අදාළ සීමාව ඉක්මවා ගොස් ඉදි කිරීම් සිදු කිරීමේ හැකියාවක් නොමැති බව ද කොමසාරිස්වරයා සඳහන් කළා. කෙසේ වෙතත් පන්සලට අයත් මෙම භූමියේ ආපන ශාලාවක් ඉදිකිර ඇති අතර මෙම ආපනශාලාවේ ඉදි කිරීම් අදාළ සීමාව ඉක්මවා සිදු කර ඇති බවත් කීප අවස්ථාවක් ඒ පිළිබඳව අදාළ හිමිකරුවන් දැනුවත් කර ඇති බවත් කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. මෙම ප්‍රදේශයේ මෙම ආපන ශාලාව ද අතුළුව ආපන ශාලා 6ක් කඩා ඉවත් කිරීමේ නියෝගයක් ලැබුණු බවයි.
ආපන ශාලා හිමිකරුවන් මේ සඳහා කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබූ බවත් ඒ අනුව ලබා දීතිබූ කාලය ඉකුත් 14 වෙනිදායින් අවසන් වී තිබේ. කෙසේ වෙතත් අනවසර ඉදිකිරීමක් ලෙස දන්වා තිබූ මෙම ආපන ශාලාව බවත් නොකොට පසුගිය 16 වනදා එම ඉඩමේම වෙනත් ස්ථානයක හදිසියේම බුද්ධ ප්‍රතිමාවක් වැඩම කරවා ඉදිකිරීමක් සිදු කොට ඇති බව කොමසාරිස්වරයා සඳහන් කළා. වැඩබලන කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, මෙහි පැවතියේ විහාරස්ථානය හෝ දහම් පාසල පිළිබඳ ප්‍රශ්නයක් නොව, ආපනශාලාව පිළිබඳ ප්‍රශ්නයක් බවයි. ෙ
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්
මෙම සිදුවීම සම්බන්ධව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ අතර එම දුරකතන ඇමතුම් වලට පිළිතුරු නොලැබුනු අතර අප තවදුරටත් ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ දරන අතර ඔහුගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා බීබීසී සිංහල වෙත පවසා තිබුණේ, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරස්ථානයට අයත් භූමියේ ඇති හෝටලයක් වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝණය කරමින් ඉදි කර ඇති නිසා එය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරතුර මෙලෙස එම ස්ථානයේ නැවත ස්වාමීන් වහන්සේලා විසින් ඉදිකිරීමක් ආරම්භ කර ඇති බවයි.
අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ, එම ඉදිකිරීම සිදු කිරීමට අවශ්‍ය නම්, අදාළ ක්‍රමවේදය ඔස්සේ අවසර ලබා ගැනීමට හැකියාව තිබූ බවයි. එම ක්‍රමවේදය යටතේ ඉදිකිරීම් ආරම්භ කළේ නම් මෙවැනි කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවීමට ඉඩ තිබූ බව ද ඔහු බීබීසීයට පවසා තිබුණා.
තව ද ඉඩම අයිති විහාරස්ථානය සතු වුවත් වෙරළ තීරයේ ඉදිකිරීම් සිදුකිරීමේදී වෙරළින් මීටර් 10ක් ඈතින් ඉදි කිරීම් කළ යුතු නමුත් අදාළ අපනශාලාව වෙරළෙන් මීටර් 4ක පමණ දුරින් ඉදිකර ඇති බවයි. එමෙන්ම එය තව විශාල කිරීමට ද කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේට නීත්‍යනුකූල ලියවිලි සහිතව දැනුම් දී ඇති බවත් අධ්යක්ෂ ජනරාලවරයා ප්‍රකාශ කර තිබේ. බීබීසී වාර්තාව මෙතැනින්
ප්‍රාදේශීය වාර්තාකරුවන්
තවමත් රට තුළ කතාබහට ලක්වන ත්‍රිකුණාමලය විහාරස්ථානයේ සිදුවීම හා සම්බන්ධ ඉහත කරණු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ප්‍රාදේශීය වාර්තාකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගත්තා. එහිදී ඔවුන් පසුගිය 17 වැනිදා සිදුවීම අප හමුවේ තහවුරු කළ අතර ඔවුන් පවසන්නේ. 1951 වසරේ සිට මතභේදයට තුඩු දී ඇති ස්ථානයේ විහාරස්ථානයක් පැවති බවට සාක්ෂි සහ ලියකියවිලි ඇති බවත්, ඉඩමේ අයිතිය විහාරස්ථානයට තිබුණ ද එහි සංරක්ෂණ කටයුතු සිදුකර ඇත්තේ, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් බවයි.
බුදු පිළිමය තැන්පත් කරපු ස්ථානයට අඩි පහක් පමණ වම් පසින් වන්නට විශාල බෝ ගහක් සහ තවත් බුදුපිළිමයක් ඇති බවත් ඒ අනුව එම ස්ථානයේ කිසිදු බුදු පිළිමයක් නොමැති බවට පළ වන වාර්තා අසත්‍ය බව ඔවුන් ප්‍රකාශ කළා. වත්මන් ඡායාරූපයක් පහතින්.

ඡායාරූප අනුග්‍රහය – Shabeer Mohamed
Google View හරහා පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ (2021 දත්ත) බෝ ගහක් මෙන් ම බුදුපිළිමයක් ස්ථාපිත කර ඇති අයුරු දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.
ඊට යාබදව පිහිටි පන්සලය අයත් මෙම ගැටලුව උද්ගතව ඇති පර්චස් හතළිහක ඉඩමේ පිහිටා ඇති Dutch Bay Coffio නමැති මෙම වෙළඳසල පිහිටි ඉඩමේ නව ඉදිකිරීමක් සිදු කර තිබූ අයුරු

Dutch Bay Coffio නමැති මෙම වෙළඳසල


මෙම ඉඩම පිහිටා ඇති ආකාරය අවබෝධය ලබා ගැනීම සඳහා එහි වෙළඳසැල සහ නව ඉදිකිරීම දැක්වෙන වීඩියෝවක් පහතින්.
මෙම ඉඩම ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයෙන් විහාරස්ථාන සුභසාධක වෙළඳසැලක් ලෙස විහාරස්ථානයට ආදායම් මාර්ග නොමැති නිසා බද්දට ලබා දී තිබේ. එම වෙළඳසැල සඳහා ද, කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා ගෙන නොමැති බව ඔවුන් පවසනවා.
පවත්වා ගෙන ගිය මෙම වෙළඳසැලේ ඉදිකිරීමක් සිදු කිරීමට කණු සිටවීමට යාමේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නගර සභාව විසින් මෙය අවනසර ඉදිකිරීමක් ලෙසට පවසා එම කටයුතු නවතා දමා ඇති අතර ඉදිකිරීම සිදු කිරීමට අවසර ගත යුතු බව ට සඳහන් කිරීම නිසා නිවාස සංවර්ධන අධිකාරියට ගිය බව ත්, එහිදී ආයතනය 6කින් අවසර ලබා කළ යතු බව දැන්වීම නිසා, බෞද්ධ කටයුතු අමාත්‍යංශය, වෙරළ සංරක්ෂණ, සමුද්‍රිය පරිසර, පරිසර අධිකාරිය, නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරියේ අවසර ලබා ගෙන ඇති බව ත්, පසුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ විසින් පසුව ‘CCCRN/ADC/6578’ නමින් Permit එකක් ලබා දි තිබෙනා.
නමුත්,2024 වසරේදී ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාට එරෙහිව එය ‘අනවසර ඉදිකිරීමක් කරන බව කියමින් නගර සභාව විසින් නඩුවක් ගොනු කරන අතර සීමා මායිම ඉක්මවා ඔහු එම වෙළඳසැල පවත්වාගෙන යාම ඊට හේතුව වී තිබෙනවා.
ඉන්පසු 2025. 07. 18 වැනිදා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මෙම වෙළඳසැලට 2023 දී ලබා දී තිබූ අවසරය අවලංගු කිරීමට පියවර ගෙන තිබුණා.

ඡායාරූප අනුග්‍රහය – Shabeer Mohamed
පසුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා තමන්ට ඇති බලතල හරහා පොලිසියට මෙම වෙළඳසැල ඉවත් කර දෙන ලෙස නියෝගයක් නිකුත් ඇති අතර එම නියෝගයට අනුව ඉකුත් 04 වැනිදා පොලිසිය සහ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මෙම ඉදිකිරීම ඉවත් කිරීමට සූදානම් වී තිබේ. එම අවස්ථාවේ විහාරයේ පාර්ශවය සහ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ය දින 7කින් එය ඉවත් කිරීමට හෝ වෙනත් යම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට වරාය පොලිසියේදී පොරොන්දු වී ඇතැයි වාර්තාකරු සඳහන් කළා.
තව ද කලින් නගර සභාව ආපනශාලාව පවත්වා ගෙන යන පුද්ගලයාට විරුද්ධව 2024 දී පවරන ලද අනවසර ඉදිකිරීමේ නඩුවට අදාළව සාක්ෂියක් ලෙස ඇත්තේ, මෙම ආපනශාලාව බවත් ඒ අනුව එය ඉවත් කළ නොහැකි බවත් දන්වමින් පසුව මොවුන් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
කෙසේ වෙතත් තීරණයක් ගැනීම සඳහා විහාරයේ පාර්ශවයට දින 7ක් ලබා දී ඇති අතර එලෙස ලබාදී තිබූ දින 7 පසුගිය 14 වැනිදායින් අවසන් වී ඇති බව ත්, ඉක්පසු වැඩ කරන දිනය එළැඹෙන 17 වන දිනට පෙර මෙම ඉඩමේ බුදු පිළිමයක් ස්ථාපිත කොට ඉදිකිරීමක් සිදු කර ඇති බව ප්‍රාදේශිය මාධ්‍ය වාර්තාකරුවන් ප්‍රකාශ කළා. නිදහස් මාධ්‍යවේදී ශබීර් මොහොමඩ් මේ සම්බන්ධයෙන් දක්වා තිවූ සමාජ මාධ්‍ය සටහන මෙතනින්.
ත්‍රිකුණාමලයේ සිදුවීම පිළිබඳ පොලිසියේ පැහැදිලි කිරීම
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ සිදුවීමට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් අද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි සඳහන්ව ඇත්තේ, අදාළ සිදුවීම මුල් කර ගනිමින් අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බවයි. වෙරළ ආරක්ෂක කලාපයේ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිසියට ත්‍රීකුණාමලය වරාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි. පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාළ ඉදිකිරීම නතර කරන ලෙස දන්වා ඇතත් එය පිළිනොගෙන අදාළ ඉදිකිරීම සිදුකර ඇති බවයි. යම් හෙයකින් මෙම සිදුවීම දඩමීමා කර ගනිමින් යම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු මෙම බුදු පිළිමයට යම් කිසි හානියක් සිදු කල හොත් එය ප්‍රදේශයේ සාමය සහජීවනය පවත්වාගෙන යාමට විශාල ගැටළුවක් ඇති වීමට තුඩුදිය හැකි බැවින්බුදු පිළිම වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත වැඩම කරවා ගෙන ඒමට කටයුතු කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
තව ද කිසිඳු අවස්ථාවක මහා සංසරත්නයට හෝ මහජනතාවට පහර දීමක් සිදු කර නොමැති බව ත් පොලිස් ආරක්ෂාව යටතට ගත් බුදු පිළිම වහන්සේ නැවත වැඩම වීම සඳහා මහා සංඝරත්නයට සහ දායක සභාවට භාර දී ඇති බව ත් එහි සඳහන් වේ. සම්පූර්ණ නිවේදනය මෙතැනින්
ත්‍රිකුණාමලය විහාරස්ථානයේ සිදුවීම පිළිබඳව ජනපති ඇතුළු පක්ෂ විපක්ෂ මත දැක්වීම්
ආන්දෝලනයට තුඩු දී ඇති ත්‍රිකුණාමලය සිද්ධිය පිළිබඳව ජනාධිපතිවරයා නොවැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා. සිදුවීමේ මුල මැද අග පැහැදිලි කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ,16 වැනිදා එම ස්ථානයේ ආගමික ස්ථානයක් පිහිටුවීම වගේම වෙනත් කතාවක් ද ඇති බවක් පෙනෙන්නට ඇති බවයි.
කෙසේ වෙතත් අධිරණය විසින් අදාළ ස්ථානයේ අලුත් ඉදිකිරීම් සිදු නොකරන ලෙසත්, තිබෙන ඉදිකිරීම් ඉවත් නොකරන ලෙසටත් තීන්දුවක් ලබා ඇති අතර ඒ අනුව විහාරස්ථානයට අයත් භූමි කොටස වෙන් කර දුන් පසු අදාළ වැඩකටයුතු සිදුකළ හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළා. මේ වනවිට මෙම ප්රශ්නය අවසන් නමුත් මෙම සිදුවීම හරහා පැරණි ජාතිවාදී ක්‍රියා සඳහා කිසිවෙකුත් උත්සාහ කරන්නේ නම්, එවැනි දේ සඳහා රට තුළ කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා අවධාරණය කළේ, රටේ වර්තමාන සහ අනාගත දේශපාලන න්යායපත්ර ජාතිවාදය මත නොලියවෙන බව සියලු දෙනා තේරුම්ගත යුතුව ඇති බවයි.
මේ අතර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ත්‍රිකුණාමලය සිදුවීම සම්බන්ධයෙන් නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම කරණු පැහැදිලි කිරීමක් සිදු කරමින් පැවසුවේ, පසුගිය 16 වන දා රාත්‍රී තැන්පත් කරන ලද බුදු පිළිම වහන්සේ සම්බන්ධයෙන් යම් කඩා කප්පාලක්කාරී සිදුවීමක්, පිළිම වහන්සේට හානියක් සම්බන්ධව තොරතුරක් ලද බවත් ඒ අනුව පොලිසිය බුදුපිළිමය ඉවත් කර ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් බුදුපිළිම වහන්සේ යළි විහාරස්ථානයේ තැනපත් කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍යවරයාගේ අදහස් පළ කිරීම මෙතැනින්. මේ වන විට එම බුදු පිළිමවහන්සේ නැවත වැඩම කරවා තිබේ.
මේ අතර සිදුවීම සම්බන්ධව අදහස් දක්වමින් පූජා භූමි ඔප්පුවත් සහිත ස්ථානයක සිදුවන සංවර්ධනමය වැඩ කටයුතුවලට පොලිසී මැදිහත්වන්නේ කෙසේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නකර සිටියේ ය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ත්‍රිකුණාමලයේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ අතර ඔහු එහිදී බුදු පිළිම වහන්සේගේ ආරක්ෂාව සඳහා එය ඉවතට වැඩ කරවූ බවට පොලිසිය භාර අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය ප්‍රශ්න කළේ ය. මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, බුදුපිළිම වහන්සේ ඉවතට වැඩමකරවන විට පොලිසිය පහරදීම නිසා ස්වාමීන් වහන්සේ දෙනමක් රෝහලේගත වූයේ කෙසේද යනුවෙනි. මෙය ජාතිවාදී ප්‍රශ්නයක් බවට පත් නොකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.
මේ අතර ෂානක්කියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ඉරිදා උදෑසන නිවාඩු දිනයක මුල්ගල් තබා රාත්‍රී 9.30ට පිළිමයක් වඩම්මනවා යන කාරණාවේදීම මෙහි යමක් ඇති බවයි. තව ද 21 රැස්වීමට පෙර සූදානමක් ලෙස මෙය සිදු කර ඇති බවත්, 21 රැස්වීමට සෙනග ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් වෙනත් විදිහකින් එය සිදු කරන ලෙසත් නීතිවිරෝධි දෙවල් සිදු කර ජාතිවාදය වැපිරීමට කටයුතු නොකරන ලෙස ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත
ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධව දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන නීතිය වන්නේ 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත වන අතර මෙහි 31 වන වගන්තිය අනුව, වෙරළ කලාපය තුළ බලපත්‍රයකුත් නොමැතිව ගොඩනැගිලි, කුටි, හෝ වෙනත් සාධක ඉදි කිරීම සම්පූර්ණයෙන් ම තහනම් වේ. එවැනි ඉදි කිරීමක් හඳුනාගත් විට වෙරළ සංරක්ෂණ අධ්යක්ෂවරයාට එවැනි ගොඩනැගිලි ඉවත් කිරීමට ලිඛිත දැනුම්දීමක් නිකුත් කළ හැකි ය. තවද එහිදී අධ්යක්ෂවරයාගේ විධානයට එරෙහිව ඉදිකිරිම් සිදු කර ඇති තැනැත්තන්ට දැනුම්දීම සිදු කර දින 3ක් ඇතුළත වෙරළ සංරක්ෂණ විෂය අයත් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර එවැනි අභියාචනයක් සම්බන්ධ ලේකම්වරයාගේ තීරණය අවසන් තීරණය වේ.
ඒ අනුව දැන්වීමේ සඳහන් කාලය ඇතුළත හෝ අභියාචනය ප්‍රතික්ෂේප කරනු ලැබූ විටකදී නියමිත කාලය තුළ අයිතිකරු විසින් ඉවත් නොකළ හොත් රජයට එවැනි ඉදි කිරීම් ඉවත් කිරීමට හැකියි. තව ද නීති උල්ලංඝණය කිරීමට අදාළ දඩුවම් ද මෙම පනතේ ඇතුළත් වේ. මේ අතර වෙරළ කලාපයේ ඕනෑම ඉදිකිරීමකට පෙර බලපත්‍රයක් ලබාගැනීම අත්‍යවශ්‍ය බව ද පනතෙහි 14 වන වගන්තියෙන් ද නිර්දේශ කර තිබේ. අදාළ පනත මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Title:ත්‍රිකුණාමලය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කිරීම ගැන පැහැදිලි කිරීමක්!
Fact Check By: Sagarika ChathumaliResult: Insight


