දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසන තත්ත්වය සමඟ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුලු තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ අතර පකිස්ථානය විසින් ශ්‍රී ලංකාවට එවන ලද සහනාධාර කල් ඉකුත් වී ඇති බවට සඳහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ,
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පකිස්ථානය විසින් ආපදා සහනාධාර ලෙස ශ්‍රී ලංකාවට එවන ලද භාණ්ඩ කල්ලිකුත් වූ ඒවා බව සඳහන් කරමින් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්, පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් පළ කරන ලද X සටහනක තිබූ පින්තූරයකින් ඒ බව සනාථ වන බවත්, මේ වන විට අදාළ පින්තූරය ඉවත් කර ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.


සමාජ මාධ්‍ය තුළද බහුල වශයෙන් එම පුවත හුවමාරු වී තිබුණා.


සත්‍ය වශයෙන්ම පකිස්ථානය විසින් ශ්‍රී ලංකාවට එවන ලද සහනාධාර කල් ඉකුත් වී තිබුණේද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහා කොමසාරිස් කාර්යාලයේ නිල X ගිණුම මගින් ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාව වෙත පාකිස්ථානය විසින් ලබා දෙන සහනාධාර මලු සම්බන්ධයෙන් ඡායාරූප සහිතව X පණිවිඩයක් පළ කර තිබුණා. මෙහි සහල් බෑග දක්වා තිබූ ඡායාරූපයේ සඳහන්ව ඇති කල් ඉකුත් වීමේ දිනය 2024 වසරේ දෙසැම්බර් මස ලෙස සඳහන්ව තිබීම මෙලෙසින් කල් ඉකුත් වූ සහල් මෙරටට ලබා දී ඇති බවට පුවත් පළ වීමට හේතු වී තිබුණා. (මෙම සටහන මේ වනවිට ඉවත් කර ඇත.)

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහා කොමසාරිස් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේ ද, මේ සම්බන්ධයෙන් ඡායාරූප සහිත සටහනක් තබා තිබූ අතර එහි සහල්, වියළි සලාක සහ අත්‍යවශ්‍ය සැපයුම් අඩංගු ද්‍රව්‍ය මෙම සහන පැකේජය තුළ අඩංගු බවට සඳහන් කර තිබුණා.

එමෙන් ම මෙම සටහට පෙර එකතු කර තිබූ සහල් බෑගයේ ඡායාරූප පුවත් වාර්තා වලින් පසුව ඉවත් කර තිබුණා. කෙසේ වෙතත් මේ සඳහා ඒක් කර තිබූ ඉහත ඡායාරූපය පරීක්ෂා කිරීමේදී ද, දැක ගන්නට ලැබුණේ, එම බෑග සඳහා එක් කර ඇත්තේ, මෙරට නිෂ්පාදන අඩංගු මලු බවයි. කෙසේ වෙතත් අප මේ පිළිබඳව විමසා බැලීමට ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහා කොමසාරිස් කාර්යාලය සම්බන්ධ කර ගනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහා කොමසාරිස් කාර්යාලය
අප විසින් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහා කොමසාරිස් කාර්යාලයෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ, ජායාරූප වල දැක්වෙන කහ පැහැති බෑග වල අන්තර්ගතව තිබුණේ සහල් නොව වියලි ආහාර ද්‍රව්‍ය වන බවත්, වියලි ආහාර ද්‍රව්‍ය සියල්ල එය තුළට දැමීමට පමණක් භාවිතා කරන ලද බෑගයක් බවයි. ගලවා ගැනීමේ සහයට පාකිස්ථානයෙන් පැමිණි නෞකාවන් තුළ තිබූ භාවිත කළ ඉවත් කර තිබූ හිස් බෑග වලට මෙලෙසින් ශ්‍රී ලංකාවෙන් මිලදී ගත් වියලි ආහාර ද්‍රව්‍ය, කිසි සේත් කල් ඉකුත් වූ ඒවා නොවන බවට ඔවුන් පැවසුවා. මෙරට වෙළඳපොලෙන් මිලදී ගන්නා ලද වියලි ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා පමණක් එම බෑග භාවිතා කළ බව ඔවුන් තව දුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකා පුරවැසියන්ට උපකාර කිරීමට කැපවී සිටින බවත් ව්‍යාජ න්‍යාය පත්‍රවලට හසු නොවන ලෙසත් පකිස්ථාන මහකොමසාරිස් කාර්‍යාලය සඳහන් කර සිටියා.
ඒ අනුව පකිස්ථාන මහකොමසාරිස් කාර්‍යාලය සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් සහනාධාර ද්‍රව්‍ය රැස්කිරීම සඳහා භාවිතා කළ බෑග වල සඳහන් කල් ඉකුත් වීමේ දිනය මත පදනම්ව එම බෑග් තුළ තිබූ වියලි ආහාර ද්‍රව්‍ය කල් ඉකුත් වූ ඒවා බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි. අදාළ ද්‍රව්‍ය රැස් කිරීම සඳහා පමණක් එම බෑග භාවිතා කරන ලද බව පකිස්ථාන මහා කොමසාරිස් කාර්යාලය විසින් සඳහන් කර සිටිනවා.
අපගේ ඉල්ලීම පරිදි එම බෑග විවෘත කරමින් ඔවුන් අප වෙත යොමු කරනු ලැබූ වීඩියෝවක් පහතින්.
එමෙන් ම පසුගිය නොවැම්බර් 29 වන දා විපතට පත් වූවන්ට සහයෝගය දැක්වීම සඳහා කොළඹ වරායේ නැංගුරම් ලා ඇති පකිස්තානයේ PNS SAIF නෞකාවෙන් පිටතට ගන්නා අවස්ථාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව හරහා නිල වශයෙන් පරිත්‍යාග සහ ඇසුරුම් කළ භාණ්ඩ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව තුළ පළ කර තිබුණේ මෙලෙසින්.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මහජන සන්නිවේදන සහ ජාත්‍යන්තර ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ
එසේම අප විසින් මේ පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මහජන සන්නිවේදන සහ ජාත්‍යන්තර ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතාගෙන් විමසීමක් කලා. එහිදී තහවුරු වූයේ, මේ වන විට රාජ්‍ය ආයතන මැදිහත් වීම හරහා විදෙස් ආධාර ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, කිසිඳු අවස්ථාවක එවැනි කල් ඉකුත් වූ සහනාධාර ලැබීමක් පිළිබඳව වාර්තා කර නොමැති බවයි. මේ වන විට පකිස්තානයෙන් සහ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අති විශාල සහයක් ලැබෙමින් පවතින බවත් භූ දේශපාලන තත්වයන් මත විවිධ වැරදි සහගත තොරතුරු හුවමාරු වීමේ හැකියාවක් පවතින බවත්, ඒ මහතා විසින් සඳහන් කර සිටියා.
පකිස්තානය විසින් මෙරටට ලබා දුන් සහනාධාර මලු ගුවන් මගින් බෙදා හරින ආකාරය දැක්වෙන වීඩියෝවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල ෆේස්බුක් පිටුවේ පල කර තිබුණා. මෙහිදී ද, සංවාදයට බඳුන් වූ කහ පැහැති මලු පාකිස්තාන නාවික හමුදාවේ හාර්බින් Z-9 හෙලිකොප්ටරයකින් ශ්‍රී ලංකාවේ ගංවතුර සහන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වෙමින්, කොළොන්නාව, වැල්ලම්පිටිය සහ ගම්පහ ප්‍රදේශවලින් පුද්ගලයින් සිව් දෙනෙකු බේරා ගනිමින් සහ අවතැන් වූ පවුල්වලට වියළි සලාක ලබා දුන් අයුරු පහතින්.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සහිත වීඩියෝවක් සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ විසින් පල කර තිබෙනවා. එම වීඩියෝව මෙතනින්.
අසල්වැසි පකිස්ථානයේ සහ ඉන්දියාවේ සහාය
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් අසල්වැසි පකිස්ථානයේ සහ ඉන්දියාවේ සහාය අඛණ්ඩව ලැබෙමින් පවතිනවා. පකිස්ථානය විසින් නාවික හමුදාවේ PNS SAIF නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව හරහා ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍යාධාර සපයා තිබෙනවා. සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට සහන ද්‍රව්‍ය රැගෙන යන පාකිස්තාන ආධාර ගුවන් යානාවලට ඉන්දීය ගුවන් අවකාශය ලබා දීමට ඉන්දියාව අවසර ලබා දී ඇති අතර, ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීමේ ඉල්ලීමේ අරමුණ සැලකිල්ලට ගෙන, එම ඉල්ලීමට ඉඩ ලබා දුන් බව ඉන්දියාව පවසනවා. ඉන්දියානු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය හෘදයාංගම ශෝකය පළ කළ අතර, ඉන්දියාව මෙම දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සමඟ අඛණ්ඩව රැඳෙන බව සහතික වුණා. සහන සැපයීමට මෙන්ම, මුදාගැනීමේ සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සාගර් බන්ධු මෙහෙයුම යටතේ අඛණ්ඩ සහාය ලබා දීමටත්, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේදී අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමටත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා. පළමුව, ඉන්දියා INS වික්‍රාන්ත් සහ INS උදයගිරි යන සමුද්‍ර යාත්‍රා මගින් මෙරටට මානුෂීය ආධාර එවන ලද අතර, තවදුරටත් අඛණ්ඩව ආධාර සැපයීමේ කටයුතු සිදු කළා.
සැ.යු : පාකිස්ථානය විසින් බෙදා දෙනු ලැබූ කහ පැහැති මලු සහිත සලාකය කොළොන්නාව, වැල්ලම්පිටිය සහ ගම්පහ ප්‍රදේශවලට ගුවනින් බෙදා දුන් බවට දක්වා ඇති හෙයින් අප එම ප්‍රදේශ වල වෙසෙන මෙම සලාකය ගබා ගත් පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට අප දිගින් දිගටම උත්සහ දරන අතර එවැනි අවස්ථාවක් ලැබුණේ නම් ඔවුන්ගේ තහවුරු කිරීම සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. කෙසේ වෙතත් මෙම මලුවල සහල් තිබුණේ ද, නැද්ද යන්න අපට ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි කරුණක් වේ. මේ හේතුවෙන් අප මේ පිළිබඳව අදාළ පාර්ශවයන්ගෙන් ලබා ගත් තහවුරු කිරීම් පමණක් ඇතුළත් කරමින් මෙම ලිපිය සකස් කර තිබේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ පකිස්ථානය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහනාධාර කල් ඉකුත් වූ ඒවා බවට විශ්වාසදායක සාක්ෂි මෙතෙක් ලැබී නොමැති බවයි. සහනාධාර කල් ඉකුත් වී ඇති බවට වන වාර්තා පාකිස්ථාන මහකොමසාරිස් කාර්‍යාලය විසින් සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇත. සත්‍යාපනය කළ හැකි, විශ්වාසදායක මූලාශ්‍ර වෙනත් ආකාරයකින් තහවුරු කරන තුරු, පකිස්ථානය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහනාධාර කල් ඉකුත් වූ ඒවා බවට වන වාර්තා සත්‍ය බව පැවසිය නොහැක.
Title:පකිස්ථානය විසින් ලබා දුන් සහනාධාර කල් ඉකුත් වූ ඒවා ද ?
Fact Check By: Pavithra HansaniResult: Misleading


