ආරක්ෂකයින් කිසිවෙකුත් නොමැතිව, ජනපති අනුර යාපනේ තරුණයින් හමුවූ අවස්ථාවක් ද? 

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් සිදුවීම්වල දර්ශන, ඡායාරූප විවිධ අර්ථකථනයන් ලබා දෙමින් සමාජ මාධ්‍යයට මුදාහැරීම හමුවේ, සිදුවන්නේ, සමාජය නොමග යන ආකාරයේ අදහස් සමාජගත වීමයි. මේ එවැනි සඳහනක් සහිතව පළ කරන ලද ඡායාරූපයක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග තවත් තරුණයින් කිහිප දෙනෙකු සහ වැඩිහිටි කාන්තාවක් ද පෙනී සිටින අයුරු දැක්වෙන මෙම ඡායාරූපය පළ කර ඇත්තේ, පළවෙනි වතාවට ජනාධිපති කෙනෙක් ගාඩ් නැතුව යාපනේ කොල්ලො එක්ක’’ යන සඳහන සහිතවයි.  

Facebook | Archived Link

බොහෝ පිරිසක් සත්‍ය ලෙසම ජනාධිපතිවරයා ආරක්ෂකයින් නොමැතිව යාපනේ ජනතාව හමුවට ගිය අවස්ථාවක් යැයි සිතා, “යාපනයේ සහෝදර ජනතාව සමග අපේ සරල ජනපති 🇱🇰” යන්ති තේමා ඔස්සේ මෙම සටහන් හුවමාරු කරගෙන තිබුණා.  

Update claim :

මේ අතර ජනාධිපති යාපනයේ නාගදීපයේ පිහිටි ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිලට ගිය අවස්ථාවේ ඡායාරූපයක් බවට දක්වමින් තව ත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ, ජනාධිපති ආයුද සන්නද්ධ ආරක්ෂකයන් පිරිවරා කෝවිල තුළ සිටින ආකාරය බවට හඟවමින්.

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමට අප මෙලෙස කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය සටහන් අනුව කිසිඳු හෝ ආරක්ෂයෙකු පසෙකින් නොමැතිව, ජනාධිපතිවරයා යාපනයේ තරුණයින් පිරිසක් සමග ඡායාරූපයකට පෙනී සිට ඇති ආකාරයක් බවට හැඟී යන බැවින් අප මීට දින කිහිපයකට ඉහතදී සිදුවූ ජනාධිපතිවරයාගේ උතුරු පළාත් සංචාරයට අදාළ මාධ්‍ය වාර්තා පරීක්ෂාවට ලක් කළා. 

ජනාධිපතිවරයාගේ උතුරේ සිදුකළ සංචාරය අතරතුර ජනවාරි 16 වැනිදා උදෑසන ජනාධිපතිවරයා, තම ආරක්ෂකයින් කිහිපදෙනෙකු ද සමග ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක ශරීර සුවතාවල යෙදීම සඳහා ඇවිද යන ආකාරයේ දර්ශන පෙළක් සමාජ මාධ්‍යයෙන් උපුටා ගනිමින් ප්‍රධාන ධාරාවේ  මාධ්‍ය ද මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. 

මේ පිළිබඳ තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී , සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී ඇති ඡායාරුපයේම පසුබිම සහිත දර්ශන පෙළක් දැක්වෙන වීඩියෝවක් අපට හමුවුණා. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා ආරක්ෂකයින් ද සමග ශරීර සුවතාවල යෙදෙමින් යාපනයේ මාර්ගයක ගමන් කරමින් සිටින අතරතුර හමුවූ පිරිසක්, සමග සුහද කතාබහක් ඇතිවෙමින් එකට පෙනී සිටිමින් ලබාගත් වීඩියෝවක්. එම වීඩියෝව පහතින්.

ඒ අනුව මෙම වීඩියෝවකින් ලබාගත් ඡායාරුපයක්, ආරක්ෂකයින් ඇතුළු ජනපති සමඟ ගමන්කළ අනෙකුත් පිරිස නොපෙනෙන ලෙසට Crop කරමින්, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ ඡායාරූපය ඔස්සේ නොමඟ යවන සුළු අර්ථකථනයක් ලබාදී ඇති බව පෙනෙනවා.

මෙම දර්ශන සමඟ සංසන්දනය කිරීමෙන් එය වඩාත් පැහැදිලි වෙනවා.


ජනාධිපතිවරයා ආරක්ෂකයින් සමඟ යාපනයේ මාර්ගයක ගමන් ගත් දර්ශන 

Crop කිරීමට පෙර, වීඩියෝවේ සටහන් වී තිබු, අවස්ථාව

සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ Crop කරන ලද ඡායාරුපය 

මේ අනුව ජනාධිපතිවරයා ආරක්ෂකයින් නොමැතිව යාපනේ තරුණයින් හමුවූ බවට වන සමාජ මාධ්‍ය සටහන සමාජය නොමගයවන සුළුවේ. 

ජනාධිපති මාධ්‍ය අංශය 

ජනාධිපති මාධ්‍ය අංශයෙන්  අප කළ විමසීමේදී ඔවුන් පැවසුවේ, ජනාධිපතිවරයා උදෑසන ශරීර සුවතා ව්‍යායාම සඳහා පිටත්ව ගිය අවස්ථාවේ හමුවූ ජනතාව සමග අවස්ථා කිහිපයකදීම  සුහද කතාබස්වල නිරතව ඇති බවයි. නමුත් ආරක්ෂකයින් නොමැතිව ගොස් ඇති බවට සමාජ මාධ්‍ය සටහනේ ඇති සඳහන අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. 

ප්‍රාදේශීය වාර්තාකරුවන් 

මේ අතර අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ද තහවුරු කළේ, ජනාධිපතිවරයා මන්නාරම සහ යාපනයේ සංචාරය කරන අතරතුර ආරක්ෂකයින් නොමැතිව කිසිදු ස්ථානයක සංචාරය නොකළ බවයි.  

ජනාධිපතිවරයා තෛපොංගල් උත්සවය ඇතුළු උතුරු පළාතේ වැඩසටහන් කිහිපයකට සහභාගී වෙයි 

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පසුගිය  15 සහ 16 දෙදින උතුරු පළාතට පිටත්ව ගොස් තිබුණේ, උතුරු පළාත් තෛපොංගල් උත්සවය ඇතුළු වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සඳහායි. ඒ අනුව ජනාධිපතිවරයා 15 වැනිදා යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවති උතුරු පළාත් තෛපොංගල් උත්සවය සඳහා සහභාගී වූ බව මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. 

මේ අතර තෛපොංගල් සමරන්න යාපනයට ගිය ජනාධිපතිවරයාට ඉහළ ජනතා ප්‍රතිචාරයක් හිමි ආකාරය වාර්තා කර තිබුණේ මෙලෙසයි.  එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ද 16 වැනිදා පැවැත්වුණේ, යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදීය.

Updated :

ජනාධිපති අනුර විසින් යාපනයේ නාගදීපයේ පිහිටි ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිලට ගිය අවස්ථාවේ ඡායාරූප මාධ්‍ය වෙතින් වාර්තා කර තිබුණි. එම ඡායාරූප පරීක්ෂා කිරීමේදී ද, ජනපතිට හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂාව ලබා දී ඇති බව දැක ගන්නට ලැබුණත්, ඉහත ඡායාරූප අවස්ථාව දක්වා නොතිබුණි.සත්‍ය අවස්ථාවේ ඡායාරූප මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

ඒ අනුව ඉහත ඡායාරූප අවස්ථාව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවට පළ වූ සැකය මත අප කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ඡායාරූප හඳුනා ගැනීමේ මෙවලමකට එම ඡායාරූපය යොමු කරනු ලැබුවා. එහිදී අනාවරණය වූයේ මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කර ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ උතුරු පාළත් සංචාරය අතරතුර ආරක්ෂකයින් කිසිවෙකුත් නොමැතිව යාපනය මාර්ගයක ඇවිද යමින් සිටියදී තරුණයින් පිරිසක් සමඟ හමුවී ඡායාරුපයකට පෙනී සිටින අවස්ථාවක් බව ඇඟවෙන අයුරු යනුවෙන් හුවමාරු වන්නේ නොමග යවන සුළු ආකාරයට සංස්කරණය (Crop)කරමින් වයිරල් වී ඇති ඡායාරුපයක් බවයි. එහි මුල් ඡායාරූපයේ මෙන්ම එම රූප රාමුව ලබාගත් සහ අනෙකුත් වීඩියෝ පට වල ද පැහැදිලිව දැක්වෙන්නේ ජනපති ගමන් කර තිබෙන්නේ, ආරක්ෂක භටයින් කිහිප දෙනෙකුගේ ආරක්ෂාව සහිතව බවයි. 

Avatar

Title:ආරක්ෂකයින් කිසිවෙකුත් නොමැතිව, ජනපති අනුර යාපනේ තරුණයින් හමුවූ අවස්ථාවක් ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *