ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය යොදා ගැනීම නිවැරදි ද?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

පාසල් පෙළපොත්වල මෙතෙක් භාවිත වූ ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය ඇතුළත් කර ඇතැයි යන්න පසුගිය වකවාණුවේ උණුසුම් මාතෘකාවක් වුණා. සැබවින්ම අශෝක චක්‍රය ධර්ම චක්‍රය ලෙස භාවිත කිරීම නිවැරදිද? මේ ඒ පිළිබඳ අප සිදු කළ සොයා බැලීමක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණය යටතේ ආගම් හා සාරධර්ම අධ්‍යාපනය බුද්ධ ධර්මයේ පෙළපොතේ ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය ඇතුළත් කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. 

මේ අතර මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පැතිරුණා.

Facebook | Archived Link  Facebook | Archived Link

ධර්ම චක්‍රයේ සත්‍ය ඡායාරූපය කුමක්ද යන්න බොහෝ දෙනෙකු විමසමින් සහ පැහැදිලි කරමින් සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ, මේ අයුරින්.

නව බුද්ධ ධර්ම පෙළ පොත් සඳහා යොදා ගෙන ඇති බෞද්ධ චක්‍රය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් අප සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  : 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් විෂය නිර්දේශයේ බෞද්ධ ධර්මය විෂයට අන්තර්ගත ධර්ම චක්‍රය පිළිබඳව සාකච්ඡාවක් ඇති වූයේ එහි නිවැරදි ස්වරූපය කුමක්ද යන ප්‍රශ්නය මතු වීමත් සමඟයි. 

6 වන ශ්‍රේණියේ ආගම් හා සාරධර්ම විෂයේ 1 වන වාරය සඳහා මොඩියුලයේ පහත දැක්වෙන පරිදි අරයන් 24ක් ඇති ධර්ම චක්‍රයක් පෙන්වා දී ඇති අයුරු පහතින්.

ඒ අනුව 6 වන ශ්‍රේණියේ ආගම් හා සාරධර්ම විෂයේ 1 වන වාරය සඳහා මොඩියුලය සංස්කරණය කිරීමට මෙන් ම සෝදුපත් බැලීම සඳහා ද බෞද්ධ භික්ෂූන් වහන්සේ ද, දායක වී ඇති බව, දැක ගන්නට ලැබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය

අප අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරිනියකගෙන් ධර්ම චක්‍රය සම්බන්ධ ගැටලුව විමසා සිටි අතර ඇය සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනට භාවිත කරන නිවැරදි බෞද්ධ ආගමික සංතේකය තහවුරු කර දෙන මෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය වෙතින් නිර්දේශ ඉල්ලා සිටි බවයි. 

නව විෂය නිර්දේශය යටතේ බෞද්ධ ධර්මය මොඩියුලයට ඇතුළත් කළ යුතු ධර්ම චක්‍රය පිළිබඳව සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරන ලද නිර්දේශ අනුව පහත කරුණු පෙළගස්වා ඇත. 

සංකෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය

මේ වන විටත් ධර්මචක්‍රය හා බැඳි බෞද්ධ සංකේත රාශියක් ව්‍යවහාරයේ පවතින අතර ඒ බුදුදහමේ දේශිත කෙලෙස් හෙවත් අර ඇතිවීම හා ප්‍රහීණ කරලීම අරමුණු කොට ගෙන බවත්, මෙහිදී සසර පැවැත්ම රෝදයක් නම් එහි බොස් ගෙඩිය හා බැඳි දැති ‘අර’ වශයෙන් සංකේත්වත් කොට ඇති බව පෙන්වා දෙයි. 

මෙකී ‘අර’ සංඛ්‍යාව කෙරෙහි ඇති ප්‍රභේද විවිධාකාර ධර්මචක‍්‍ර නිර්මාණය වීමට හේතු වී ඇති අතර ඒ සියල්ලට හේතු සාධක ඇති බව ක් පෙන්වා දෙනු ලබයි.

සංසරණය වන ධර්මචක්‍ර ප්‍රභේද

මෙලෙසින් සංසරණය වන ධර්මචක්‍ර ප්‍රභේද අතර ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකේත වන අර 08 එකකි. ඇතැම් අය මෙය ලෝකධම්ම සූත්‍රයේ එන ලාභ අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, සැප – දුක යන අෂ්ට ලෝක ධර්ම 08 ද ගළපති. එය දොස් සහිත බව එම සම්පාදක මණ්ඩලය පෙන්වා දෙයි.

  • ධර්‍මම්මචක්කප්පවත්තන සූත්‍රයේ එන චතුස්සත්‍යය අවබෝධය තිපරිවට්ටාකාරයෙන් (4×3 = 12) සංකේත වන අර 12 ධර්මචක්‍රය තවේකකි. (මේ 12 අරය පිළිබඳව ද සලායතන හා ඵස්සායතනාදි වශයෙන් ද බෞද්ධයන් අතර විවිධ මත තිබේ.‍
  • තව ද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ම එන ජාතිදුක්ඛයේ පටන්, ජරා මරණ, විභව තණ්හා නිවන දක්වා වූ 16 කරුණු සංකේත වන අර 16 කින් යුත් ධර්මචක්‍රය වෙනත් එකක් බව ත් පෙන්වා දෙයි.
  • අර 24 කින් නිර්මිත වන තවත් ධර්මචක්‍රයක් ඇති නමුත් එහි අර්ථ දක්වා නොමැත. එම අඩුව සපුරා ලිය යුතු බව ඔවුන් සඳහන් කරනවා.
  • චතුරාර්ය සත්‍යය අර 24 කින් සංකේතවත් වන තවත් ධර්ම චක්‍රයක් ඇති අතර පච්චුප්පන්නයෙහි හෙවත් වර්තමානයෙහි කෙනෙක් තුළ ඇති වන තෘෂ්ණා 36 සංකේතවත් වන අර 36 කින් යුත් ධර්ම චක්‍රයක් ද ව්‍යවහාරයේ තිබේ.
  • චතුරාර්ය සත්‍යය අර 24 කින් සංකේතවත් වන තවත් ධර්ම චක්‍රයකි. බොහෝ දුරට ගැළපේ

නැවක සුක්කානම ආකාරයෙන් ඉදිරිපත්ව ඇති ධර්ම චක්‍රය වැනි තවත් නොයෙක් ආකාර බෞද්ධ සංකේත ජනගතව ඇති අතර ඉහත දැක්වූ සයවිධ චක්‍ර අවධානයට ලක් කිරීම කළ යුතු බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

සංකෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ නිර්දේශය

ඉහත දැක්වූ විවිධ ධර්මවක්‍ර ම අර්ථවත් මෙන් ම දහමට එකඟ බව ත්,  සඳහන් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, අර්ථ රසයට, ධර්ම රසයට හා විමුක්ති රසයට වඩාත් සමීප වනුයේ අර 24කින් යුත් අශෝක චක්‍රය ලෙස හැඳින් වූ සංකේතය බව ඔවුන්ගේ නිර්දේශය විය. එහි ද අර 24 ක් දක්වා ඇතිමුත් අර්ථ සටහන් වී නැත. එහෙයින් පහත දක්වා ඇති ‘ධම්මපද යොදා එම චක්‍රය අර්ථවත් කර නිවැරදි බෞද්ධ සංකේත ලෙස පිළිගැනීම සුදුසු වන්නේ එම මණ්ඩලය නිර්දේශ කර තිබේ.

මෙහි අදහස මෙසේ ය.

සංසාර වටය නම් වූ 31 ලොව නැවතනැවත ඉපදීම පැවැත්ම නම් 12 ආකාරය31 ලොවින් මිදීම හෙවත් සියලු ලෝකවලින් එතෙරවීම යන නිර්වාණය සාක්ෂාත් කළ හැකි නැවැත්ම නම් වූ 12 ආකාරය
1. අවිද්‍යාව නිසා සංස්කාර සෑදේ2. සංස්කාර නිසා විඥාන සෑදේ3. විඥාන නිසා නාමරූප සෑදේ4. නාමරූප නිසා සළායතන සෑදේ5. සළායතන නිසා ස්පර්ශය සෑදේ6. ස්පර්ශය නිසා වේදනා සෑදේ7. වේදනා නිසා තණ්හා සෑදේ8. තණ්හා නිසා උපාදාන සෑදේ9. උපාදාන නිසා භව සෑදේ10. භව නිසා ජාති සෑදේ11. ජාති නිසා
12. ජරාමරණ සෑදේ
1. ජාති නැත්තේ 2. ජරාමරණ නැත.3. භව නැත්තේ ජාති නැත4. උපාදාන නැත්තේ භව නැත5. තණ්හා නැත්තේ උපාදාන නැත6. වේදනා නැත්තේ තණ්හා නැත7. ස්පර්ශ නැත්තේ වේදනා නැත8. සළායතන නැත්තේ ස්පර්ශ නැත9. නාමරූප නැත්තේ සළායතන නැත10. විඤ්ඤාණ නැත්තේ නාමරූප නැත11. සංස්කාර නැත්තේ විඤ්ඤාණ නැත12. අවිද්‍යාව නැත්තේ සංස්කාර නැත

ධර්ම චක්‍රය හා සම්බන්ධ ඉදිරිපත් වී විද්වත් මත සහ බෞද්ධ ලේඛනවල ඇතුළත් කරුණු 

ධර්ම චක්රය

පිටක වෙබ් අඩවියේ ධර්මචක්‍ර‍ සටහන සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මෙලෙසින්.

ප්‍ර‍තිවේධ ධර්ම චක්‍ර‍ය වන ලෝකෝත්තර මාර්ග ඥානය අරූපී ධර්මයක් බැවින් එහි සටහනක් නැත. වචන මාලාවක් වන දේශනා ධර්ම චක්‍රයේ ද දෑසින් දැකිය හැකි සටහනක් නැත. එබැවින් ධර්ම චක්‍ර‍ සටහනක් පිළියෙළ කිරීමේ දී ධර්ම චක්‍ර‍ය ප්‍ර‍කට කිරීමට උපමාවක් වශයෙන් යොදා ගන්නා ලද චක්‍රායුධය අනුව රෝද සටහනක් ගත යුතු ය. එය කරත්ත රෝදයක් සේ මොට්ට රෝද සටහනක් නොවී මෝල්වල ලී ඉරන රෝදය බඳු කැපෙන රෝදයක සටහන විය යුතු ය. පිටතට නෙරා ගිය ගැට ඇති සටහනකින් පෙනේනේ එය කැපෙන රෝදයක් නොව මොට්ට රෝදයක් බව ය. මොට්ට රෝදය අවියක් නොවේ. පිටතට නෙරා ගිය ගැටවලින් එහි ආයුධ භාවය අවලංගු වේ. එබැවින් පිටතට නෙරූ ගැට සහිත චක්‍ර‍ය ධර්ම චක්‍ර‍ය වශයෙන් ගැනීමට නුසුදුසු ය. ධර්ම චක්‍ර‍ය චතුස්සත්‍යය පිළිබඳ වූවක් බැවින් ඒ රෝදයෙහි චතුස්සත්‍යය දක්වන ලකුණු පිහිට විය යුතු ය. ගරාදි අට ඇති රෝදයේ ඒ ගරාදිවලින් දක්වන්නේ සම්මා දිට්ඨි ආදි මාර්ග සත්‍යයේ අංග අට ය. ඒ අංග අට ධර්ම චක්‍රයෙන් සතරින් පංගුවකි. සතරින් පංගුව ද ධර්මචක්‍ර‍ය නොවේ. වෙන් වෙන් වශයෙන් එක් එක් සත්‍යය දක්නා ඥානයන්ට ක්ලේශප්‍ර‍හාණ ශක්තියක් නැත. ක්ලේශප්‍ර‍හාණ ශක්තිය ඇත්තේ එක්විට ම චතුස්සත්‍යය දක්නා ලෝකෝත්තර මාර්ග ඥානයට පමණෙකි.

pitaka.lk

ධර්ම චක්‍ර‍ය යන මෙහි ධර්මය, චක්‍ර‍ය කියා වචන දෙකකි. එහි ධර්ම යන වචනයෙන් චතුස්සත්‍යය ප්‍ර‍තිවේධ කරන ලෝකෝත්තර මාර්ගඥානය, චතුස්සත්‍යය පිළිබඳ දේශනාඥානය, චතුස්සත්‍යය දේශනය වූ වචන මාලාව යන අර්ථ තුන ගනු ලැබේ. චක්‍ර‍ යන වචනයෙන් පුරාණ ලෝකයේ යුද්ධයට පාවිච්චි කළ කඩු කිණිසි ආදියට වඩා නපුරු ආයුධයක් වන රෝදයක් කියැවේ. එය පිට වාටිය හෙවත් පට්ටම දැළි පිහියක් සේ කැපෙන්නා වූ හෝ පට්ටමෙහි දැළිපිහිය සේ කැපන දැති ඇත්තා වූ හෝ රෝදයකි. ඒ චක්‍ර‍ය ක්‍රියා කරවා යුදවල දී සැණෙකින් බොහෝ ජනයා කපා සුණු විසුණු කරනු ලැබේ. ඒ චක්‍ර‍ය ගැන සාමඤ්ඤඵල සූත්‍රයෙහි මෙසේ දැක්වේ.

“ඛුරපරියන්තේන චේපි චක්කේන යෝ ඉමිස්සා පඨවියා පාණේ ඒකමංසඛලං ඒකමංසපුඤ්ජං කරෙය්‍ය”

මේ පූරණකාශ්‍යප යන ශාස්තෘවරයාගේ ප්‍ර‍කාශනයෙකි. එයින් කියැවෙන්නේ දැළිපිහිය සේ කෙළවර ඇති චක්‍රයෙන් මේ පොළොවෙහි සතුන් එක ම මස් ගොඩක් කළත් යනු යි. චක්‍රයේ දරුණුකම ඒ පාඨයෙන් පෙනේ. බෝධිමූලයේ දී මහ බෝසතාණන් හා යුදයට පැමිණි වසවත් මරු ද චක්‍ර‍ නම් වූ ඒ අවිය පාවිච්චි කළ බව කියා තිබේ.

චතුස්සත්‍ය ප්‍ර‍කාශ කරන දේශනය වූ වචන මාලාව ධර්ම චක්‍ර‍යක් බව තථාගතයන් වහන්සේ විසින් සච්චවිභඞ්ග සූත්‍රයෙහි මෙසේ වදාරා ඇත්තේ ය.

“තථාගතේන භික්ඛවේ, අරහතා සම්මා සම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං, අප්පටිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍ර‍හ්මුණා වා කේනචි වා ලෝකස්මිං; යදිදං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්මං”

“තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේදී සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් ප්‍ර‍කාශ කිරීම් වශයෙන් ශ්‍ර‍මණ බ්‍රාහ්මණාදි කිසිවකුට ආපසු පෙරළිය නොහෙන අනුත්තර ධර්ම චක්‍ර‍ය පවත්වන ලද්දේ ය” යනු එහි අදහස ය. එයින් දැක්වෙන්නේ චතුරාර්‍ය්‍ය සත්‍යය දක්වන ප්‍ර‍කාශ කරන වචන මාලාව ධර්ම චක්‍ර‍ය කියා ය.

ධර්ම චක්‍රය ප්‍රමුඛ ලාංඡන බුදු පිළිම භාවිතයට පෙර කාලයේදී භාරත දේශය හෙවත් ජම්බුද්වීපයේ භාවිත වූ (ලාංඡන වැඳුම් පිදුම් කළ බුදු පිළිම වෙනුවට සිය ශිලා මූර්ති කැටයම්වලට යොදන ලද) ලාංඡන වලින් එකකි. මේවා අතරේ ධර්ම චක්‍රයෙන් සෘජු ලෙසින් ම සංකේතවත් කෙරෙන්නේ ධර්ම චක්‍ර පවර්තනයයි. මෙම ධර්මචක්‍රය මුලින්ම ලාංඡණයක් ලෙස නිර්මාණය කලේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ය. අශෝක අධිරාජ්‍යයා විසින් බුදු රජාණන්වහන්සේගේ ධර්ම චක්‍රය කෙබඳුදැයි අසන ලද පැණයට පිළිතුරු ලෙස උන්වහන්සේ වදාලේ ගෞතම බුද්ධ රාජ්‍යයේ සම්පූර්ණ ධර්මස්ඛන්ධය හකුළුවා දක්වන වචන දෙකකින් බවයි. මේ අන් කවරක් හෝ නොව “චතුරාර්‍ය සත්‍යය”යි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කළ සාරානන්ද පුද බිමෙහි (ක්‍රිස්‌තු පූර්ව 273 – 232) කාලයෙහි ජම්බුද්වීපයේ රජ කළ අශෝක අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද ශිලා ස්‌ථම්භයෙහි ශීර්ෂයෙහි (කුළුණු හිසෙහි) මෙම ධර්ම චක්‍රය දක්‌නට ලැබෙන්නේ සතර දිසාවටම මුහුණලා සිටින සිංහයන් සතර දෙනකුගේ මූර්ති ද සමඟය. මෙය අද ඉන්දියාවේ සාරානාත් පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි නැත්පත් කර ඇත. මෙම සාරානාත් කුළුණු ශීර්ෂය අතීතයෙන් ඒ රටට ලද දායාදයක්‌ ලෙසින් පමණක්‌ නොව ඒ රටේ ජාතික අනන්‍යතාවයේ ලකුණක්‌ ලෙසින් අද ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය බවට ද 1947 න් පසුව භාවිතයට ගෙන ඇත. එපමණක්‌ ද නොව එම ධර්ම චක්‍රය ලාංඡනය නූතන ඉන්දියාවේ ජාතික ධජයේ ද ඇති එකම ලාංඡනය ද වන්නේ ය. 

බෞද්ධ ආගමට මහගු සේවයක් කල රේරුකානේ චන්දවිමල මහනායක හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ වල මුල් පිටුවේ සඳහන් කර ඇති ධර්ම චක්‍රයේ ඡායාරූප

grantha.lk

රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන් විසින් ධර්මචක්‍ර‍ සටහන සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

ධර්මචක්‍ර‍ සටහනක් පිළියෙළ කිරීමේ දී එය කැපෙන දෙයක් බව දැක්වීමට චක්‍ර‍ පට්ටමේ දැති යෙදිය යුතු ය. ඒ චක්‍ර‍ය චතුස්සත්‍යය ප්‍ර‍තිවේධ කරන ලෝකෝත්තර මාර්ග ඥානය බව දැක්වීමට හා චතුස්සත්‍යය දේශනාව බව දැක්වීමටත් චතුස්සත්‍යයේ අංග සූවිස්ස දැක්විය යුතු. චක්‍ර‍යට ගරාදි සූවිස්සක් යොදන්නේ සත්‍ය දේශනයේ එන සත්‍යාංගසූවිස්ස දැක්වීමට ය. සත්‍යාංග සූවිස්ස දක්වන ගරාදි සූවිස්සක් ඇති දැති සහිත චක්‍ර‍ සටහන නියම ධර්මචක්‍ර‍ සටහන බව කිය යුතු ය. චතුස්සත්‍ය දේශනයේ අංග සූවිස්ස විසුද්ධි මාර්ගයේ ආර්‍ය්‍ය සත්‍ය නිර්දේශයේ දැක්වෙන අංග සූවිස්ස මෙසේ ය.

ජාති දුක්ඛය
ජරා දුක්ඛයමරණ දුක්ඛය
ශෝකය
පරිදේවය
දුක්ඛය
දෝමනස්සය
උපායාසය
අප්‍රිය සම්ප්‍රයෝගය
ප්‍රිය විප්‍රයෝගය
කැමති දෑ නො ලැබීම
උපාදානස්කන්ධ පස
කාම තණ්හාව
භව තණ්හාව
විභව තණ්හාව
නිර්වාණය
සම්මා දිට්ඨි
සම්මා සංකප්ප
සම්මා වාචා
සම්මා කම්මන්ත
සම්මා ආජීව
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි

විසුද්ධිමග්ගයේ මේ අංග සූවිස්ස දක්වා ඇත්තේ ධර්මචක්‍ර‍ සූත්‍ර‍ය සච්චවිභඞ්ග සූත්‍ර‍ය යන දෙක්හි ම එන අංග ගැනීමෙනි. ධර්මචක්‍ර‍ සූත්‍රයෙහි එන ව්‍යාධිපි දුක්ඛෝ යන අංගය මේ සූවිස්සට ඇතුළත් කොට නැත. එය ඇතුළත් කර නැත්තේ ව්‍යාධිය සකල සත්ත්වයන්ට ම සාධාරණාංගයක් නොවන නිසා ය යි විසුද්ධිමග්ග ටීකාවෙහි කියා ඇත්තේ ය.

pitaka.lk | Archived Link

මහමෙව්නාව භාවනා අසපුවට යොදා ඇති ධර්ම චක්‍රය වන්නේ, අශෝක ධර්ම චක්‍රය ලෙස පැවසෙන ධර්ම චක්‍රයයි.

mahamevnawa.lk

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති සමරු කාසි වල ද, අශෝක චක්‍රය ඇතුළත් කරමින් කාසි නිර්මාණය කර ඇති බවට දැක ගන්නට ලැබේ.

ජනරජ ලාංඡනයේ මුදුනේ ස්ථාපිත කර ඇති ධර්ම චක්‍රය

ජනරජ ලාංඡනයේ මුදුනේ ස්ථාපිත කර ඇති ධර්ම චක්‍රය 1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම නිමිති කර ගෙන නිශ්ශංක විජයරත්න මහතාගේ අදහස් හා මගපෙන්වීම මත නිර්මාණය කරන ලදී. එවකට ඔහු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් සහ ජාතික ලාංඡන සහ කොඩි නිර්මාණ කමිටුවේ සභාපතිවරයා විය. ලාංඡනයේ නිර්මාණකරු පූජ්‍ය මාපලගම විපුලසාර මහා නාහිමි සහ වර්ණ යෙදීම එස්.එම් සෙනෙවිරත්න මහතා විසිනි. රටෙහි ජාතික පුෂ්පය වන නිල් නෙළුම් වල රන් පෙති වලින් වට වූ මෙරූන් පසුබිමක මධ්‍යයේ දකුණු ඉදිරිපස පාදයේ (ශ්‍රී ලංකාවේ ධජයේ එකම සිංහයා) කඩුවක් අල්ලාගෙන සිටින රන් සිංහයෙකු මෙම ලාංඡනය දක්වයි. මෙය සෞභාග්‍යය පිළිබිඹු කරමින් මායිම වටා කැරකෙන සහල් ඇට කැබලි දළුලන සම්ප්‍රදායික ධාන්‍ය බඳුනක් මත තබා ඇති අතර ලාංඡනය මුදුනේ ධර්මචක්‍රය වන අතර එය බුද්ධාගම සහ සාධාරණ පාලනය සඳහා රටේ ප්‍රමුඛස්ථානය සංකේතවත් කරයි. 

ධර්මචක්රය නිවැරැදිව භාවිත කරන්න ඡේ. ආර්. ජයවර්ධනට මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන්ගෙන් ලිපියක් 

ඡේ. ආර්. ජයවර්ධන මහතා ජනපති සමයේ දී ජනාධිපති ධජයෙහි යොදා ඇති ධර්මචක්‍රය නිවැරැදිව යෙදිය යුතු ආකාරය පහදමින් අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ ජනපති තුමා අමතමින් දිණමින පුවත්පතට ලියූ ලිපියෙහි සඳහන් කරුණු සිහිපත් කිරීම සුදුසු ය.

චක්‍රය නම් රෝදය යි. තෙවළා පෙළ අටුවාවන්හි ‘චක්ක’ (චක්‍ර) ශබ්දය නොයෙක් නැත සඳහන් වෙතත් චක්‍ර හතරක් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ව ඇත. 

1.රත්නචක්‍ර හෙවත් චක්‍රරත්න (චක්කවත්ති සීහනාද සූත්‍ර)

2.ලක්‍ෂණචක්‍රය හෙවත් චක්‍රලක්‍ෂණ (ලක්ඛණ සූත්‍රය)

3.ධර්මචක්‍ර (ධම්මචක්කප්පවත්තන සූත්‍රය) 

4.සංසාරචක්‍ර (පටිච්චසමුප්පාදය)

ධම්මචක්කප්පවත්තන යන්නෙහි ‘ධම්ම’ නම් ප්‍රතිවෙධ ඥානය හා දේශනා ඥානය යන දෙ නුවණ යි. ‘චක්ක’ නම් රොදය යි. ‘පවත්තන’ ප්‍රවර්තනය යි, පෙරළවීම යි. 

මේ අනුව ධර්ම චක්‍රයෙහි ගරාදිවල කොන් රාමුවෙන් පිටට නෙරා සිටින සේ නිර්මාණය කැර තිබීම සදොස්‌ බවත්, එය ධර්මචක්‍රය නොව නැවේ සුක්‌කානම බවත් උන්වහන්සේ මැනවින් පෙන්වා දුන්හ. එම ධර්ම චක්‍රයට ගරාදි 24 ක් ඇත. එම ලිපිය සම්බන්ධ ෆේස්බුක් සටහනක් මෙතනින්. තව ත් ලිපි මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එස්.එම් සෙනෙවිරත්න මහතාගේ පුතුණුවන් වන ඉන්ද්‍රජිත් සෙනෙවිරත්න පසුකාලීනව ගොතටුවේ ඉන්ද්‍රකීර්ති ස්වාමීන් වහන්සේ පැවිදි වී තිබූ අතර මේ ධර්ම චක්‍ර ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේ  වැඩසටහනකදී පැවසූ අදහස් පහතින්.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මිනිපේ ප්‍රධාන සංඝනායක උඩවෙල ධම්මරතන නා හිමි

“ධර්ම චක්‍රය” යන වචනය ඇසෙත් ම බෞද්ධ හදවත් තුළ ඇති වන්නේ ශ්‍රද්ධා භක්තියකි. ගෞරවයකි. දාර්ශනික චිත්තරූපයකි. එසේ වන්නේ බුදුරජාණන් වහන්සේ සහ ධර්මය පමණක් නොව, විශ්ව සාධාරණ ධර්මතා දර්ශනය ම ඉන් මූර්තිමත් වන බැවිනි. එබැවින් එය බෞද්ධ දර්ශනය, විශ්ව සාධාරණ ධර්මතාවය කැටිවුන ප්‍රබල වූත්, උත්තරීතර වූත් සංකේතයකි.

තම තමන්ගේ වැටහීමේ, අවබෝධයේ තරමට ධර්ම චක්‍ර සංකේත, විවිධ වූවා පමණක් නොව, විවිධ අර්ථකථන හා විග්‍රහයන් ද ඉදිරිපත් විය.

මේ දක්වා නිර්මාණය වූ බෞද්ධ ධර්ම චක්‍ර කීපයක් “සිරිලක ආගමික සංකේත” නම් කෘතියේ, රේටියගම සුමනරතන හිමියෝ ගෙනහැර දක්වති.

1) ස්වස්තික හැඩය ගත් ධර්ම චක්‍රය.

2) සූර්යයාගේ රැස් විහිදෙන ආකාරයෙන් නිර්මිත ධර්ම චක්‍රය.

3) විකසිත නෙළුම් මලක හැඩය ගත් ධර්ම චක්‍රය හා

4) ගරාදි පිටට නෙරා ගිය, අටලෝ දහම හෝ ආර්ය අශ්ටාංගික මාර්ගය සංකේතවත් කරන ධර්ම චක්‍රය වශයෙනි.

මෙසේ දක්වමින්, ඒ පිළිබඳ විග්‍රහයක් කරන උන්වහන්සේ,

“ලෝ දහම කැරකෙන හෝ පෙරළෙන දෙයක්යැ’යි ධර්ම චක්‍රයෙන් මූර්තිමත් වේ නම්, සමහර චක්‍රවල පිටට නෙරා ගිය දැව (ගරාදි) මූර්තිමත් වී තිබෙන්නේ මන්ද? යන්න ගැන ප්‍රශ්නයක් මතු වේ. කල් යාමේ දී දහම වටා හෝ කලාව වටා හෝ වල්බිහිවීම නිරන්තරයෙන් සිදුවන්නකි. එසේ නම් අද භාවිතා වන ධර්ම චක්‍රය ද අර්ථ සුන් වී ගිය, මෝස්තරශීලී එකකි. ඉන් ප්‍රකට වන්නේ ගැඹුරු දහමක් හෝ දර්ශනයක් නොව, නැවක සුක්කානමක් බඳු හුදු කලා කෘතියක් පමණි. ”

උන් වහන්සේගේ මෙම ප්‍රකාශය, විග්‍රහය අර්ථාන්විත වූත්, ඉතා වැදගත් වූත් සත්‍යයකි. කාගේත් අවධානයට යොමුවිය යුත්තකි. පසුගිය කාලයේ ධර්ම චක්‍රය සංකේතය කාන්තා ඇඳුම්වල හා පාවහන්වලට යොදාගෙන තිබූ බව මාධ්‍යය තුළින් අසන්නට දකින්නට ලැබුණු බව කාටත් අමතක වී ඇතැයි නොසිතමි.

නීතිය හමුවේ එය ධර්ම චක්‍රයක් නොව නැවක සුක්කානමක් වශයෙන් ඔප්පු විය. පොලිසියේ මහතුන් පමණක් නොව සමස්ත බෞද්ධයා ම අවඥාවට අපහාසයට ලක් විය.

බෞද්ධ දර්ශනය පිළිබඳ ගිහි පැවිදි විද්වතුන් ඇති අප රටේ මේ ගැන මෙතෙක් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණකි. ඛේදවාචකයකි. බොහෝ විට සිදුවන්නේ අඩුපාඩු සකසා ගන්නවා වෙනුවට කෙස් පැලෙන තර්කවාද විවේචන ඉදිරිපත් කොට බැහැර කිරීම ය. බැහැර වීම ය. ගැටලුව එතැනම ය. බුද්ධිමත් තීරණයකට සම්මුතියකට නොඑළඹීම කැපී පෙනෙන දුබලතාවයකි. ඒ නිසාම නින්දා අපහාසවලට පමණක් නොව අගෞරවයට ද පාත්‍ර වෙයි.

එබැවින් එකම ධර්ම චක්‍ර සංකේතයක් සම්මත කරගෙන ආචීර්ණ කල්පිත මතවාදයන් බැහැර කොට භාවිත කරන්නේ නම්, බෞද්ධ අපේ අනන්‍යතාවය රැකෙනවා මෙන්ම අගෞරවයටත් අවඥාවටත් ලක් නොවනු ඇත.

ධර්ම චක්‍රාකාරයෙන් නිර්මාණය වූ සංකේත කොතෙක් තිබුණත් ඒවා සියුම්ව විග්‍රහ කර බලන විට පෙනී යන කරුණක් වන්නේ, බුදුරජාණන් වහන්සේ අපේක්ෂිත ධර්ම චක්‍රය, කුමක්දැයි තර්කානුකූලව ඉතා සියුම්ව විමර්ශනය කරමින් ම විග්‍රහ කරගත යුතු බවය.

එහෙත් ඒ සඳහා පොත්පත් අටුවා ටීකා අවශ්‍ය නොවේ. එම ධර්ම චක්‍රයම “ධම්මචක්කප්පවත්තන” සූත්‍රයයි. එසේම “ධම්මචක්කප් පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං…” උපක ආජීවකට කළ දේශනාවෙන්ම එය තහවුරු වෙයි. මේ නිසා ධර්ම චක්‍රයක් නිර්මාණය විය යුත්තේ ඒ අනූව බව පිළිගත යුතුය. දම්සක් පැවතුම් සූත්‍රයම අවශ්‍ය මඟ පෙන්වා දෙයි. 

ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අන්තර්ගතය වන්නේ, මැදුම් පිළිවෙත, චතුරාර්ය සත්‍ය හා ද්වාදසාකාර ඤාණ දර්ශනය යන ප්‍රධාන කරුණු ය. මෙම සූත්‍ර දේශනාවේ මුලින්ම දේශනා කොට වදාළේ මැදුම් පිළිවෙත ය. අන්ත දෙකක් බැහැර වූ ආර්ය මාර්ගය වශයෙන් දේශිත බැවින් එය බැහැර කළ නොහැක. ඒ ගැන සැලකිලිමත් විය යුතු බව සියුම්ව බලන විට වැටහේ. ඒ අනුව උඩවෙල ධම්මරතන නා හිමි විසින් ධර්ම චක්‍රයක් නිර්මාණය කර තිබුණා. ඒ සම්බන්ධ තොරතුරු මෙතනින්.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේගෙන් අප සත්‍ය ධර්ම චක්‍රය කුමක්ද යන්න විමසීමක් කරනු ලැබුවා.

උන්වහන්සේ පැවසූවේ, අශොක ධර්ම චක්‍රයේ හෝ වත්මන දී භාවිත වන ධර්ම චක්‍රයන් දෙකව නිවැරදි බවයි. නමුත් මෙතුවක් ජනතාව පුරුදු වී සිටියේ වත්මන භාවිත වන ධර්ම චක්‍රය බැවින් මෙතුවක් පෙළ පොත් වල සඳහන් ව ඇත්තේ ද, එම ධර්ම චක්‍රය බැවින් මෙම ව්‍යාකූලත්වයට හේතු වී ඇති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් මෙවර බෞද්ධ පෙළපොත් සඳහා භාවිත කර ඇති ධර්ම චක්‍රයේ කිසිදු වරදක් නොමැති බව ද, එය ඈත අතීතියේ සිට භාවිත කළ බව ත්, උන්වහන්සේ වැඩි දුරටත් පවසා සිටියහ.

අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න

Facebook| Twitter| Instagram| Google News| TikTok| Youtube

Avatar

Title:ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය යොදා ගැනීම නිවැරදි ද?

Fact Check By: Pavithra Sandamali  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *