පාතාලෙ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ගේ ජීවිත පිළිබඳ සහතික විය නොහැකි බවට ආරක්ෂක අමාත්‍යගෙන් ප්‍රකාශයක්? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමෙන් පසු අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට ආරක්ෂාව නොලැබෙන්නේ දැයි බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා. මේ අතර මෙම නීතිඥවරුන් පිළිබඳ ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදු කළ බව කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ අතර මෙහි සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පාතාලෙ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ගේ ජීවිත ගැන අපට මින් ඉදිරියට සහතික වෙන්න බෑ..යනුවෙන් ආරක්ෂක අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

පසුගිය පෙබරවාරි 13 වන දා අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක් අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දා වෙනුවෙන් පෙනී සිට ඇති නීතිඥවරයෙකු බවටත්, ඔහු පිළිබඳව වෙනත් සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙම නීතිඥවරයා තොරතුරු ලබා දීම හේතුවෙන් කරන්දෙණිය සුද්දා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණි

පාතාලයේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා හරහා අප පරීක්ෂා කරනු ලැබුවා. නමුත් අමාත්‍යවරයා විසින් ඒ ආකාරයෙන් ප්‍රකාශයක් කළ බව දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම ITN පුවත් නිල ෆේස්බුක් පිටුවේ ද, අමාත්‍යවරයා විසින් පාතාලෙ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ගේ ජීවිත ගැන අපට මින් ඉදිරියට සහතික වෙන්න බෑ යනුවෙන් පුවතක් පළ කර නොමැති බව ද, අප කළ පරීක්ෂාවේදී අනාවරණය විය.

අමාත්‍යවරයා විසින් මේ පිළිබඳව වෙනත් කිසිදු තැනකදී මේ ආකාරයෙන් ප්‍රකාශයක් කර නොමැති බව නිරීක්ෂණය වූ අතර අද(17) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයකදී සඳහන් කළේ, අපරාධකරුවන්ගේ තර්ජනයට ලක්විය හැකි නීතිඥවරු, විමර්ශන නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට ආරක්ෂාව අවශ්‍ය බවට බුද්ධි අංශ විසින්  විශ්ලේෂණ හා තක්සේරුවාර්තා තහවුරු කිරීමෙන් පසු ආරක්ෂාව සැපයීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවට අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.

Facebook | Archived Link

මේ ආකාරයේ පුවතක් පළ කර තිබුණේ ද, යන්න අප ITN පුවත් කළමණාකාරියකගෙන් විමසීමක් කළ අතර ඇය පවසා සිටියේ ද, මෙය අසත්‍ය තොරතුරක් බව ත්, ITN පුවත් ආකෘතිය යොදාගෙන මෙවැනි අසත්‍ය සටහනක් වෙනත් පාර්ශවයක් විසින් නිර්මාණය කර ඇති බවයි. ITN නිල පුවත් ෆේස්බුක් පිටුවෙන් ද, මෙය ව්‍යාජ පුවතක් බවට දක්වා තිබුණේ මෙලෙසින්.

නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය

තලංගම, අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේ ඉකුත් සිකුරාදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්විය.

ඝාතනයට ලක්වූයේ 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලාය.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මෙම වෙඩිතැබීම කර පලා ගොස් තිබුණි.

වෙඩික්කරුවන් පලා ගිය බවට සැකකෙරෙන මෝටර් රථය ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී පොලීසිය විසින් පසුව සොයා ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොඨටාසය සහ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු කණ්ඩායම් 10ක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,  ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පාතාලෙ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ගේ ජීවිත ගැන අපට මින් ඉදිරියට සහතික වෙන්න බෑ.. යනුවෙන් ප්‍රකාශ කළ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය වේ. අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත. එමෙන් ම ITN නිල පුවත් ෆේස්බුක් පිටුවේ පළ කර ඇති පුවතක් ලෙසට දක්වා තිබුණා ද, මෙය එම පුවත් ආකෘතියට නිර්මාණය කළ ව්‍යාජ පුවතක් වේ. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන්නේ, අපරාධකරුවන්ගේ තර්ජනයට ලක්විය හැකි නීතිඥවරු, විමර්ශන නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට ආරක්ෂාව අවශ්‍ය බවට බුද්ධි අංශ විසින්  විශ්ලේෂණ හා තක්සේරුවාර්තා තහවුරු කිරීමෙන් පසු ආරක්ෂාව සැපයීමට කටයුතු කරන බවයි.

Avatar

Title:පාතාලෙ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ගේ ජීවිත පිළිබඳ සහතික විය නොහැකි බවට ආරක්ෂක අමාත්‍යගෙන් ප්‍රකාශයක්?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *