ආපදා තත්වයට මුහුණ දුන් සිසුවෙකුගෙන් ඒ ගැන විමසන ආකාරය දක්වමින් හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ආපදා තත්ත්වයට මුහුණ දුන් සිසුවකුගෙන් එම සිදුවීම පිළිබඳව පාසල් උදෑසන රැස්වීමකදී විමසන ආකාරය සහ සිසුවා විසින් හඬමින් ගැන පැහැදිලි කරන ආකාරය බවට දක්වමින් වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. වීඩියෝවේ පෙනී සිටින ගුරුවරියට සහ පාසලට දෝෂාරෝපණය කරමින් බොහෝ දෙනෙකු විසින් අදාළ වීඩියෝව හුවමාරු කරගෙන තිබුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අප විසින් සිදුකළ විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මේ පුංචි හිතට මොනතරම් වේදනාවක් දැනෙනවා ඇතිද ? මෙහෙම හැමෝම ඉස්සරහ කතා කරන එක ඔබ අනුමත කරනවද ?” යනුවෙන් දක්වමින් අදාළ සටහන් සමාජ මාධ්‍යය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්,

Facebook | Archived Link

Facebook Facebook

සැබෑ ලෙසම මෙය ආපදාවට ලක් වූ දරුවකුගෙන්, එම සිදුවීම සම්බන්ධයෙන් පාසැල් උදෑසන රැස්වීමේදී ගුරුවරුන් විසින් විමසන වීඩියෝවක් යන අදහස සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ ලබා දී තිබු බැවින්, මේ ගැන වැඩිදුර කරුණු තහවුරු කර ගැනීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉහත දැක්වෙන්නේ සැබෑ සිදුවීමක් නොව, සිසුන්ට සහකම්පනය පිළිබඳව අවබෝධයක් ලබා දීමට සිදු කළ නිර්මාණාත්මක රංගනයක කොටසක් පමණක් බවටත සමාජ මාධ්‍ය තුළ සටහන් පල වී තිබුණා. එම සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්

එසේම අදාල වීඩියෝව බහුලව හුවමාරු කරගෙන තිබූ එක් සමාජ මාධ්‍ය සටහනකට, පාසලට සම්බන්ධ පුද්ගලයෙකු බවට අනුමාන කළ හැකි අයෙකු කමෙන්ටුවක් ලෙස ඉදිරිපත් කර තිබුනේ, මෙය සත්‍ය සිදුවීමක් නොවන බවත්, මෙම වීඩියෝව පාසල් උදෑසන රැස්වීමේදී ඉදිරිපත් කළ රංගනයක කොටසක් පමණක් බවයි. එබැවින් නොමඟ යවන සුළු ලෙස පළකර තිබෙන වීඩියෝව ඉවත්කරගන්නා ලෙස ද එහි ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මේ ඔස්සේ සිදුකළ විමසීමේ දී අපට දැකගන්නට ලැබුනේ එම පාසල පසුගිය දා ඇති වූ ආපදා තත්වයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශයක පිහිටි පාසලක් හෝ නොවන බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අප අදාළ පාසලේ විදුහල්පතිනියව සම්බන්ධ කර ගත්තා.

පාසලේ විදුහල්පතිනිය

සිදුවීමට මුල් වී ඇති පාසලේ නම සඳහන් නොකරන ලෙස අපගෙන් ඉල්ලීමක් කරමින් විදුහල්පතිනිය පවසා සිටියේ මෙය සත්‍ය සිදුවීමක් නොවන අතර, පාසලේ උදෑසන රැස්වීමක් තුළ දී නාට්‍යානුසාරයෙන් කරන ලද රංගනයක් බවයි.

2025.12.16 වන දින උදෑසන රැස්වීමේදී පාසලේ වීදි නාට්‍ය කණ්ඩායම, පාසලේ ශිෂ්‍ය උපදේශනය භාර ගුරුවරිය සහ තවත් ගුරුවරයෙකු එක්ව මෙම ඉදිරිපත් කිරීම සංවිධානය කර තිබෙනවා. මෙහි රංගනය සඳහා සහභාගී කරවාගෙන ඇත්තේ පාසලේ වීදි නාට්‍ය කණ්ඩායමේ සිසුවෙකි.

එසේම පාසලට හෝ වීඩියෝවේ පෙනී සිටින සිසුවාට පසුගිය ආපදා තත්වයෙන් කිසිඳු හානියක් සිදු වී නොමැති බවත්, ආපදා තත්වය පිළිබදව සිසු දරුවන් තුළ සහකම්පනය ඇති කිරීම සඳහා සිදු කරන ලද නිර්මාණාත්මක රංගනයක් පමණක් බවත් විදුහල්පතිනිය වැඩිදුරටත් සඳහන් කළා.

එම රංගනයේ කොටස් ඇතුළත් වීඩියෝවක් මෙතනින්. Archived සටහනක් මෙතනින්.

තවද අදාළ නාට්‍යය අවසානයේ ළමයින් ව්‍යසනයකදි අන් අයට උදව් කිරීමට හුරු කරමින් සිදු කළ පොත්පත් ලබාදීමේ ආදර්ශ වැඩසටහනේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණා. එම වීඩියෝව මෙතනින්

එසේම මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැරිම සහ ඉන්පසුව එහි කොටස් නොමඟ යවන සුළු අන්දමින් හුවමාරු වී ඇති බවත්, එම පොස්ට් ඉවත්කරගන්නා මෙන් අදාළ පාර්ශවයන් වෙත දැනුම් දී ඇති බවත් විදුහල්පතිනය සඳහන් කර සිටියා.

ඒවගේම, මේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැරී සහ මෙම කටයුත්ත සංවිධානය කළ පාර්ශව සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක්, කලාප අධ්‍යාපන කාර්යාලය හරහා සිදුවෙමින් පවතින බව ට ද විදුහල්පතිනිය අපට දන්වා සිටියා.

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබී තිබු ප්‍රතිචාර

අදාළ සිදුවීම රංගනයක කොටසක් බව සැලවීමත් සමඟ එම වීඩියෝව පළකර තිබු ඇතැම් පාර්ශව ඒ ගැන නිවැරදි කිරීම් සහ පැහැදිලි කිරීම් පළකර තිබුණා. ඉන්පසුව ඇතැම් අය මෙම ගුරුවරුන්ගේ ක්‍රියාව අගයමින් පොස්ට් පළකර තිබුණ ද මෙහිදී ඇත්ත වශයෙන්ම අදාළ රංගනය තුළින් සිදුව ඇත්තේ සිසුන් තුළ සහකම්පනය ඇති කිරීම ද එය කෙතරම් දුරට අනුමත කළ හැකි ද යන්න සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වී තිබුණා. එවැනි සටහනක් මෙතනින් සහ මෙතනින්.

ආපදා තත්ත්වය යටතේ සහකම්පනය සහිත පාසල් පරිසරයක් ගොඩනැගීමේ අරමුණින්, වැඩසටහන් නිර්මාණය කර ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක් !

ඉහත වැඩසටහන ක්‍රියාත්මක වුයේ, ආපදා තත්වයෙන් පසුව නැවත පාසල් ආරම්භ කළ පළමු දිනයේ වන අතර, ඊට දින කිහිපයකට පෙර, අදහස් දක්වමින්, අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියේ මේ මොහොතේ  රටේ පවතින ආපදා තත්ත්වය යටතේ දරුවන්නේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බවත්, ඒ තුළින් ආපදා අවස්ථාවලදී එකිනෙකා පිළිබඳ සහකම්පනය සහිත සුවපත් පාසල් පරිසරයක් ගොඩනඟා ගැනීමට හැකි වන බවයි.

සහකම්පනය තිබෙන දරු පරපුරක් බිහිකිරීමේ අවශ්‍යතාවය පිලිබඳව ළමා හා කාන්තා කටයුතු පිලිබඳ අමාත්‍යවරිය වන සරෝජා පෝල්රාජ් මහත්මිය ද අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

එසේම මෙවැනි පශ්චාත් ආපදා තත්වයක් තුළ ළමයින්ව මානසිකව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය බව පෙන්වා දෙමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද මාධ්‍ය නිවේදනයක් තුළින් දන්වා සිටිනවා. එහිදී පෙන්වා දෙන්නේ අන්අයගේ දැනගැනීමේ සඳහා අත්දැකීම් හුවමාරු කරගැනීමේ පරමාර්ථයෙන් ප්‍රශ්න ඇසීම, ප්‍රසිද්ධියේ නැවත නැවත තම අත්දැකීම් ප්‍රකාශ කිරීමට බලපෑම් කිරීම හා ඒවා වීඩියෝ ගත කර හෝ ඡායාරූප සමාජ මාධ්‍ය හෝ අනෙකුත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ කිරීම නොකළ යුතු බවයි.

එවැනි ළමුන් පිළිබඳ ප්‍රචාරණය වන වීඩියෝපට හෝ අන්තර්ගතයන් තිබේ නම් 1929 ළමා උපකාරක දුරකථන අංකය මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස එවැනි අවස්ථා වල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීතිය ක්‍රියාත්මක කරන බව ද එහි වැඩිදුරටත් දන්වා සිටිනවා. සම්පුර්ණ නිවේනදය පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව, සැබෑ ලෙසම ආපදාවට පත් වූ දරුවකු අපහසුතාවයට පත් කරමින් ගුරුවරුන් විසින් උදෑසන රැස්වීමේදී එම දරුවාගෙන් පිළිබඳව විමසන අවස්ථාවකට අදාල වීඩියෝවක් නොව, අපදා තත්වයකට ලක් නොවූ පාසලක් සහ සිසුන් යොදාගනිමින් සදහා සිදු කරන ලද නිර්මාණාත්මක රංගනයක් පමණක් බවයි.

ආපදා තත්වය පිළිබදව දරුවන් තුළ සහකම්පනය ඇති කිරීමේ අරමුණින්, මෙය සංවිධානය කළ බව අදාළ පාසලේ විදුහල්පතිනිය පවසා සිටිය අතර මේ සම්බධයෙන් දැනට විමර්ෂණයක් කලාප අධ්‍යාපන කාර්යාලය හරහා සිදුවෙනවා.

Avatar

Title:ආපදා තත්වයට මුහුණ දුන් සිසුවෙකුගෙන් ඒ ගැන විමසන ආකාරය දක්වමින් හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

Fact Check By: Pavithra Hansani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *