නව රුපියල් 2000 නෝට්ටුවට සමාන ව්‍යාජ මුදල් නෝට්ටුවක් ද ?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය 75 වන සංවත්සරය නිමිත්තෙන් රු.2000 ක නව මුදල් නෝට්ටුවක් පසුගිය වසරේ දී මහජන සංසරණයට නිකුත් කළා. මුදල් ඇමති ලෙස ජනපති අනුර කුමාර දිසානානයක මහතාගේ අත්සන සහිතව නිකුත් වී තිබු මෙම රු. 2000 නෝට්ටුව සම්බන්ධයෙන් එම අවධියේ සිටම විවිධ නොමග යවන සුළු සටහන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. මෑතක දී ද එම නව නෝට්ටුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය කතිකාවතක් ඇතිව තිබුනේ මෙලෙසින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“මේකේ ඇත්ත 2000 මොකක්ද?” යනුවෙන් සටහන් කරමින්, රුපියල් 2000 නෝට්ටු දෙකක් හිරු එළියට අල්ලා තිබෙන අයුරු බව දැක්වෙන ජායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී තිබුණා. හිරු එළියට ඇල්ලීමෙන් පසු, සැබෑ රුපියල් 2000 නෝට්ටුවේ ඇති ආරක්ෂක ඉර, නෝට්ටුව දිගටම තනි ඉරක් ලෙස පවතින බවත්, ව්‍යාජ නෝට්ටුවේ ඇත්තේ කඩ ඉරක් පමණක් බවත් මෙම සටහන් මඟින් පෙන්වා දෙනවා.

Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් හුවමාරු වුනු තවත් සටහන් කිහිපයක්

Facebook | Archived Link   Facebook | Archived Link   Facebook | Archived Link Facebook | Archived Link

ඉහත සටහන් මගින් ඒත්තු ගන්වා තිබෙන්නේ ව්‍යාජ රු.2000 නෝට්ටු ප්‍රමාණයක් මේ දිනවල සැරිසරන බවත්, මේ සම්බන්ධයෙන් හිරු එළියට නෝට්ටුව අල්ලා සිදුකෙරන පරික්ෂාවක් තුළින් හඳුනාගත හැකි බැවින් ඒ ගැන දැනුවත් වන ලෙසයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය 75 වන සංවත්සරය නිමිත්තෙන් රු.2000 ක නව මුදල් නෝට්ටුවක් 2025 අගෝස්තු 29 සිට මහජන සංසරණයට නිකුත් කළ ද එය නෝට්ටු මිලියන 50 ක සීමිත නිකුතුවක් බව මහ බැංකුව ප්‍රකාශ කර තිබුණා. රුපියල් 2000 නෝට්ටුව නිකුත් වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තාවක් මෙතනින්

නව රුපියල් 2000 නෝට්ටුවේ ඉදිරිපස සහ පිටුපස සියලු කොටස්  පැහැදිලි කරමින් නිල ලේඛනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් පිටුවෙහි දක්වා තිබෙනවා.

නව රු.2000 නෝට්ටුවේ දක්වා ඇති සලකුණු සහ විශේෂ ආරක්ෂණ ක්‍රම මොනවා ද ?

නෝට්ටුවේ ඉදිරිපස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල සහ කොළඹ ප්‍රදීපාගාර ඔරලෝසු කණුව මෙන්ම මෑත කාලීන නාගරික සංවර්ධනයන් පෙන්නුම් කරන කොළඹ නගරයට අලුතින් එක් වූ ගොඩනැගිලි ඈතින් දිස්වෙන ආකාරය දැක්වෙන පිළිබිඹුවක් සහ 75 වන සංවත්සර ලාංඡනය දක්වා තිබෙනවා. 

ආරක්ෂාව ඉහළ නැංවීම සහ වලංගු මුදල් නෝට්ටු හඳුනාගැනීම මහජනතාවට පහසු කිරීම සඳහා වර්ණය වෙනස්වන්නා වූ ආරක්ෂණ නූලක් ඇතුළත් කර ඇත. දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට ස්පර්ශයෙන් නෝට්ටුව හඳුනා ගැනීමට සහාය වීම සඳහා, එක් එක් තීරුව අවසානයේ දියමන්තියක හැඩයක් සමග උස්ව මුද්‍රිත තීරු හයක් නෝට්ටුවේ වම්පස සහ දකුණුපස දාර දෙකෙහිම මුද්‍රණය කර තිබෙනවා .

නෝට්ටුවේ පිටුපස, ශ්‍රී ලංකා සිතියමෙහි නිර්මාණාත්මක පිළිබිඹුවක්, මානෙල් මලක් සහ මහ බැංකුවේ දැක්ම ප්‍රකාශය ඉදිරිපත් කර ඇති අතර, එය ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය සඳහා මහ බැංකුවේ කැපවීම සංකේතවත් කර තිබෙනවා .

අදාල ලේඛනයේ දක්වා ඇති නිල මුදල් නෝට්ටුවේ ඉදිරිපස වම් පසට වන්නට කොණෙහි මෙම විවාදයට බඳුන් වී ඇති කඩ ඉරි තුන දක්නට ලැබෙන බව නිරීක්ෂණය කළ හැකියි. එම ලේඛනය තුළ මුදල් නෝට්ටුවේ අන්තර්ගත සියලු කොටස් නම් කර එම කොටස් පිළිබඳ විස්තර කර ඇති අතර මෙම සාකච්චාවට ලක් වී ඇති ප්‍රදේශය කඩ ඉරි තුන 3 ලෙස නම් කර  තිබෙනවා. 

රු.2000 නෝට්ටුවේ ඇති විශේෂ ආරක්ෂණ නූල 

එම කොටසේ පැහැදිලි කිරීමේ “ආරක්ෂක නූලෙහි නිල් සිට කොළ දක්වා සහ අනෙක් අතට වර්ණ වෙනස දැකීමට මුදල් නෝට්ටුව ඉහළට සහ පහළට ඇල කරන්න සහ ආරක්ෂක නූලෙහි කොළඹ ප්‍රදීපාගාර ඔරලෝසු කණුව සහ 2000 ඇත් දැයි බලන්න.” යනුවෙන් දක්වා තිබෙනවා.

හඳුන්වා දුන් නව රුපියල් 2000 මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් විස්තරාත්මක වීඩියෝවක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පල කර තිබෙනවා. මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පිටුපස සියලු අංග පැහැදිලිව හඳුන්වමින් පල කර ඇති එම වීඩියෝවේ ද මුදල් නෝට්ටුවේ ඉදිරිපස කඩ ඉරි තුනක් සහිත වීම පැහැදිලිව හඳුනා ගැනීමට තිබෙනවා. එම වීඩියෝව මෙතනින්.

සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී ඇති ඡායාරූප ගැන ශ්‍රී ලංකා මහ බැංකුව 

අප විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් ද තහවුරු කර සිටියේ සැබෑ නව රුපියල් 2000 නෝට්ටුවේ ඉදිරිපස කඩ ඉරි තුනක් (ආරක්ෂණ නුල) සහිත වන බවත්, හිරු එළියට හෝ වෙනත් ආලෝක ප්‍රභවයකට ඇල්ලු විට එය තනි ඉරක් ලෙස පෙනෙන බවත්, මෙය අනෙකුත් නොට්ටුවලද දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බවත්ය.

එසේම මේ ක්‍රමයෙන් පමණක් ව්‍යාජ මුදල් නෝට්ටුවක් ද නැද්ද යන්න නිර්ණය කළ නොහැකි බවත්, ව්‍යාජ මුදල් නිර්මාණය කරන පාර්ශව විවිධ විධික්‍රම යොදා ගන්නා බැවින්, මහ බැංකුවේ උපදේශය වන්නේ, සැක සහිත අවස්ථාවන්හි දි ආරක්ෂණ ක්‍රම කිහිපයක් ම පරික්ෂා කර බලන ලෙසයි. 

රුපියල් 2000 ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී ඇති සටහන් සහ එහි පසුබිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තව දුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් එහිදී සඳහන් කළා.

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ජායාරූපයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වා ඇති ඉහත ලේඛනයේ අන්තර්ගත රුපියල් 2000 මුදල් නෝට්ටුව සහ හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන මුදල් නෝට්ටු සංසන්දනය කර සමීපව නිරීක්ෂණය කිරීමේදී සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන මුදල් නෝට්ටු වල විවිධ අස්වාභාවික ලක්ෂණ දැක ගත හැකියි. 

එම මුදල් නෝට්ටු දෙකෙහිම ‘ශ්‍රී ලංකා මහ බැංකුව, Sri Lanka Central Bank, රුපියල් දෙදහස’ යන වචන වල අක්ෂර වින්‍යාසය වැරදි බව පැහැදිලිව දැකගන්නට ලැබෙනවා. එම වෙනස් කම් සැලකිල්ලට ගනිමින් අප මෙම ජායාරූපය කෘත්‍රිම බුද්ධි අන්තර්ගත හඳුනා ගැනීමේ මෙවලම් වෙත යොමු කරනු ලැබුවා. එහිදී පැහැදිලි වූයේ මෙම මුදල් නෝට්ටු දෙක සහිත ජායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ, Google හි Gemini AI ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.

රු. 2000 ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන දනුවන් වන ලෙස විශේෂ පොලිස් දැනුම්දීමක් සිදුකර තිබෙනු දැක ගන්නට ලැබෙන්නේ නැහැ

පසුගිය උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක් සිදුකළ ද ජනවාරි මස නැවත එවැනි විශේෂ දැනුම් දීමක් හෝ රු.2000 නෝට්ටු ගැන විශේෂ දැනුම්දීමක් මෑතක දී අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

උත්සව සමයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන විමසිලිමත් වන ලෙස දෙසැම්බර් 16 වනදා පවසමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කර තිබුනේ, පසුගිය වසර තුළ ව්‍යාජ නෝට්ටු සංසරණය වී ශ්‍රී ලංකා පොලීසිය භාරයට ගත් අවස්ථා පිළිවෙලින් ව්‍යාජ රු.5000 නෝට්ටු 535ක් , ව්‍යාජ රු.2000 ව්‍යාජ නෝට්ටු දෙකක් , ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 401ක් සහ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 109ක් ආදී වශයෙන් බවයි. සම්පුර්ණ වාර්තාව මෙලෙසින්.

ව්‍යාජ මුදල් නෝට්ටුවක් සහ සැබෑ මුදල් නෝට්ටුවක් වෙන් කර හඳුනා ගන්නේ කෙසේද

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය මැඩලීමේ අරමුණින්, සැබෑ මුදල් නෝට්ටුවක් සහ ව්‍යාජ නෝට්ටුවක් වෙන්කර හඳුනා ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සියලු ම මුදල් නෝට්ටු දිය සලකුණ, ආරක්ෂණ නූල, වැරගැන්වූ කොන්, විනිවිද පෙනෙන සලකුණ, ඉතා කුඩා අක්ෂර, දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් යොදා ඇති සලකුණ ආදි උසස් ආරක්ෂණ සලකුණු ගණනාවක් ඇතුළත් කරමින් මුද්‍රණය කරයි. ඒ ගැන විස්තර මෙතනින්.

අප විසින් මේ සම්බන්ධයෙන් වඩාත් පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීම සඳහා රුපියල් 5000 මුදල් නෝට්ටුවක් සාමාන්‍ය ලෙස පෙනෙන ආකාරය  සහ හිරු එළියට නිරාවරණය කිරීමෙන් පසු පෙනෙන ආකාරය ජායාරූප ඔස්සේ ඉදිරිපත් කර තිබෙනවා. එහි හිරු එළියට නිරාවරණය කළ මුදල් නෝට්ටුවෙහි ආරක්ෂක අංග පැහැදිලිව දර්ශනය වන ආකාරය දැකිය හැකියි.  

ඉහත නෝට්ටුවේ මුහුණත දකුණුපස දක්වා ඇති පක්ෂීන්ගේ රූප අදාළ නෝට්ටුවේ “දිය සලකුණ” ලෙස දක්වා තිබෙනවා. නෝට්ටුවේ වටිනාකම විශේෂිත දිය සලකුණක් ලෙසින් සිරස් අතට ඉලක්කම්වලින් දක්වා තිබෙනවා. 

ආරක්ෂණ නූල නෝට්ටුවෙන් නෝට්ටුවට වෙනස්වේ. වටිනාකමින් වැඩි මුදල් නෝට්ටු එනම් රුපියල් 5000, රුපියල් 2000, රුපියල් 1000, රුපියල් 500 වැනි නෝට්ටු යොදා ඇත්තේ රතු සහ කොළ යනාදී ලෙස වර්ණ වෙනස් වන්නා වූ සිරස්ව තැනින් තැන මතු වී පෙනෙන ලෙස යොදා ඇති  ”ස්ටාර් ක්‍රෝම්” ආරක්ෂණ නූලකි. රු. 100, රු. 50 සහ රු. 20 නෝට්ටුවල යොදා ඇති නූල සම්පූර්ණයෙන් ම නෝට්ටුව තුළට ඇතුළු කර ඇති අතර, එය අඛණ්ඩ රේඛාවක් ලෙස දිස්වෙනවා. 

නෝට්ටුව ආලෝකයට යොමු කොට බැලීමේදී නෝට්ටුවේ මුහුණත වර්ණ දෙකකින් දක්වා ඇති වටිනාකම සඳහන් ඉලක්කම් කොටස් (සමනල රූපය අසල) නෝට්ටුවේ පිටුපස ඇති ඒ හා සමාන ඉලක්කම් කොටස් සමග එක්නෙකට සමපාත වී සම්පූර්ණ ඉලක්කම් සේ දිස්වන අතර එය නෝට්ටුවල “විනිවිද පෙනෙන සලකුණ” ලෙස හඳුන්වනවා.

නෝට්ටුවේ සමනල රූපයට පහළ කොටස් දෙස සමීපව බැලුවිට, ඉතා කුඩා ලෙස මුද්‍රිත “CBSL” යන අක්ෂර සහ නෝට්ටුවේ වටිනාකම ඉලක්කමින් දැකි අතර එය නිරීක්ෂණ කිරිමෙන් ද ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගත හැකියි.

නෝට්ටුවේ වම්පස සිරස් අතට රළු ලෙස මුද්‍රිත තිත් නෝට්ටුවේ වටිනාකම අනුව වැඩිවෙමින් යන ආකාරයට මුද්‍රණය කර ඇති අතර ඒවා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට නෝට්ටුවල වටිනාකම හඳුනා ගැනීමට උපකාරි වනවා.

නෝට්ටුව ඇඟිලි තුඩු මගින් ස්පර්ශ කිරීමේදී “උස්ව මුද්‍රිත ප්‍රදේශ” හඳුනාගත හැකි අතර ඒ හරහා ද ව්‍යාජ මුදල් නෝට්ටු වෙන කර හඳුනාගත හැකියි.

ආරක්ෂණ නූල ව්‍යාජ ලෙස යොදාගත් ව්‍යාජ නෝට්ටු හඳුනා ගත හැක්කේ කෙසේ ද?

ව්‍යාජ මුදල් නෝට්ටුවලට ඇතුළත් කර ඇති ආරක්ෂණ නූල තුළ වර්ණ වෙනස්වන නූලක් බොහෝ අවස්ථාවල දී යොදා නැත. 

වලංගු අව්‍යාජ නෝට්ටුවල ආරක්ෂණ නූල මුදල් නෝට්ටුව නිෂ්පාදනය කිරීමේදී යොදවා තිබුණද, ව්‍යාජ නෝට්ටු සකස් කිරීමේදී සිදුවනුයේ ව්‍යාජ ලෙස සකස් කළ නූල් පිටතින් ඇලවීම හෝ ඇතුළතින් ඇලවීමය. එම නිසාම, මුදල් නෝට්ටුවක් අතට ගත් සැනින්ම, එය ව්‍යාජද, නැද්ද යන්න සැළකිල්ලෙන් බැලීමෙන් හඳුනාගැනීම ද සිදුකළ හැක.

ව්‍යාජ මුදල් නෝට්ටුවල ආරක්ෂණ නූලේ වර්ණ වෙනස් වීමක් සිදුනොවන අතර එම නූලේ මුදල් නෝට්ටුවේ වටිනාකමද බොහෝ විට සඳහන් නොවේ. 

තවද එලෙස අන්තර්ගත කර තිබෙනා ආරක්ෂණ නූල අඛණ්ඩ නොවීමද ව්‍යාජ ඇතැම් නෝට්ටුවක දැකගත හැකි අනෙක් ලක්ෂණයකි.

මේ ඇතුළු ව්‍යාජ මුදල් හඳුනාගැනීම පිලිබඳ පළවූ ලිපියක් මෙතනින්.

ශ්‍රී ලංකාව තුළ මුදල් අච්චු ගැසීම බලය තිබෙන්නේ කාට ද?

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වන අතර ඒ හැර වෙනත් ඕනෑ ම පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් සංසරණය සඳහා නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු සහ කාසි ව්‍යාජ මුදල් වේ. වර්තමානයේ රු. 5000, රු. 2000, රු. 1000, රු. 500, රු. 200, රු. 100, රු. 50, රු. 20 සහ රු. 10, රු. 5, රු. 2 සහ රු. 1 වටිනාකමින් යුත් නෝට්ටු (දැනට රු. 10, රු. 5, රු. 2, සහ රු. 1 නෝට්ටු වෙනුවට කාසි හඳුන්වා දී ඇත) සහ රු. 20, රු. 10, රු. 5, රු. 2, රු. 1, සත 50, සත 25, සත 10, සත 05, සත 02 සහ සත 01 වටිනාකම්වලින් යුත් කාසි වර්ග සංසරණයේ පවතී.

ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලැබී ඇත්නම් කළ යුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් සංසරණයට නිකුත් කරන ලද මුදල් නෝට්ටු සහ කාසි ව්‍යාජ මුදල් ලෙස සැලකේ. ව්‍යාජ මුදල් නෝට්ටු ගෙවීම් ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතුය. 

ගනුදෙනු සඳහා හිතාමතාම ව්‍යාජ නෝට්ටු භාවිතා කිරීම බරපතල අපරාධයක් වන අතර එය සිරගත කිරීම සහ/හෝ දඩයක් ගෙවීමෙන් දඬුවම් ලැබිය හැකිය. ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබා ගැනීම පවා වරදකි. 

යම් පුද්ගලයෙකු ව්‍යාජ නෝට්ටුවක් හඳුනා ගන්නේ නම්, ඔහු/ඇය එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ යුතුය. එවැනි නෝට්ටුවක් දැනටමත් පිළිගෙන ඇති පුද්ගලයෙකු, ඔහු/ඇය එය ලබාගෙන ඇති ආකාරය මතක තබා ගැනීමට උත්සාහ කළ යුතු අතර වහාම ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) ව්‍යාජ මුදල් නෝට්ටු කාර්යාංශයට දැනුම් දිය යුතුය; ක්ෂණික ඇමතුම් අංකය: 0112422176 හෝ 0112326670 සහ ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීමට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දිය යුතුය. 

මුදල් ගණුදෙනුවකදී ව්‍යාජ යැයි සැක සහිත නෝට්ටුවක් ඔබ අතට පත් වුවහොත් ක්‍රියා කළ යුතු ආකාරය ශ්‍රී ලංකා මහ බැංකුව පහදා තිබුනේ මෙලෙසින්.

නව රුපියල් 2000 නෝට්ටුව  

මේ මුදල් නෝට්ටුව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් නිකුත්ව ඇත. මෙය මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නිකුත්වන පළමු මුදල් නොට්ටුවයි.

මෙම රුපියල් 2000 ක නෝට්ටුව  සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු කරමින්, මෙම මුදල් නෝට්ටුව “සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන සංවත්සර තේමාවට අනුකූල වේ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය): 

අපගේ විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ සැබෑ නෝට්ටුව්ක් සහ ව්‍යාජ නෝට්ටුවක් ලෙස දක්වමින් රුපියල් 2000 නෝට්ටු දෙකක් සංසන්දනය කර පල කර ඇති ජායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ජායාරූපයක් බවයි. 

කෙසේ නමුත් සැබෑ මුදල් නෝට්ටු සහ ව්‍යාජ නෝට්ටු අතර වෙනස හඳුනා ගැනීමේ මූලික ආරක්ෂණ ලක්ෂණයක් ලෙස සැබෑ මුදල් නෝට්ටුවක් හිරු එළියට ඇල්ලීමේදී ආරක්ෂණ නූල දිගට දර්ශනය වීම සහ ව්‍යාජ නෝට්ටුවක් හිරු එළියට ඇල්ලීමේදී එසේ දර්ශනය නොවීම හඳුනා ගත හැකියි. 

ව්‍යාජ රුපියල් දෙදහසේ නෝට්ටු සංසරණය වීමේ අවධානමක් පවතින්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් විමසා සිටි අතර ඒ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම වාර්තාව යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

Avatar

Title:නව රුපියල් 2000 නෝට්ටුවට සමාන ව්‍යාජ මුදල් නෝට්ටුවක් ද ?

Fact Check By: Pavithra Hansani  

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *