මරණ දඬුවම නියමවූ 12 දෙනාගේ අභියාචනාවලට නොමිලේ පෙනී සිටින බව නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළා ද? 

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නිශ්චිත නොවූ සහ අදාළ පුද්ගලයින් විසින් ඝෘජුවම සිදු නොකරන ලද ප්‍රකාශ, ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද ඒවා බව දක්වමින්, සමාජ මාධ්‍යට මුදාහැරීම මගින් සිදුවන්නේ, සමාජය නොමග යාමකි. මේ එලෙස නීතිඥ සාලිය පීරිස් මහතා සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියේ මරණ දඬුවම නියම වූ වරදකරුවන් 12 දෙනාගේ අභියාචනා වෙනුවෙන් තමන් නොමිලේ පෙනී සිටින බවට නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බව කියමින් මෙම සටහන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.  

Facebook | Archived Link FB

මෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ වරදකරුවන් 12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල මාහාධිකරණය විසින් මරණ දඬුවම නියම කිරීමේ සිදුවීම, මේ දිනවල රටේ බහුලව කතාබහට ලක්වන මාතෘකාවක්. මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව, පාර්ශව කිහිපයක් මාධ්‍ය හමු කැඳවමින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.  

ගාලු මුවදොර අරගලයේ සක්‍රීය පාර්ශව රැසක් පෙබරවාරි 12 වැනිදා කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික  නීතිඥ නුවන් බෝපගේ ප්‍රකාශ කළේ, විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. එම මාධ්‍ය හමුවේදී සිදු කළ අදහස් පළ කිරීම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින්.  

මේ අතර සත්‍ය සහ යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පළ වූ අදහස් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබූ අතර එහි කැඳවුම්කරු නීතිඥ මනෝජ් නානායක්කාර පැවසුවේ,  මරණ දඬුවම නියම වූ 12 දෙනාට නොමිලේ අභියාචනා ගොනු කිරීමට හැකිවන පරිදි එම සංවිධානය වැඩපිළිවෙළක් සකස් කරන බවයි.  

මරණ දඬුවම නියම වූ 12 දෙනාගේ අභියාචනා සඳහා නොමිලේ පෙනී සිටින බවට නීතිඥ සාලිය පීරිස් මහතා ද ප්‍රකාශ කර ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන් පළ වී ඇත්තේ, මෙවන් වටපිටාවක් තුළයි. එහෙත් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් විසින් නීතිඥ සාලිය පීරිස් මහතා එවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බවට වාර්තා කර නොමැත. 

ඒ අනුව සත්‍ය සහ යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ අදහස් පළ කිරීම් වෙත අප තවදුරටත් අවධානය යොමු කළා. නීතිඥවරයා එම මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන අකාරයක් දැකගතහැකි අතර නීතිඥවරයා එහිදී  ප්‍රකාශ කරන්නේ, සාලිය පීරිස් මහතා ඇතුළු අරගලයට සහයෝගය දක්වපු, අරගලයේ නඩුවලදී අරගලකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන්ට කතා කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ අනුව මරණ දඬුවම නියම වූ 12 දෙනාට නොමිලේ අභියාචනා ගොණු කිරීමට අවශ්‍ය කටයුතු නිශ්චිතවම සැලසුම් කරන බවටත් ය. 

මරණ දඬුවම නියම වූ වරදකරුවන් 12 දෙනාගේ අභියාචනයා සඳහා නොමිලේ පෙනී සිටින බවට නීතිඥ නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කර ඇති බව කියමින් හුවමාරු වන සටහන් නිර්මාණය කර ඇත්තේ මාධ්‍ය හමුවෙදී පළ වූ මෙම ප්‍රකාශ පදනම් කර ගෙන බවට අනුමාන කළ හැකියි. 

එහෙත් නීතිඥ සාලිය පීරිස් මහතා සමාජ මාධ්‍ය සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇති බවට මාධ්‍ය වාර්තා කිසිවක් නොමැති නිසා අප මේ පිළිබඳව නීතිඥ සාලිය පීරිස් මහතාගෙන් ද විමසා සිටියා. 

නීතිඥ සාලිය පීරිස් මහතාගේ ප්‍රතිචාරය 

සාලිය පීරිස් මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් තමන් විසින් කිසිවිටෙකත් සිදුනොකළ බවයි. තමන් පෙනී සිටින නඩු කටයුතු පිළිබඳව සමාජ මාධ්‍යට තොරතුරු මුදා හැරීමක් සිදු නොකරන බවත් නීතිඥවරයා කියා සිටියා. 

කෙසේ වෙතත් පසුගියදා නීතිඥ මනෝජ් නානයක්කාර මාධ්‍ය හමුවකදී අදාළ අභියාචනය සඳහා නීතිඥවරු නොමිලේ පෙනීසිටින බවට ප්‍රකාශයක් කළ බවත්, එහිදී තමන්ට ද කතා කරන බවට නීතිඥ මනෝජ් පවසා තිබූ බවත්, ඒ ඔස්සේ ඉහත සටහන් නිර්මාණය වන්නට ඇති බවක් අනුමාන කළ හැකි බවත්, සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළා. 

ඇතැම් විට තමන් ද මෙම නඩු කටයුතු සඳහා පෙනී සිටීමට ද ඉඩ ඇති බව සඳහන් කළ නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ, සමාජ මාධ්‍යයෙහි සංසරණය වන ප්‍රකාශය තමන් සිදු කළ ප්‍රකාශයක් නොවන බවයි. 

හිටපු මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුවේ වරදකරුවන් 12කට මරණ දඬුවම 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ සිදුවීමේ නඩුවේ විත්තිකරුවන් 41 දෙනා අතරින්  12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය පෙබරවාරි 11 වැනිදා මරණ දඬුවම් නියම  කළා. 

වරදකරුවන් වූ තවත් සිව් දෙනෙකුට අවුරුදු 5කට අත්හිටවනු ලැබූ මාස 6 බැගින් සිරදඬුම් නියම කළ අතර විත්තිකරුවන් 23 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා. 

බෙදුණු තීන්දුවක් ලෙස  නඩු තීන්දුව  ප්‍රකාශයට පත් කෙරුණු අතර සභාපති විනුසුරු සහන මාපා බණ්ඩාර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසා සිටියේ, විත්තිකරුවන්  39 දෙනා නිදොස්කොට නිදහස් කරන බවයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවන් වන රසන්ත ගොඩවෙල සහ රශ්මි සිංගප්පුලි යන විනිසුරුවන් දෙදෙනා විත්තිකරුවන් 23 දෙනෙකු නිදොස් කොට නිදහස් කර සෙසු විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළා. 

මෙම නඩුවේ විත්තිකරුවන් අතරින් දෙදෙනකු නඩු විභාගය අතරතුර කාලයේ මියගොස් තිබූ අතර තවත් විත්තිකරුවන් දෙදෙනකු අධිකරණය මගහැර සිට තිබුණා. 

2022 වසරේ ගාලුමුවදොර අරගලය පැවති සමයේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා අරගලියගහ මන්දිරයේ සිට පොළොන්නරුව බලා යමින් සිටියදී නිට්ටඹුව නගරයේ විරෝධතාවල නිරත පිරිසකගේ ප්‍රහාරයට ලක් වුණා. මෙම පහර දීම්වලින් මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරිවරයා ජීවිතක්ෂයට පත්වුණා. මීට අදාළව වැඩිවිස්තර මෙතැනින් සහ මෙතැනින්  

අමරකීර්ති ඝාතනයේ වරදකරුවන් සම්බන්ධව ජනාධිපතිවරයා සහ නි. අමාත්‍ය චතුරංග අබේසිංහ සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ව්‍යාජ සටහන් පෙළක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින් 

අමරකීර්ති ඝාතනයේ වරදකරුවන් ගැන ජනපති සහ නි. ඇමති චතුරංග ප්‍රකාශ සිදු කර නැහැ

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකරයට මරණ දඬුවම නියමවූ 12 දෙනාගේ අභියාචනාවලට නොමිලේ පෙනී සිටින බව නීතිඥ සාලිය පීරිස් විසින් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. සත්‍ය සහ යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පළ වූ අදහස් පදනම් කර ගනිමින් මෙම සටහන් නිර්මාණය කරන්නට ඇති බවට අනුමාන කළ හැකියි.  

Avatar

Title:මරණ දඬුවම නියමවූ 12 දෙනාගේ අභියාචනාවලට නොමිලේ පෙනී සිටින බව නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *