දින නියමයක් නොමැතිව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය වසා දැමීමට තීරණය කළා ද ?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මහනුවර මහාමායා බාලිකා විදුහල දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවටත්, පසුව එම පුවත අසත්‍යයක් බවටත් සඳහන් කරමින් කරමින් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද පුවත් වාර්තා වී තිබුණා. මෙම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමර්ශනයක් මේ,

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ශාපතනයක් ලැබීමත් සමඟ, මහනුවර විද්‍යාලය දින නියමයකින් තොරව වසා දමා ඇති බවත් එයට හේතු වී තිබුනේ, විදුහලට ඉහළින් පිහිටි රජපිහිල්ල මාවතේ ස්ථාන කිහිපයක ඉරිතැලීම් ඇතුළු නායයාමේ අවදානම් හේතුවෙන් බවයි. එවැනි වාර්තාවක් මෙතනින්.

ඒ අනුව, මහනුවර මහාමායා විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවට සමාජ මාධ්‍යය ඔස්සේ ද සටහන් පෙළක්, දින කිහිපයක සිට සංසරණය වුණේ මෙලෙසින්,

Facebook  Facebook FB

කෙසේවෙතත් එවැනි දින නියමයකින් තොරව පාසල වසා දමා නොමැති බව, මහනුවර මහාමායා පාසලේ විදුහල්පතිනිය උපුටා දක්වමින් ද තවත් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්.

මේ හේතුවෙන් “මහනුවර මහාමායා විද්‍යාලය: පරස්පර විරෝධී මාධ්‍ය වාර්තා- කුමක් විශ්වාස කළ යුතුද?” යනුවෙන් සත්‍ය වශයෙන්ම විදුහලේ වර්තමාන අවදානම් තත්වය කෙබඳු ද යන්න විමසමින් ද ඉහත මාධ්‍ය වාර්තා දෙකෙහි ඡායාරූප ද සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ විමසීම් සිදුකර තිබු අයුරු පහතින්.

Facebook

සත්‍ය ලෙසම මහනුවර මහාමායා විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා ඇත්ත යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා.

Explainer (කරුණු පරික්ෂා කිරීම) :

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය

ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් විමසීමක් කලා. එහිදී පාසලේ පරිපාලන නිලධාරිනියක් සඳහන් කර සිටියේ, පවතින වැසි තත්වය සමඟ අවදානම් සහගත තත්වයන් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් කලාප අධ්‍යක්ෂක දැනුවත් කරන ලෙස පාසලට උපදෙස් ලැබී තිබුණු බවත්, ඒ අනුව පාසලට ඉහලින් බෑවුම් සහිත ප්‍රදේශයක පස් කඳු කඩා වැටීමක් ඇති බව දන්වමින්, ඒ ගැන ක්‍රියාකළ යුතු උපදෙස් ලබා දෙන ලෙස, දෙසැම්බර් 18 වන දින කලාප අධ්‍යක්ෂක තුමිය දැනුවත් කිරීමට පාසල කටයුතු කළ බවයි. 

ඒ යටතේ අවදානම් පස් කඳු කඩා වැටීමක් ඇති විය හැකි බැවින්, NBRO (ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය) වෙතින් ලැබුණු නිර්දේශය මත පාසල වැසීම සිදු කරන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමියගෙන් උපදෙස් ලැබුනු බව ද ඇය ප්‍රකාශ කර සිටියා. 

ඒ අනුව පාසල විසින් මේ පිළිබඳ NBRO වෙත ලිඛිතව දැනුම් දීමක් කර ඇති අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් පාසල සහ ඒ අවට පරීක්ෂා කිරීමෙන් පසු පවතින අයහපත් කාළගුණය දිගටම පවතින්නේ නම්, සිසුන්ට ඇති විය හැකි අවදානම සලකමින්, පස් කඳු කඩා වැටීමේ අවදානම් තත්වය පහව යන තෙක් ඒ පිළිබඳ පර්‍යේෂණ සිදු කරන බවත්, ඒ දක්වා පාසල වැසීමටත් උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ අනුව පසුගිය දෙසැම්බර් 19 වන දින පාසල වැසීමට කටයුතු කළ බවත්, පාසල දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව අසත්‍යයක් බවත්, මධ්‍යම පලාතේ සියලු පාසල් 19-22 දක්වා නිවාඩු ලබා දී ඇති අතර, අධ්‍යාපන අමාත්‍යංශය විසින් නත්තල් නිවාඩුවෙන් පසු 29 වන දින පාසල් නැවත ආරම්භ කරන බව දැනුම් දී ඇති බැවින්, ඒ අනුව පාසල 29 දින ආරම්භ වීමට බලාපොරොත්තු වන බවත් මහමායා විදුහල පවසනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන භූ-විද්‍යාඥ සමන්ත බෝගහගපිටිය

මේ සම්බන්ධයෙන් අප විසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ සමන්ත බෝගහගපිටිය මහතාගෙන් විමසීමක් සිදුකළ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයට ඉහළින් පිහිටි රජපිහිල්ල මාවත දිගේ බෑවුම්වල අස්ථාවරත්වයක් නිරීක්ෂණය වී ඇති බවත්, ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන් අවශ්‍ය බවත් ය.

මෙම තත්ත්වය වැසි ජලය නිසි ලෙස කළමනාකරණය නොකිරීම සහ තාක්ෂණික ප්‍රමිතීන්ට අනුව පාංශු බැමි ස්ථාවර කිරීමට අපොහොසත් වීම නිසා ඇති වූ තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළේය. 

කෙසේවෙතත්, නායයාමේ අවදානමක් දැනට පෙනෙන්නට නොමැති බවත්, පාසල සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගත හැක්කේ ගැඹුරු පරීක්ෂණයකින් සහ සියලු සාධක පිළිබඳ පැහැදිලි අවබෝධයකින් පසුව බව ඔහු පැහැදිලි කර සිටිනවා. එසේම අවදානම් තත්වය සම්බන්ධයෙන් අවසාන වශයෙන් තහවුරු කිරීමක් මෙතෙක් සිදු කර නොමැති බවත්, ඔහු සඳහන් කලා. 

මේ වන විට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දී ඇති බවත්, දින කිහිපයක් තුළ අවදානම් තත්වය පරීක්ෂා කල හැකි අතර, ඒ අනුව දින නියමයක් නොමැතිව මහාමායා බාලිකා පාසල වැසීමට අවශ්‍ය නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මධ්‍යම පළාතේ සියළුම පාසල් දෙසැම්බර් 19 සිට 28 දක්වා නිවාඩු

මධ්‍යම පළාතේ පාසල් පසුගිය දෙසැම්බර් 18 වන දින නැවත විවෘත වුවද , ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඇදහැළෙමින් පවතින අධික වර්ෂා  තත්ත්වය සැලකිල්ලට ගෙන,  මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට 19දා සිට 22 දක්වා යළිත් නිවාඩු ලබාදෙනු ලැබුවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සහ පළාත් අධ්‍යාපන බලධාරීන් සිදුකළ සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇත. එසේම දිවයිනේ සියළුම පාසල් දෙසැම්බර් 22 සිට 29 දක්වා ද නිවාඩු ලබා දී ඇති බැවින්,  නත්තල් නිවාඩුවෙන් පසු සැලසුම් කළ පරිදි දෙසැම්බර් මස 29 වැනි සඳුදා දින මධ්‍යම පළාතේ පාසල් යළි ආරම්භ කිරීමට තීරණය කර තිබ්නවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහනුවර මහාමායා විදුහල දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවට පලවන වාර්තා නොමඟ යවන සුළු බවයි. පාසලට ඉහළින් රජපිහිල්ල මාවතේ පස් කඳු කඩා වැටීමකට අදාලව පැනනැගුණු අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගෙන ඉකුත් 19 වෙන දින පාසල නිවාඩු ලබා දී ඇති අතර, මධ්‍යම පළාතේ සියලුම පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ දෙසැම්බර් 29 වනදායි. මහනුවර මහාමායා බාලිකා පාසල ද ඒ අනුව ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි පාසල් බලධාරීන් සඳහන් කලා. පස් කදු කඩා වැටීමට අදාල අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ අවසන් නිගමනයක් ලබා දිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥය සමන්ත බෝගහපිටිය මහතා සඳහන් කළා.

Avatar

Title:දින නියමයක් නොමැතිව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය වසා දැමීමට තීරණය කළා ද ?

Fact Check By: Pavithra Hansani 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *